ඉදිරිදර්ශන

නැටෝව යුක්‍රේනයට යුද ටැංකි යැවීම: එක්සත් ජනපදය සහ රුසියාව අතර අවි ගැටෙන යුද්ධයක පූර්වරංගයක්

[මෙය NATO tanks in Ukraine: Prelude to a US-Russia shooting war මැයෙන් 2023 ජනවාරි 26 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

නැටෝ රටවලින් ප්‍රධාන යුධ ටැංකි 100 කට අධික ප්‍රමානයක් නැව්ගත කිරීමේ කොටසක් ලෙස, ජර්මනිය ලෙපර්ඩ් 2 යුද ටැංකි 14 ක් එවන බව ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජනපදය විසින් ඒබ්‍රම්ස් විශාල යුද ටැංකි 31 ක් යුක්‍රේනයට යවන බව ජනාධිපති ජෝ බයිඩන් බදාදා නිවේදනය කලේය.

ප්‍රධාන යුද ටැංකි සටනට යැවීමේ තීරනයේ අරමුන, නැටෝ හමුදා සහ ගුවන් යානාවල වෙන කවරදාටත් වඩා වැඩි මැදිහත්වීමක් සහ රුසියාව සමග වෙඩි හුවමාරු කරගැනීමේ යුද්ධයක්ද ඇතුලත් සිදුවීම් දාමයක් ඇරඹීම යුක්ති සහගත කිරීමයි.

බයිඩන්ගේ නිවේදනයේ අර්ථභාරය පවතින්නේ, යුද පිටිය තුලදී යුද ටැංකිවලින් ඇති කරන බලපෑමට වඩා ඒවා යුද්ධයට අනුයුක්ත කිරීමේ ප්‍රතිවිපාක තුලයි. ටර්බයිනයක් මගින් ක්‍රියාත්මක වන ඒබ්‍රම්ස් යුද ටැංකි සඳහා, යුක්‍රේනය තුල, ඇමරිකානු යුද ශිල්පීන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් දැවැන්ත සැපයුම් ජාලයක් අවශ්‍ය වනු ඇත. මෙම සැපයුම් ජාලයන්ට සහ යුද ටැංකිවලට සේවා සපයන ඇමරිකානු කාර්‍යමන්ඩලවලට ප්‍රහාර එල්ල කිරීම, 'තහනම් පියාසර කලාපයක්' ක්‍රියාත්මක කිරීමට සහ යුක්‍රේනයට එක්සත් ජනපද හා නැටෝ හමුදා යෙදවීමට බලපෑම් කිරීමට යොදා ගනු ඇත.

බයිඩන්ගේ නිවේදනයෙන් පසුව, එම්එස්එන්බීසීහි පෙනී සිටි විශ්‍රාමික තරු හතරේ ජෙනරාල් බැරී මැක්කැෆ්‍රි, නිවේදනයේ තීරනාත්මක අන්තර්ගතය හෙලිදරව් කරන, නොසැලකිලිමත් ප්‍රකාශයක් කලේය.

ඒබ්‍රම්ස් යුද ටැංකි යුක්‍රේනයට යැවීමට නොහැකි තරම් සංකීර්න වන බවට මිලිටරි නිලධාරීන් විසින් කලින් කල තර්කයට ප්‍රතිප්‍රහාර දෙමින් මැක්කැෆ්‍රි ප්‍රකාශ කලේ, “ඇත්ත වශයෙන්ම යුක්‍රේනියානුවන්ට සිවිල් කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ඇතිව මෙම ඒබ්‍රම්ස් යුද ටැංකි නඩත්තු කල හැකිය” යනුවෙනි.

ඔවුන් 'යුක්‍රේනියානුවන් නොවේ නම්' මෙම 'සිවිල් කොන්ත්‍රාත්කරුවන්' කවුද? මැක්කැෆ්‍රිගෙන් කිසිදාක විමසුවේ නැත.

අවම වශයෙන් සිවිල් කොන්ත්‍රාත්කරුවන් 10 දෙනෙකු, කුවේටයේ අරිෆ්ජාන් කඳවුරේ පිහිටි ටොන් 30 ක කරකැවෙන අවි පුවරුවක් (turret) ඒබ්‍රම්ස් M1A2 මතට පහත් කරන ආකාරය සමීපව නිරීක්ෂනය කරති. [Photo: US Department of Defense]

ලොව පුරා හමුදා කඳවුරුවල ඇති ඇමරිකාවේ M1 ඒබ්‍රම්ස් යුද ටැංකි විශාල ප්‍රමානයක, සිවිල් කොන්ත්‍රාත්කරුවන් සේවය කරනු ලබන අතර, මෙම සිවිල් කොන්ත්‍රාත්කරුවන් සාමාන්‍යයෙන්, ජෙනරල් ඩයිනමික්ස් සහ අනෙකුත් ප්‍රධාන ආයුධ නිෂ්පාදකයින්ගේ සෘජු සේවකයින් ඇතුලුව විශේෂිත දැනුම සහ කුසලතා ඇති ඇමරිකානුවන් වේ. යුධ හමුදාවේ සංකීර්නතම වාහනය වන ඒබ්‍රම්ස්, එය ක්‍රියාත්මක වන සෑම පැයකටම, මිනිස් පැය අටක පමන සේවාවක් අවශ්‍ය වේ.

පසුගිය වසරේ ඒබ්‍රම්ස් යුද ටැංකිය යැවීමට එක්සත් ජනපද මිලිටරිය පසුබට වූයේ මන්දැයි පැහැදිලි කරමින් වොෂින්ටන් පෝස්ට් සඳහන් කලේ, “එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක්... ඒබ්‍රම්ස් යුද ටැංකි සහ ඒවායේ නවීන ටර්බයින එන්ජිම නඩත්තු කිරීම එක්සත් ජනපදයට අපහසු බව පැවසුවා... යුක්‍රේනියානුවන්ට එය කල නොහැකි වනු ඇතැයි නිලධාරියා පැවසුවා.”

ඇත්ත වශයෙන්ම, මැක්කැෆ්‍රි පෙන්වා දෙන පරිදි, ඒබ්‍රම්ස් වෙනුවෙන් දැනටමත් පුහුනු කර ඇති ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවන් විශාල සංඛ්‍යාවක් යුද ටැංකි සමග යවනු ලැබුවහොත් මිස එය කල නොහැකි වනු ඇත.

නැටෝ රටවල සිවිල් නඩත්තු සේවකයින් දහස් ගනනක් යුක්‍රේනයට යොදවනු ඇති අතර, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂිත අධි තාක්‍ෂනික, නිරවද්‍ය කොටස් සඳහා දැවැන්ත සැපයුම් දාමයන් නිර්මානය කිරීම, නැගෙනහිර පෙරමුනේ සිට පෝලන්තය හරහා ජර්මනියේ එක්සත් ජනපද කඳවුරු දක්වා සැතපුම් සිය ගනනක් විහිදේ.

යුක්‍රේනයට පැමිනෙමින් තිබෙන ආයුධ පද්ධති වෙත එල්ල කරන රුසියානු ප්‍රහාර, මෙම සැපයුම් මාර්ග සහ ඇමරිකානු පිරිස් ඉලක්ක කර ගනු ඇත. යුක්‍රේනය තුල යොදවා ඇති ඇමරිකානුවන්ගේ 'ජීවිත බේරා ගැනීම' සඳහා, 'අහස වසා දැමීම' සහ තහනම් පියාසර කලාපයක් ආරම්භ කිරීමට යුද්ධයේ මුල් භාගයේදී මුලින්ම මතු කරන ලද ඉල්ලීම, සමස්ත එක්සත් ජනපද මාධ්‍ය විසින් ඉක්මනින් ම මතු කරනු ඇත.

ඉතා සුමට හා ක්‍රමානුකූල ලෙස, බදාදා නිවේදනය පැමිනියේ, F-16 සහ අනෙකුත් සිව්වන පරම්පරාවේ නැටෝ ප්‍රහාරක ගුවන් යානා යැවීම සඳහා පුවත්පත් වල ඉල්ලීම් සමගම ය.

'යුද ටැංකි ප්‍රමානවත් නොවනු ඇත: යුක්‍රේනයට ජයග්‍රහනය සඳහා F-16 ජෙට් යානා අවශ්‍ය වේ' යනුවෙන් එක්සත් රාජධානියේ හිටපු අන දෙන නිලධාරි ග්‍රෙග් බැග්වෙල් ටෙලිග්‍රාෆ්හි ලිවීය. “භූමිය අල්ලා ගැනීමටත් එය රඳවා තබා ගැනීමටත් හැක්කේ හමුදාවන්ට පමනක් ම බවට මිලිටරි ආප්තෝපදේශයක් ඇත. ගුවන් සහාය නොමැතිව, හමුදාව දිගු කලක් භූමිය අල්ලා රඳවා තබා නොගන්නා බව ද සත්‍යයකි.” හිටපු ආර්ඒඑෆ් අනදෙන නිලධාරියා ඇඟවුම් කලේ එක්සත් ජනපදය යුද ටැංකි යවන්නේ නම්, F-16 ද යැවීමට සිදුවනු ඇති බවයි.

“ඊලඟට පැනිය යුතු විශාල කඩුල්ල, දැන් ප්‍රහාරක ජෙට් යානා ලබා ගැනීමයි,” ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්ගේ උපදේශක යූරි සාක් රොයිටර් වෙත පැවසීය. “ඔවුන්ට, අපට බර කාලතුවක්කු ලබා දීමට අවශ්‍ය වුනේ නැහැ, පසුව ඔවුන් එසේ කලා. ඔවුන්ට, අපට හිමාර්ස් පද්ධති ලබා දීමට අවශ්‍ය වුනේ නැහැ, පසුව ඔවුන් එසේ කලා. ඔවුන්, අපට යුද ටැංකි ලබා දීමට කැමති වුනේ නැහැ, දැන් ඔවුන් අපට යුද ටැංකි දෙනවා. න්‍යෂ්ටික අවි හැරුනුකොට, අපට ලැබීමට ඉඩ නැති කිසිවක් ඉතිරිව නැහැ.”

නැටෝ ජෙට් යානා සැපයීමේ සැලසුම් දැනටමත් සිදුවෙමින් පවතී. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කලේ, ලොක්හීඩ් මාටින් සමාගම විසින් F-16 ප්‍රහාරක යානා යුක්‍රේනයට යැවීමට සැලසුම් කරන රටවලට හිලව් කිරීම සඳහා එම යානා නිෂ්පාදනය දැනටමත් වැඩි කර ඇති බවයි. සමාගම, 'ග්‍රීන්විල්හි [දකුනු කැරොලිනාවේ] F-16 නිෂ්පාදනය වැඩි කිරීමට යන්නේ, අපට හිඟයක් ඇති නොවන පරිදි නැවත සැපයීමට හැකි වන මට්ටමට පැමිනීමටය' යනුවෙන් ලොක්හීඩ් මාටින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ෆ්‍රෑන්ක් සේන්ට් ජෝන් පැවසීය.

යුක්‍රේනයට විවෘතව ම ආක්‍රමනශීලී ආයුධ යෙදවීම, 'මෙය රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක්' සහ 'ඊට නැටෝව සම්බන්ධ නැත' යන ධවල මන්දිරයේ ප්‍රබන්ධයන් පුපුරුවා හැර ඇත.

අඟහරුවාදා ස්ට්‍රැස්බර්ග්හි යුරෝපීය කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාව ඉදිරියේ කතා කරමින්, ජර්මානු විදේශ ඇමතිනි ඇනලීනා බෙයර්බොක්, “අපි සටන් කරන්නේ රුසියාවට එරෙහිව මිස එකිනෙකාට එරෙහිව නොවේ” යනුවෙන් ප්‍රකාශ කරමින්, මූලික සත්‍යය පිලිගත්තා ය.

රුසියාවට එරෙහිව නැටෝ යුද ප්‍රකාශ නොකල බව යන කාරනය—ජර්මනිය සහ ඇමරිකාව යන දෙඅංශයෙන්ම—මුලුමනින්ම සාමාන්‍ය ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපදය සටන් කල එක් යුද්ධයකදීවත් යුද ප්‍රකාශ කර නැත. කොරියානු, වියට්නාමය, ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ සියල්ලම කොංග්‍රස් යුද ප්‍රකාශයකින් තොරව සිදු කරන ලදී.

යුක්‍රේනයේ යුද්ධය ආරම්භයේ සිට, ධවල මන්දිරයෙන් පිටවන සෑම ප්‍රසිද්ධ ප්‍රකාශයක්ම, යුද්ධය දැවැන්ත ලෙස උත්සන්න කිරීමේ ආන්ඩුවේ සැලසුම් පිලිබඳව ඇමරිකානු ජනතාව අඳුරේ තැබීම ඉලක්ක කර ඇත.

එක්සත් ජනපදය යුක්‍රේනයට “ප්‍රහාරක උපකරන” සහ “යුද ටැංකි” නොයවන බවට මාර්තු මාසයේදී බයිඩන් මහජනතාවට පොරොන්දු වූයේ, මෙය “තුන්වන ලෝක යුද්ධය” අවුලුවාලීමට හේතු වන බව පවසමිනි. අප පසුගිය මාර්තු මාසයේ බයිඩන්ගේ ප්‍රකාශයන් වචනාර්ථයෙන් ගතහොත්, යුක්‍රේනයට යුද ටැංකි යැවීමේ තීරනය ඇත්ත වශයෙන්ම, “තුන්වන ලෝක යුද්ධය” ආරම්භ කිරීමට ගත් තීරනයකි.

රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීම, යටත් කර ගැනීම, බිඳ විසිරවීම සහ සූරාකෑම හරහා ධනේශ්වර කතිපයාධිකාරයන් මුහුන දෙන අසංඛ්‍යාත අර්බුද විසඳීමට උත්සාහ කරමින්, නොවැලැක්විය හැකි ලෙස යුද්ධය කරගෙන යාමට නැටෝ බලවතුන් තීරනය කර ඇත.

යුද ටැංකි යෙදවීමට ක්‍රෙම්ලිනය ප්‍රතිචාර නොදක්වන බව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කොටස් විශ්වාස කරනවා විය හැකි නමුත්, ගැටුමට එතුලම තර්කනයක් තිබේ. රුසියානු කතිපයාධිකාරයේ කොටස් නියෝජනය කරන පුටින් ආන්ඩුව, යුක්‍රේනය ආක්‍රමනය කිරීම, අධිරාජ්‍යවාදී බලවතුන් සමග යම් ආකාරයක සුබදායක ගනුදෙනුවකට තුඩු දෙනු ඇතැයි බලාපොරොත්තු විය. එය, අභ්‍යන්තර අර්බුදයකට හා රුසියානු පාලක පන්තියේ කන්ඩායම් විසින් විශාල යුද උත්සන්නියක් සඳහා කරන ඉල්ලීම් වලට මුහුන දෙයි.

යුද්ධය න්‍යෂ්ටික ප්‍රහාර හුවමාරුවක් දක්වා වර්ධනය වීමේ අවදානම සහ බයිඩන් විසින්ම “මිනිස් සංහතිය අතුගා දමන මහා යුද්ධය” ලෙස හැඳින්වූ දෙය, එහි උත්සන්නියේ සෑම අවස්ථාවකදීම නව තලයකට නංවනු ලැබේ.

එක්සත් ජනපදය හා නැටෝ බලවතුන් ඔවුන්ගේ යුද ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට, එහි ප්‍රතිවිපාක ගැන ජනගහනයේ පුලුල් කොටස් දැන ගැනීම වැලැක්වීම සඳහා ඔවුන් හැකි සෑම දෙයක්ම කරති. බදාදා, යුද්ධයේ ප්‍රධාන නව අදියරක් නිවේදනය කරමින්, බයිඩන් විසින් කල මිනිත්තු 10 ක හදිසි ප්‍රකාශය, මාධ්‍යයේ ප්‍රශ්න කිරීමක මවාපෑමකින් පවා තොරව මහ දවාලේ ඉදිරිපත් කරන ලදී.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් දේශපාලඥයින්, පාලක ප්‍රභූව සහ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාද ලත් කොටස් වලින් ඔබ්බට, යුද්ධයට පුලුල් සහයෝගයක් නොමැති බව බයිඩන් පරිපාලනය හොඳින් දනී.

කෙසේ වෙතත්, තත්වයේ දැවැන්ත අන්තරාය නම්, යුද්ධයට එරෙහි මහජන විරෝධය දේශපාලනිකව සංවිධානය වී නොතිබීම යි. ලෝකය පුරා පුපුරා යන කම්කරු පන්තියේ වැඩෙන අරගල යුද්ධයට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කිරීමත්, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර ක‍්‍රමය අහෝසි කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලින් මෙම අරගල සන්නද්ධ කිරීමත් වහා අවශ්‍ය වේ.

Loading