යුක්‍රේන යුද්ධයට එරෙහි සසජාතශි රැස්වීමට කම්කරුවෝ සහාය පල කරති

“යුක්‍රේන යුද්ධය නැවැත්වීමට තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ මහජන ව්‍යාපාරයක් සඳහා!” යන තේමාව යටතේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය මේ මස 10 දා බලගතු ජාත්‍යන්තර ඔන්ලයින් වෙබිනාර් රැස්වීමක් පැවැත්වී ය.

ඇමරිකාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ශ්‍රි ලංකාව ඇතුලු රටවල් 11 ක සසජාතශි හි නායකත්වයේ සාමාජිකයෝ මෙන්ම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සභාපති ඩේවිඩ් නෝර්ත් සහ පසුගිය දා ඇමරිකාවේ එක්සත් මෝටර් රථ සංගමයේ (යූඒඩබ්ලිව්) සභාපති ධුරයට තරග වැදි සමාජවාදී අපේක්ෂක විල් ලෙහමන් එම රැස්වීම ඇමතූහ.

රැස්වීමේ පටිගත කල දර්ශන සිංහල, දෙමල හා ඉංග්‍රීසි උපසිරැසි සමග ලෝසවෙඅ තුලින් නැරඹිය හැකි අතර ඒ සම්බන්ධ තවත් ලිපි ඉදිරි සතිය තුල ලෝසවෙඅ තුල පල වනු ඇත.

පහත පල වන්නේ රැස්වීම ගොඩනැගීම සඳහා පසුගිය සතිය පුරා ලංකාවේ සසජාතශි හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ හැටන් හා බදුල්ලේ වතු කම්කරුවන් අතර සිදුකල සාර්ථක මැදිහත්වීම්වල වාර්තාවකි.

“ලොව පුරා තරුනයන්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු!” යන සසජාතශි ප්‍රකාශයේ සිංහල හා දෙමල පිටපත් දුසිම් ගනනක් මෙන්ම තවත් කම්කරු මාවත ප්‍රකාශන ද උද්ඝෝෂකයෝ කම්කරුවන් හා තරුනයන් අතර සාකච්ඡාවලදී අලෙවි කලහ.

යුක්‍රේනය තුල යුද ආතතියේ මෑතම වර්ධනයන් පිලිබඳ සාකච්ඡාවකින් පසු කටුනායක පිහිටි ඒටීජි-සිලෝන් නම් කර්මාන්ත ශාලාවේ තරුන කම්කරුවෙක් මෙසේ කියා සිටියේ ය. “මම ලෝක යුද්ධ ගැන පාසලේ ඉතිහාස පාඩමෙන් ඉගෙන ගත්තා. නමුත් තුන්වන ලෝක යුද්ධයක අන්තරායක් මේ තරම් වැඩිලා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. එවන් යුද්ධයකින් මානව වර්ගයා ඉතුරු වෙන එකක් නෑ. එය නතර කිරීම සඳහා ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම එල්ල කර ගත් සසජාතශි රැස්වීම ඉතාම වැදගත්”.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

කටුනායක ඒටීජී-සිලෝන් ලෝක වෙලඳපලට අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවකි. ලෝක ආර්ථික අර්බූදය සහ එහි ප්‍රතිඵලයක් වන යුද්ධය තම ෆැක්ටරිය තුල ප්‍රකාශ වන ආකාරය එහි තරුන කම්කරුවෙකු මෙසේ පෙන්වා දුන්නේ ය: “මේ දිනවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් වගේම ඇනවුම්වල අඩුවක් තියෙනවා කියලා කලමනාකාරීත්වය කිව්වා. ඊට යුක්‍රේන යුද්ධයේ බලපෑමක් තියෙනවා. මේ නිසා අතිකාල, දීමනා කැපෙනවා රැකියාවලින් දොට්ට වැටෙනවා. මේ අර්බූදය අපේ පිටින් තමයි ගමන් කරන්නේ.”

ඔහු ලංකාවේ මේ වසරේ පැන නැගි මහජන අරගලය පිලිබඳව අවධානය යොමු කරමින් “ගෝල්ෆේස් අරගලය තුල තරුනයන්ගේ බලාපොරොත්තු කිසිවක් ජය ගන්න බැරි වුනා. විවිධ සංවිධාන විවිධ දේ ප්‍රකාශ කලා” යයි ඔහු කිවේ ය.

ගෝල්ෆේස් වාඩිලා ගැනීමේ සිටි විවිධ මධ්‍යම පන්තික සංවිධාන, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන හා වෘත්තීය සමිති ධනපති ක්‍රමයට අභියෝගයක් නොවන පරිදි මහජන නැගිටීම ධනපති පක්ෂවල අන්තර් කාලීන ආන්ඩු වැඩපිලිවෙල යටතට හරවා යැවීම සඳහා කටයුතු කල ආකාරය උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

සමගි ජනබලවේගය, ජවිපෙ ඇතුලු ඊනියා විපක්ෂයේ ධනපති පක්ෂ මෙන්ම පෙසප වැනි ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති අන්තර්-වාර අන්ඩුවකින් හෝ මහ මැතිවරනයකින් බලය ගැනීමෙන් හෝ ක්‍රියාවට නගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් බව උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ ය.

පාලක පන්තිය විසින් ප්‍රවර්ධනය කරන වාර්ගික ආගමික භේදකරනයන් කපා ගෙන සිංහල දෙමල හා මුස්ලිම් කම්කරු පන්තිය මිලියන ගනනින් අප්‍රේල් මස 28 හා මැයි 06 දා මහ වැඩ වර්ජනවලට හා විරෝධතාවලට සම්බන්ධවීම අර්ථභාරී ය. පාලක පන්තිය මෙන්ම මෙම සංවිධාන එක ලෙස සලිත වී සිටින්නේ කම්කරු පන්තියේ ඉදිරි අරගල තම පාලනයට පිටින් වර්ධනය වේය යන්න පිලිබඳවයි.

“කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් තිබීම වගේම තරුනයන්ට වැඩ කරන ජනතාවගේ නායකත්වය හිමිවිය යුතුයි කියන එකට මම එකඟයි” සාකච්ඡාව තුල දී කම්කරුවා ප්‍රකාශ කලේ ය.

වටිනාකම් බිහි කරන වැඩ කරන ජනයා නිෂ්පාදනය, බෙදා හැරීම හා භාන්ඩ මිල ගනන් මේ හැමදේකම පාලනය අතට ගනිමින් ධනපති අතලොස්සකගේ ලාභ තර කිරීම වෙනුවට දැවෙන මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල ගැන කල සාකච්ඡාවට එම කම්කරුවා බලගතු උනන්දුවක් දැක්වූයේ ය.

එම වෙලඳ කලාපයේ ම ඩයල් ටෙක්ස් ගාමන්ට්හි රැකියාවේ නිරත තරුන කම්කරුවෙක් ලොව පුරා පාලක පන්තීන් මිලිටරි වියදම් ඉහල දැමීමටත්, නවීන ආයුධ අත්හදා බැලීමත් හෙලා දැක්කේ ය. “මම අහලා තිබුනා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය හා භාවිතය තහනම් කියලා. නමුත් රටවල් ගොඩක න්‍යෂ්ටික අවි තිබෙනවා. තුන්වන ලෝක යුද්ධයක් කියන්නේ එවන් අවි භාවිතා කරන යුද්ධයක්. යුද්ධය නතර කිරීම වෙන කවරදාටත් වඩා දැන් අවශ්‍ය කෙරිලා තියෙනවා” යයි ඔහු කියා සිටියේ ය.

දකුනු ආසියානු කලාපය තුල ද ලෝක යුද අන්තරාය වැඩෙන ආකාරය උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් හා එහි ප්‍රධාන මූලෝපායික සගයෙකු වන ඉන්දියානු පාලක පන්තිය ලංකාවේ කොලඹ ආන්ඩු මත පීඩනය යොදමින් තිබෙන්නේ චීනය සමග පවත්වන ආර්ථික හා දේශපාලන සම්බන්ධ මුලුමනින්ම නවතා දමන ලෙසයි.

කොලඹ පාලකයන් ඇමරිකා එක්සත් ජනපදය සමග දැනටමත් සැලකිය යුතු මිලිටරි සබඳතා ගොඩනගා ගෙන ඇත. ඉන්ධන ඇතුලු අනෙකුත් සැපයුම් සඳහා ඇමරිකාවේ මිලිටරියට ලංකාවේ වරායන් භාවිතා කිරීමට හැකි වන පරිදි අත්සන් කොට ඇති “අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා සැපයීමේ” ගිවිසුම ඒ අතර ප්‍රධාන වේ. මෙවර අය-වැය විවාදවල දී රනිල් වික්‍රමසිංහ “සාගර ගමනාගමනයේ නිදහස“ පිලිබඳවත් ලංකාවේ නාවික හමුදාව ප්‍රවර්ධනය කිරීමත් කල ප්‍රකාශ නිසැකව ඉඟි කරන්නේ මෙම අධිරාජ්‍යවාදී ලෝක යුද ප්‍රයත්නය සමග පෙලගැසීමේ තම සූදානමයි.

ජවිපෙ හා වෙනත් වාම කියා ගන්නා සංවිධාන මේ පිලිබඳව කතා නො කරන බව සෑම කම්කරුවෙක් පාහේ පැවසීය. ජාතිකවාදී සංවිධාන යුද්ධය ඇතුලු ලෝක ධනේෂ්වර අර්බූදයේ බර කම්කරු පන්තිය මත පාත් කිරීමට කරබදු වී සිටින ආකාරය ද උද්ඝෝෂකයෝ පෙන්වා දුන්නේ ය.

ඊට ප්‍රතිකූලව, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් වන සසප හා සසජාතශි, ලොවපුරා කම්කරුවන් හා තරුනයන් යුද්ධයට හා කප්පාදුවලට විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදය මත බලමුලු ගැන්වීමට සටන් වැද සිටින ආකාරය උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. වෙබිනාර් රැස්වීම එහි කොටසකි.

මේ මස 10 දා බලගතු ජාත්‍යන්තර ඔන්ලයින් වෙබිනාර් රැස්වීමට සසප වතු කම්කරුවන් අතර උද්ඝා්ෂනය

යුද්ධය නිසා තේ කර්මාන්තය ඇතුලු ලෝකයේ සැපයුම් ජාලයට එල්ල වන ප්‍රහාරය පිලිබඳ සාකච්ඡාවේ දී බන්ඩාරවෙල වතු කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලේ ය. “යුද්ධය නතර කරන්න ඕන. යුක්‍රේන යුද්ධය නිසා පාන් පිටි ඇතුලු ආහාර මිල ගනන් අපිට දරා ගන්න බැරි තරමට ඉහල ගිහිල්ල. වතුවල මිනිස්සු වේලක් නැත්නම් දෙකයි කන්නේ. දවස් 24ක්ම වැඩ කලත් මාසයකට ලැබෙන්නේ රුපියල් 20,000 ටත් අඩු පඩියක්”.

ඔහු වෘත්තිය සමිති කෙරෙහි තම අප්‍රසාදය පල කලේ මෙසේ ය. “සමිති, කොම්පැනි හා ආන්ඩු එක්ක එකතු වෙලා අපිට බර පටෝනවා. ඒ ඔක්කොම එක පැත්තේ. රුපියල් 1,000 ක් දවසට උපයන්න දලු කිලෝ 18 ක් කඩන්න ඕන. එච්චර කඩන්න දලුත් නෑ, කන්න නැති නිසා කම්කරුවන්ට මහන්සි වෙන්නත් බෑ. නමුත් ධනපතියෝ අපිව සූරාකනවා”යනුවෙන් ඔහු දීර්ඝව විස්තර කලේ ය.

සාකච්ඡාවට එකතු වූ තවත් වතු කම්කරුවෙක් වන පෙරියසාමි “යුද්දේ නතර කරන්න අපිට පුලුවන්දැ” යි ප්‍රශ්න කලේ ය.

ව්ලැඩමීර් ලෙනින් හා ලියො න් ට්‍රො ට්ස්කි නායකත්වය දුන් බොල්ෂේවික් පක්ෂය, 1914 ආරම්භ වූ පලමු ලෝක යුද්ධය මැද දී, කම්කරුවන් බලමුලු ගන්වා ගනිමින් සහ ඔවුන් වටා පීඩිත ගොවීන් පෙලගස්වා ගනිමින් සිදුකල, 1917 ඔක්තෝබර් විප්ලවය තුල කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීමත් සමග අධිරාජ්‍යවාදී බලවතුන්ට යුද්ධය නතර කිරීමට බලකෙරුනු බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදකව එම අරගලය ඉදිරියට ගෙන යන්නේ සසප හා සසජාතශි බව පෙන්වා දුන්විට, සසප සමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කලේ ය.

බන්ඩාරවෙල නගරයේ ලංකා ගමනාගමන මන්ඩලයේ (ලංගම) රියදුරෙක් මෙසේ පැවසී ය. “ලෝකය පුරා කම්කරුවන් ආමන්ත්‍රනය කරමින් එක දවසක දී ලෝකයේ කම්කරුවන්ට තරුනයන්ට අමතන මෙවැනි රැස්වීම පැවැත්වීම හරිම වැදගත්. ධනපති ක්‍රමය යටතේ යුද්ධය නතර කරන්න බෑ කියලා පෙන්වලා දුන්නාම තමයි මට තේරුනේ ඒක නතර කරන්න අපි මූලිකත්වය ගන්න ඕනා කියලා”.

බන්ඩාරවෙල දුම්රිය කම්කරුවෙක් කියා සිටියේ තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මේතරම් පුලුල්ව දැන ගත්තේ සසජාතශි ප්‍රකාශ කියවීමෙන් පසුව බවයි. “කිසිම පත්තරේක, වෙනත් පක්ෂයක් මේ අනතුරු ඇඟවීම මහජනයාට කරන්නේ නෑ. මේ පොතේ තියෙනවා ගිය සියවසේ යුද්ධ වල විනාශය කොතරම් ද කියලා. මම වෙබිනාර් රැස්වීමට සවන් දෙනවා” යයි ඔහු තවදුරටත් පැවසීය.

Loading