“සයිටම් විරෝධී” වර්ජනය ගැන කම්කරුවන් හා සිසුන් ලෝසවෙඅට කතා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 7

සයිටම් ආයතනය ජනසතු කිරීම, එට්කා ගිවිසුම වැනි ගිවිසුම් මගින් රැකියා වෙලඳපොල අනතුරේ නොහෙලීමට කටයුතු කිරීම සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුව සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නැවැත්වීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (රවෛනිස) මූලිකත්වයෙන් ඊයේ කැඳවූ වැඩ වර්ජනයට රජයේ වෛද්‍යවරු බහුතරයක් සහභාගි වූහ. නමුදු වෘත්තීය සමිති නිලධරයේ හිරකිරීම් සහ මගහැරීම් හේතුවෙන් අන්‍ය කම්කරුවන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පැවතුනි.

“සයිටම් විරෝධී” උද්ඝෝෂනයේ යෙදී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍ය කන්ඩායම්

වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබීය. ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිති නායකයන් ද නව සම සමාජ නායක වික‍්‍රමබාහු කරුනාරත්න වැනි ව්‍යාජ-වම්මුන් ද එකතු කර ගනිමින්, වැඩ වර්ජනය ආන්ඩුව පෙරලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂයේ” න්‍යාය පත‍්‍රයට අනුව සිදු කෙරෙන්නක් බවට ප‍්‍රචාරය කරමින් විෂඝෝර උද්ඝෝෂනයක් මුදා හැරින. මීට අමතරව, රවෛනිස සභාපති අනුරුද්ධ පාදෙනිය අධිකරනයට අපහාස කලේ යැයි කියමින් අභියාචනාධිකරනයට යොමුකල පෙත්සමක් මගින් ඔහු දඩයමට ලක් කිරීමටත් එමගින් සංගමයේ සාමාජිකත්වය ත‍්‍රස්ත‍්‍ර ගැන්වීමටත් ආන්ඩුව තම හෙංචයියන් යොදා ගත්තේය.

කෙසේ නමුත්, වර්ජනය හේතුවෙන් ලමා සහ ප‍්‍රසව රෝහල් සහ අනෙකුත් රෝහල් වල හදිසි ප‍්‍රතිකාර අංශ හැර අනෙකුත් අංශ, විශේෂයෙන්ම බාහිර රෝගීන්ගේ ප‍්‍රතිකාර අංශ, ඇන හිටින.

දුම්රිය සේවකයන් අතරින් ද වර්ජනයට සහභාගි වී සිටියේ අතලොස්සක් පමනකි. ලංකා ගුරු සංගමය (ලංගුස) සහ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) කැඳවා තිබූ අසනීප නිවාඩු උද්ඝෝෂනයට ලැබී තිබුනු ප‍්‍රතිචාරය ද අවම විය. වෛද්‍යවරුන් හැර, රෝහල් ක්ෂේත‍්‍රයේ අන් කවර හෝ කම්කරු ප‍්‍රවර්ගයක් වර්ජනයට සහභාගි නොවීම කැපී පෙනුනි.

අවිශිබම විසින් කැඳවා තිබූ පන්ති වර්ජනයට බහුතරයක් සිසුන් සම්බන්ධ වූ නමුදු සමහර විශ්ව විද්‍යාලයන් හි විවිධ පීඨ ඊට සහභාගි නොවුනි.

දිවයිනේ විවිධ පලාත් වල ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන්ගේ විරෝධතා උද්ඝෝෂන පැවති අතර ඒවාට විශ්ව විද්‍යාල ශිෂ්‍ය කන්ඩායම් ද සහභාගි වී සිටියහ. කොලඹ මහා රෝහල ඉදිරිපිට මධ්‍යාහ්න 12 සිට 1 දක්වා පැවතිි විරෝධතාවයට සම්බන්ධ වී සිටියේ කොලඹ සරසවියේ වෛද්‍ය සිසුන් 300 ක් පමන දෙනා හා වෛද්‍යවරුන් 50 ට ආසන්න සංඛ්‍යාවක් පමනි. හෙද හා අන්‍ය රෝහල් කම්කරුවන් කිසිවකුත් විරෝධතාවයට සම්බන්ධ නොවුනි.

වෘත්තීය සමිති 150 කට අධික සංඛ්‍යාවක් තම සාමාජිකයන් වර්ජනයට යොමු කරන බවට සහතික වී ඇතැයි වර්ජනය කැඳවුම් කල රවෛනිස ප‍්‍රකාශ කල ද එම සමිති වලින් අති මහත් බහුතරයක් තම සාමාජිකත්වය සහභාගි නොකිරීමට තීන්දු ගෙන තිබුනි. වර්ජනයට තම වෘත්තීය සමිති සම්බන්ධ කරන බවට පම්පෝරි ගැසූ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් සමස්ත ලංකා විදුලිබල සේවක සංගමයේ සභාපති රන්ජන් ජයලාල් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ ඔවුන් මෙම එක්දින වර්ජනයට සහභාගි නොවන බව සහ වර්ජනයට සහයෝගී වශයෙන් කෑම පැයේදී ලංකා විදුලිබල මන්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක් පවත්වන බවයි. කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීමට පරම ලෙස සතුරුවන මෙම සමිති නායකත්වයන් විසින් භාරගෙන ඇත්තේ එවන් අරගල මතුව ඒනම් ඒවාට ඇබ ගසා සිර කිරීමේ කොන්ත‍්‍රාත්තුවයි.

එදිනට අසනීප නිවාඩු ඉල්ලා සේවයට වාර්තා කිරීමෙන් වලකින ලෙස තම සාමාජිකත්වයෙන් ඉල්ලා සිටි ලංගුස සහ ලංගුසේස තම සාමාජික ගුරුවර-ගුරුවරියන් ඒ සඳහා දැනුවත් කිරීමට සහ සංවිධානය කිරීමට කවර හෝ විධිමත් පියවරක් ගෙන නොතිබුනි. මෙම සමිති නිලධරයන් දෙකම එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට ප‍්‍රසිද්ධියේ දරදිය ඇදි සංවිධානයන් ය.

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසි ප‍්‍රමිතියෙන් තොර බැවින් එය රජයට පවරා ගන්නා ලෙස රවෛනිස පවසන අතර ඔවුන් පුද්ගලීකරනයට විරුද්ධ නැත. උද්ඝෝෂනයේ අනෙක් ප‍්‍රධාන පාර්ශ්වය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) පවසන්නේ තමා අධ්‍යාපනයේ පුද්ගලීකරනයට විරුද්ධ බැවින් එම ආයතනය රජයට පවරා ගන්නා ලෙස බල කරන බවයි.

අවිශිබමය, රවෛනිස සහ අනෙකුත් ධනපති පක්ෂ හා වෘත්තීය සමිති සංවිධාන සියල්ල විසින්, අධ්‍යාපන හා සෞඛ්‍ය කප්පාදුව මෙන්ම පෞද්ගලීකරනය ධනේශ්වර ක‍්‍රමය මුහුන දී සිටින ගැඹුරුතර අර්බුදයේ ප‍්‍රකාශනයක්ය යන්න වහංගු කරන අතරම, පවත්නා ක‍්‍රමයට පීඩනය යෙදීමෙන් ප‍්‍රහාර නවතා ගත හැකියි යන මිත්‍යාව සිසුන්, වෛද්‍යවරුන් සහ අවශේෂ කම්කරු-පීඩිත ජනතාව අතර වගාදිගා කරයි.

වර්ජනයට සහ විරෝධතාවන්ට සහභාගි වෙමින් සිටි සිසුන් හමු වූ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඔවුන් සමග සාකච්ඡාවක යෙදී ගත්හ. ඉහත සංවිධානයන් විසින් ඇති කොට ඇති ව්‍යාකූලත්වයන් හා පතුරුවා ඇති මිත්‍යාවන් සසජාතශි සමග කතා කල සිසුන් තුලින් ද ඉස්මතු විය.

එක් වෛද්‍ය සිසුවෙකු ප‍්‍රකාශ කලේ “මේ අරගලය අධ්‍යාපනයේ සමස්ත පෞද්ගලීකරනයට එරෙහි එකක් නොවේ. මුලින් සයිටම් අහෝසි කොට ක‍්‍රමයෙන් අනෙකුත් ප‍්‍රහාරවලට එරෙහිව සටන් කරන” බවයි.

කෙසේ නමුත් සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නිකුත් කල “නිදහස් අධ්‍යාපනය රැකීමට හා පුද්ගලීකරනයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!”යන ප‍්‍රකාශය සිසුුන් අතට පත්කරමින් එහි අඩංගු විශ්ලේෂනය සාකච්ඡා කලවිට ඒ පිලිබඳව ඔවුන්ගේ උනන්දුව ජනනය විය.

කොලඹ සරසවියේ වෛද්‍ය පීඨයේ අසේල සාකච්ඡාවට එක් වෙමින් මෙසේ පැවසීය: “අපි විරුද්ධ සයිටම් වලට විතරක් නෙවෙයි. අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට සමස්තයක් හැටියට අපි විරුද්ධයි. අධ්‍යාපනය මුදලට විකිනෙන දෙයක් බවට පත් වුනොත් මුදල් අතේ නැති කෙනාට අධ්‍යාපන වරම් නැති වෙනවා. සෞඛ්‍යය පෞද්ගලීකරනය වුනොත් මුදල් අතේ නැති කෙනාට කිසිම ප‍්‍රතිකාරයක් කරගන්න බැරි වෙනවා. අපි හිතනව සයිටම් ජනසතු කිරීම පෞද්ගලීකරනය නැවැත්වීමේ මුල් පියවරක් කියල.”

මියැදෙමින් පවත්නා ධනපති ක‍්‍රමය යටතේ කෙරෙන ජනසතු කිරීම් වලින් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සුරක්ෂිත කරගත නොහැකි බවත්, සිදු වෙමින් පවත්නේ ධනේශ්වර ක‍්‍රමය තුල කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජමය අයිතීන් ලොවපුරා ධනේශ්වර පාලක පන්තීන් විසින් නැවත උදුරා ගැනීම බව ලෝසවෙඅ වාර්තාකරුවන් පෙන්වා දුනි. මහජන අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයේ මූලය වන ලාභය පදනම් කරගත් ධනේශ්වර ක‍්‍රමයට එරෙහි දේශපාලන ප‍්‍රහාරයක අවශ්‍යතාව පැහැදිලි කලවිට ඔහු මෙසේ පැවසීය: “ඔබ කියන විධියට කල්පනා කරද්දි මට තේරුම්ගන්න පුලුවන් අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව අපේ ඉල්ලීම මේ විරෝධතා ඇතුලේ සාක්ෂාත් කෙරෙන්නෙ නැහැ කියල. ඔව් ඔබ කියන හැටියට මේ විරෝධතාවලට නායකත්වය දෙන අය මේ ප‍්‍රහාරයේ මූලය සඟවනව නම්, මේක ශිෂ්‍යයො මුලාවේ දැමීමක් තමයි. මූලය වටහා නොගෙන ඊට විරුද්ධව සටන් කරන්න බැහැ කියන එක නිවැරදියි.”

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසේල කියා සිටියේ “ගිවිසුම යටතේ ඉන්දියානු කම්කරුවන් ගේ ශ‍්‍රමය අඩු වැටුපකට ලබාගත හැකි නිසා ලංකාවේ ශ‍්‍රමිකයා රස්සාවෙන් එලියට වැටෙන” බැවින් එම ගිවිසුමට විරුද්ධ වියයුතු බවයි.

එට්කා යනු දෙරටේම කම්කරුවන්ට එරෙහි ගිවිසුමක් බව පෙන්වා දෙමින් එයට එරෙහිව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා කම්කරුවන් ඒකාබද්ධ වෙමින් ප‍්‍රතිප‍්‍රහාරයකට සූදානම් වියයුතුබව පෙන්වා දුන්විට ඔහු ඊට එකඟතාව පලකලේය.

කොලඹ සරසවියේ වෙනත් වෛද්‍ය සිසුවෙකුගේ අදහස මෙසේ විය: “සයිටම් අහෝසි කලත් අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර දිගටම යනවා. මේ ප‍්‍රහාර එල්ල කරන්නේ ආන්ඩුවල ඉන්න පාලකයන්ගේ වැරදි නිසා තමා. හොඳ පාලකයෝ හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ.”

පාලකයන්ගේ දුර්වලත්වය ගලා එන්නේ ධනේශ්වර ක‍්‍රමය ඓතිහාසිකව මුහුන දී සිටින දුබලකමෙන් යන්න පැහැදිලි කල විට, “ඔව්, ශ්‍රී ලංකාව විශාල වශයෙන් නයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නය ගන්න සිද්ධ වෙල තියෙනව. නය ගන්න කොට දීපු කොන්දේසි තමයි මේ කප්පාදු හරහා ක්‍රියාත්මක වෙන්නෙ. කොයි නායකය පත් වුනත් ඒවා ක්‍රියාත්මක කරන්න වෙනව. ඔබ කියන විදියට අලුත් නායකයො නෙවෙයි, අලුත් ක‍්‍රමයක් ගැන හිතන්න ඕන” යයි ඔහු කියා සිටියේ ය.

අවිශිබමය හා ඊට අනුබද්ධ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සිසුන්ට ලබා දී තිබූ සටන් පාඨ වලින් ප‍්‍රහාරයේ මූලය වන ධනේශ්වර ක‍්‍රමය පිලිබඳ අවධානය දැනුවත්ව වහංගු කොට තිබුනි. “කපා කපා කෑලි කපා, අපි වලකනු සිතනු එපා, ලේ හැලුනත් පාර දිගේ අපේ ගමන අපි යනවා. තුවක්කුවට අපි බය නෑ වෙඩි උන්ඩෙට අපි බය නෑ, මර්දනයට අපි බය නෑ, බය නම් අපි එන්නෙත් නෑ” වැනි පූච්ඡානම් ඔවුනගේ මූලික සටන් පාඨ විය.

කොලඹ මහා රෝහලේ බහිර රෝගී අංශයේ සිටි සුලූ සේවක කම්කරුවෙක් වන සුනිල්: “අපේ වෘත්තීය සමිති මේ වර්ජනයට සම්බන්ධ වෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අපේ වෘත්තීය සමිතිය කිසිවක් අපට දැනුම් දුන්නේ නෑ. කොහොම වුනත් දැන් අපිට ජනතා විමුක්ති පෙරමුන හා එහි සමිති නායකයෝ ගැන, හැම ආන්ඩුවක්ම බලයට ගෙන ඒමට මුට්ටි අල්ලලා දැන් බොරුවට කෑ ගහනවා. සමිති නායකයෝ උසස් වීම් අරගෙන පැත්තකට වෙලා ඉන්නවා.”

ජාතික රෝහලේ පහසුකම්වල පවත්නා අඩුපාඩු පෙන්වා දෙමින් ඔහු පැවසුවේ බාහිර රෝගී අංශයේ වැසිකිලි පද්ධතිය අබලන්වීම නිසා එය වසා දමා ඇති බවයි.

පේරාදෙනිය ශික්ෂන රෝහල, මහනුවර මහ රෝහල සහ පේරාදෙනිය සිරිමාවෝ බන්ඩාරනායක ලමා රෝහල ට ගිය ලෝසවෙඅ වාර්තාකරුවන් අත්දුටුවේ ජාතික රෝහලට සමාන තත්වයකි. වෛද්‍යවරුන් හැර අන් කිසිදු සේවකයෙකු වර්ජනයට සහභාගි වී නොතිබුනි.

සිරිමාවෝ බන්ඩාරනායක රෝහලේ වෛද්‍යවරයෙකු වන බන්ඩාර සුබසිංහ මෙසේ පැවසීය: “මේ කවර ආන්ඩුවකින්වත් සෞඛ්‍ය සේවයේ තත්වය දියුනුවෙයි කියල මං විශ්වාස කරන්නෙ නෑ. දැන් මේ ආන්ඩුව ආවෙ දූෂනය නැති කරනව, හොරු අල්ලනව, යහපාලනය ඇති කරනව කියල නෙ. කෝ එහෙම දෙයක් වෙලා නෑනෙ. සෞඛ්‍යය ගැනත් ඒකම තමයි කියන්න තියෙන්නෙ.”

පේරාදෙනිය ශික්ෂන රෝහලේ හෙද නිලධාරියෙකු වන පත්මාල් පැවසුවේ තමා ඇතුලු තම ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ට ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍යවුවත් ඒ සඳහා නායකත්වයක් සහ ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. “මම කලක සිට සසප යේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල අධ්‍යයනය කරනවා. ඔය හැර වෙනත් විකල්පයක් නැති බව මට පැහැදිලියි. ඒත් ඒක දුෂ්කර ක්‍රියාවක්. දුෂ්කර වුනත් තියෙන්නෙ ඒ වැඩපිලිවෙල විතර නම් ඒකට සටන් වදින්න වෙනව.”

ලෝසවෙඅ වාර්තාකරුවන් ගුරුවරුන් අතරද මැදිහත් විය. පුත්තලම දිස්ත්‍රික්කයේ, හලාවත ආනන්ද ජාතික පාසලේ 155 ක් පමන වන ගුරු මන්ඩලයෙන් ඊයේ දිනයේ පාසල් නොපැමින ඇත්තේ ගුරුවරුන් 25 ක් පමනි. නමුත් උසස් පෙල විද්‍යා අංශයේ 10 ක් පමන වන ගුරුවරුන් සියලුම දෙනා විරෝධතාවට සම්බන්ධ වී ඇත.

විද්‍යා අංශයේ ගුරුවරයෙක්: “අපේ පාසලේ විද්‍යා අංශයේ සියලුම ගුරුවරු වර්ජනයට සම්බන්ධ වුනා. ගුරු සංගම්වලට අපේ ගුරුවරු සම්බන්ධ නෑ. කොහොම වුනත් කිසිම ගුරු සංගමයකින් අපිව දැනුවත් කරන්න ආවෙත් නෑ. දැන් මේ ආන්ඩුව සරසවිවලට ලමයි තෝරා ගැනීමේ දී දිස්ත්‍රික් ක‍්‍රමය ඉවත් කරලා ජාතික මට්ටමේ කුසලතාවය අනුව ලමයි තෝරා ගන්න යනවා. එහෙම කෙරුවොත් පුත්තලම වගේ අති දුෂ්කර දිස්ත්‍රික්කවලින් එක ලමයෙක්වත් වෛද්‍ය පීඨවලට යන්නේ නැති වෙයි. පුත්තලමෙන් දැනට වසරකට වෛද්‍ය පීඨවලට ගන්නෙත් 35ක් විතරයි. දුප්පතාට තවදුරටත් පහර දෙන්නයි මේ යන්නේ. ඒ නිසා තමයි අපි වර්ජනයට සම්බන්ධ වුනේ.”

මාතර තැපැල් කාර්යාලයේ කම්කරුවෙකු කියා සිටියේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව සහ පුද්ගලීකරනය ඔවුනට බලපාන ප‍්‍රශ්න වන නමුදු කිසිදු වෘත්තිය සමිතියක් ඔවුන් දැනුවත් කර වර්ජනයට සහභාගිවන ලෙස ඉල්ලා නොසිටි බවයි. “ඔය සහෝදරවරු කියන ආකාරයට කම්කරුවන්ට සටන් කරන්න මේ වෘත්තීය සමිති වලින් කැඩිල තමන්ගේම ස්වාධීන සංවිධානයන් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව වැටහෙනවා.”

Share this article: