ආන්ඩුවේ මර්දනය සහ නායකත්වයේ මඩකිරීම් තිබියදීම “සයිටම් විරෝධී ජාතික විරෝධතාවය” ට සැලකියයුතු ජන සහභාගිත්වයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 07

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි “ජාතික විරෝධතා දිනය” ලෙස, “සයිටම් විරෝධී ජනපවුර” විසින් ප‍්‍රකාශයට පත්කොට තිබූ පසුගිය බදාදා, කොලඹ ඇතුලූ දිවයිනේ විවිධ නගරයන් හි විරෝධතා උද්ඝෝෂනයන් සංවිධානය කොට තිබුනි. නායකත්වයේ දේශපාලනික මඩකිරීම් සහ ආන්ඩුවේ රුදුරු මර්දනයන් තිබියදී ම මෙම උද්ඝෝෂනයන් තුල පැවති මහජන සහභාගිත්වයෙන් පෙන්නුම් කෙරෙනුයේ, ආන්ඩුවේ සමස්ත පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව වැඩෙන මහජන විරෝධය යි.

“සයිටම් විරෝධී ජනපවුර” යනු, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වයෙන්, සිංහල වර්ගවාදී නඩ, මධ්‍යම පාන්තික රැඩිකලූන් සහ ව්‍යාජ වම්මුන් පෙලගස්වා ගනිමින් මෑතදී අටවාගත් දක්ෂිනාංශික ධනපති පෙරමුනකි. එයට, මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂය”, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ කොටස්කරුවෙකු වූ ජාතික හෙල උරුමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ තවත් සංවිධාන කීපයක් ඇතුලත් වෙයි.

“ජාතික විරෝධතා දිනයේ” ප‍්‍රධානතම උද්ඝෝෂනය පැවතියේ කොලඹ ජාතික රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමිනි. මෙයට සමගාමීව, අවිශිබම විසින් සංවිධානය කෙරුනු “සයිටම් විරෝධී පාගමනක්” ද විය. ජූලි 31 වන දා පේරාදෙනියෙන් ඇරැඹුනු පාගමන අගෝස්තු 4 වන දා කොලඹට ලගා වූ අතර සිසුන් දෙදහසක් පමන එයට සහභාගී වූහ.

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී එයට සම්බන්ධ වී සිටි කම්කරුවන් සහ ශිෂ්‍යයන් සමග ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ සාකච්ඡාවේ යෙදී ගත්හ.

ලංකා ගමනාගමන මන්ඩලයේ විශ‍්‍රාමික කම්කරුවෙකු වූ සේනාධීර

ලංකා ගමනාගමන මන්ඩලයේ විශ‍්‍රාමික කම්කරුවෙකු වූ සේනාධීර ප‍්‍රකාශ කලේ තමන්ගේ විරෝධතාවය සයිටම් වසා දැමීමට පමනක් සීමා නොවන අතර සමස්ත පෞද්ගලීකරනයටම එරෙහි එකක් බවයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු ක්ෂේත‍්‍රයන් හි සිදු කෙරෙන දැවැන්ත කප්පදු සහ පෞද්ගලීකරනය, අර්බුදයටපත් ධනපති ක‍්‍රමයේ නිෂ්පාදිතයක් බවට ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීමට එකඟ වූ ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය: “මම කලින් හිටියෙ සම සමාජ පක්ෂයෙ. අපේ තාත්තල කියල තිබුනෙ සම සමාජෙ නායකත්වයෙන් කම්කරුවො ධනපති ක‍්‍රමයට විරුද්ධව සටන් කරල තමයි අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් දිනා ගත්තෙ කියල. මම සම සමාජෙට බැඳුනෙ ඒ තේරුම් ගැනීම් මත. ඒත් මගේ තරුන කාලෙ මම දැක්කෙ සම සමාජෙ ධනපති ක‍්‍රමයට විරුද්ධව සටන් කරනව නෙවෙයි. ධනපති පක්ෂ එක්ක පෙරමුනු හදනව. සටන් කරන බවක් පෙනුනෙ ජනතා විමුක්ති පෙරමුන නිසා මම ජවිපෙ ට බැඳුන.”

ජවිපෙ නායකත්වයෙන් ගොඩනගා ඇති “සයිටම් විරෝධී ජනපවුර” ද ධනපති පෙරමුනක් බව බව පෙන්වා දුන්විට සේනාධීර මෙසේ පැවසුවේය: “ඇත්තටම එවන් පෙරමුනකින් ධනපති ක‍්‍රමයට එරෙහිව සටන් කල හැකිය කියල මම විශ්වාස කරන්නෙ නෑ.”

උද්ඝෝෂනයට පැමිනි තවත් කම්කරුවන් කන්ඩායමක් සමග සාකච්ඡා කරමින්

ජවිපෙ නියෝජනය කරමින් එහි පැමිනි තවත් කම්කරුවන් කන්ඩායමක් සමග ලෝසවෙඅ සාමාජිකයෝ සාකච්ඡා කලහ. “රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය කප්පාදු සහ පුද්ගලීකරන වැඩපිලිවෙල වත්මන් ආන්ඩුව විසින් ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් එය බලයට ගෙන ඒමට සෘජුවම ක්‍රියාකල ජවිපෙ වගකිවයුතු නොවේදැ?” යි ප‍්‍රශ්න කලවිට ඔවුන් කියා සිටියේ ඒ මොහොතේ අවශ්‍යතාව වූයේ “කෙසේ හෝ රාජපක්ෂ පරාජය කිරීම” බවයි. දැන් ඒ “අඩු නපුර”, “මහ නපුර” බවට පත්ව තිබෙන බව පිලි ගන්නවාදැයි ඇසූ විට එක් කම්කරුවෙක් ප‍්‍රකාශ කලේ “ඔව් අපිට ඒ පිලිබඳ ප‍්‍රශ්නයක් තිබුන. රාජපක්ෂ පරාජය කරන්න ඕනේ කියන කාරනය සලකලා සිරිසේනට ඡන්දය දෙන්න කියල ජවිපෙ කිව්වත් ඒක පිලිගන්න පුලුවන් කමක් මට තිබුනේ නැහැ. ඒ නිසා මම කිසිවෙකුටත් ඡන්දය ප‍්‍රකාශ කලේ නැහැ”.

යලිත් වරක් තහවුරු කෙරෙන්නේ ධනපති ආන්ඩුවලට එරෙහිව වැඩෙන මහජන විරෝධය, “අඩු නපුර” සංකල්පය තුල අවමංගතකොට වෙනත් ධනපති ආන්ඩුවකට පාර කපාදීම සඳහා ජවිපෙ ඉතිහාසය පුරා ඉෂ්ට කර ඇති ක‍්‍රියාකලාපයේ ප‍්‍රතිගාමිත්වය බව වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

කොලඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකු වන ගයාන් සාකච්ඡාවට පිවිසියේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සියලු ක්ෂේත‍්‍රයන්හි සිදු කෙරෙමින් පවත්නා පුද්ගලීකරනයට තමා තරයේ විරුද්ධ බව පවසමිනි. “ඒත් සයිටම් අහෝසිකරගැනීම පෞද්ගලීකරනයට එරෙහි අරගලයේ ආරම්භක ලක්ෂ්‍යයයි. එය අහෝසිකර ගැනීමෙන් ලබන ජයග‍්‍රහනය මත අරගලය ඉදිරියට ගෙන යා හැකියි.”

1980 ගනන් වලදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි උද්ඝෝෂනයේදී ද, එවකට පැවති ජයවර්ධන ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල පරාජය කිරීමේ “ආරම්භක ලක්ෂ්‍යය” බව පවසමින් ජවිපෙ සහ එයින් මෙහෙයවුනු අවිශිබමය ඉදිරිපත් කල ව්‍යාජ තර්කනයන් මතකයට නැංවූ ලෝසවෙඅ වාර්තාකරුවෝ, කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ බලගතු විරෝධය හමුවේ රාගම වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් නමුදු අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශක හතර පුරා පුද්ගලීකරන වැඩපිලිවෙල වඩාත් වේගයෙන් ඉදිරියට ගෙනගිය අයුරු පැහැදිලි කලහ.

පෞද්ගලිකරනය යනු රටක් රටක් පාසා ධනේශ්වර පාලකයන් විසින්, ගැඹුරු වෙමින් පවත්නා ධනේශ්වර අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සඳහා ගෙනයන සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසක් බවත් එය පරාජය කිරීමට නම් ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලනික අරගලයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින් කල පැහැදිලි කිරීමට සාවධාන වූ ඔහු ඉන් අනතුරුව මෙසේ ප‍්‍රශ්න කලේය. “ඔව්. මේක ධනපති ක‍්‍රමයේ අර්බුදයේම කොටසක් කියල මට තේරුම් ගන්න පුලුවන්. එහෙනම් එකට විසඳුම් හොයන්න මෙහෙම ධනපතියොත් එක්ක එකතු වෙන එකත්, ධනපතියන්ගෙන් ඉල්ලන එකත් වැරදියි තමයි. ඒත් කාගෙන්ද අපි ඉල්ලන්නේ?”

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු සියලු සමාජ අයිතීන් දිනාගත හැකිවන්නේ කම්කරු පන්තියේ ස්වාධීන ක‍්‍රියාමාර්ගයක් තුලින් ආර්ථිකය සමාජවාදී ආකාරයකට ප‍්‍රතිසංවිධානය කිරීමෙන් බවත් ඒ හැර මෙම අර්බුදයෙන් ගැලවීමේ වෙනත් මගක් නොමැති බවත් පෙන්වා දීමෙන් පසු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ලියකියවිලි උනන්දුවෙන් මිලදී ගත් ඔහු මෙසේ පැවසුවේය: “මට අලුතෙන් යමක් හිතන්න මේ සාකච්ඡාවෙන් ආරම්භයක් ලැබුනා. මම කැමතියිි ඉදිරියටත් මේ සම්බන්ධව පුලුල් විදියට අධ්‍යයනය කරන්න”.

ශිෂ්‍යයන් සහ කම්කරුවන් සමග ගෙන ගිය සෑම සාකච්ඡාවකදී ම හෙලිදරව් වූයේ අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුභසාධන කප්පාදුව සහ පෞද්ගලීකරනයට එරෙහි අව්‍යාජ විරෝධයකින් ඔවුන් විරෝධතාවලට සම්බන්ධවන බවත් සිය අභිලාෂයන් ජයග‍්‍රහනය කිරීම සඳහා පැහැදිලි ඉදිරිදර්ශනයක් නොමැතිව ව්‍යාකුලව සිටින බවත්ය.

ලෝසවෙඅ නියෝජිතයන් සමඟ කතා කල ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කන්ඩායමක් සයිටම් විරෝධී ජන-පවුර තුලින් ගොඩනගා ඇති සන්ධානයට පක්ෂව හිඳිමින් අදහස් දැක්වූ අතර “සයිටම් අහෝසි කරගැනීම” නමැති පොදු එකඟතාවය මත ගොඩනගා ගන්නා පුලුල් පෙරමුනක් මගින් තම සටන ජයගත හැකිය යන ආස්ථානය ඉදිරිපත් කලහ.

මෙය වනාහී පෙසප ඇතුලු ව්‍යාජ වම්මු සහ අවිශිබම ශිෂ්‍යයන් තුල ඇතිකර ඇති ව්‍යාකුලත්වයයි. පුද්ගලීකරනය යනු ධනපති ක‍්‍රමය විසින් නිර්නිත ප‍්‍රහාරයක් බැවින් එයට එරෙහි අරගලයේදී සියලු ධනපති කල්ලි කන්ඩායම්වලින් බිඳී වෙන්වී කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමේ අනිවාර්යභාවය, කම්කරුවන් සහ ශිෂ්‍යයන් ඇතුලුු අවශේෂ පීඩිතයන් පැහැදිලි කරගත යුතු ප‍්‍රධානතම කරුනක් බව ලෝසවෙඅ නියෝජිතයෝ එම සිසුන්ට පෙන්වා දුන්හ.

“සයිටම් විරෝධී ජනපවුර” ට නායකත්වය දෙන ජවිපෙ ඇතුලු කන්ඩායම් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට මුලුමනින්ම සතුරු බව උද්ඝෝෂනයේ සටන්පාඨවලින් සහ උද්ඝෝෂනය අවසානයේ පැවැත්වූ කතා වලින් යලිත් සනාථ විය. පුද්ගලීකරනයේ මූලය වන ධනපති ක‍්‍රමයට හෝ එය ක්‍රියාවට නගන ධනපති ආන්ඩුවට එරෙහි කිසිදු සටන් පාඨයක්විිරෝධතාව තුල ප‍්‍රදර්ශනය නොකෙරුනු අතර ඒවා සියල්ලක්ම සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් “සුදුසුකම් නොමැති වෛද්‍යවරුන්” බිහිකිරීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වන හානිය සහ සයිටම් ඇතුලු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඇතුලු ඇමතිවරුන් දරන උත්සාහයට එරෙහි ප‍්‍රකාශ දක්වා ලඝු කෙරී තිබුනි.

කම්කරුවන් සහ ශිෂ්‍යයන් ඇමතූ කථිකයෝ සයිටම් අහෝසි කිරීම සඳහා ආන්ඩුවට හැකිතාක් බලපෑම් යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙල පුනරුච්චාරනය කලහ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ (වෛපීශික‍්‍රික) කැඳවුම්කරු රයන් ජයලත් පැවසුවේ “අද අපි ඇවිල්ල ඉන්නේ දොස්තරලයි, ශිෂ්‍යයොයි එක්ක විතරක් නෙවෙයි. මේ රටේ ජනතාව එක්ක. මේ රටේ ජනතාවට ඕනේ විදියට ආන්ඩු කරන්න ලෑස්ති නැත්නම්, මීට වඩා ලොකු සද්ද දාන්න අපි ලෑස්තියි.” යනුවෙනි.

මෙලෙස දේශපාලනිකව වඳ, බොරු පූච්ඡානම් ඇදබාමින් ශිෂ්‍යයන් ධනපති ව්‍යාපාරයක සිර කර තැබීම සඳහා වෛපීශික‍්‍රික සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) සයිටම් විරෝධතාවය ඇරඹුනු තැන පටන්ම ක‍්‍රියාකර ඇත. ජයලත් කියන පරිදි ආන්ඩුවට “ලොකු සද්දයක්” දැමීමට අවිශිබමය, “සයිටම් විරෝධී සිසු-ජන පෙලගැස්ම” නමැති ධනපති සන්ධානය තැනුවේය. එහිදී අවිශිබම, කිසිඳු හිරිකිතයක් නොමැතිව සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දුන් හිටපු රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියන්ගේ පවා කරේ අතදාගත්තේය. දැන් අවිශිබම සයිටම් විරෝධී ජනපවුරේ එල්ලීගෙන ඇත්තේ කම්කරුවන් සහ සමස්ත මහජනතාවම එම බොරු වලට ඇද දැමීමටයි.

ශිෂ්‍යයන්ට උගුල් ඇටවීමට අවිශිබමයට ගුරුහරුකම් දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන පුබුදු ජයගොඩ පිරිස ඇමතීය. අන්ත දක්ෂිනාංශිකයින්ගෙන් ගහන සයිටම් විරෝධී ජන-පවුර, ජයගොඩ වංචනික ලෙස පින්තාරු කලේ “ජනතා බලවේගයක්” ලෙසයි. රැස්ව සිටි ශිෂ්‍යයන් සහ කම්කරුවන් අතිධාවනකාරී මදාවිකම් වලට යොමු කිරීමේ අදහසින් ජයගොඩ පැවසුවේ “දැන් ජනතා බලවේග පාරට ඇවිල්ල ඉන්නේ. ඒක නිසා අපි ආන්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් මේ බලවේගත් එක්ක පාරෙදි ප‍්‍රශ්නය විසඳගමු කියල.” ජයගොඩගේ එම යෝජනාවන් තුල කිසිඳු ශක්‍ය දේශපාලන වැඩපිලිවෙලක් අන්තර්ගත නොවන අතරම එය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය කෙරෙන් ශිෂ්‍යයන් සහ කම්කරුවන් හැකිතාක් ඈත්කර තැබීමේ උත්සාහයකි.

වඩාත් විශාල බලපෑමක් යෙදීමෙන් ආන්ඩුවේ පිලිිවෙත වෙනස් කල හැකිය යන බංකොලොත් ඉදිරි දර්ශනය තොරොම්බල් කරමින් අවසන් කතාව කල ජවිපෙ හි බිමල් රත්නායක පැවසුවේ “නොයෙක් විද්වතුන් ඇතුලත් විවිධ පාර්ශව ආන්ඩුවට සයිටම් එකේ නුසුදුසු බව පැහැදිලි කරලා තියෙන බවත් ඒ තර්කය නොතේරෙන ආන්ඩුවට තමන්ගේ දේශපාලන බලය, වෘත්තීය සමිති බලය, ශිෂ්‍ය බලය හා ජනතා බලය යොදා එම පීඩනය මගින් ආන්ඩුව දන ගස්වා හෝ හොර උපාධි කඩය වසා දමන” බවයි.

Share this article: