යූඇන්පී ය නඟා සිටුවීමේ අරමුනින් සමසමාජවාදය පුනරුත්ථාපනය කිරීමේ බෙලහීන ප‍්‍රයත්නයක්

විලානි පීරිස් හා සරත් කුමාර විසිනි, 2013 අපේ‍්‍රල් 8

මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න පෙබරවාරි 10 වෙනි දින රාවය පුවත්පතට ලිපියක් ලියමින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂ පෙරමුනක් ගොඩනැගීම සඳහා ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) හා ස්ටැලින්වාදී ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට (කොප) ආන්ඩුව තුල "තමන්ගේ ඇමැති තනතුරුවලින් ඉවත් වී විරුද්ධ පක්ෂයට ඒකාබද්ධ විය යුතු" යැයි යෝජනා කර ඇත.

"නිදහසින් පසු වම: ඔවුන්ට දැනුත් නැගිටින්නට පිලිවන" යන සෙනෙවිරත්නගේ ලිපිය, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩ කරන ජනතාවගේ දැවෙන විරෝධය, යූඇන්පී ය ප‍්‍රමුඛ පලල් පෙරමුනක් මගින් කුදලා එහි ආන්ඩුවකට පාර කැපීමට දැරෙන මංමුලාසහගත උත්සාහයක කොටසකි. ශ‍්‍රීලනිප ය සමග හවුල් ආන්ඩු ගොඩ නගමින් ද යූඇන්පී ආන්ඩුවලට මුක්කුව දෙමින් ද දශක පහක පමන කාලයක් කම්කරුවන්ට, දුගීන්ට එරෙහි ප‍්‍රහාර දියත් කොට අපකීර්තියට පත්ව සිටින ලසසපට හා කොපට පාලක හවුලෙන් බිඳී ආවොත් විපක්ෂ පෙරමුනකට පන පිඹ ගැනීමට හැකි වේයැයි සෙනෙවිරත්න ගනන් බලයි.

ධනපති පන්තියේ ප‍්‍රතිපත්ති ගොඩ නැගීමට මත ඉදිරිපත් කරන්නෙකු ලෙස ප‍්‍රකට සෙනෙවිරත්න යූඇන්පීයට සමීප ය. යූඇන්පීය 2002 බලයේ සිටිය දී අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව එල්ටීටීඊ ය කොලඹ ආන්ඩුවේ කනිෂ්ට හවුල්කරුවෙක් කර ගැනීමේ ඉලක්කයෙන් ඇති කර ගත් සාම ගිවිසුමට ඔහු එකහෙලා සහයෝගය දැක්වීය. 2005 ජනාධිපතිවරනයේ දී ධනපති පක්ෂ අපේක්ෂකයන්ගෙන් "අඩු නපුර" ලෙස ඔහු විසින් තෝරා ගත්තේ යූඇන්පී නායක රනිල් වික‍්‍රමසිංහ ය.

රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය යටපත් කර ගැනීමට යොදා ගත හැකි විකල්පයක් නොමැති වීම ධනපති පන්තියේ සෑහෙන කන්ඩායමකට ප‍්‍රශ්නයකි. ධනපති පන්තියේ සම්ප‍්‍රදායික පක්ෂය වන යූඇන්පී ය උග‍්‍ර අර්බුදයක ගිලී ඇති තතු තුල, කම්කරු පන්තිය සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට ම එරෙහිව ඉදිරියට එතැයි පාලක පන්තික ස්ථරයක් භීතියට පත්ව ඇත. සෙනෙවිරත්න පිලිබිඹු කරන්නේ එම තැති ගැනීම යි.

ලසසපට හා කොපට අත වනන සෙනෙවිරත්න ඒවා ඔහුගේ විවේචනයට ලක්වන ආන්ඩුවේ දුෂ්ඨ ක‍්‍රියාකලාපයෙන් වෙන් වන්නේ කෙසේදැයි පැහැදිලි නොකරයි. වර්ගවාදී යුද්ධය හරහා දහස් ගනන් බිලිගත් රාජපක්ෂ ආන්ඩුව දෙමල ජාතියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පාගා දැමීම උත්සන්න කර ඇත්තේ ලසසපයේ හා කොපයේ පූර්න සහයෝගය මත ය. ලෝක ධන්ශ්වර අර්බුදයෙන්ද යුද වියදම්වලින් ද උත්සන්න කෙරුන ලංකාවේ ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට මෙම පක්ෂ සහයෝගය දෙයි.

නමුත් කම්කරු පන්තියට එරෙහි මෙම ප‍්‍රහාර සෙනෙවිරත්නට ප‍්‍රශ්නයක් නොවේ. යෝජනා කරන විකල්ප ආන්ඩුව ක‍්‍රියාත්මක කල යුතු වෙනස් ආර්ථික වැඩ පිලිවෙලක් ගැන ඔහු කතා නොකරයි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ඔහුගේ දුක්ගැනවිල්ල ''දූෂනය, අපරාධ, ඥාති සංග‍්‍රහය, අකටයුතු සැලකිල්ල" ආදිය ගැන යි.

කම්කරු පීඩිත ජනයා සූරාකෑමෙන් සමුච්ඡය කර ගන්නා ධනයෙන් වැඩිමනත් කොටස රාජපක්ෂ කල්ලිය විසින් අයත් කර ගන්නා තතු යටතේ, ''තමාට හිමි කොටස" අහිමිවීම ගැන අතෘප්තියට පත්ව ඇති පාලක පන්තියේ හා ඉහල මධ්‍යම පන්තියේ කොටස්වල උවමනාකම් සෙනෙවිරත්න විසින් නියෝජනය කෙරෙයි. ආන්ඩුව, ඇමරිකාව ඇතුලු බටහිරට වූ තම සම්ප‍්‍රදායික හැඩගැස්ම වෙනස් කර චීනය සමග සම්බන්ධතා තර කර ගැනීම ගැන ද මෙම කොටස් කනස්සල්ලට පත්ව සිටිති.

මෙම කොටස්වල ප‍්‍රධාන නියෝජිතයා වන යූඇන්පී ය නගා සිටුවීමට නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය දැනටමත් ක‍්‍රියාත්මක වී ඇති අතර ඊට තවත් මුක්කුවක් ගැසීමට සෙනෙවිරත්න ද උත්සාහ කරයි.

තමා යෝජනා කරන පෙරමුන සඳහා කිසිදු විකල්ප ආර්ථික දේශපාලන ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරයි. ඔහුගේ අවධානය යොමුවන්නේ අන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ කටයුතු මගින් සංස්ථාපිතයේ සෙසු කොටස්වලට සිදු වන්නා වූ හානියට ය. ව්‍යාජ දෝෂාභියෝගයක් මගින් ශිරානි බන්ඩාරනායක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස අග‍්‍රවිනිශ්චයකාර ධූරයෙන් පහකිරීම පිලිබඳව විරෝධය දක්වමින් නොවැම්බර් 5වන දා කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියට ඔහු ලියූ ලිපිය ද යොමු කර තිබුනේ වෙනත් පාලනයක් අටවා ගැනීමේ ඉහත ඉලක්කයට ය .

යූඇන්පී නායකත්වය යටතේ ලසසප හා කොප අටවන හවුල මැතිවරන පෙරමුනක් දක්වා දික් කල යුතු යැයි සෙනෙවිරත්න යෝජනා කරයි. එසේ කිරීම, ''ජනතාවගේ රුධිරයෙන් සහ දහඩියෙන් යැපෙන තනතුරුවල සුඛෝපභෝගී වරදාන භුක්ති විඳිනවා වෙනුවට .... වමේ නායකත්වය සඳහා මහඟු අභ්‍යාසයක් වන" බව යි.

එහෙත් යූඇන්පීයේ වාර්තාව කුමක් ද? 1948 ඊනියා නිදහසෙන් පසු ආන්ඩුව ඇටවූ යූඇන්පී ය වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් දෙමල විරෝධී වාර්ගික භේදකරනය පටන් ගෙන එය 1983 දී වර්ගවාදී යුද්ධය දක්වා උත්සන්න කොට ලක්ෂයකට වැඩි දෙමල සිවිල් වැසියන් ඝාතනයට පාර කැපී ය. මහජනයාගේ අයිතීන්ට බරපතල පහර එල්ල කල, අද රාජපක්ෂ ආන්ඩුව ද අනුයන විවෘත ආර්ථික ප‍්‍රතිසංස්කරන ආරම්භ කලේ ද 1977 දී බලයට ආ යූඇන්පී ආන්ඩුව යි . 1988-89 කාලයේ දී හැට දහසකට අධික ගම්බද තරුන පිරිසක් ඝාතනය කිරීම ද යූඇන්පී වාර්තාවට අයත් ය.

රනිල් වික‍්‍රමසිංහ බලයට ආවොත් පටන් ගනු ඇත්තේ රාජපක්ෂ නතර කල තැනිනි. පොලිස් රාජ්‍යයක් ගොඩනැගීමේ පියවර රාජපක්ෂගේ පුද්ගලික දුෂ්ටත්වයක ප‍්‍රථිපලයක් නොවේ. ගැඹුරුවන ආර්ථික හා දේශපාලන අර්බුදය තුල, කම්කරු පන්තියේ නැගිටීමක් ගැන තැති ගැනී සිටින පාලක පන්තියේ මොන නියෝජිතයා බලයට ආවත් ගෙනයනු ඇත්තේ පොලිස් රාජ්‍ය පාලනයකි.

යූඇන්පී ය ප‍්‍රමුඛ පෙරමුනකට ලසසපය ඇද ගැනීමට වලිකන සෙනෙවිරත්න එහි නායකයන් ඉදිරියේ මෙසේ පපුවට තඩිබා ගනියි: "...එහෙත් මම ඔබට දොස් පවරමි. චෝදනා කරමි. ඔබගේ නිර්මාතෘවරුන්ගේ පරමාදර්ශයන්ට අනුගත වෙමින් ඔබේ හෘද සාක්ෂිය කැඳවන්නැ යි මම ඔබට අභියෝග කරමි.”

මෙරට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය විකෘති කිරීම මගින් සමසමාජවාදයට යම් විශ්වාසනීයත්වයක් අත් කර දී යෝජනා කරන පලල් පෙරමුන යුක්ති යුක්ත කිරීමට ද සෙනවිරත්න තැත් කරයි. ඔහු ලසසප ඉතිහාසය විකෘත කරන නිසා ඒ පිලිබඳව මෙහිලා කෙටියෙන් වුව සඳහන් කරනු වටී.

සෙනෙවිරත්න, ලසසප නිර්මාතෘවරුන් ගැන උජාරුවෙන් කතාකරන නමුත් ට්‍රොට්ස්කිවාදයට යොමුවූ කොටස් එයින් බිඳී, 1942 දී හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උපමහාද්වීපීය ශාඛාව ලෙස ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) ගොඩනැගීම ගැන හෝ ට්‍රොට්ස්කිවාදය ගැන වචනයක්වත් සඳහන් කර නැත. එය, ට්‍රොට්ස්කිවාදය කෙරෙහි ඔහු තුල පවත්නා සතුරුභාවය ප‍්‍රදර්ශනය කිරීමකි.

1935 දී ලසසප ගොඩ නගන ලද්දේ මාක්ස්වාදී පක්ෂයක් ලෙස නොව, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීම අරමුනු කරගත් සටන්කාමී ජාතිකවාදී සංවිධානයක් ලෙස ය.

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම්ව ස්ටැලින්වාදයට එරෙහි දේශපාලන අරගලයක් මගින් කම්කරු පන්තික පක්ෂයක් ගොඩ නැගීමෙන් තොරව ඉදිරියට යා නොහැකි බව තේරුම් ගත් කොටස් බීඑල්පීඅයි පිහිටුවීමට මූලිකත්වය ගත්හ.

සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භක සම්මේලන යෝජනාව සඳහන් කල පරිදි, "ස්ටැලින්වාදීන් පලවා හැරීම ද හතර වන ජාත්‍යන්තරය වෙත හැරීම ද ලසසප පන්ති අක්ෂයේ තීරනාත්මක සන්ධිස්ථානයකි. එය නොනවතින විප්ලව න්‍යාය මත පක්ෂය දේශපාලනිකව නව මගකට යොමු කලේ ය. අන් සියල්ලටමත් වඩා ලසසප නායකයෝ ලංකාව තුල සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග අවියෝජනීය ලෙස බැඳී පවත්නා බව වටහා ගත්හ. දුර දක්නා පියවරක් ගත් ලසසපය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උප මහාද්වීපය පුරා කම්කරු පන්ති අරගල ඒකාග‍්‍ර කිරීම සඳහා සමස්ත ඉන්දීය පක්ෂයක්, හතර වන ජාත්‍යන්තරයේ කොටසක් ලෙස පිහිටුවිය යුතුව ඇතැ යි නිගමනය කලේ ය."

ජාත්‍යන්තරවාදය මත දැඩිව පදනම් වූ බීඑල්පීඅයි ඉදිරි දර්ශනය, ලංකාවේ සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී විප්ලවය සමග මුලුමනින් ම බැඳී ඇති බව පිලිගැනීම මත පාදක විය.(කියවන්න:සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් )

කලාපය ම වෙලාගෙන ඇති, ලේ වැකි වාර්ගික කා කොටාගැනීම් දෙස බලන විට, වත්මන් පකිස්ථානය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය හා බුරුමයේ කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදයේ වැඩ පිලිවෙල මත ඒකාබද්ධ කිරීම සඳහා පිහිට වූ බීඑල්පීඅයි ඉදිරි දර්ශනයේ දුර දක්නාභාවය පැහැදිලි වෙයි.

1948 නිදහස "ප්‍රෝඩාවක්" බව ප‍්‍රකාශ කරමින් බීඑල්පීඅයි ඊට එරෙහිව 50,000ක් කම්කරුවන් හා පීඩිතයන් ගෝල්ෆේස් පිට්ටනියට බලමුලු ගැන්වීම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මෙන් ම ජාතික ධනපතියන්ට පවා අභියෝගයක් විය.

සෙනෙවිරත්නට අනුව ලසසප යේ පිරිහීම පිලිප් ගුනවර්ධන, එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බන්ඩාරනායක ගේ ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් සමග සන්ධාන ගත වූ 1956 දී සලකුනු විය. නමුත් ඉතිහාසය මීට වෙනස් ය.

බීඑල්පීඅයි ය ගොඩනැගීම සඳහා දායකවීම මගින් පිලිප් ගුනවර්ධන මෙම කලාපයේ මාක්ස්වාදයේ වර්ධනයට තීරනාත්මක ලෙස දායක වූ බව සත්‍යයකි. නමුදු, 1942 දී ''ඉන්දියාවෙන් පිටවව්!" ව්‍යාපාරයෙන් පුපුරා ගිය විප්ලවවාදී රැල්ල පසුබා යත් ම, නැවත සමසමාජවාදය කරා පල්ලම් බැසීම සලකුනු කරමින් විවිධ ධනපති කන්ඩායම් ද සමග ප‍්‍රතිපත්ති විරහිත හවුලක් අටවා ගත යුතු යයි ඔහු එන්.එම්. පෙරේරා සමග එක්ව තර්ක කලේ ය. මෙය භේදයක් කරා ම යමින් හතලිස් ගනන් මැද භාගයේ දී ගුනවර්ධන හා පෙරේරා කන්ඩායම බීඑල්පීඅයි යෙන් වෙන් වූහ.

අලුතින් තනන ලද ජාතික රාජ්‍ය පද්ධතියට අනුගත වෙමින්, ජාතිකවාදයට නැවත පසුබැසීම සලකුනු කරමින් 1950 දී බීඑල්පීඅයි ලසසපය තුල දිය කර දැමීම, ලංකාවේ ට්‍රොට්ස්කිවාදයේ පරිහානියේ ආරම්භය විය. මෙය, පශ්චාත් යුද සමතුලිතතාවයට අනුගතවීමක් ලෙස හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගුනු සංශෝධනවාදී ප‍්‍රවනතාවක් වන පැබ්ලෝවාදයේ ප‍්‍රකාශනයකි. ඔවුන් කම්කරු පන්තියේ විප්ලවවාදී ක‍්‍රියාකලාපය හා නව ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩ නැගීම ප‍්‍රතික්ෂේප කලහ. 1953 දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටු වන ලද්දේ මෙම සංශෝධනවාදයට එරෙහිව සටන් කරමිනි.

ලසසප ය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 1964 දී කරනු ලැබූ පාවාදීමට පාර කැපුනේ මෙමගිනි. මහාචාර්යවරයාට ලසසප යේ ඓතිහාසික මහා පාවාදීම සිදු වූ වර්ෂය පවා අමතක වී එය සඳහන් කරන්නේ, 1965 ලෙස ය. ලෝක ඉතිහාසය තුල ට්‍රොට්ස්කිවාදී යැයි කියාගත් පක්ෂයක් ධනපති පක්ෂයක් සමග හවුල් ආන්ඩුවකට ඒකාබද්ධ වූ ප‍්‍රථම අවස්ථාව මෙය වූ අතර එමගින් කම්කරු පන්තියේ ස්වාධීනත්වය මුලුමනින් ම පාවා දුන්නේ ය. එමගින් ලංකාවේ ද ඉන්දියාවේ ද සුලු ධනේශ්වර ව්‍යපාරයන්ගේ වර්ධනයට කොන්දේසි නිර්මානය කෙරින.

අද දක්වාමත් දිවෙන කම්කරුවන් හා දුගීන් මුහුනදෙන ව්‍යසනකාරී තත්වයට මෙම පාවාදීම වග කිවයුතු ය.

1970 දී බලයට පත්වූ ලසසපය හා කොප ඇතුලත් හවුල් ආන්ඩුව, 1971 දී ජනතා විමුක්ති පෙරමුනේ අතිධාවනකාරී නැගිටීම මැඩලමින් 15,000ක් ගම්බද තරුනයන් ඝාතනය කල අතර කම්කරු පන්තිය මතට අර්බුදයේ බර පටවන ප‍්‍රහාර මාලාවක් එල්ල කලේ ය. 1972 දී ලසසපයේ කොල්වින් ආර් ද සිල්වා කෙටුම්පත් කල නව ව්‍යවස්ථාවෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ද බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ද ස්ථාපිත කෙරුනි.

මෙම ද්‍රෝහී ක‍්‍රියාකලාපයන් හේතුවෙන් ලසසපයට තිබූ කම්කරු පදනම දිය වී ගොස් දශක ගනනකි. මහලු නිලධාරීන් අතලොස්සකගේ පක්ෂයන් වන ලසසපය හෝ කොපයට කිසිදු ස්වාධීනත්වයක් නැත. මෙම පක්ෂ නිලධරයට අවශ්‍යව ඇත්තේ, ශ‍්‍රීලනිපය සමග සහවාසයෙන් තම පලාත් සභා, ප‍්‍රාදේශීය සභා හා නගර සභා වැනි අයතනවල ඉතිරිව ඇති තම මන්ත‍්‍රී ධූර ඇතුලු වරප‍්‍රසාදවලට බැලමෙහෙකම් කිරීම ය.

යූඇන්පී ය ඇතුලු පක්ෂ සමග ගසන පෙරමුනුවල අරමුන කම්කරු පන්තියට වල කපා ධනේශ්වර පාලනය රැක ගැනීම යි. කම්කරුවන් හා තරුනයන් මේ උගුල් යෝජනා ප‍්‍රතික්ෂේප කර සුදානම් විය යුත්තේ, සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කිරීමට යි. රාජපක්ෂ ආන්ඩුවේ පොලිස් රාජ්‍ය වැඩපිලිවෙලට වෙනත් පිලිතුරක් නැත.

ලසසප හා අනෙකුත් අවස්ථාවාදී දේශපාලනයන්ට එරෙහි අරගලයකින් කම්කරු පන්තියේ ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට සටන් කලේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි පෙර ගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය යි. සසප ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසක් ලෙස විප්ලවවාදී ඉදිරිදර්ශනය ඉදිරිපත් කරයි. සසප ගොඩනැගීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන් ද තරුනයන්ගෙන් ද අපි ඉල්ලමු.

Share this article: