නවකවදයට මුවා වී විශ්වවිද්‍යාල තුල මර්දනය උත්සන්න කිරීමේ ආන්ඩුවේ උත්සාහය පරාජය කරනු

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මත රාජ්‍ය මර්දනය රුදුරුම මට්ටම් වලට ඉහල නැංවීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ “නවකවදය” හා සම්බන්ධ සිසු ගැටුමක් ඩැහැගෙන තිබේ.

“ආන්ඩුවේ නවකවදය මැඩීමේ” මෙහෙයුමේ සහායට කැඳවා ඇති විශ්වවිද්‍යාල පරිපාලනය සහ ධනපති මාධ්‍ය දිනපතා පුවත් මවමින් හා සාකච්ඡා පවත්වමින් “නවකවදය මුලිනුපුටා දැමීම සඳහා” නීති දැඩිකල යුතු බවට උද්ඝෝෂනයේ යෙදී සිටිති. ඒ සඳහා ඔවුහු නවකවදය විශ්වවිද්‍යාල ප්‍රජාව හා රටේ තරුන ජනායා මුහුන දෙන ප්‍රධාන ගැටලුව ලෙස හුවා දක්වති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), නවකවදය දඩමීමා කර ගෙන ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන මර්දන පියවරයන්ට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා සමාජමය අයිතීන් සුරක්ෂිත කිරීමට කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන් අතර අප්‍රතිහතව සටන් වඳී.

ආන්ඩුව උත්සුක වන්නේ 'නවක වදය' ගැන නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු මගින් තවදුරටත් විනාශභාග් කෙරෙන මහජන අධ්‍යාපනය හා ජීවන කොන්දේසිවලට එරෙහිව පැන නගිමින් පවතින ශිෂ්‍ය සටන් තලා දමන්නේ කෙසේද යන්න ගැනයි. ආන්ඩුවේ කප්පාදු වලට එරෙහිව ඇවිලෙමින් පවතින කම්කරු පන්තියේ හා ගම්බද පීඩිත ජනයාගේ අරගල සමග එම ශිෂ්‍ය සටන් ඒකාග්‍රවනු ඇතැයි ආන්ඩුව ගනන් බලයි.

ආන්ඩුව උත්සන්න කර ඇති ශිෂ්‍ය මර්දනයේ කොටසක් ලෙස, පසුගිය මාසවල ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කල මහජන නැගිටීම්වලට සම්බන්ධ වූ, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අවිශිබම තවත් ක්‍රියාකාරිකයෙකු “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරමින් තිබේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධව මේ මස මුල පැවති පාර්ලිමේන්තු “විවාදය“, ආන්ඩුවේ එල්ලය දඩයම තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා “නවකවදය” ගසාකෑම බව පැහැදිලිව පෙන්නුම් කලේ ය. එහි දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්, “ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජන, මැරබලය හා පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත්මක කරන” බවට අභූත ප්‍රකාශයක් කලේ ය.

සාකච්ඡාවට සහභාගි වූ තවත් ඇමතිරයෙකු වන ප්‍රසන්න රනතුංග, මහජන නැගිටීම සමයේ දේශපාලනඥයන්ගේ “ගෙවල් ගිනි තැබූවේ අවිශිබම ක්‍රියාකාරීන්” බවට, කිසිදු සාක්ෂියකින් තොරව ම චෝදනා නැගුවේ ය. දින 90ක රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන මුදලිගේට බොරු චෝදනා පැටවීමේ එල්ලයෙන් රාත්‍රි කාලයේ දී ගිනිතැබූ නිවෙස්වලට හිස වසා රැගෙන යන බව ඔහුගේ සහෝදරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

“නවකවද පනතෙහි” රෙගුලාසි තදින්ම ක්‍රියාවට නැගිය යුතු යයි පවසමින් විශ්වවිද්‍යාල පරිපාලනය ආන්ඩුවේ මර්දනයට බැකිම දී ඇත. නවකවදයට සම්බන්ධ “අපරාධකරුවන්ට, කිසිදු සමාවක් ආරක්ෂාවක් නැතැ” යි, මේ මස 14 දා රැස්වූ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව ප්‍රකාශයක් නිකුත් කලේ ය.

1998 දී නවකවද පනත සම්මත කර ගැනුනේ අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසු අරගල මැඩීමට හා සරසවි තුල දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කිරීමට ය. 2010 දී යලි බලාත්මක කල එම පනත, ශිෂ්‍යයන්ට තම අයිතීන් වෙනුවෙන් ඒකාබද්ධ වීම, රැස්වීම පැවැත්වීම හා පත්‍රිකා බෙදීම ඇතුලු සිසුන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්වලට එරෙහි විසකුරු නීතිවලින් සමන්විත වෙයි. නවකවදය පැනවීම සම්බන්ධව “වරදකරු” වුවහොත් වසර දහයක් දක්වා උපරිම කාලයකට සිරගත කල හැකි ය.

පේරාදෙනිය සිසු ගැටුමෙන් පසු, නවකවදයට විරුද්ධ යයි කියන සිසුන් පිරිසක් සහ ශාස්ත්‍ර පීඨයේ අධිපති ප්‍රභාත් ඒකනායක පොලිසියට ගොස් කල පැමිනිල්ලකින් පසු ශිෂ්‍යයන් 3 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පොලිස් පරීක්ෂන සිදු කෙරෙමින් පවතී. තවත් ශිෂ්‍යයන් 11 ගේ පන්ති තහනම් කර ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ද දින නියමකින් තොරව නවතා දමා තිබේ.

මීට අමතරව රුහුනු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නවක සිසුන් පිලිගැනීමේ උත්සවකයක් සඳහා මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් දෙවන වසරේ සිසුන් 263 ගේ පන්ති තහනම් කිරීමට එහි උපකුලපති සුජීව අමරසේන පියවර ගෙන තිබේ. අරඹා ඇති විමර්ශන වලදී නවක වදය දී ඇති බවට තහවුරු වන සිසුන් විශ්වවිද්‍යාලයෙන් නෙරපීමට ද පසුබට නො වන බව අමරසේන සඳහන් කරයි.

නවකවදය මැඩීමේ කඩතුරාව යටතේ ම, ශිෂ්‍යයන් සහ අනධ්‍යන සේවකයන් ලෙස වෙස්වලා ගත් “බුද්ධි අංශ” නිලධාරීන් විශ්වවිද්‍යාල තුල යොදවා ඇති බව පසුගිය වසරේ දී පේරාදෙනිය හා රුහුනු විශ්වවිද්‍යාලවල පරිපාලනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනි.

වික්‍රමසිංහ ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහිව ගෙනයන මෙම රුදුරු මර්දනය, කම්කරු පන්තිය මත දිගේලි කරමින් යන රාජ්‍ය මර්දනයේ කොටසකි. වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත් වීමත් සමගම පොලිසිය හා මිලිටරිය මත වාරු වී මර්දන හස්තය තීව්‍ර කලේ විරෝධතාකරුවන් “ෆැසිස්ට්වාදීන්” ලෙස හෙලා දකිමිනි. ගත වූ මාස කිහිපය තුල පොලිසිය රටපුරා අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව 3,000 ට අධිකය.

බදු බර පටවා ජීවන වියදම ඉහල දැමීමට, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනයට, වැටුප් නො ගෙවීමට හා දීමනා කප්පාදුව ඇතුලු ජාමූඅ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ සටන් යලි වර්ධනය වන තත්වයේ දී ආන්ඩුව පසුගිය මාසය තුල නව මර්දන අන පනත් කිහිපයක් පෙරට දමා තිබේ.

සැප්තැම්බර් 23 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල “පුනරුත්ථාපන කාර්යාංශ පනතට” අනුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කරන දේශපාලන පක්ෂ හෝ කන්ඩායම්වල ඕනෑම පුද්ගලයෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිරගත කල හැකි වේ. ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත තවත් ප්‍රහාරයක් එල්ල කරමින් සැප්තැම්බර් 27 දා රාජ්‍ය අංශයේ සේවකයන් හට සමාජ මාධ්‍ය භාවිතයට සීමා පනවමින් චක්‍රලේඛයක් එලිදැක්වී ය. ඒ යටතේ තම සේවා ගැටලු හෝ වෙනත් ගැටලු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීම ඇතුලු දේශපාලන අදහස් පල කිරීමට රාජ්‍ය සේවකයන්ට වැට බැඳ තිබේ.

ගෝලීය වසංගතයෙන් හා යුක්ක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් විසින් ගෙන යන යුද්ධයෙන් ආහාර හා ඉන්ධන මිල ගනන් ඉහල යෑම කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පන්ති සටන් අවුලුවා තිබේ. ඒ තත්වය තුල ආඥාදායක ෆැසිස්ට් පාලනයන් වෙත පාලක පන්තීන්ගේ යන වේගවත් මාරුව ජාත්‍යන්තර ප්‍රපංචයකි.

නවකවදය හා සම්බන්ධ සුලු සිද්ධීන් විනාශකාරී යයි උලුප්පා පෙන්වන සංස්ථාපිත මාධ්‍ය, ආන්ඩුව ක්‍රියාවට නගමින් සිටින ජාමූඅ රුදුරු කප්පාදු වැඩපිලිවෙල මගින් ශිෂ්‍යයන්ට එල්ල කෙරෙමින් පවතින ප්‍රහාර මුලුමනින්ම යටපත් කරයි.

ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩමිල ගනන්, ප්‍රවාහන වියදම් ඉහල යෑම හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ජීවන කොන්දේසි වඩාත් දුෂ්කර වී තිබේ. ඔවුන්ගෙන් බහුතරයකට රජයේ නේවාසිකාගාර පහසුකම් හිමි නොවේ. නිසි කලට නො ලැබෙන රුපියල් 5,000 ක සොච්චම් ශිෂ්‍යාධාරය ජීවන වියදම හා සැසඳීමේ දී ආධාරයක් වන්නේ නැත. තම වියදම් ආවරනය කර ගැනීම සඳහා දරුනු සූරාකෑමක් සහිත අමතර රැකියාවල නිරත සිසුන් හට තම අධ්‍යයන කටයුතු සහ වෙනත් සංස්කෘතික කටයුතුවල නිරත වීමේ කාලය අහිමි කර තිබේ. නිදහස් අධ්‍යාපනය වේගයෙන් කප්පාදු කරන අතරේ අධ්‍යාපන පෞද්ගලීකරනය වේගවත් කෙරෙමින් ඇත. ශිෂ්‍යයන් සටන්කාමී වී ඇත්තේ මෙම ඉහිලුම් නො දෙන කොන්දේසිවලට එරෙහිවයි.

බරපතල ප්‍රශ්නය වන්නේ ශිෂ්‍යයන් කවර ඉදිරිදර්ශනයක් මත සටන් කල යුතු ද ? යන්නයි. ශිෂ්‍යන්ගේ හා තරුනයන්ගේ සටන්කාමීත්වය ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීම තුල සිර කිරීමටත්, එසේත් නැත්නම් වෙනත් ධනපති පක්ෂ පිටුපස ගාල් කිරීමටත්, අවිශිබමය හා පෙසප ක්‍රියාත්මක වී සිටින්නේ, ධනපති ක්‍රමයේ ආරක්ෂක උපකරනයක් ලෙසයි.

පසුගිය මහජන අරගල තුල දී අවිශිබම, පෙසප, ගෝල්ෆේස් අරගලකරුවන් හා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩ කලේ, විපක්ෂ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් තොරොම්බල් කල, ඊනියා අන්තර් කාලීන, සර්ව-පාක්ෂික ආන්ඩු යෝජනා පිටුපස මහජන විරුද්ධත්වය ගාල් කිරීමටයි.

වික්‍රමසිංහ බලයට පැන ගත්තේ, ධනේෂ්වර පාර්ලිමේන්තු පද්ධතිය, අධිකරනය හා මිලිටරිය පිලිබඳව මාරක මිත්‍යාවන් වගාදිගා කල මෙම සංවිධානවල ධනපති ගැති දේශපාලනයේ ඍජු ආධාරයෙනි.

පීටීඒ අහෝසි කර අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා පෙසප හා අවිශිබමය පසුගිය දා අධිරාජ්‍යවාදී රටවල තානාපති කාර්යාල තුලට මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යුඑන්එච්ආර්සී) දක්වා බඩගෑම යලි පෙන්වා ඇත්තේ මෙම සංවිධාන අධිරාජ්‍යවාදී පද්ධතියට කොතරම් නම් බැඳී සිටිනවා ද යන්නයි.

අවිශිබමයේ ක්‍රියාකාරිකයෙකු වන උදේනිගම ගුනරතන භික්ෂුව මේ මස 06 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී නවකවදය සම්බන්ධව අවිශිබමයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ නවකවදය හා සම්බන්ධ සිසුන් නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමට සහයෝගය ලබා දෙන බවයි. මෙය මුලුමනින්ම ආන්ඩුවේ මර්දනයට සිසුන් නිරාවරනය කිරීමකි.

අවිශිබමය හා ඊට අනුබද්ධ ශිෂ්‍ය සංගම් නවකවදය යොදා ගන්නේ ධනපති ක්‍රමයේ ප්‍රහාර පරාජය කල හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙතින් ශිෂ්‍යයන් විතැන් කොට ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනයට නවක සිසුන් “ගොනු කර ගැනීම” සඳහා ය. ජවිපෙ යටතේ මෙහෙය වන අවධියේ සිට ම අවිශිබමයේ මෙම ප්‍රතිගාමී දේශපාලනය සේවය කර ඇත්තේ ධනපති ආන්ඩුවල මර්දනයට දොර විවර කර දීමටයි.

අවිශිබමයේ පමනක් නොව නවකවදය මැඩීමේ නමින් ආන්ඩුවේ මර්දනය සමග පෙලගැසී සිටින ධනපති ගැති ශිෂ්‍ය සංවිධානවල දේශපාලනය ප්‍රතික්ෂේප කරන ලෙස සසජාතශි ඉල්ලා සිටියි.

විවිධ සමාජ පන්ති ස්ථරවලින් පැමිනෙන ශිෂ්‍යයන් නවකවදය මගින් පොදු අරමුනකට “ගොනු කිරීම” සිදුවේය යන අවිශිබමයේ තර්කය මුලුමනින්ම ප්‍රතිගාමී ය. අනෙක් අතින්, නවකවදය අවසන් කිරීමේ එකම ප්‍රගතිශීලි මාවත වන්නේ, ආන්ඩුවේ හා විශ්වවිද්‍යාල පරිපාලනයේ මර්දන යාන්ත්‍රනය සමග පෙල ගැසීම නොව, ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව කම්කරු පන්තියේ නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලට සටන් වැදීමයි.

වික්‍රමසිංහ ආන්ඩුවේ ආඥාදායක පියවරයන් හා කප්පාදු වැඩපිලිවෙල, ලෝක ධනේෂ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බූදයේ ප්‍රතිඵලයක් වන හෙයින් ඒවා ධනපති ආන්ඩුවලට හා යුඑන්එච්ආර්සී වැනි අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවලට කන්නලව් කිරීමෙන් පරාජය කල නො හැක. රාජ්‍ය මර්දනය පරාජය කොට අධ්‍යාපන අයිතිය හා රැකියා අයිතිය තහවුරු කිරීමේ අරගලය ලාභ ගරන ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ලකර ගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක කල යුතු ය. තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අවිශිබමයේ වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නගන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම එකම විකල්පයයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, අනධ්‍යන සේවකයන් හා ආචාර්යවරුන් සමග ඒකාබද්ධව ආන්ඩුවේ මර්දනයට එරෙහිව පහත ඉල්ලීම් වෙනුවෙන් සටන් වැඳිය යුතු ය.

• අත්අඩංගුවට ගත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !

• ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා නවකවද පනත අහෝසි කරනු !

• ආන්ඩුවේ ඔත්තුකරුවන් විශ්වවිද්‍යාල තුලින් ඉවත් කරනු!

• ශිෂ්‍යයන් සතු දේශපාලනය කිරීමේ අයිතියට අත නොතබනු!

සෑම විශ්වවිද්‍යාලයකම සසජාතශී ශාඛා පිහිටුවීමටත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමටත් මූලිකත්වය ගනිමින් සසජාතශි හා සසප සමග ඒකාබද්ධ වන්නැයි අපි ශිෂ්‍යයන්ට හා කම්කරුවන්ට කැඳවුම් කර සිටිමු.

Loading