ඉන්දියානු සාගරයේ ගැටුම් ඇතිවීමේ අවදානම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති ඉඟි කරයි

[මෙය Sri Lankan president hints at dangers of conflict in Indian Ocean යන මැයෙන් 2022 ‌දෙසැම්බර් 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව ආදී සහචරයින් සහ කලාපයේ එහි ප්‍රධාන මූලෝපායික හවුල්කරුවා වන ඉන්දියාව සමග එක්ව, ඉන්දු-පැසිෆික් කලාපය තුල චීනයට එරෙහිව මෙහෙයවනු ලබන ගැටුම සමග ශ්‍රී ලංකාව වඩාත් පූර්න ලෙස පෙලගස්වා ගැනීම සඳහා කොලඹ තන්ත්‍රය මත යෙදෙන පීඩනය තීව්‍ර වෙමින් පවතී.

මෙම උද්ඝෝෂනය ඉදිරියට ගෙන යාම සඳහා පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකා ආන්ඩුවේ නායකයින් සමඟ එක්සත් ජනපදයේ සහ ඉන්දීය ඉහල නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇත. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ (යූඑස්ඒඅයිඩී) ප්‍රධානී සමන්තා පවර්, ශ්‍රී ලංකාව සමඟ වඩාත් ශක්තිමත් මූලෝපායික සබඳතා ගොඩනගා ගැනීමේ බලාපොරොත්තුවෙන්, සොච්චම් ආධාරයක් ලබා දීම සඳහා සැප්තැම්බර් මැද කොලඹට පැමිනියා ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන පරිදි, නොවැම්බර් 27 වැනි දින කොලඹට පැමිනි ඉන්දියාවේ පර්යේෂන හා විශ්ලේෂන අංශයේ (ආර්ඒඩබ්ලිව්) ප්‍රධානී සමන්ත් කුමාර් ගොයෙල්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී “පුලුල් පරාසයක සාකච්ඡාවන්හි” නිරත විය.

මේ අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි නොවැම්බර් 29 දින එක්සත් ජනපදයට ගියේය. එහිදී ඔහු යූඑස්ඒඅයිඩී ප්‍රධානී පවර් සමඟ සාකච්ඡා කර ඇති අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ කොන්ග්‍රස් සාමාජිකයින් හමුවනු ඇත. චීනය ප්‍රධාන මාතෘකාවක් වනු නොඅනුමානය.

ජනාධිපති වික්‍රමසිංහ නොවැම්බර් 11 දා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් අමතා කල කතාවකදී ශ්‍රී ලංකාව මුහුන දෙන භූ දේශපාලන උභතෝකෝටිකයන් ඉස්මතු කලේය. “ඔබ ජීවත් වන්නේ අප කලින් ඉපදුනු ලෝකයට වඩා වෙනස් ලෝකයක. අපි ඉපදෙනකොට ඉන්දියන් සාගරය සඳහා ආරවුලක් තිබුනේ නැහැ. එක් අදියරකදී කිසිවෙකුට එය අවශ්‍ය වුනෙත් නැහැ. අද එය එසේ නොවේ...

“70 දශකයේ මම ඇමැතිකමට පත්වන විට මේ සියල්ල අවශ්‍ය වුනේ නැහැ. බොහෝ මිනිසුන් අවධානය යොමු කලේ ඉන්දියන් සාගරයට නොව පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයට. අද එය එසේ නොවේ. අද ලෝකයේ මුලු මහත් තරගයම ඇමරිකාව සහ රුසියාවේ සිට, ඇමරිකාව සහ චීනයට ගිහින්. ඉතින් රුසියාවේ සිද්ධ වෙන්නේ අතුරු දර්ශනයක් විතරයි. මෙම ප්‍රදේශයේ සිදු වන දේ වඩා වැදගත්. ඒ නිසා අපි ඒකට සූදානම් විය යුතුයි.”

ආන්ඩුවේ ආස්ථානය යලි යලිත් අවධාරනය කරමින් වික්‍රමසිංහ මෙසේ පැවසීය: 'ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන්නේ අප මහා බල එදිරිවාදිකම් වලට සම්බන්ධ නොවීම සිටීම යි. අපට මහා බල එදිරිවාදිකම් අවශ්‍ය නැහැ. ඇමරිකාව ඉන්දියන් සාගරයේ හිටියත් අපේ විරුද්ධත්වයක් නැහැ. එදිරිවාදිකම් නැති තාක් කල් ජපන් හෝ චීන හෝ වෙනත් අය ඉන්දියන් සාගරයේ සිටීම ගැන අපගේ විරුද්ධත්වයක් නැහැ.'

වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශයන් කුමක් වුවත්, එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයේ සහ ගැටුමේ කේන්ද්‍රස්ථානය වන්නේ ඉන්දියන් සාගරය සහ වඩාත් පුලුල් ඉන්දු-පැසිෆික් කලාපයයි. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කරන විට පවා, එක්සත් ජනපදය ආසියාව පුරා සන්ධාන තහවුරු කරමින්, කලාපය පුරා මිලිටරි බලවේග ගොඩනඟමින්, යුද්ධයට කඩතුරාව සැපයිය හැකි ප්‍රශ්න ගනනාවක් හරහා චීනයට අපවාද එල්ල කරමින් සිටී.

එක්සත් ජනපදය, චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ පෙරටුගාමී රාජ්‍යයක් බවට ඉන්දියාව පරිවර්තනය කරමින් ඒ සමග සමීප මූලෝපායික හවුල්කාරිත්වයක් ගොඩනගා ගෙන ඇත. 1992 දී ආරම්භ කරන ලද “මලබාර් අභ්‍යාස” ලෙස හැඳින්වෙන එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ නිතිපතා කෙරෙන නාවික යුද අභ්‍යාස පුලුල් කර ඇති අතර දැන් එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල අර්ධ මිලිටරි සන්ධානයක් වන චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය (Quadrilateral Security Dialogue) හෙවත් ක්වොඩ් (Quad) හි සියලුම සාමාජිකයින් එයට සහභාගි කරගෙන ඇත.

විශේෂිත ප්‍රකෝපකාරී පියවරක් තුල, නොවැම්බර් 8 සිට 15 දක්වා නැගෙනහිර චීන මුහුදේ දී නවතම මලබාර් අභ්‍යාස සිදු කරන ලදී. නාවික අභ්‍යාස අවසන් වූ පසු, එක්සත් ජනපදය සහ ඉන්දියාව “යුද් අබ්‍යාස්” නමින් ඔවුන්ගේ වාර්ෂික ද්විපාර්ශ්වික යුධ අභ්‍යාස නොවැම්බර් 15 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වූහ. මෙම අභ්‍යාස පැවතියේ, 2020 මැයි මාසයේ ගැටුම් වලින් පසුව ඉන්දියාව සහ චීනය අතර ගැටුම් දිගටම පවත්නා, දෙරට මායිම් වන තථ්‍ය පාලන රේඛාවේ සිට යන්තම් කිලෝමීටර් 100 ක් දුරිනි.

ශ්‍රී ලංකාව වඩ වඩාත් දුෂ්කරවන තුලනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගැනීමට උත්සාහ කරයි. ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ, රටේ ප්‍රධාන නය හිමියා වන චීනය විරසක කර ගැනීම වික්‍රමසිංහ ආන්ඩුවට දැරිය නොහැක. නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡාවන් හි කොටසක් ලෙස, චීන නය සම්බන්ධයෙන් සහන ගනුදෙනුවකට යාමට ආන්ඩුවට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව නිල වශයෙන් පෙල නොගැසී සිටින අතරම, ආන්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ගැටුමක් වැලැක්වීමට උත්සාහ කරයි. 2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ට එරෙහිව දිවයිනේ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධය අවසන් වීමෙන් පසුව, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, චීනය සමග එහි සබඳතා අවසන් කිරීම සඳහා එල්ල කෙරුනු, වොෂින්ටනයේ නිර්දය පීඩනයට ලක් විය. එක්සත් ජනපදය, යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමේ තර්ජනය භාවිතා කල අතර එය නොසලකා හරින ලද විට, 2015 මැතිවරනයේදී රාජපක්ෂ බලයෙන් පහකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති වික්‍රමසිංහගේ එක්සත් ජනපද ගැති ආන්ඩුවක් ස්ථාපනය කිරීම සැලසුම් කලේය.

ඔහුගේ ඇමරිකානු හිතකාමී දිශාවනතිය සම්බන්ධයෙන් ප්‍රකට වික්‍රමසිංහ, වොෂින්ටනය දෙසට නැඹුරු වෙමින් සිටියදී පවා විධිමත් ලෙස 'මධ්‍යස්ථ' ආස්ථානයක් පවත්වා ඇත. නොවැම්බර් 11දා සිය කතාව අතරතුර වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ “අනාගතය රඳා පවතින්නේ ඉන්දියන් සාගරයේ නාවික නිදහස පවත්වා ගැනීමේ හැකියාව මත” බවයි. එක්සත් ජනපදය චීනයට එරෙහිව නාවික ප්‍රකෝපකරනයන් එල්ල කිරීම සඳහා, “නාවික ගමනාගමනයේ නිදහස” යන බැනරය නැවත නැවතත් භාවිතා කරයි.

ඒ අතරම, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය සමඟ සැලකිය යුතු මිලිටරි සබඳතා ඇත, ඇමරිකානු නාවික හමුදාවට ඉන්ධන පිරවීම සහ අනෙකුත් සැපයුම් සඳහා ශ්‍රී ලංකා වරායට ප්‍රවේශ වීමට ඉඩ සලසන 'අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුමක්' ද ඇත. පෙන්ටගනය, නාවික බලකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා හමුදාවට සහාය වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවට පැරනි එක්සත් ජනපද වෙරලාරක්ෂක යාත්‍රා පරිත්‍යාග කලේය. එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදා සීමිත ඒකාබද්ධ අභ්‍යාස පවත්වන නමුත්, මේ වසරේ ලෝකයේ විශාලතම නාවික අභ්‍යාසය වන යූඑස් රිම්පැක් (US RIMPAC) අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 50 ක් පමන සහභාගී වූහ.

චීනයට එරෙහි යුද්ධය සඳහා එහි සූදානම වේගවත් කරන විට, එක්සත් ජනපදයට වික‍්‍රමසිංහ තන්ත‍්‍රයේ “මධ්‍යස්ථභාවය” ඉවසා සිටිය නොහැක. චීනය ඇතුලු යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව, නැගෙනහිර ආසියාව සමඟ සම්බන්ධ කරන ප්‍රධාන ඉන්දියානු සාගර මුහුදු මංතීරු හරහා ශ්‍රී ලංකාව උපායමාර්ගිකව ස්ථානගත වී ඇත. එක්සත් ජනපදයේ පිටුබලය ලබන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෑතකදී සම්මත කර ගත් යෝජනා, කොලඹ මත පීඩනය තීව්‍ර කිරීම ඉලක්ක කර ඇත. වික්‍රමසිංහගේ පක්ෂපාතිත්වය ගැන වොෂින්ටනය සැලකිල්ලක් නොදක්වන අතර, ඔහු දැඩි ලෙස රඳා පවතින්නේ අතීතයේ දී චීනය සමග සබඳතා ගොඩනගා ගෙන ඇති රාජපක්ෂගේ පක්ෂය මතය.

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම, ඉන්දියානු සාගර කලාපය න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක ප්‍රධාන සටන් බිමක් බවට වඩ වඩාත් පරිවර්තනය කරමින් සිටී. එක්සත් ජනපදය දැනටමත් එක් න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙකු වන රුසියාව සමඟ යුද්ධයක යෙදී සිටින නමුත්, න්‍යෂ්ටිකව සන්නද්ධ චීනය සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකයි. ව්‍යසනකාරී යුද්ධයක් නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන බලමුලු ගැන්වීමකින් පමනි.

මෙම බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන, 'යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය නැවැත්වීමට තරුනයන්ගේ සහ සිසුන්ගේ මහජන ව්‍යාපාරයක් සඳහා' යන මැයෙන් වන ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමක් දෙසැම්බර් 10 දින ප.ව. 11.30 ට (ඉන්දියානු සම්මත වේලාව අනුව) පැවැත්වේ. රැස්වීම සඳහා ලියාපදිංචි වී, න්‍යෂ්ටික යුද අනතුරට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල සහ ඉදිරිදර්ශනය පිලිබඳ මෙම වැදගත් සාකච්ඡාවට සහභාගී වන ලෙස අපි අපගේ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading