නිසි ආරක්ෂක පියවර නොමැතිකමෙන් කොලඹ මහ නගරසභාවේ කම්කරුවන් දෙදෙනෙකු සේවයේදී මිය යයි

මාර්තු27 වන සදුදා, කොලඹ කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ මල අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක නිරතව සිටියදී, කොලඹ මහ නගර සභාවේ කොන්ත්‍රාත් පදනමේ කම්කරුවන් දෙදෙනෙක් අවසනාවන්ත ලෙස මිය ගියහ. එසේ මියගොස් ඇත්තේ, කොලඹ15 ෆර්ගියුෂන් පාරේ හේනමුල්ල කෑම්ප් හි පදිංචිව සිටි 34 හැවිරිදි ලක්ෂ්මනන් පෙරුමාල් ප්‍රකාශ් සහ කොලඹ 10, ශ්‍රී ප්‍රියදර්ශන මාවතේ පදිංචිව සිටි 28 හැවිදිරි එච්. ඒ්. කසුන් තාරක සම්පත් යන කම්කරුවන් දෙදෙනා ය.

28 හැවිදිරි එච්. ඒ්. කසුන් තාරක සම්පත්

මල නල පද්ධතියෙන් වහනය වූ හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ඇතුලු විෂ වායු ආඝ්‍රාහනය වීමෙන් සිහිසුන් වූ ඔවුන් රෝහල් ගත කිරීමෙන් පසු ව මියගිය ගොස් ඇත. විෂවායුව ආඝ්‍රාහනයවු ආසිරි චතුරංග නැමැති තවත් කම්කරුවකු කොලඹ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව වාර්තාවේ.

අදාල දිනයේ මල අපවහන නලයේ ඇති අවහිරතා ඉවත් කිරීම සඳහා පොලව මටටමේ සිට අඩි 24 කට වඩා ගැඹුරු ගලියක් (Manhole) තුලින් බැස එය පිරිසිදු කල යුතු ව තිබුනි. එවන් මල අපවහන නල පිරිසුදු කිරීමට ඊට විශේෂයෙන් පුහුනු කරන ලද කම්කරුවන් යොදාගත යුතු නමුත් එම කාර්ය සදහා පලමුව යොදාගෙන ඇත්තේ මාස දෙකක සේවාකාලයක් සහිත කොන්ත්‍රාත් පදනමේ නුපුහුනු කම්කරුවකු වන ලක්ෂ්මනන් ය.

34 හැවිරිදි ලක්ෂ්මනන් පෙරුමාල් ප්‍රකාශ්

ඔහු නලයෙන් පිටතට පැමිනීම ප්‍රමාද වූ තතු යටතේ දෙවැනි කම්කරුවා වන කසුන් ද නලය තුලට බස්සවා ඇත. ඔහුගේද පැමිනීම පමාවන විට ආසිරි ට ද ගලිය තුලින් පහලට යෑමට උපදෙස් දී ඇති අතර ඔහුට ද එම විෂවායුව ආඝ්‍රහනය වී සිහිසුන් වී ඇත. ආසිරි ගලියෙන් ඉවතට ගත් අනෙක් කම්කරුවන් ඔහු වහාම රෝහල් ගත කර තිබේ.

ප්‍රකාශ් ගේ ඛේදජනක මරනය පිලිබඳව ඔහුගේ බිරිඳ ගේ සොහොයුරු රවීන්ද්‍රන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට (ලෝසවෙඅ) මෙසේ පැවසීය:

“ මට මේ මරනය ගැන ආරංචි වුනේ හවස 4.45ට විතර. අපිට ආරංචි විදියට මේ සිද්ධිය වෙලා තියෙන්නේ සදුදා 3.47 ට. වෛද්‍ය වාර්තාවේ තියෙනවා ප්‍රකාශ් නැතිවෙලා තියෙන්නේ ඔක්සිජන් මදිවෙලයි කියලා. මගේ නංගිට රස්සාවක් නැහැ. එගොල්ලෝ ජීවත් වුනේ මේ පඩියෙන්. නංගියි එයාගේ දුවයි තනිවුනා. මේ අයට සාධාරනයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා”.

කසුන් තාරක සම්පත් ගේ බිරිඳගේ මව, එක් දරුවෙක් සහ බිරිඳ

අවුරුදු 8 ක සහ අවුරුදු 3ක දියනියන් දෙදෙනෙකු සිටින කසුන්ගේ බිරිඳ වන තිලංකා නිල්මිනි කියා සිටියේ කසුන් කොලඹ මහ නගර සභාවේ අවුරුදු තුනහමාරක් ස්ථිර සේවකයෙක් ලෙස රැකියාවේ නිරතව සිටි බවයි. 'එදා සම්පත් මට දවල් 1.00 ටත් කෝල් කලා. ඊට පස්සේ කෝල් කලාම ෆෝන් එක ඕෆ් වෙලා තිබුනා. මම සම්පත් නැතුවුන එක දැනගත්තේ හවස පහට විතර. හොස්පිට්ල් එකට ගේන කොටත් සම්පත්ට පන තිබිලා තියෙනවා. මේ කිරි දරුවන්ට තාත්තා කෙනෙක් නැතිවුනා. දරුවො අහන ප්‍රහ්න වලට මට උත්තර දෙන්න බැහැ.”

ප්‍රකාෂ්ගේ දෛනික වැටුප රුපියල් 3,500 ක් වූ අතර ස්ථීර කම්කරුවෙකු වූ සම්පත් ගේ මාසික වැටුප් සියලු දීමනා සහිතව රුපියල් 35,000 කි. ඔවුන් දෙදෙනාගේ මරනය නිසා දරුපවුල් වලට ඒ සොච්චම් ආදායම ද දැන් අහිමිවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි මල අපවහන නලයක අවහිරතා ඉවත් කිරීමේදී පලමුව ගලි ආවරනය (Manhole cover) විවෘත කර පැය එකහමාරක් පමන කාලයක් විවෘතව තබා විෂ වායුන් ක්‍රමයෙන් අවට පරිසරයට එකතු වන්නට ඉඩ හරිනු ලැබේ. ඉන් පසුව බලයලත් නිලධාරියකු විසින් පරීක්ෂාකොට ගලිය තුල විෂ වායුව නොමැති බවට නිර්දේෂ කිරීමෙන් අනතුරුව ඔහු විසින් දෙනු ලබන උපදෙස් මත මල අපවහන නලය තුලට බැසිය යුතුය.

මෙහිදී ඊට අදාල අත්වැසුම්, විෂ වායුන් ආඝ්‍රහනය නොවන මුහුනු ආවරන, මල ද්‍රව්‍ය ස්පර්ශ නොවන පරිදි පලඳින ආරක්ෂිත පාවහන් සහ ආරක්ෂිත ඇදුම්, විෂබීජ නාශක සබන් සහ ඉනිමං වැනි ද්‍රව්‍ය පමනක් නොව, හදිසි ආපදාවක දී අවශ්‍ය පියවර ගැනීම සඳහා ගිලන් රථ පවා කොලඹ මහ නගර සභාව විසින් ලබා දියයුතු ය.

එපමනක් නොව, මල අපවහන නල ආශ්‍රිතව සේවය කරන කම්කරුවන් නිරන්තරව විෂබීජයන්ට නිරාවරනය වන බැවින්, ඔවුන් නිසි වෛද්‍ය පරීක්ෂන වලට භාජනය කරමින් සේවයේ යෙදවිය යුතුය. මීට අමතරව; මෙම කම්කරුවන්ට හා වැඩ පරීක්ෂකවරුන්ට, මලනල වලින් පිටවන විෂවායු, හදිසි අවස්ථාවක ලබාදෙන ප්‍රථමාධාර හා සෞඛ්‍ය තත්වය පිලිබඳව විධිමත් පුහුනුවක් ද ලබාදිය යුතුය.

මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු වන පී.ජී.තිසාක්‍යා සහ ඩී.එම්.පී.පී.දිසානායක විසින්, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කලමනාකරන ක්ෂේත්‍රයේ යෙදෙන කම්කරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, 2022 දී කරන ලද සමීක්ෂනයකට අනුව එකී කම්කරුවන්ට, 'වර්තමානයේදී, මනාව සැලසුම් කරන ලද (සෞඛ්‍ය සහ ආරක්ෂක) පුහුනු වැඩසටහන් සහ උපදෙස් නිතිපතා සම්පාදනය නොකෙරේ'. 'පෞද්ගලික ආරක්ෂක උපකරන භාවිතා කිරීමට පමනක් නිතර උපදෙස් දෙන' නමුදු ප්‍රමානවත් සහ ගුනාත්මක උපකරන සම්පාදනයක් සිදු නොවේ.

තරුන කම්කරුවන් දෙදෙනාගේ ජීවිත අහිමි කෙරුනු අදාල කාර්යය ට කම්කරුවන් පස් දෙනෙකු සහ වැඩපරීක්ෂකවරයෙකු සහභාගි වී ඇති අතර, ඉහත දැක්වු උපකරන කිසිවක් සපයා නොතිබූ බවත්, බලයලත් නිලධාරියෙකු විසින් ගලිය පරීක්ෂාකොට ලබාදුන් නිර්දේශ මත කම්කරුවන් ගලියට බස්සවා නොමැති බවත් අපට වාර්තා විය.

පලමුව ගලිය තුලට ගිය ප්‍රකාශ් යලි පැමිනීම ප්‍රමාද වූ තතු තුල, කිසිදු වගවිභාගයකින් තොරව සම්පත් ද ගලිය තුලට යවා ඇත. ඔහු ද ප්‍රමාදවීම හේතුවෙන් තුන්වන්නා ද ගලිය තුලට යවා තිබේ. අවට ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන්, වරාය අධිකාරිය ට අනුබද්ධ ගිනි නිවන ඒකකයේ සහය ඇතිව, මිනිත්තු හතලිස් පහකට පමන පසු ඉනිමං ආධාරයෙන් කම්කරුවන් දෙදෙනා පිටතට ගෙන ඇත.

මෙම ගලිය පිලිබඳව විස්තර කරමින් ප්‍රදේශවාසියෙකු මෙසේ ප්‍රකාශ කලේ ය: “අඩි 37 ක් විතර ගැඹුරු මේ ගලිය දැන් නිතරම උතුරනවා. මේ ලඟ ලොකු බිල්ඩින් එකක් හැදුවා ඊටපස්සේ තමයි මෙහෙම උතුරන්නේ. අපි දැක්කනම් කවුරුවත් මේකට බස්සන්න දෙන්නේ නැහැ. නගර සභාවේ පරිපාලනය අවශ්‍ය ආරක්ෂක පියවර ගත්තෙ නැති නිසා අපරාදේ තරුන ජිවිත දෙකක් නැති වුනා. ”

ලක්ෂ්මනන් ගේ සහ කසුන් ගේ අවමංගල්‍යයන්, පිලිවෙලින් මාර්තු 30 සහ අප්‍රේල් 01 යන දිනයන්හි දී, ශෝකයට පත් ඔවුන්ගේ දූදරුවන්, බිරින්දෑවරුන්, නෑදෑ හිතමිතුරන් ඇතුලු සහෝදර කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

කම්කරුවන් දෙදෙනා සේවය කල කොලඹ මහ නගරසභාවට අනුබද්ධ දිසා කාර්යාලය -1 අවට සුදු කොඩි දමා මියගිය කම්කරුවන්ගේ ඡායාරූප සහිත බැනර් එල්ලා තිබුන ද, ලෝසවෙඅ වාර්තාකරුවන් මෙම මරන සිදු වී ඇති ආකාරය සහ තමා මුහුනදෙන සේවා කොන්දේසි පිලිබඳව සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් විමසු සෑම අවස්ථාවක ම, ඉහල නිලධාරීන්ගේ බලපෑම මත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කෙරුනි.

කොලඹ මහ නගරසභාව වාර්ෂිකව රුපියල් බිලියන 17 ක ආදායමක් ලැබුව ද අලුතින් බදවාගන්නා ලද නවක කම්කරුවන් , වැඩ පරීක්ෂකවරුන් ඇතුලු නවක සේවකයන්ට තමන් කරන කාර්ය භාරය සඳහා විධිමත් පුහුනුවක් ලබානොදීමත් අදාල උපකරන සහ මෙවලම් සඳහා වැයවන පිරිවැය දැරීමට කොලඹ මහ නගර සභාවේ බලධාරින් ක්‍රියා නොකිරීමත් නිසා, මෙම ඛේදජනක මරන වල ට මුලුමනින් ම වගකිව යුත්තේ කොලඹ මහ නගර සභාවේ පාලානාධිකාරය යි

ශ්‍රී ලංකාව තුල ගැඹුරුවන ආර්ථික අර්බුදය හේතුකොට ගෙන මෙම ආයතන විසින් සපයන විවිධ සේවාවන් සඳහා වෙන්කරන මුදල් බරපතලව කපා දමමින් පවතින අතර, ආනයනය සීමා කිරීම සහ රුපියලේ අගය පහත වැටීම සහ පුහුනුවීම් සහ අවශ්‍යය මෙවලම් සහ උපකරන මිලදී ගැනීම් සීමා කිරීමට හෝ නතර කිරීමට බල කෙරි ඇත.

කම්කරුවන්ට ලබාදිය යුතු සනිපාරක්ෂක දියර සහ සබන් වැනි අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පවා නිසි ආකාරයකට කලට වේලාවට නොලැබෙන නිසා ඒවා මේ වන විට තමන්ගේ සොච්චම් වැටුපෙන් මිලදි ගෙන සේවයේ යෙදීමට ඔවුනට සිදුව ඇත. වසර ගනනාවකින් ඔවුන් වෛද්‍ය පරීක්ෂනයකට භාජනයකර නොමැත. ජීවත්වීම සඳහා වෙනත් රැකියාවක් නොමැති බැවින් ජීවිතය පරදුවට තබා කම්කරුවන් ට මෙම දුෂ්කර රැකියාවේ යෙදීම ට බලකෙරී ඇත.

මේ අන්දමට ලංකාව තුල කම්කරුවන් මිය යෑම පිලිබඳව කම්කරු දෙපාර්තුමේන්තුව ප්‍රකාශයට පත්කරන ලද 2021වසරේ ශ්‍රී ලංකාවේ “වාර්ෂික කම්කරු සංඛ්‍යාන වාර්තාව” (Annual Labour Statistics Report ,Sri Lanka ,2021 ) ට අනුව වාහන අනතුරු වලින් මියයාමේ ප්‍රතිශතය සියයට 36.3 කි. උස් ස්ථානයන් ගෙන් වැටීමෙන්, විදුලි සැර වැදීමෙන්, වෙනත් ද්‍රව්‍ය මත වැටීමෙන් සහ වෙනත් අතුරු මරන ප්‍රතිශතය පිලිවෙලින් සියයට 12.7ක් සියයට 5.1, සියයට 8.3 ක් සහ සියයට 17.2 කි.

මෙම මරනයන් බෙහෙවින් ම සිදුවන්නේ අවශ්‍ය ආරක්ෂක පහසුකම්, සුදුසු උපකරන හා නිසි පුහුනුවක් නැතිකම, අධික වැඩ බර සහ කම්කරුවන්ගේ ජීවිත කෙරෙහි ධනේශ්වර ආන්ඩු සහ ධනපති හාම්පුතුන් දක්වන තුච්ඡ නොතැකීම හේතුකොටගෙනය. කොලඹ මහ නගර සභාවේ කම්කරුවන් දෙදෙනාගේ මරන ඒ පිලිබඳ තවත් ප්‍රබල හෙලිදරව්වකි.

Loading