ඛනිජ තෙල් සේවකයින්ට රැකියා ස්ථාන තුල රැස්වීම් තහනම් කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරය විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයක් මගින්, එහි සේවකයින්ට තම සේවා ස්ථානය තුල රැස්වීමේ අයිතියට තහංචි පනවා ඇත. මෙය, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) ආන්ඩුව විසින් එල්ල කරමින් පවත්නා ප්‍රහාර හමුවේ, අරගලයට පිවිසෙමින් සිටින කම්කරුවන්ට එරෙහිව ගෙනයන රාජ්‍ය මර්දනයේ ඉදිරි පියවරකි.

පසුගිය 24 දා ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කලේය: “මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුල සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කලමනාකාරවරයා විසින් නියම කර තිබේ.” එම වාර්තාවට අනුව, “සාමූහිකව හා කුඩා කන්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වේ නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු” වෙයි.

“රාජකාරියට බාධා කිරීම” යන කඩතුරාව යටතේ, කම්කරු විරෝධතාවන්ට එරෙහිව පොලීසිය සහ මිලිටරිය මැදිහත් කිරීමටත්, ක්‍රියාකාරී කම්කරුවන් දඩයම් කිරීමටත් පසුබිම සකස් කිරීම මෙම “චක්‍රලේඛයේ” අරමුනයි. චක්‍රලේඛයේ එන පහත වගන්තියෙන් එය වඩාත්ම පැහැදිලි වෙයි: “හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එය පාලනය කල නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව පවත්වා ගත යුතු වෙයි.”

2022 අගෝස්තු 22 දින කොලඹ දී ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතා පාගමන [ඡායාරූපය: ලෝසවෙඅ]

මෙම නියෝගය පැමිනෙන්නේ, ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම 'අත්‍යවශ්‍ය සේවාවක්” බවට පත්කොට ඇති තත්වයකදීය. විෂඝෝර අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව, ඕනෑම පුද්ගලයෙකු, “ශාරීරික ක්‍රියාවකින් හෝ කිසියම් කථාවකින් හෝ ලේඛනයකින්” රැකියාවට නොපැමිනීම සඳහා “වෙනත් ඕනෑම පුද්ගලයෙකු උසිගැන්වීම, පොලඹවීම හෝ දිරිමත් කිරීම” වරදකි. මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසුව, යම් කම්කරුවෙකු වරදකරු බවට පත්වුවහොත්, වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්වලට” සහ/හෝ රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයකට හෝ ඒ දෙකටම මුහුන දීමට ඔහුට හෝ ඇයට සිදුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විධානය කරනු ලබන රුදුරු කප්පාදු වැඩසටහනේ කොටසක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරනයට තීන්දු කර ඇත. තෙල් සංස්ථාවේ කම්කරුවෝ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ දඬුවම් කරන බවට ආන්ඩුව කල තර්ජන නොතකා, මෙම පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව, ඔක්තෝබර්18 දා වැඩ වර්ජනයක නිරත වූහ.

මෙම කාර්මික ක්‍රියාවට තාක්ෂනික කම්කරුවන්, ලිපිකරුවන්, විධායක නිලධාරීන් හා ඉංජිනේරුවන් ඇතුලු විවිධ මට්ටම්වල කම්කරුවෝ 4,000ක් පමන සහභාගි වූ හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කොලොන්නාව බෙදා හැරීමේ මධ්‍යස්ථානය, මුතුරාජවෙල ගබඩා සංකීර්නය සහ සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය ඇතුලු සියලු කම්හල්වල වැඩකටයුතු ඇන හිටිනි. අගනුවර පාර්ලිමේන්තු වටරවුම අසල දී, කම්කරුවන් සිය ගනනක් විරෝධතාවේ යෙදුනාහ.

එහෙත් ආන්ඩුවේ තර්ජනයන්ට හිස නැමූ වෘත්තීය සමිති 18 දා දහවල් වන විට කාර්මික ක්‍රියාව අත්හිටවූයේ, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත එදිනම පාර්ලිමේන්තුවේදී සම්මත වීමට ඉඩ හරිමිනි. එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලැබුනි. මේ අනුව, ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීම සඳහා දැනට බලපත්‍ර හිමි, ඛනිජතෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව වෙනත් පාර්ශ්ව සඳහා ද ඉදිරියේදී බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත.

කලින් ඉදිරිපත් කෙරුනු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස) විසින් ගොනුකල පෙත්සමක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, කෙටුම්පතේ “ඇතැම් වගන්ති” පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරනයකින් සම්මත කලයුතු බව නිර්දේශ කලේය. ඔක්තෝබර් 18 දා සම්මත කෙරුනේ, අදාල පුද්ගලීකරන ක්‍රියාදාමයට කවර හෝ බාධාවක් නොවන පරිදි එම “ඇතැම් වගන්ති” සීරුමාරු කරන ලද පනත් කෙටුම් පතකි.

අවසානයේදී සිදුවූයේ, මෙම “ඇතැම් වගන්ති” වෙනත් ආකාරයකින් ඇතුලත් කෙරුනු සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වීමයි. ඒ අනුව, “ජනමත විචාරනය” කුනුකූඩයට වීසි විය.

කෙසේවෙතත් තම අභිමතය ප්‍රකාශ කරමින් විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර පෙරාතුව පවසා තිබුනේ “කවුරු විරුද්ධ වුනත් ලංවිම සහ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කරන” බවයි.

පුද්ගලීකරන තර්ජනයටම මුහුන දී සිටින ලංකා විදුලිබල මන්ඩලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතනවල කම්කරුවන් සමග ඛනිජතෙල් කම්කරුවන් ඒකාබද්ධ කෙරුනු අරගලයක් වලකාලනු පිනිස, ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවට පීඩනය යෙදීමේ නිස්සාර විරෝධතාවන්වල සහ අධිකරන ක්‍රියාදාමයන්හි කම්කරුවන් කොටු කලහ.

ශ්‍රීලනිසේස, ජවිපෙට අනුබද්ධිත ඛනිජ තෙල් පොදු සේවක සංගමය (පොදු සේවක සංගමය), ශ්‍රීලපොපෙ ට අනුබද්ධිත ප්‍රගතිශීලී සේවක සංගමය සහ සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික සේවක සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති හලාවත, මුන්නේෂ්වරම දේවාලය සහ හික්කඩුවේ සීනිගම දේවාලය යන ස්ථානවල සැප්තැම්බර් 20 දා දේව පූජාවන් සහ පොල් ගැසීම් මගින් දේව කන්නලව් පැවැත්වූහ.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක්, ධනපති පාලක පංතිය සමග සෘජුව අභිමුඛ වන බව දන්නා, වෘත්තීය සමිති එවන් අරගලයක් වැලැක්වීමට සෑම පියවරක්ම ගනිති.

අප්‍රේල් 28, මැයි 6 සහ 11 දිනවල දිවයින අලලාගත් මහ වැඩවර්ජනවලට ඛනිජ තෙල් කම්කරුවන්ද, මිලියන ගනනක් සෙසු කම්කරුවන් සහ පීඩිතයින් ද සහභාගි වූයේ එවන් ඒකාබද්ධ අරගලයක විභවය ප්‍රකාශයට පත් කරමිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මැයි 09 දා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමටත්, ජූලි 13දා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට රටින් පලාගොස් තම ධුරයෙන් ඉල්ලා අස්වීමටත් සිදුවිය.

කම්කරු පංතිය සතු මෙම දැවැන්ත විභවය, සමස්ත ධනපති ක්‍රමයට එරෙහි වූ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලින් මුදා හැරීම වලක්වා ලූ වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම්, විපාර්ශවික සමගි ජන බලවේගය හා ජවිපෙ විසින් තොරොම්බල් කෙරුනු ධනපති අන්තර්-වාර පාලන තන්ත්‍රයක් සඳහා ඉල්ලීම් පිටුපස එම මහජන විරෝධය ගාල් කලහ. එහි ප්‍රතිඵලය වූයේ, වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ තන්ත්‍රය හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාර වඩාත් නිර්දය ආකාරයට ඉදිරියට ගෙන යාමයි.

18 දා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, වෘත්තීය සමිති විසින් තමන් පාවා දුන් බවට ඇතිවූ කලකිරීම මත, ප්‍රගතිශීලී සේවක සංගමයෙන් සහ ශ්‍රීලනිසේස යෙන් ඉවත් වෙමින් සිටින කම්කරුවන්, දේශපාලනයෙන් තොර වෘත්තීය සමිති ගොඩ නැගීමට උත්සාහ දරමින් සිටින බව ඛනිජ තෙල් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය.

මෙම තත්වය මැද ජවිපෙ සමිතිය, එහි නායක වසන්ත සමරසිංහ කැඳවා, ඔක්තෝබර් 19 දා රැස්වීමක් පවත්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පසුව ඛනිජතෙල් සංස්ථාව, විදුලිබල මන්ඩලය, ජල සම්පත් මන්ඩලය, වරාය ආන්ඩුව පවරා ගන්නා බවයි.

සමරසිංහගේ පෞද්ගලීකරන විරෝධය ව්‍යාජයකි. තම පක්ෂයට අනුබද්ධිත විශාලතම වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල් වරක් පුවත්පතකට කියා තිබුනේ, “රටේ වත්මන් තත්ත්වයට ගැල පෙන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීම කල යුතු බැවින් ඊට එකඟ වන නමුත් එය පුද්ගලීකරනය කිරීම අරමුනු කර නොගත යුතුයි” යනුවෙනි. “ප්‍රතිව්‍යුහගත කිරීමේ” ක්‍රියාදාමය වනාහී පුද්ගලීකරනයේ පලමු පියවරයි.

සමරසිංහ කම්කරුවන්ට උපදෙස් දෙන්නේ තමන්ගේ ආන්ඩුව එනතුරු අක්‍රියව කප්පාදු පිලිවෙත්වල ගොදුරු බවට පත් විය යුතු බවයි.

සමිති නායකයින් විසින් ආයතන මට්ටමින් සේවකයින් බෙදා වෙන් කරන ආකාරය පැහැදිලි කරමින් ඛනිජ තෙල් කම්කරුවා මෙසේ පැවසුවේය: “වරාය විකුනන වෙලාවේ නිහඬ වෙලා හිටිය. [ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති] සහය දුන්නෙ නැහැ. වරායට උනත් එකයි, වෝට බෝඩ් එකට උනනත් එකයි. විදුලිබල මන්ඩලේටත් එකයි. අපට උනත් එකයි. මොනවහරි ප්‍රශ්නයක් උනොත් එකට එකතු වෙන්න ඕනා. එහෙම නොවෙන වැඩපිලිවෙලක් තමයි මෙතන තියෙන්නෙ. ජවිපෙත් කරන්නෙ ඒකම වෙන්න ඇති.”

වෘත්තීය සමිති වල පාවාදීමේ ඉහත ජීවමාන අත්දැකීම් ඇති ඛනිජ තෙල්, විදුලිබල, වරාය සහ ජලසම්පත් ඇතුලු සියලු රාජ්‍ය සහ පුද්ගලික ක්ෂේත්‍රයන්හි කම්කරුවන්, එම සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, සමාජවාදී පිලිවෙත් සඳහා ඒකාබද්ධව සටන් වැදිය යුතුය. එයින් තොර ව, ශිෂ්ට සම්පන්න රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි සඳහා වන තම අයිතීන් ආරක්ෂා කරගත නොහැක.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වදින, කම්කරු පංතික නායකත්වයෙන් යුත් සමාජවාදී මහජන ව්‍යාපාරයකට පදනම දැමීමට, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගේ හා ගම්බද පීඩිතයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයකට උද්ඝෝෂනය කරයි.

Loading