ප‍්‍රසිද්ධ රැස්වීම
න්‍යෂ්ටික ලෝක යුද තර්ජනය පරාජය කරමු!
ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිමු !

2017 ජූනි 15

ලෝක ධනවාදය දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව එහි ගැඹුරුතම අර්බුදයේ කිඳෙමින් පවතින අතර එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස ෆැසිස්ට් නැඹුරුවක් සහිත ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට ඒම, එම අර්බුදයේ දේශපාලන ප‍්‍රකාශනය යි. පූර්වයෙන්, ඔබාමා පාලනය ගෙනගිය, විශේෂයෙන්ම චීනයට එරෙහි, ආක‍්‍රමනකාරී අධිරාජ්‍යවාදී යුද ප‍්‍රකෝපකරනය දිගටම ගෙනයාමේ සූදානම දැනටමත් කි‍්‍රයාවෙන්ම සනාථ කර තිබෙන ට‍්‍රම්ප්ගේ හිතුවක්කාරී විදෙස් පිලිවෙත මගින් අන්තර් අධිරාජ්‍යවාදී න්‍යෂ්ටික යුද ගැටුමක ශක්‍යතාව තවදුරටත් උත්සන්න කර තිබේ. රටතුල, අතලොස්සක් වන බිලියනපතියන්ගේ ලාභ පොදි තරකිරීමට කැපව සිටින රිපබ්ලිකන් ආන්ඩුව, ඇමෙරිකානු ජනයාට එරෙහිව ගොරතර කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් ද ඔවුන්ගේ විරෝධය බිඳීමට පොලිස්-මිලිටරි-ඔත්තු අංශවල මෙහෙයුම් තවදුරටත් වැඩි කරමින් ද සිටී.

මිලිටරිය, බුද්ධි අංශ හා සුපිරි ධනපති පන්තියේ කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂයේ එල්ලය වන්නේ රුසියාව කෙරේ වඩාත් ආක‍්‍රමනශීලි පිලිවෙතකට ට‍්‍රම්ප් පාලනය තල්ලු කිරීම යි.

එක්සත් ජනපදයට එරෙහිව රුසියාවේ ප‍්‍රබල මැදපෙරදිග ආධාරකරුවෙකු වන සිරියාවේ ගුවන් හමුදා කඳවුරුවලට අපේ‍්‍රල් මාසයේදී කෲස් මිසයිල් ප‍්‍රහාර එල්ල කිරීම මගින් ද එම මාසයේම රාත්තල් 21,600 ක් බරින් යුත් බෝම්බයක් ඇෆ්ගනිස්ථානයට ගුවනින් හෙලීම මගින් ද මැදපෙරදිග එක්සත් ජනපද අවශ්‍යතාවලට බාධකයක්ව සිටින ඉරානයට එරෙහිව පමනක් නොව අනෙකුත් අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවයන්ට ද එක්සත් ජනපදය අනතුරු සංඥා නිකුත් කලේ ය.

චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුමේ පෙරමුනු රාජ්‍යයක් සහ ප‍්‍රධාන මූලෝපායික සහකරුවෙකු ලෙස, අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව යටතේ අසල්වැසි ඉන්දියාව පෙරටවිත් තිබේ. මේ අතර 1947දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව බෙදීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිකල පකිස්ථානය හා ඉන්දියාව අතර දේශසීමා හරහා කෙරෙන සටන් එක්සත් ජනපදයේ උපාමාරු වලින් උග‍්‍ර අතට හැරී දෙරට අතර මහා පරිමාන න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යාමේ අවදානම දිනෙන් දින ඉහල යමින් පවතී.

මෙම ලෝක දේශපාලන තත්වයට පිටස්තරව ලංකාවේ දේශපාලන තත්වය වටහා ගැනීමේ හැකියාවක් නැත. චීනයට හිතැති වූ මහින්ද රාජපක්ෂගේ පාලනය එක්සත් ජනපදය හා ඉන්දියාව පිටුබලය දුන් පාලන තන්ත‍්‍ර මාරුවකින් පෙරලා දමා බලයට ගෙන ආ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව විසින්, අධිරාජ්‍යවාදී යුද ගිනිමැලය තුලට රට ඇද දමා ඇත. ලෝක පරිමාන ආර්ථික බිඳ වැටීමේ පීඩනයෙන් හා ගොඩ ආ නොහැකි නය බරකින් පෙලෙන ආන්ඩුව මෙම සියලු බර කම්කරු පීඩිත ජනතාව මත පැටවීමට කි‍්‍රයා කරමින් සිටී. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව පෙරලිකාරී වන කම්කරු පීඩිත ජනතාව තලා දැමීමට පොලිස්-මිලිටරි විධික‍්‍රම උත්සන්න කිරීමටත් ආන්ඩුව කැපව සිටී. මේ අතර කලකිරීමට පත් මහජනයා තම අත යටට ගැනීමට රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂයේ ධනපති කල්ලි වර්ගවාදී උද්ඝෝෂන උසිගන්වමින් පෙරට පැන ඇත.

ලෝක යුද තර්ජනය මධ්‍යයේ ලංකාවේ මෙන්ම ඉන්දියානු උපමහාද්වීපයේත් සමස්ත ලෝකයේමත් කම්කරු පන්තිය මුහුන දී ඇත්තේ, පාලක පන්තීන් විසින් තම සමාජ සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කරන රුදුරුතම ප‍්‍රහාරයන්ගෙන් සමන්විත සමාජ ප‍්‍රතිවිප්ලවයකට ය. එහෙත්, ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතා නියෝජනය කරමින් ධනපති ක‍්‍රමයට මුක්කු ගසන ව්‍යාජ වාම පක්ෂ මෙම තත්වය කම්කරු පන්තියෙන් වසන් කරනවා පමනක් නොව, බි‍්‍රතාන්‍යයේ ලේබර් පක්ෂ නායක ජෙරම් කෝබින් වැනි ධනේශ්වර ක‍්‍රමයේ ආරක්ෂකයන් පිටුපස කම්කරුවන් ගාල්කරදීමේ කොන්ත‍්‍රාත්තුවද ඉටු කරමින් සිටී. මෙසේ වන්නේ ලෝකය පුරා කම්කරුවන්, තරුනයින් හා ශිෂ්‍යයන් වමට ගමන් කරන කොන්දේසි වැඩෙමින් පවතින තත්වයක් තුලදී ය.

වැඩෙන අධිරාජ්‍යවාදී න්‍යෂ්ටික යුද තර්ජනය හා ඒ හා බැඳුනු සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයා මාර්ගය සාකච්ජා කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇත. ඒ සඳහා, අප විසින් කැඳවා ඇති ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගිවන ලෙස කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

දිනය : 2017 ජුනි 30

වේලාව: සවස 4.00

ස්ථානය:- ගාල්ල නගර ශාලාව

Share this article: