ඉදිරිදර්ශන

2022 ඔන්ලයින් මැයි දින රැලියට සහභාගි වන්න!

(මෙහි පලවන්නේ Attend the 2022 May Day Online Rally! මැයෙන් 2022 අප්‍රේල් 30දා පලවූ ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ පරිවර්තනයයි.)

මැයි 2 සඳුදා, ලංකාවේ වේලාවෙන් උදෑසන 12.30ට, අත්‍යසාමාන්‍ය අර්බුදයක කොන්දේසි යටතේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පවත්වන ඔන්ලයින් මැයි දින රැලිය ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ඇත.

යුක්‍රේනය තුල, රුසියාවට එරෙහි ව එක්සත් ජනපද/නැටෝ සන්ධානය යෙදීගෙන සිටින යුද ධාවනය, ලෝකය, ලෝක යුද්ධයක හා න්‍යෂ්ටික ව්‍යසනයක අද්දරට ගෙනැවිත් තිබේ. සාකච්ඡාමය විසඳුමක් සඳහා දරන සියලු ප්‍රයත්නයන් වැලැක්වීමට නැටෝ බලයන් ක්‍රියාකර ඇත. යුද්ධයට ඩොලර් දස බිලියන ගනනක ආයුධ සම්පාදනය කිරීමට සපථ වෙමින් හා සිය ඉලක්කය වන්නේ රුසියාවට මූලෝපායික පරාජයක් අත් කරදීම බව ප්‍රකාශ කරමින්, බයිඩන් පරිපාලනය ගැටුමේ යෝධ පරිමාන ඉහල දැමීමක නිරතව සිටී.

දැන් එහි තුන්වැනි වසරට ඇතුල් වී තිබෙන කොරෝනා වෛරස් වසංගතය, ලොව පුරා මිලියන 20ක් ජනයා මරා දමා ඇත. ධනපති ආන්ඩු වසංගතය අහවර බව ප්‍රකාශ කරමින්, වෛරසය පැතිර යාම නවතාලීම ඉලක්ක කරගනිමින් ව්‍යාපාර මත යොදන සියලු සීමාකිරීම් අවසන් කරද්දී පවා, ලොව පුරා නව ප්‍රභේද පැතිරෙමින් තිබේ. චීනයට එහි ශූන්‍ය කෝවිඩ් පිලිවෙත අවසන් කරන ලෙස, ලෝකයේ බැංකු හා සංගත යෝධ පීඩනයක් යොදමින් සිටින අතර, එසේ කලහොත් එය තවත් මරන මිලියන ගනනකට තුඩු දෙනු ඇත. වෛරසයෙහි අපාලිත පැතිරීම, එන්නත්වල ඵලදායීත්වය නැති කර දැමිය හැකි නව හා වඩා මාරාන්තික ප්‍රභේදවල තර්ජනය ඉස්මතු කරයි.

කොරෝනා වෛරස් වසංගතය සමයේ, පෙර නුවූ විරූ ලෙස මුදල් කඳුගසා ගනිමින් හා බිලියන ගනන් ජනයා ගැඹුරු දරිද්‍රතාවට ඇද දමමින්, ලෝකයේ පාලක ප්‍රභූව ධනය යෝධ ලෙස මාරු කිරීමක් කරගත්තේ ය. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් මත නය ගොඩගැසීමෙන් පසුව, ජාමූඅ හා ලෝක බැංකුව අනුකම්පා විරහිත ප්‍රතිව්‍යුහකරන වැඩසටහන් විධානය කරමින් සිටින අතර, එය සමාජ වියදම් කපා හරිමින් හා බරපතල දුෂ්කරතාවන් ජනනය කරමින් පන්ති අරගලය තීව්‍ර කරනු ඇත. ධනපති වෙලඳපොලවල් ගැඹුරින් ම අස්ථාවර වෙද්දී, භාන්ඩ මිල ගනන් වේගයෙන් ඉහල යමින් හා සැපයුම් දාමයන් බිඳ වැටෙමින් පවතී.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන් විසින් රුසියාව මත පනවන ලද යුද සම්බාධක කෝටි සංඛ්‍යාත ජනයා සාගතය තුලට ඇද දමමින් තිබේ. නැගෙනහිර යුරෝපයේ 'ආහාර පැස' (Bread Basket) වන රුසියාවෙන් එන ආහාර සහ පොහොර අපනයනයන් සංවර්ධනය වන ලෝකයට අහිමිවීමේ අර්ථය වන්නේ, මහා පරිමාන හාමත උදා වෙමින් පවත්නා බවයි. සංවර්ධිත රටවල් තුල, මිල ඉහල යාම්වල අර්ථය වන්නේ, තවත් මිලියන සිය ගනනක් ජීවිතය ගැටගසා ගැනීමට හෝ දුගී භාවයෙන් මිදීමට අරගලයේ යෙදී සිටීම යි. වැඩෙන උද්ධමනය ලොව පුරා බිලියන ගනනක් වන වැඩකරන ජනයාගේ මූර්ත වැටුප් පහත හෙලා ඇත.

2022 අප්‍රේල් 21 බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පාර්ලිමේන්තුවෙන් පිටත පැවති රැලියක දී සටන් පාඨ හඬ නගන විරෝධතාකරුවෝ (ඒපී ඡායාරූප/ දිතා අලංකාරා) [AP Photo/Dita Alangkara]

මිලියන 300ක් ජනයාට අධිරාජ්‍යවාදී යුද්ධය, දුගී බව, ආඥාදායකත්වය හා දේශගුන වෙනස විසින් සිය මව් රටවලින් පලායාමට බලකෙරී ඇත. යුරෝපය හා උතුරු ඇමරිකාව බලා මරනයෙන් බේරී පලා එන්නන්, ම්ලේච්ඡ මර්දනයට, රැඳවුම් භාරයේ සිටීමට, සාපරාධීකරනයට හා පිටුවහල් කරනු ලැබීමට මුහුන දෙන්නේ “ප්‍රජාතන්ත්‍රවාදයේ” මෙම දේශයන් තුල දී ය.

රටක් රටක් පාසා, පාලක පන්තියේ බලගතු කොටස් ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය වෙත හැරෙමින් සිටින්නේ, කම්කරු පන්තිය තුල පවතින සමාජ විරෝධය මැඩීමට ය. එක්සත් ජනපදය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ආඥාදායක කුමන්ත්‍රන උත්සාහයක නියැලුනේ ය යන්න ප්‍රතික්ෂේප කල නො හැකිව තිබියදී, ඔහු නිදහසේ පසුවෙයි. ප්‍රන්සයේ මාරීන් ල පෙන්, රටෙහි ඉතිහාසය තුල ෆැසිස්ට්වාදී අපේක්ෂකයෙකු ලැබූ ඉහල ම සමස්ත ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තා ය. ජාත්‍යන්තර ප්‍රපංචයක් වන අන්ත-දක්ෂිනාංශයේ වැඩීමෙන් හා පාලක පන්තිය ආඥාදායක පාලන රූප කරා හැරීමෙන්, කිසිදු කලාපයක් මිදී නැත.

යුද්ධයට හා ප්‍රතිගාමීත්වයට ඉඩ සලසන එම පරස්පර-විරෝධයන් ම, සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීමට පවතින අවශ්‍යතාව හා විභවය ප්‍රදර්ශනය කරයි.

ධනවාදය යටතේ පවතින දැරිය නො හැකි ජීවන කොන්දේසිවලට එරෙහි ව, සෑම වර්ගයකට ම හා ජාතිකත්වයකට ම අයත් ලොව පුරා මිලියන ගනන් කම්කරුවෝ, පෙලපාලි, විරෝධතා හා වැඩ වර්ජනවල යෙදෙති. යුද්ධය නැවැත්වීමේ සහ ලෝකය විනාශ කිරීමට තර්ජනය කරන මූල්‍ය වංශාධිපතිත්වයේ අඛන්ඩ පාලනය අතින් පාලන බලය උදුරා ගැනීමේ බලය මෙම වැඩෙන ව්‍යාපාරය සතුව ඇත.

යුක්‍රේන යුද්ධයෙහි හා අධිරාජ්‍යවාදී සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස, අපාලිතව ඉහල යන ජීවන වියදම්වලට එරෙහි ව, ශ්‍රී ලංකාව, ඉරානය, දකුනු අප්‍රිකාව, පේරු රාජ්‍යය, ඉරාකය, වියට්නාමය, ආජන්ටිනාව, සුඩානය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය, තුර්කිය හා ෆින්ලන්තය තුල ද තවත් බොහෝ රටවල් තුල ද මහජන ව්‍යාපාර හෝ වැඩ වර්ජන රැලි වර්ධනය වෙමින් පවතී. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ප්‍රන්සය ඇතුලු යුද්ධය සඳහා කුමන්ත්‍රනය කල ආන්ඩු පවතින රටවල් තුල, බලගතු වැඩ වර්ජන ව්‍යාපාර ඉස්මතු වෙමින් තිබේ.

වර්ධනය වන මෙම ව්‍යාපාරයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය ය. ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමටත්, ධනපති ක්‍රමයේ අර්බුදයට විප්ලවීය සමාජවාදී විසඳුමක මූලෝපාය සාකච්ඡා කිරීමටත්, ඔන්ලයින් මැයි දින රැලිය ලොව පුරා කම්කරුවන් එකට එකතු කරනු ඇත.

මෙම තීරනාත්මක සිද්ධිය සඳහා ලියා පදිංචි වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලන අපි, සමාජ මාධ්‍ය මත හා ඔබේ සහෝදර කම්කරුවන් අතර එය පලල් ව දිරිමත් කරන ලෙස කැඳවුම් කරමු.

2022 ඔන්ලයින් මැයි දින රැලිය කරා පෙරට!

Loading