ශ්‍රී ලංකා ආන්ඩුවේ නය බර වැඩිවේ

Sri Lanka government faces rising debt burden

By Saman Gunadasa, 19 January 2013

ශ්‍රී ලංකා ආන්ඩුව 2013 ආරම්භ කලේ ආර්ථිකය පිලිබද වෛවර්න චිත්‍රයක් මවන්නට උත්සාහ කරමිනි. මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් ජනවාරි 2 දා, තම 2013 මාර්ග සිතියම පැහැදිලි කරමින් 2016 දී ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 4,000 කට නගිනු ඇතැයි ප්‍රකාශ කලේ ය. 2012 දී සියයට 6.5ක් වූ වර්ධන අනුපාතය 2013 දී සියයට 7.5කින් ඉහල යනු ඇතැයි අනාවැකි පලකරමින් භාන්ඩාගාර ලේකම් පී.බී.ජයසුන්දර ඔහුට අත්වැල් සැපයී ය.

කෙසේවුවද, තේ සහ ඇඟලුම් වැනි රටෙහි ප්‍රධාන අපනයන ඇදවැටීමත් ගිය වසරේ රජයේ සෘජු විදේශ ආයෝජන (සෘවිආ) ඉලක්කය වූ ඩොලර් බිලියන 2 කින් අඩකට පමනක් ලඟාවීමත් සමග, මෙම නිල අනාවැකි, විශේෂයෙන් ම යටිතල පහසුකම් වෙනුවෙන් රජයේ වියදම්, නය ලබා ගැනීමේ හැකියාව මත ප්‍රධාන වශයෙන් රඳා පවතී.

ජනවාරි 4 දා පැවති මාධ්‍ය හමුවක දී, සංචාරක ව්‍යාපාරය, නාගරික සංවර්ධනය, ඉදිකිරීම් සහ රාජ්‍ය ආයෝජන වැඩ සටහන් 2013 වර්ධනයට උපකාර වනු ඇති බවට ජයසුන්දර පැවසීය. රාජ්‍ය නයගැනීම් ඉහල දැමීමකින් තොරව මෙම අංශයන් පුලුල් කල නොහැකි අතර ඒවා ආපසු ගෙවීම යනු කම්කරු පංතියට එරෙහිව කප්පාදු වැඩපිලිවෙල තීව්‍ර කිරීම යි.

දැනටමත්, ආන්ඩුවේ අයවැය විසර්ජන පනතට අනුව, 2012 දී රුපියල් බිලියන 914ක් වූ නය ආපසු ගෙවීම් වියදම, සියයට 26කින් ඉහල යමින්, 2013 දී රුපියල් බිලියන 1,154ක් (එජ ඩොලර් බිලියන 9.1) වනු ඇත. 2009 දී ඩොලර් බිලියන 2.6ක නයක් ලබාගැනීමෙන් පසු, දැන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමුඅ) තවත් ඩොලර් බිලියන 1ක නයක් බලාපොරොත්තුවෙන් පසු වේ.

එක්සත් ජනපදය සහ එහි සගයින් සමග ආතතීන් උත්සන්න කරමින්, පසුගිය දශකය පුරා ආධාර, නය සහ ආයෝජන සඳහා රටෙහි ප්‍රධානත ම මූලාශ්‍රයන්ගෙන් එකක් වන චීනය මත තව දුරටත් යැපීමට රාජපක්ෂ ආන්ඩුවට සිදුවනු ඇත.

ආර්ථිකය, විශේෂයෙන් ම අස්ථිර ගෙවුම් ශේෂය, ප්‍රධාන ලෙස ම මැද පෙරදිග පීඩාකාරී තත්වයන් යටතේ තම ශ්‍රමය වැයකරන ශ්‍රී ලාංකීය කම්කරුවන් දස දහස් ගනනක විසින් එවන මුදල් මත දැඩි ලෙස රැඳේ. මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2011ට වඩා සියයට 17ක්, එනම් 2012 දී ඩොලර් බිලියන 6කට එම මුදල ලඟාවිය. එනම් සමස්ථ විදේශ විනිමය එකතුවෙන් එය සියයට 35 කි. කෙසේවුවද, මෙම ආදායම, අස්ථිරභාවය වැඩෙන මැද පෙරදිග තත්වයන්ට බොහෝ සංවේදී ය.

ප්‍රබල වර්ධන අපේක්ෂාවන් සම්බන්ධව නිල ප්‍රකාශන තිබියදී වුවත්, රටේ අග්‍ර විනිශ්චයකාරියට එරෙහිව ආන්ඩුවේ දෝෂාභියෝගය විසින් නිර්මානය කෙරුනු ව්‍යවස්ථාමය අර්බුදය හේතුවෙන් සෘවිආ සහ පුද්ගලික දේශීය ආයෝජන යන දෙවර්ගය ම පහල වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ''රටෙහි සංවර්ධන ක්‍රියා දාමය" දේශපාලන අර්බුදය හේතුවෙන් "නරක අතට බලපානු ඇතැයි" ඒකාබද්ධ ව්‍යාපාර මංඩලය අනතුරු ඇඟවීය.

තම 2013 මාර්ග සිතියම් වාර්තාවෙහි, 2011 දී රටේ නය, දල දේශීය නිෂ්පාදනයේ (දදේනි) ප්‍රතිශතයක් ලෙස 78.5ක් ව තිබූ අතර 2012 දී එය දදේනියෙන් සියයට 81කට ඉහල ගිය බව කබ්රාල් පිලිගත්තේය. ගිය සැප්තැම්බරයේ දී, ආන්ඩුවේ සමස්ත නොගෙවූ නය රුපියල් බිලියන 6,262ක් වූ අතර එය පසුගිය වසරට වඩා සියයට 23ක වර්ධනයකි. එම සමස්තයෙන්, බාහිර විදේශ මුදල් නය රුපියල් බිලියන 2,981ක් වන අතර එය සියයට 33කින් ඉහල යෑමකි.

ශ්‍රී ලංකාව "දුර්වල බාහිර ද්‍රවශීලතාවය, සාමාන්‍යෙයන් ඉහල බාහිර නය, මූලික මූල්‍ය දුර්වලතා, ඉහල රාජ්‍ය නය සහ පොලී බර, සහ සමහර අවස්ථාවල, දේශපාලන ආයතනයන්ගේ විනිවිද භාවය හා ස්වාධීනත්වය නොමැති වීම," මගින් අර්බුදයට යවා ඇති බව පවසමින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් නමැති ගෝලීය වර්ගීකරන ආයතනය ගිය මාසයේ තත්වය සමාලෝචනය කලේ ය.

2012 දී අයවැය හිඟය දදේනියෙන් සියයට 6.2ක රඳවාගැනීමේ ආන්ඩුවේ උත්සාහය ප්‍රධාන ජයග්‍රහනයක් ලෙස ජයසුන්දර වර්නනා කලේ ය. 2013 දී හිඟය, ජාමූඅ විසින් දෙන ලද ඉලක්ක සපුරා ගනිමින්, සියයට 5.8 දක්වා පහතට වැටෙනු ඇතැයි ඔහු අනාවැකි පල කලේ ය.

භාන්ඩ හා සේවා මත වැඩිකල වක්‍ර බදු, සහනාධාර අඩුකිරීම් සහ තෙල්, විදුලිය සහ ගමනාගමනය සඳහා අධික මිල ගනන් සමග කම්කරු පංතියට පහර දෙන අතරේ දී ආයතනික බදු පහල දමමින් මෙම ප්‍රතිපල අත් කර ගෙන තිබේ. එක්සත් ජාතීන් සහ ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය විසින් සම්පාදනය කල 2012 ශ්‍රීලංකාවේ මානව සම්පත් සංවර්ධන වාර්තාවට අනුව, සමස්ත බදු ආදායමෙන් සියයට 80කට වැඩිවන්නේ වක්‍ර බදු ආදායම ය.

2012 දී වර්ධනය සඳහා වූ ජයසුන්දරගේ "අභියෝග" ලැයිස්තුවට එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව, සහ චීනයේ ආර්ථික පසු බැස්ම, ඉරානය මත පැනවූ සම්බාධක (ඉරාන තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ දිගු කාලීන ගිවිසුමට මෙමගින් බලපෑමක් ඇති විය.) , ඉහල තෙල් මිල, නියගය, ජල ගැලීම් සහ තේ නිෂ්පාදනයේ අඩුවීම ඇතුලත් විය. 2013 දී කෙසේවුවද, "ගෝලීයව ප්‍රධාන ආර්ථිකයන් ප්‍රකෘතිතත්වයට පත්වීමත් සතුටුදායක කාලගුනය ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇතැයි" ඔහු කිවේ ය. ඔහුගේ අනාවැකි දෙකට ම ප්‍රතිවිරුද්ධව, මෑතකාලයේ රටපුරා ඇති වූ ජලගැලීම් වගාවන් විනාශ කොට දැමූ අතර ගෝලීය මන්දාවධමනය ගැඹුරු වෙමින් තිබේ.

2012 පුරාවට අපනයන කඩාවැටීම 2013 දීත් එලෙස ම පවතිනු ඇති බවට සියලු ඇඟවීම් පවතී. නවත ම සංඛ්‍යාලේඛනවලට අනුව, ගිය වසරට සාපේක්ෂව 2012 මුල් මාස 11 දී අපනයන සියයට 6.6කින් පහලට වැටී ඇත. ඇඟලුම් සහ තේ පිලිවෙලින් සියයට 4.6 සහ 6.2කින් පහත වැටී තිබේ. 2000 දී දදේනියෙන් සියයට 33ක් වූ මුලු අපනයනයන් 2011 දී සියයට 17කට ඇද වැටී ඇත.

රජයට අයත් සංස්ථාවල කලමනාකරනය පුද්ගලික සමාගම් වෙත පවරා රාජ්‍ය අංශ වියදම කපාහැරීමට රජය සැලසුම්කර ඇතැයි ජයසුන්දර පැවසීය. පුද්ගලීකරනයේ මුල් පියවර ලෙස රැකියා දහස් ගනනක් විනාශ කරනු ඇති අතර පුද්ගලික මෙහෙයුම්කරුවන් පොහොසත් කිරීමට සේවා මිල ගනන් ඉහල දමනු ඇත.

2012 දී රුපියල් බිලියන 63කින් ඉහල ගිය, රාජ්‍ය සංස්ථා සඳහා දිගට ම රජයේ නය ගලායාම ගැන කබ්රාල් සිය අප්‍රසාදය පලකලේ ය. වි‍ශේෂයෙන් ම මෙම නය ලබා දුන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මංඩලයට ය. ''මෙය වෙනස් විය යුතු වන අතර මෙය විය යුත්තේ මිල ගනන් සංශෝධනය (ඉහලදැමීම) වනවා නම් පමන යි. මේ වසරේ දී රජය මේ සම්බන්ධයෙන් බරපතල අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යි කබ්රාල් පැවසීය.

රටේ නය කන්ද වැඩෙන අන්දමට,රාජපක්ෂ ආන්ඩුව පැනවීමට සැලසුම් කරන කුරිරු කප්පාදු පිලිවෙත ජයසුන්දරගේ සහ කබ්රාල්ගේ ප්‍රකාශන වලින් පැහැදිලි වේ. පීඩිත මහජනතාවන් මෙහෙයවා ගනිමින්, ලාභය අරමුනු කරගත් ක්‍රමය මුලිනුපුටා දමන අරගලකින් සමාජවාදී සහ ජාත්‍යාන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ රජයක් පිහිටුවීමෙන් කම්කරු පන්තියට පමනක් මෙම ප්‍රහාරයට විසදුම් සෙවිය හැකි ය.

Share this article: