රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව ගම්පහ ක්‍රියාකාරී කමිටුව සහ සසප විරෝධතාවක් පවත්වයි

'රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන එනු!' යන තේමාව යටතේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි මැදිහත්වීමෙන් පිහිටුවන ලද ගම්පහ ක්‍රියාකාරී කමිටුව (ගක්‍රික), මැයි 4 වන දා, ගම්පහ නගර මධ්‍යයේ විරෝධතාවක් පැවැත්වූහ. සසප සහ ගක්‍රික සාමාජිකයන්ට අමතරව සසප හිතවතුන් ගනනාවක් ද එයට සහභාගි වී සිටියහ.

ගම්පහ ක්‍රියාකාරී කමිටුව (ගක්‍රික), මැයි 4 වන දා, ගම්පහ නගර මධ්‍යයේ පැවැත් වූ විරෝධතාව

ආහාර, ඉන්ධන හා ඖෂධ හිඟයෙන් මෙන්ම ඒවායේ ඉහල මිල ගනන් වලින් ද, දෛනිකව සිදු කෙරෙන දිගු විදුලි කප්පාදු වලින් ද දැඩිසේ පීඩා විඳින කම්කරු-පීඩිත මහජනතාව අතර ආන්ඩුවට එරෙහි ව වැඩී ඇති බලගතු විරෝධය, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් දෙසට යොමු කර ගැනීම සඳහා සසප ගෙන යන වැඩකටයුතුවල කොටසක් ලෙස, සසප සහ එහි මැදිහත්වීමෙන් පිහිටුවාගත් ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ ව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පවත්වන විරෝධතා මාලාවට ගම්පහ දී පැවති මෙම විරෝධතාව අයත්වේ. කොලඹ, හැටන්, මස්කෙලිය, අම්බලන්ගොඩ සහ යාපනය ආදී ප්‍රදේශයන්හි ද මෙවන් විරෝධතා පවත්වා ඇත.

පස්වරු 1.00 ට විරෝධතාව ආරම්භ කල සසප සහ ගක්‍රික සාමාජිකයෝ, 'ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු!' යන හිසින් අප්‍රේල් 07 දා සසප නිකුත් කල ප්‍රකාශයේ සිංහල සහ දෙමල පිටපත් 1,000 ක් පමන බෙදා හරිමින්, 'සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා' සසප ඉදිරිපත් කරන සමාජවාදී ක්‍රියා මාර්ගය, කම්කරුවන්, ගුරුවරුන්, වෘත්තිකයන්, සිසුන් සහ කුඩා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කලහ.

'රාජපක්ෂ ආන්ඩුව නෙරපා හරිනු! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ අනපනත් පරාජය කරනු! සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගමු!' ආදී සටන්පාඨ පුවරු රැගත් විරෝධතාකරුවෝ, විශාල ජනකායක් රැස්වන දුම්රිය ස්ථානය සහ ප්‍රධාන බස් නැවතුම්පොල වටා පා ගමනක යෙදුනු අතර අවසානයේදී රැලියක් පැවැත්වූහ.

විරෝධතාකරුවන්ගේ පාගමන

උද්ඝෝෂනයේදී හමු වූ කරාපිටිය රෝහලේ උපස්ථායකයෙකු වන හෙන්නායක, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වන විරෝධතාවලට සහය දක්වමින් මෙසේ කියා සිටියේ ය: 'අරගල සාධාරනයි, රාජපක්ෂ ආන්ඩුව යා යුතුමයි. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ ද වර්තමාන තත්වයට වගකිව යුතුයි. ...ජනතා විමුක්ති පෙරමුන විකල්පයක් යැයි මුලදී සිතුවත් රටේ නය අර්බුදයට ඔවුන්ගෙන් විසඳුමක් ලැබෙයි කියල මම හිතන්නෙ නෑ.'

මහජන නැගිටීම තුල වෘත්තීය සමිතිවල භූමිකාව විවේචනය කරමින් ඔහු මෙසේ කියා සිටියේ ය: 'වෘත්තීය සමිති ගැන කතා කරලා වැඩක් නෑ. අදට ඒවා ගැලපෙන්නේ නැහැ. ඒවා කම්කරුවන්ගේ අවශ්‍යතා අනුව වැඩ කරන්නේ නැහැ.' සියලු ශ්‍රේනිවල කම්කරුවන් එක්සත් කරමින් සසප විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවලට එකඟ වන අතර ම, සියලු කම්කරුවන් සඳහා 'පොදු වැඩපිලිවෙලක් තිබිය යුතු ය' යනුවෙන් පවසමින් ශ්‍රේනි මත පදනම්ව කම්කරුවන් බෙදීමට එරෙහිව ඔහු කතා කලේය.

ගම්පහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මධුශංඛ පැවසුවේ “ආන්ඩුව තවමත් ඉවත් වී නැති නිසා විරෝධතා ඵලදායක වේද?' යන්න පිලිබඳව ඔහුට සැක පහල වී ඇති බවයි. 'අන්තර්කාලීන ආන්ඩුවක් හැදුවත් බලයට එන්නේ එක ම දේශපාලකයො. අලුත් අය ආවත් මේ ක්‍රමය වෙනස්වෙයි කියල මම හිතන්නෙ නෑ. නිසි වැඩපිලිවෙලක් සහ නායකත්වයක් නැති නිසා විරෝධතා ක්‍රමයෙන් පහව යයි.'

කොටුගොඩ පදිංචි ගාල්ලගේ ගුනරත්න මෙසේ පැවසුවේ ය: “මම ඉපදුනේ උතුරු මැද පලාතේ පොලොන්නරුවේ. මම ගොවියෙකුගේ පුතෙක්. කාබනික පොහොරවලින් මේ ආන්ඩුව ගොවි ජනතාව විනාශ කලා. ඒ විතරක් නෙවෙයි, හැම ජීවන මාර්ගයක්ම අපිට අහිමි වුනා.'

“දැන් අපිට පාන්වත් කන්න බැහැ. ඒ තරමට බඩු මිල වැඩියි. මට කලින් ජවිපෙ ගැන විශ්වාසයක් තිබුනා. නමුත් දැන් මම ඔවුන්ගෙන් කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.'

'විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!' යන සසප ඉල්ලීමට ඔහු තම පූර්න සහයෝගය පල කලේ ය.

'සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු ගැන මට උනන්දුවක් තියෙනවා. මට ඒවා ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍යයි. රට පුරා සිටින ජනතාව මේ ආකාරයෙන් දැනුවත් කල යුතුයි.'

ත්‍රිරෝද රථ රියදුරෙකු වන ජූඩ් ප්‍රනාන්දු ජීවත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය ප්‍රදේශයේය. පානීය ජලය ඉල්ලා 2013 වසරේ වැලිවේරිය ජනතාව සිදුකල විරෝධතාවක දී පොලිස් වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා ඇත.

'ගිය මාසෙ රඹුක්කන විරෝධතාවයක දි චමින්ද ලක්ෂාන් මියගියේ ජනාධිපති විධායක බලතල යොදා ගනිමින් සිදු කරන ලද පොලිස් වෙඩි තැබීමකින්.'

'මහින්ද රාජපක්ෂ ආන්ඩුව, 2013 අගෝස්තු 01 වැනිදා, වැලිවේරියේදී පානීය ජලය ඉල්ලල අපි කල උද්ඝෝෂනයට වෙඩි තියල තුන්දෙනෙක් මරල දැමිමා. මම ඒ සිද්ධිය ඇසින් දුටුවා. අපිට වෙඩි තියන්න ආන්ඩුව නියෝග කලා. මේ විදියෙ වෙඩිතැබීම් මගින් ජනතාව මර්දනය කරන්නෙ විධායක ජනාධිපති බලතල යොදාගෙන.'

'වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් සමාජවාදී සමානතා පක්ෂය පවත්වපු ස්වාධීන කම්කරු පරීක්ෂනයෙන් සමාජවාදී ප්‍රතිපත්ති යටතේ අප සංවිධානය විය යුතු බව අපි ඉගෙන ගත්තා, අද එය සක් සුදක් සේ පැහැදිලියි.'

වානේ ආනයන සමාගමක විකුනුම් කලමනාකරුවෙකු වන නානායක්කාර මෙසේ කීවේය: 'අපිට ඕන පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම ගෙදර යවන්න. පාර්ලිමේන්තුවට එන ඕනෑම කෙනෙක් කරන්නේ රාජපක්ෂලා කරපු දේ. සජිත් ප්‍රේමදාස කලින් රාජ්‍ය පාලනයට සම්බන්ධයි. ඔහු කල දේ හැමෝම දන්නවා. මට ඔහු ගැන විශ්වාසයක් නෑ.'

“අනුර (ජවිපෙ නායක) කතා කරන්නේ ධනේශ්වර සන්ධානයක් හදන්න. ඔහු තවත් ධනපති පක්ෂයක් නියෝජනය කරන බව දැන් හෙලි වෙනවා.'

'මේ පක්ෂ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට සහය දෙනවා. ගෝල්ෆේස් නායකයොත් ජාමූඅට යන එක ගැන කතා කරන්නේ නැහැ. ජාමූඅ අනිවාර්යයෙන් අධ්‍යාපන විදුලිය හා ජල සැපයුම පෞද්ගලීකරනය කරන්න යෝජනා කරනවා. වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කරනු ඇති. ඒ නිසා වෙනත් බදු ද පැනවිය හැකි යි. මම හිතන්නේ අපි මෙයින් [ජාමූඅ නියෝග වලින්] ඉවත් විය යුතුයි කියලා.'

'ඔබ පැහැදිලි කල ආකාරයට, ධනපති පක්ෂවලින් කම්කරුවන්ට විසඳුමක් නැති නිසා ප්‍රශ්න විසඳා ගැනීමට කම්කරුවන් එක්විය යුතු බව මට වැටහෙනවා.'

උද්ඝෝෂනය අවසානයේදී පැවැත්වූ රැලියේදී සසප දේශපාලන මන්ඩල සභික විලානි පීරිස් සහ සසප/ගක්‍රික සාමාජිකයෙකු වන ඩී.ඒ.අංජන රැලිය ඇමතූහ.

සසප/ගක්‍රික සාමාජිකයෙකු වන ඩී.ඒ.අංජන රැලිය අමතමින්

විරෝධතාවයට සහභාගි වූවන්ට ස්තුති කරමින් අංජන රැස්වීම ආරම්භ කලේ මෙසේ ය: 'වර්තමාන විරෝධතාවලට කම්කරු පන්ති නායකත්වයක් නොමැතිව විශාල රික්තකයක් පවතී. දරාගත නොහැකි ජීවන තත්වයන් නිසා මහජනතාව විරෝධතා දක්වන නමුත් අවසානයේ ගැටලු විසඳිය යුත්තේ කම්කරු පන්තිය යි.'

අනතුරුව කතාකල විලානි පීරිස් මෙසේ පැවසුවා ය: 'රාජපක්ෂ ආන්ඩුව ඉවත් කිරීමට ජනතාව ගෙන යන විරෝධතා ව්‍යාපාරයට අපි සහය දෙනවා. නමුත් රාජපක්ෂ ඉවත් කිරීමෙන් පස්සේ මොකද වෙන්නේ? විරුද්ධ පක්ෂ සියල්ලම අන්තර්වාර ආන්ඩුවක් හෝ ජාතික ආන්ඩුවක් පිහිටුවන ලෙස යෝජනා කරනවා.'

සසප දේශපාලන මන්ඩල සභික විලානි පීරිස් රැලිය අමතමින්

ගෝල්ෆේස් විරෝධතාවයට නායකත්වය දෙන මධ්‍යම පන්තික නඩයේ ප්‍රධාන දෘෂ්ටි සම්පාදකයෙකු වන වන පැතුම් කර්නර් ගේ යෝජනාවන්හි අන්ත ප්‍රතිගාමිත්වය පීරිස් පැහැදිලි කලාය: 'කර්නර් යෝජනා කරන්නේ මුලු 225 ම [මන්ත්‍රීවරුන්] ඉවත් කිරීමට ඔහු විරුද්ධ බවයි. ඔහු, සරත් ෆොන්සේකා [හිටපු හමුදා ජෙනරාල්], අනුර කුමාර දිසානායක [ධනේශ්වර නායක - ජනතා විමුක්ති පෙරමුන] චම්පික රනවක සහ හර්ෂ ද සිල්වා [දෙදෙනාම සමගි ජන බලවේගයේ සාමාජිකයන්] වැනි පුද්ගලයින් 4 දෙනෙකු නම් කරනවා තාවකාලික ආන්ඩුවේ ප්‍රධානියා හැටියට. ඔවුන් හැමකෙනාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් ආර්ථික අර්බුදයෙ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට බලා සිටින්නවුන්.'

කුමන ධනේශ්වර ආන්ඩුවක් බලයට පැමිනිය ද මහජනතාව මුහුනදෙන ප්‍රශ්න තව තවත් උග්‍ර වන බව ඇය පෙන්වා දුන්නා ය: 'ලෝක මහජනතාව මුහුන දී සිටින්නෙ ධනපති ක්‍රමයේ පද්ධතිගත බිඳ වැටීමකට. කොවිඩ්-19 වසංගතයත් සමඟ පැමිනි රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය හේතුවෙන් තත්වය තවත් නරක අතට හරවල තියෙනව. වසංගතය සහ යුද්ධය නිසා සැපයුම් දාමයන් බිඳ වැටී ආහාර සහ ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩයන්හි දැවැන්ත හිගයක් ලොවපුරා නිර්මානය වෙලා. එහි ප්‍රතිඵලය අඛන්ඩ මිල ඉහල යාමක් ලෙස ප්‍රකාශයට පත් වෙනව.'

කම්කරු පන්තිය පෙරට පැමින වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි සටන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ඉදිරියට ගෙන යා යුතු බවත්, එමගින් රාජපක්ෂ ආන්ඩුව පෙරලා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන එමින් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමිය යුතු බවත් පීරිස් පෙන්වා දුන්නා ය.

Loading