මැයි 4දා ගම්පහදී සසප සහ සසජාතශි විරෝධතා උද්ඝෝෂනයක්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ගම්පහදී විරෝධතා උද්ඝෝෂනයක් පවත්වනු ඇත. එහි ප්‍රධාන සටන් පාඨ වනු ඇත්තේ, “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු”, “ජාමූඅ කප්පාදු පියවර පරාජය කරනු” සහ “කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු” යන්නයි. ගම්පහ ශ්‍රී ලංකාවේ දෙවන වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කයයි.

කොලඹ, හැටන් සහ යාපනය නගරවල සසප විසින් මෑතදී සංවිධානය කරන ලද බලගතු විරෝධතා උද්ඝෝෂන වලින් පසුව, මැයි 4 වැනි බදාදා සlවස 4ට ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත මෙම උද්ඝෝෂනය පැවැත්වේ.

දෛනිකව සිදු කෙරෙන දීර්ඝ විදුලි කප්පාදු මෙන්ම, ඉන්ධන, ඖෂධ, සහ පිසින ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම හා ඒවායේ හිඟය සම්බන්ධයෙන් රට පුරා ක්‍රියාත්මක වන ආන්ඩු විරෝධී මහජන විරෝධතා නිසා රාජපක්ෂ ආන්ඩුව දෙදරා ගොස් ඇත. මෙම සමාජ අර්බුදය මඟින් කම්කරුවන්ගේ, තරුනයන්ගේ, ගොවීන්ගේ, ධීවරයන්ගේ, ස්වයං රැකියාලාභීන්ගේ සහ කුඩා පරිමාන ව්‍යාපාර හිමියන්ගේ ජීවිත විනාශ කර ඇත. 'ගෝඨා ගෙදර යනු' යැයි කියමින් උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ ජනාධිපති සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.

අප්‍රේල් 28දා සියලු ක්ෂේත්‍රයන්ට අයත් මිලියන සංඛ්‍යාත කම්කරුවන් රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා එක්දින මහා වැඩවර්ජනයකට සහභාගීවීමත් සමග ආන්ඩු විරෝධී මහජන නැගිටීම නව අදියරකට පිවිසියේ ය. මැයි 6 වනදා දීප ව්‍යාප්ත හර්තාලයක් (කුඩා ව්‍යාපාර ඇතුලුව පොදු වැඩ නතරකිරීමක් සමඟ වැඩ වර්ජනයක්) පැවැත්වීමට සැලසුම් කර ඇත.

අප්‍රේල් 28දා මහනුවර රෝහලෙන් පිටත බලමුලු ගැන්වී සිටින සෞඛ්‍ය කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

සසප රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමන ලෙසට කෙරෙන, මහජන විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමට සහාය දක්වන නමුත් තවත් ඉදිරියට යමින්, අනාගතයේ ඇතිවන ජාමූඅට ගැතිකම් කරන ඕනෑම අන්තර්වාර ආන්ඩුවකට විකල්පය ලෙස කම්කරු පන්තියට ස්වාධීන සමාජවාදී ඉදිරිදර්ශනයක් සම්පාදනය කරයි.

ධනේශ්වර පාලනය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම මෙයට ඇතුලත් වේ. රටතුල වර්ධනය වන කම්කරු පන්තියේ අරගලය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන පුලුල් අරගලයේ කොටසකි.

සියලු කම්කරුවන්, තරුනයින්, ගොවීන් සහ අනෙකුත් පීඩිත ස්ථරයන්ගෙන් සසප/සසජාතශි ඉල්ලා සිටින්නේ, ගම්පහ විරෝධතා උද්ඝෝෂනයට සහභාගී වන ලෙසත්, මෙම ඓතිහාසික සටන පෙරට ගෙන යාමට පක්ෂයට එක්වන ලෙසත් ය.

Loading