ඉන්දියාව: කල්කටා ශිෂ්‍යයෝ හා කම්කරුවෝ අසාන්ජ් හා මැනිං නිදහස් කරන ලෙස ඉල්ලති

India: Kolkata students and workers demand freedom for Assange and Manning

රිට්වික් මිටර් හා අරුන් කුමාර් විසිනි, 2019 සැප්තැම්බර් 11

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉන්දීය ආධාරකරුවෝ, බටහිර බෙංගාලයේ කල්කටාවේ කම්කරුවන් හා ශිෂ්‍යයන් අතරින් විකිලීක්ස් ආරම්භක හා ප්‍රකාශක ජූලියන් අසාන්ජ් හා තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිංට බලගතු සහයෝගයක් දිනාගෙන ඇත. අසාන්ජ් හා මැනිං ආරක්ෂා කරමින් ඉන්දීය ට්‍රොට්ස්කිවාදීහු ප්‍රාන්ත අගනුවර දී සැප්තැම්බර් 15දා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වති.

මෙම ධෛර්යය සම්පන්න පුද්ගලයින් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා, සැප්තැම්බර් 1දා, තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට කිලෝමීටර 40ක් පමන දුරින් පිහිටි ශ්‍රී පෙරුම්බදූර්හි දී හජාජාක ආධාරකරුවෝ සාර්ථක රැස්වීමක් පැවැත්වූ හ. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර හා හජාජාක ආධාරකාර කන්ඩායමේ අරුන් කුමාර් එම රැස්වීම ආමන්ත්‍රනය කල අතර, ෂිබූ වවාරා එහි මුලසුන දැරී ය. ජයසේකර එලඹෙන කල්කටා රැස්වීම ද ආමන්ත්‍රනය කරනු ඇත.

එක්සත් ජනපදය හා එහි සගයන් ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල සිදුකරන ලද යුද අපරාධ ද ලොව පුරා ආන්ඩු විසින් සිදුකරන ලද නීති-විරෝධී කටයුතු ද හෙලිදරවු කර ඇති අසාන්ජ් හා මැනිංගේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා හජාජාක/ලෝසවෙඅ ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස මෙම රැස්වීම් පැවැත්වෙයි. මෙම වීරෝදාර පුද්ගලයන් ආරක්ෂා කිරීමට ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැගීමේ උද්ඝෝෂනයක් සඳහා හජාජාක/ලෝසවෙඅ විසින් කැඳවුම් කර ඇත.

කල්කටාවේ උද්ඝෝෂනයේ දී යාවද්පූර් විශ්ව විද්‍යාලයේ සිසුන් හා රාජ්‍ය විදුලි සංදේශ සමාගමක් වන බීඑස්එන්එල්හි කම්කරුවන් සමග උද්ඝෝෂකයෝ කතා කල හ.

එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ ආන්ඩු හෙලාදුටු යාවද්පූර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, අසාන්ජ් හා මැනිං සමග සහයෝගිතාව පලකල හ. ශිෂ්‍යයන් කිහිප දෙනෙක්, අසාන්ජ් හා මැනිංට චෝදනා නැගීම ජම්මු කාෂ්මීර ප්‍රාන්තය මෝදි ආන්ඩුව විසින් ආඥාදායක ලෙස අගුලු දමා තිබීම හා ප්‍රාන්තයේ අර්ධ-ස්වාධීන තත්ත්වය ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස අහෝසි කිරීම සමග සන්සන්දනය කල හ.

සුමිතා

යාවද්පූර් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන සුමිතා මෙසේ කීවා ය: “අසාන්ජ් හා මැනිං අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අපකීර්තියට පත්කිරීමක්. ඔවුන්ගේ නෛතික කටයුතු සූදානම් කිරීමේ හැකියාව හෝ නීතිඥයෙක් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව වැලැක්වීම හා මානසික වධබන්ධනයන්ට භාජනය කිරීම සහ රඳවා තබාගනිමින් ඔවුන්ගේ නිදහස මුලුමනින් ම ඇහිරීම අද දිනයේ මානව අයිතීන්ට නින්දාවක්.

“මේ කරුන පිලිබඳ ව විවිධ රටවල ප්‍රධාන මාධ්‍යවල නිශ්ශබ්දතාව හා අසාන්ජ් අඛන්ඩ ව අපවාදයට ලක්කිරීම, ලොව පුරා ආන්ඩුවල ෆැසිස්ට්වාදී ප්‍රවනතාවන් පිලිබඳ ඉඟියක්” යි ඇය තවදුරටත් කීවා ය.

“අසාන්ජ් විසින් අනාවරනය කරන ‘සත්‍යය’ පිලිගතහොත්, එය ඉරාක යුද්ධය හා අනෙකුත් සිද්ධීන් පිලිබඳ නව ඉතිහාසයක් නිර්මානය කරන බව එක්සත් ජනපදය හා එහි පරිපාලනය දන්නවා.” සිවිල් වැසියන්ගේ මරන “අපේක්ෂා කලාට වැඩි විනාශයක්” ලෙස සාධාරනීකරනය කිරීමට උත්සාහ කරනු වෙනුවට, ඒවා පිලිබඳ “වගකීම එක්සත් ජනපදය භාරගත යුතු” යි ඇය කීවා ය.

අවසාන වශයෙන් සුමිතා මෙසේ පැවසුවා ය: “වඩ වඩා විමුක්ති-විරෝධී හා මානව-විරෝධී වන මෙම ප්‍රහාර, කල් පමාවීමට ප්‍රථම අප විසින් සාමූහික ව හෙලාදැකිය යුතු යි. ’සත්‍යය කතා කරන්න, එවිට සත්‍යය ඔබට නිදහස ලබා දේවි’ යන කියමන මේ අවස්ථාවේ දී තහවුරු කල යුතු යි. ප්ලේටෝ වතාවක් කියූ දෙය මෙහි දී අසාන්ජ්ට අදාල වෙනවා. එනම්, ‘සත්‍යය කතාකරන්නා තරම් කිසිවෙකු වෛරයට පාත්‍රවන්නේ නැහැ.’”

අනිමේෂ් යන සිසුවා හජාජාක/ලෝසවෙඅ උද්ඝෝෂනයට සහයෝගය පලකලේ ය: “(චෝදනාවට ලක් වී සිටින අසාන්ජ් හා මැනිං) වෙනුවෙන් අපගේ හඬ නැංවීම ඇත්තෙන් ම ශ්‍රේෂ්ඨ පියවරක් කියල මම හිතනවා. මෙම උද්ඝෝෂනයට බොහෝ දෙනෙක් සම්බන්ධ වී, ව්‍යාපාරය වඩා ශක්තිමත් කරගෙන අසාන්ජ් හා මැනිංගේ නිදහස සුරක්ෂිත කරගනීවි යයි මම බලාපොරොත්තු වෙනවා.”

සන්දීප්

අසාන්ජ් විසින් ධෛර්යය සම්පන්න ලෙස අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිදරවු කිරීම ගැන සන්දීප් උද්‍යෝගයෙන් කතා කලේ ය: “අපි ජූලියන් අසාන්ජ්ට සහයෝගය දිය යුතු යි. මෙම ආන්ඩු ඔහුට මෙලෙස සලකන්නේ ඇයි? සෑම කෙනෙකුට ම නිදහසේ කතාකිරීමට අයිතියක් තිබෙන බවත් අඩිය පස්සට නො ගත යුතු බවත් මම හිතනවා. සියලු වැර දරා ජූලියන් අසාන්ජ් නිදහස් කරගන්න. අපි ඔබේ උද්ඝෝෂනයට සහයෝගය දෙනවා.”

හජාජාක ආධාරකරුවෝ කල්කටාවේ බීඑස්එන්එල් කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශ වල ද උද්ඝෝෂනය කල අතර, එහි දී ඔවුන්ට යාවද්පූර් උසස් පාඨශාලාවේ ශිෂ්‍ය ගෝපාල්මුනගැසුනි. ගෝපාල් අසාන්ජ් හා මැනිංගේ ආරක්ෂාවට සහයෝගය පලකල අතර, කතා කිරීමේ නිදහසට එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව අදහස් පලකලේ ය.

බලධාරීන්ගේ හිංසනයට ලක්වෙතැයි බියෙන් නම හෙලිදරවු කිරීමට අකැමති වූ බීඑස්එන්එල් කම්කරුවෙක් ද හජාජාක උද්ඝෝෂකයන් ව සාදරයෙන් පිලිගත්තේ ය. “කතා කිරීමේ නිදහස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනක් වන නමුත්, ජූලියන් අසාන්ජ් වැනි මාධ්‍යවේදීන් මර්දනය කර ඔවුන් සත්‍යය කතාකිරීමෙන් වලක්වන්නට ආන්ඩුවලට හැකි නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයට යෝධ අන්තරායක්” යයි ඔහු කීවේ ය.

ආන්ඩුවට අයත් රාජ්‍ය ව්‍යවසායන් මෝදි ආන්ඩුව විසින් පුද්ගලීකරනය කිරීම හෙලාදුටු බීඑස්එන්එල් කම්කරුවා, ස්ථීර කම්කරුවන්ට වැටුප් ගෙවීම පමා කිරීම, කොන්ත්‍රාත් කම්කරුවන්ගේ දරිද්‍ර කොන්දේසි, පහත් ජීවන කොන්දේසි හා බීඑස්එන්එල් කම්කරුවන්ට වෙන් කර ඇති නිවාස දිරාපත්වීම ඇතුලු බීඑස්එන්එල් කම්කරුවන්ගේ ගැටලු ගැන හජාජාක උද්ඝෝෂකයන් සමග කතාකලේ ය.

Share this article: