2023 බර්ලින් ප්‍රාන්ත මැතිවරනය සඳහා සසප මැතිවරන ප්‍රකාශය: යුද්ධයට එරෙහි ව ඡන්දය දෙන්න! සසපට ඡන්දය දෙන්න!

[මෙය SGP election statement for 2023 Berlin state election: Vote against war! Vote SGP! මැයෙන් 2022 දෙසැම්බර් 20 පල වූ බර්ලින් ප්‍රාන්ත මැතිවරනය සඳහා සසප (ජර්මනිය) නිකුත් කල මැතිවරන ප්‍රකාශයේ පරිවර්තනය යි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප), යලි කැඳවා ඇති බර්ලින් ප්‍රාන්ත මැතිවරනය මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩු විසින් රුදුරු ලෙස ක්‍රියාවට දමනු ලබන යුද්ධයේ හා සමාජීය විනාශයේ පිලිවෙත් වලට එරෙහි ජනමත විචාරනයක් බවට පත් කරගනී. සසපට දෙන ඡන්දයක්, යුද්ධය සඳහා උද්ඝෝෂනය කරන පක්ෂවලට එරෙහි ව සහ ලාභ අවශ්‍යතාවන්ට ඉහලින් මහජන අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන සමාජවාදී ඉදිරි දර්ශනයක් සඳහා දෙන ඡන්දයකි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට (එස්පීඩී), හරිතයන්ට හා වාම පක්ෂයට, ඔවුන්ගේ දක්ෂිනාංශික හා මිලිටරිවාදී පිලිවෙත් සඳහා, මහජන වරමක් නැත. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර 77කට පසු ව රුසියාවට විරුද්ධ ව ජර්මානු යුද ටැංකි යැවීමට ඉඩ දීමට, යුරෝ බිලියන 100ක විශේෂ අරමුදලක් සමගින් යුද අයවැය තෙගුන කිරීමට හා මහාද්වීපය තුල විශාලත ම මිලිටරි බලය ලෙස ජර්මනිය සන්නද්ධ කිරීමට ඡන්ද දායකයෝ ඔවුන්ගේ ඡන්දය නො දුන් හ.

මෙම වියරුවෙහි පිරිවැය තමන් මත පැටවීමට ද වැඩකරන ජනයා ඡන්දය දුන්නේ නැත. සුපිරි ධනවත්තු ඩොලර් බිලියන ගනන් පොකට්ටුවේ දමා ගනිද්දී සහ සමාගම් කම්හල් වසා දමමින් හා මහා පරිමාන දොට්ට දැමීම් සිදු කරද්දී මිල ගනන් අහස උසට නැගීම හා මූර්ත වැටුප් ගිලී යාම, රුසියාවට එරෙහි ආර්ථික යුද්ධය විසින් ජනනය කරමින් තිබේ. සෞඛ්‍යය, සමාජාරක්ෂනය හා අධ්‍යාපනය සඳහා පිරිවැය කපා දැමෙමින් පවතින අතර ප්‍රභූන්ගේ මහා බල මිලිටරි සැලසුම්වලට අරමුදල් සැපයිමට දේශගුනය විනාශ කෙරෙමින් පවතී.

තුන්වැනි ලෝක යුද්ධයකට එරෙහි ව සමාජවාදී ඉදිරි දර්ශනයක්

මෙම පුපුරා යාම ධාවනය වන්නේ කොහාටදැයි, විශේෂයෙන් ම බර්ලිනයේ සියලු දෙනා දනිති. එය ආරම්භ වන්නේ, යුද ප්‍රචාරනය සහ යලි සන්නද්ධ වීම ඉහල දමමින් තිබිය දී වන අතර, අවසන් වනු ඇත්තේ පරිපූර්න විනාශයක් තුල ය. වසර අසූවකට පෙර පාලක පන්තිය සමස්ත යුරෝපය විනාශ මුඛයට ඇද දැමූ හ; දැන්, සමස්ත ග්‍රහලෝකය න්‍යෂ්ටික සමූලෝත්පාඨනයට බඳුන් කිරීමට තර්ජනය කෙරේ. එහෙත්, නැටෝව අනුකම්පා විරහිත ලෙස රුසියාවට එරෙහි යුද්ධය පෙරට ගෙන යමින් සිටී. ආයුධ හා යුද අවි වැසි යුක්‍රේනයට වස්සමින් සිටින එය, භටයන් හා බැර යුද උපකරන නැගෙනහිර යුරෝපය දෙසට මෙහෙය වන්නේ සාමකාමී විසඳුමක් සඳහා දරන ඕනෑ ම ප්‍රවිෂ්ටයක් වලක්වමිනි.

එම යුද්ධය, යුක්‍රේනය තුල “නිදහස” හා “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා කෙරෙන්නක් නොව, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව හා සිරියාව තුල යුද්ධ මෙන්, අමුද්‍රව්‍ය, වෙලඳපොලවල්, ලාභ ශ්‍රමය හා ලෝක බලය සඳහා කරන යුද්ධයකි. රුසියාවේ යෝධ ඛනිජ සම්පත් කොල්ලකෑමටත්, චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීමටත්, එක්සත් ජනපදය, ජර්මනිය හා අනෙකුත් නැටෝ බලයන්ට යුක්‍රේනය පාලනය කිරීම සහ රුසියාව යටත් කරගැනීම අවශ්‍ය ය.

20වැනි ශතවර්ෂයෙහි ලෝක යුද්ධ දෙක තුල දී මෙන්, අධිරාජ්‍යවාදී බලයන් සටන් කරමින් සිටින්නේ, භූගෝලය යලි බෙදාගැනීමට ය. මෙහි දී, නායක නැටෝ බලයන් වනාහි සදාකාලික මිතුරන් නො ව, එකිනෙකා සමග තරඟවැදී සිටින කොල්ලකරුවන් ය. පැරනි සතුරුකම් - විශේෂයෙන් ම එක්සත් ජනපදය හා ජර්මනිය අතර ගැටුම- අනිවාර්යයෙන් ම මෙම ක්‍රියාදාමයේ දී යලි පුපුරා එනු ඇත.

මෙය නවත්වනු නො ලැබුව හොත්, අතීත ම්ලේච්ඡත්වය අඟුටුමිටි බවට පත්කරන දැවැන්ත ගෝලීය ව්‍යසනයක් බවට, යුද්ධය පුපුරා යනු ඇත. හොලෝකෝස්ටය හා නැගෙනහිර සමූලෝත්පාඨන යුද්ධය සමගින් නරක ම ඓතිහාසික අපරාධයන්ට කැපවුනු ජර්මානු පාලක පන්තිය, රට තුල හා රටින් පිටත යන දෙකේ දී ම මිලිටරිවාදය ප්‍රකෘතිමත් කර ගැනීමට යුක්‍රේන යුද්ධය යොදාගනිමින් සිටී.

යුද්ධය සමගින්, ෆැසිස්ට් කුනු කසල ද ආපසු එයි. යුක්‍රේනය තුල ඇසොව් බලකාය වැනි ෆැසිස්ට් හමුදා සන්නද්ධ කිරීමට නැටෝව කටයුතු කරමින් සිටී. ජර්මනිය තුල, දක්ෂිනාංශික ත්‍රස්තවාදී ජාල පොලීසිය, බුන්ඩෙස්වෙහ්ර් (ජර්මානු මිලිටරිය) සහ ඔත්තු සේවා තුලට කිඳා බැස පවතී. දහතුන්වැනි හෙන්රි කුමර රූස් වටා සිටින ද රයික්ස්බර්ගර් (රයිකයේ පුවැසියෝ) කන්ඩායම යනු අයිස් කුට්ටියේ මතුපිට තුඩ පමනි. ඉහල ම බලධාරීහු ෆැසිස්ට් ජාල දිරිමත් කිරීම හා ඒවාට ආවරනය සැපයීම කරති. අන්ත-දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පාර්ලිමේන්තු කටයුතු තුලට ඒකාග්‍ර කරගැනීමටත්, රාජ්‍යයේ බලයන් ගොඩනැගීම සඳහා වන එහි ප්‍රතිගාමී ක්‍රියා මාර්ගය, කොරෝනා වෛරසයට නිදහසේ පැතිරීමට ඉඩ දෙන “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත හා සරනාගත-විරෝධී උද්ඝෝෂනය යථාවත් කිරීමටත්, බුන්ඩෙස්ටාගයේ (මධ්‍යම පාර්ලිමේන්තුවේ) සියලු පක්ෂ උදවු දී ඇත. ෆැසිස්ට්වාදීන්ගේ උදවුව සහිත ව, යුද පිලිවෙතට හා සමාජ ප්‍රහාරවලට විරුද්ධ වන ඕනෑ ම අයෙකු බියවැද්දීමට නියමිත ය.

යුද්ධයට එරෙහි අරගලය, පුටින් පාලන තන්ත්‍රයට ද එරෙහි ව යොමු කරනු ලැබිය යුතු ය. නැටෝව යුද්ධය ඇවුලුව ද එය මානව-විරෝධී හා ප්‍රතිගාමී වන රුසියාවෙහි මිලිටරි ක්‍රියාව සාධාරනීකරනය කරන්නේ නැත. සෝවියට් සංගමයේ සමාජවාදී දේපොල කොල්ලකෑ රුසියානු කතිපයාධිකාරීන් දැන් එය තමන්ගෙන් කොල්ල කා ගැනීමට අධිරාජ්‍යවාදී හොරුන් සැරසී සිටිනු දැක කෝපයට පත් ව සිටියි. රුසියානු කතිපයාධිකාරයේ අවශ්‍යතා පුටින් පාලන තන්ත්‍රය විසින් නියෝජනය කරයි.

යුද්ධය වනාහි, 1991 දෙසැම්බරයේ දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය බිඳ විසිරවීමෙහි විපාකය යි. “ඉතිහාසයේ අවසානය” අර්ථවත් නො කල ධනවාදය හඳුන්වා දීම, යුද්ධ හා විප්ලවවල නව යුගයක් ගෙන ආවේ ය.

තවත් ලෝක යුද්ධයක් වැලැක්විය හැකි එක ම සමාජ බලවේගය වන්නේ, ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරය වන, අන් කවරදාටත් වඩා දැන් විශාල හා අන්තර්-සම්බන්ධිත ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. යුද්ධයටත්, එහි මූලික හේතුව වන ධනවාදයටත් එරෙහි ව ලෝක සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, සසප හතරවැනි ජාත්‍යන්තරයේ එහි සහෝදර පක්ෂ සමග කටයුතු කරමින් සිටී. බැංකු හා සංගතවල බලය බිඳ දමා, ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීමෙන් තොර ව යුද්ධය නවත්වනු ලැබිය නො හැක.

  • යුක්‍රේනය තුල නැටෝ යුද්ධය නතර කරනු! සම්බාධක හා ආයුධ බෙදාහැරීම් එපා!
  • ලෝක යුද්ධ දෙකක් හොඳට ම ඇති! යුදවාදී උන්මාදිතයන් නතර කරනු!
  • සන්නද්ධ වීමට හා යුද්ධය වෙනුවට පෙරපාසල්, පාසල් හා රෝහල්වලට යුරෝ බිලියන 100ක් වෙන් තරනු!

මහා පරිමාන දොට්ට දැමීම් හා වැටුප් කැපීම් වෙනුවට සමාජ සමානතාව සඳහා

මේ ආස්ථානයෙන්, සංස්ථාපිතයේ සියලු පක්ෂ, සංගත හා වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබමින් තිබෙන පෙර නුවූ විරූ සමාජ ව්‍යසනයට අපි විරුද්ධ වෙමු.

අහස උසට නගිමින් පවතින උද්ධමනය නො තකා, පශ්චාත් යුද කාලීන ජර්මානු ඉතිහාසය තුල දරුනු ම අයවැය කප්පාදු පැටවීම, එස්පීඩී, හරිතයන් හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් (එෆ්ඩීපී) ගේ මධ්‍යම ආන්ඩුව විසින් සම්මත කරයි. බර්ලිනයේ ප්‍රාන්ත විධායක සභාව පාලනය කරන එස්පීඩී, හරිතයන් හා වාම පක්ෂය, දරිද්‍රතාවේ, දැරිය නො හැකි බදුවල, ඇද වැටෙන පාසල් හා පිරිහෙමින් පවතින රෝහල්වල අගනුවර බවට මෙම නගරය පත් කර ඇත්තේ, තමන්ගේ ම සාක්කු පුරවා ගන්නා අතර ය.

මානව ජීවිතවලට ඉහලින්, ලාභ අවශ්‍යතා තබන පාලනය කරන පක්ෂවල අනුකම්පා විරහිත භාවය, වසංගත පිලිවෙත් විසින් සුවිශේෂී පැහැදිලි කමකින් යුතු ව පෙන්නුම් කරයි. ජර්මනිය තුල පමනක්, දැනට මත් පුද්ගලයින් 160,000ට අධික සංඛ්‍යාවත් මිය ගොස් ඇති අතර, මිලියන ගනන් දෙනා මෙම රෝගයේ විපාකවලින් පීඩා විඳිමින් සිටිති.

තමන් ම සුපිරි ලෙස ධනවත් වීමටත් කම්හල් වසා කම්කරුවන්ගේ වියදමින් නිෂ්පාදනය යලි සංවිධානය කිරීමටත් සංගත වසංගතය හා යුද්ධය යොදාගනිමින් සිටිති. යුද්ධය වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති මෙහි දී සංගතවලට සහයෝගය දෙන්නේ, වැටුප් කප්පාදුවලට හා මහා පරිමාන දොට්ට දැමීම්වලට එන විරුද්ධත්වය මඩිමින් සහ සංගත හා ආන්ඩුව සමග සමීප ව වැඩ කරමිනි.

එහෙත්, මෙම යාන්ත්‍රනයන්ට, සංගතවලට හා ආන්ඩුවලට වඩා කම්කරුවන් බලවත් ය. සමාජයේ සියලු ධනය නිෂ්පාදනය කරන ඔවුහු, අතිශය අසීරු කොන්දේසි යටතේ සමාජය පවත්වා ගෙන යති. ඔවුන්ගේ බලය මුදා හැරීම පිනිස, සුරක්ෂිත රැකියා හා ශිෂ්ට සම්පන්න වැටුප් සඳහා ද යුද්ධයට විරුද්ධ අරගලය තුල ද ජාත්‍යන්තර ව කම්කරුවන් එකමුතු කරන සහ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු තුල ඔවුන් සංවිධානය විය යුතු ය. එබැවින්, සසප එහි මැතිවරන උද්ඝෝෂනය එවැනි ක්‍රියාකාරී කමිටු සඳහා වන ප්‍රහාරයක් සමග බද්ධ කරමින් සිටී. අපි මෙසේ ඉල්ලා සිටිමු!

  • ලාභ වෙනුවට ජීවිතය!
  • සියලු රැකියා ආරක්ෂා කරනු! සියලු දෙනාට සියයට 30ක වැඩි වැටුප් සහ උද්ධමනය සමග ස්වයංක්‍රීය ව ඉහල යන වන්දි!
  • නිවාස සමාගම් මෝරුන්, බලශක්ති සංගත හා යුද්ධයෙන් ලාභ ගරන්නන් වන්දි ගෙවීමකින් තොර ව අස්වාමික කරනු!

කම්කරුවන්ට ඔවුන්ගේ ම පක්ෂයක් අවශ්‍යයි

සියලු ධනපති පක්ෂ යුද්ධය හා සමාජ ව්‍යසනය පිටුපස සිටගෙන සිටින නිසා, මෙම ඉල්ලීම් බලයේ සිටින්නන්ට ආයාචනා කිරීම මගින් යථාවත් කරගනු ලැබිය නො හැක. අනෙකුත් සියලු පක්ෂවලට වඩා ධනවත් මධ්‍යම පන්තික ස්ථර වෙනුවෙන් කතා කරන හරිතයෝ, ජර්මානු මහා බල අවශ්‍යතා සමග ගැලපෙන තාක් කල් සාමවාදියෝ ය. 1998 දී යුගෝස්ලාවියාව තුල සංවිධානය කරන ලද, හිට්ලර්ගෙන් මෙපිට පලමු ජර්මානු ආක්‍රමනික යුද්ධයට උදවු කල තැන් පටන්, නරක ම වර්ගයේ මිලිටරිවාදීන් බවට ඔවුන් පත් ව ඇත.

යුද්ධය දෙසට ගන්නා පියවරයන්ට වාම පක්ෂය ද සහයෝගය දෙයි. එහි නායක අපේක්ෂකයා වන ක්ලෝස් ලෙඩරර්, යුක්‍රේනයට ආයුධ බෙදාහැරීම සඳහා කැඳවුම් කරන්නේ, එය පිලිබඳ ඕනෑ ම විවේචනයක් “වාමාංශික ප්‍රතිගාමී සාම දේශපාලනය” යි හෙලාදකිමින් ය. පැරනි නැගෙනහිර ජර්මනියේ ස්ටැලින්වාදී පක්ෂයෙන් ඉස්මතු වන මෙම පක්ෂය, සාමාන්‍ය කම්කරුවන් අවඥාවෙන් සැලකීම සංයුක්ත කරන නිලධරයන් මූර්තිමත් කරයි.

මෙම මැතිවරනයේ දී මිලිටරිවාදයට, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කල හැකි එක් මාවතක් පමනක් පවතී: සසපට ඡන්දය දෙන්න! සුඛෝපභෝගී තානාන්තර අපේක්ෂා නො කරන අපි, මැතිවරනය හා බර්ලින් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය තුල ජයග්‍රහනය කරන ඕනෑ ම ආසන ගනනක් යුද පිලිවෙත්වලට විරුද්ධ වීම සඳහා යොදාගන්නෙමු. අපි යෝධ අන්තරායන් පිලිබඳ ව අනතුරු අඟවමින් ඒවාට එරෙහි ප්‍රතිරෝධය සංවිධානය කරමින් සිටිමු.

එසේ කිරීම මගින්, සසප පදනම් වන්නේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය මත යි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන අපි, ඕගස්ට් බේබල්, රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට්ගේ ද රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ද ස්ටැලින්වාදයට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ වාම විපාර්ශවයේ ද මාක්ස්වාදී සම්ප්‍රදායන් වෙනුවෙන් පෙනී සිටිමු.

ධනවාදයේ ගැටලු සදාකාලයට ම අවසන් කරනු ඇති නව මහජන සමාජවාදී පක්ෂයක් සඳහා ක්‍රියා කරමින් එය ගොඩනැගීමට දැන් කාලය යි. සමාජ අසමානතාව, සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති විනාශ කිරීම සහ අපගේ ග්‍රහලෝකය න්‍යෂ්ටික සමූලෝත්පාඨනයට බඳුන් කිරීම පිලිගැනීම අවශ්‍ය නො වන සියලු දෙනාට අපි මෙසේ කැඳවුම් කරමු: මෙම ප්‍රකාශය හැකි උපරිමයෙන් පවුලේ අය, මිත්‍රයන් හා සහෝදර කම්කරුවන් දැනුවත් කරමින් සහ අපේ උද්ඝෝෂනයට සහයෝගය දෙන්න; පෙබරවාරි 12දා සසපට ඡන්දය දෙන්න!

Loading