ධනපති පක්ෂ සහ වෘත්තීය සමිති ලංකාවේ මැයි දිනය මැතිවරන වේදිකාවක් බවට පත්කරති

කොලඹ ඇතුලු ලංකාව පුරා නගරවල මෙවර පැවති මැයි දින පෙලපාලි සහ රැලි වලට ලක්ෂ සංඛ්‍යාත ජනයා සම්බන්ධ වී සිටියහ. රට පුරා මැයි දින රැස්වීම් 40ක් පැවැත්විනි.

ලෝක කම්කරු දිනය, ධනේශ්වර සූරාකෑමට එරෙහිව සටන් කිරීමටත් අධිරාජ්‍යවාදීන් තුන්වන ලෝක යුද්ධයක විනාශයට මනුෂ්‍ය වර්ගයා ගොදුරු කිරීමේ තැත පරාජය කිරීමටත් ලෝක සමාජවාදය මත කම්කරු පන්ති එකමුතුව ශක්තිමත් කිරීමටත් යොමුවිය යුතු ව පැවතිනි.

මැයි දින රැස්වීම් වලට සහභාගී වූ බොහෝ කම්කරුවන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමන කප්පාදු ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස දැවෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට අවශ්‍යතාවක් තිබුනාට සැක නැත. එසේ වුවද, මෙම අරමුනුවලට සපුරා එරෙහි ලංකාවේ සියලුම පක්ෂ සහ සංවිධාන මැයි දිනය පාජාවක් බවට පත්කිරීමට මෙවර ද ඉදිරිපත්ව සිටියහ. ප්‍රධාන ධනපති පක්ෂ, පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය ඉලක්ක කරගනිමින්, තමන්ගේ ව්‍යාජ පොරොන්දු පත්‍ර තොරොම්බල් කිරීමට මැයි දිනය අවස්ථාවක් බවට පත්කර ගෙන තිබුනි.

රනිල් වික්‍රමසිංහ

කඩමාල්ලක් වී ඇති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මැද කොලඹ මාලිගාවත්තේ පැවති මැයි දින රැලියේදී, නය බරින් මිරිකී සිටින ආර්ථිකය ගලවා ගැනීමට ඇති එකම විකල්පය ලෙස ජාමූඅ වැඩපිලිවෙල පැසසුමට ලක් කලේය. තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙස ඔහු එජාපයෙන් කැඩී ගිය සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පාර්ලිමේන්තු පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) වැනි අනෙකුත් පක්ෂවලට ආයාචනා කලේය. සජබ සහ ජාජබ යන පක්ෂ දෙකම ජාමූඅ න්‍යාය පත්‍රයට මුලුමනින්ම එකඟ බව ඔහු දනී.

තම ඒකාධිපති ගමන සැඟවීමට, “මේ තියේන්නේ ප්‍රජාත්නත්‍රවාදය. කොලඔ නගරය වටේම පෙලපාලි යනවා. මේක ඒකාධිපතිකමක් නෙමේ. ....මට බනින්න පුලුවන්” යැයි වික්‍රමසිංහ පැවසුවේය.

එදිනම කොලඹ රැස්වීමට පෙරදින, වික්‍රමසිංහ, ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් කොටගල සංවිධානය කරන ලද රැස්වීමක් අමතමින් පැවසුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කල බවයි. ඡන්ද ගුන්ඩුවක් වන මෙම වැටුප් වැඩිකිරීම වතු කම්කරුවන් ගිලී සිටින අගාධයෙන් ගොඩ ඒමට අලගු තැබීමටවත් ප්‍රමානවත් නැත. නමුත් වතු කොම්පැනි වහා ඊට විරුද්ධ වූහ.

සජබ නායක සජිත් ප්‍රේමදාස යටතේ මැයි දින රැලිය කොලඔ කොටුවේ චැතැම් වීදියේ පැවැත්විනි. මෙහිදී ඔහු ජාමූඅ ට තම කැපවීම ප්‍රකාශයට පත් කරමින් මෙසේ කිවේය: “රටේ ජනතාව ජීවත් කරවන රට නිවැරදි මගකට යොමු කෙරුනු අලුත් අයිඑම්එෆ් ගිවිසුමක් නිර්මානය කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා'.

තමන්ගේ වර්ගවාදී කැපවීම කියා සිටිමින් ප්‍රේමදාස මෙසේ පැවසුවේය: “අද මම ඔබ අතරට පැමැනියේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්න.... රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය, භෞමික අඛන්ඩතාවය, දේශපාලන නිදහස සුරක්ෂා කරන පාලනයක් අපි මහපොලොවේ යථාර්තයක් හැටියට ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා.”

වත්මන් පාලක සභාගයේ ප්‍රධාන පක්ෂය වන අපකීර්තියට පත්ව කුජීතව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ රැලිය පැවැත්වූයේ කොලඹ කැම්බල් පිටියේ ය. මින් වසර දෙකකට පෙරාතුව දිවයිනේ දැවැන්තම මහජන නැගිටීම මගින් බලයෙන් පහ කෙරුනු ද, වෘත්තීය සමිති නායකයින්ගේ හා ව්‍යාජ වාම පෙරටුගාමී පක්ෂයේ පාවාදීම නිසා මෙම පක්ෂයට බලයේ රැඳී සිටීමට හැකිවිය.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු භාෂාවෙන් ජාතිවාදයට අතවනමින් “මේ රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් බලවේග රාශියක් අද ඒක රාශී වෙලා ඉන්නවා,” යනුවෙන් පැවසුවේ තම ආන්ඩු සෑමවිට ම කම්කරුවන් සමග සිටි බවට පචයක් ද ඇද බාමිනි.

ජාජබ කොලඔ, මාතර, අනුරාධපුරය සහ යාපනය වැනි නගරවල තම පෙලපාලි සහ රැලි පැවැත්වූහ. කොලඔ නෙලුම්පොකුන වටරවුමේදී පැවැත්වූ රැස්වීමේදී ජාජබ නායක අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරනයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහනය කිරීම සඳහා සියලු සැලසුම් එලා ඇති බවටත්, 2025 මැයි දිනය තියන්නේ ජාතික ජනබලවේග ආන්ඩුවක් යටතේ බවටත් පම්පෝරි ගැසුවේය.

ජාාතික ජන බලවේගය මැයි පෙලපාලිය (ෆේස්බුක්)

ජාජබ වෙනත් පක්ෂවලට එරෙහි පක්ෂයක් නොවන බවත් නමුත් “පක්ෂ අතර මතිමතාන්තර පැත්තකින්” තැබිය යුතු බවත් “පරන කෝන්තර පැත්තකින්” තැබිය යුතු බවත් “අපි හදන්න යන්නෙ ලෝකයත් සමග ඉස්සරහට යන්න පුලුවන් නූතන ශ්‍රී ලංකාවේ නව පුනරුදයේ යුගයක්” බවත් දිසානායක පැවසීය.

මෙය පැහැදිලිවම සියලු ධනපති කල්ලි වලට කල විවෘත ආරාධනයක් වන අතරම, අනෙකුත් පක්ෂවලට තම මතිමතාන්තර පැත්තකින් තැබිය යුතු බවට කල තර්ජනයක් ද විය. තම “නව ආර්ථික උපාය මාර්ගය,” යටතේ ධනපති කර්මාන්තකරුවන්ට හා ව්‍යාපාරිකයින්ට අවස්ථාව හැදෙන නිසා තරුනයින් ඇතුලු මහජනතාවට සහන ලැබෙන බවට ඔහු පූච්චානම් දෙඩවූයේ වික්‍රමසිංහට නො දෙවෙනි ආකාරයට ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය පැවැත් වූයේ කොලඹ හයිඩ්පාක් පිටියේය. මෙහි ප්‍රධාන තේමාව වූ “අයිඑම්එෆ් මර උගුල, ඉන්දියන් විජිතකරනය පරදමු” යන්නයි. මෙය වනාහි, ව්‍යාජ ජාමූඅ විරෝධයක් තුල සඟවා, ඉන්දියානු විරෝධී ජාතිවාදය ඇවිස්සීමේ තේමාවකි. ඒ බව අවධාරනය කරමින් පක්ෂයේ නායක කුමාර් ගුනරත්නම් මෙසේ මොර දුන්නේය: “ලංකාව ඉන්දියාවේ 26 වන ප්‍රාන්තය බවට පත්කිරීමේ” “ඉන්දියානු ව්‍යාප්තවාදී දේශපාලන බලහත්කාරය, ඉන්දියානු විජිතකරනය ලංකාව යටත් විජිතයක් කරන්න තියෙන වුවමනාව අද වනවිට අපිට පෙනෙමින් යනවා .”

“පැහැදිලි ලෙස කඳවුරු දෙකක් ලෙස ධනවාදී කඳවුරත් වාමාංශික කඳවුරත් ලෙස බෙදී” ඇති බවත් කී ගුනරත්නම් මේ ක්‍රමය වෙනස් කරන සමාජවාදය වෙනුවෙන් තමන් පෙනී සිටින බව කිවේය. එහෙත්, ඔහුගේ පක්ෂයට ඇත්තේ, පාර්ලිමේන්තුවට පිටින් ජන සභා ගොඩනගමින් එයට පීඩනය දමා ප්‍රතිසංස්කරන ඉල්ලා හිඟමනේ යාමේ ධනපති වැඩපිලිවෙලකි.

“යුනයිට් ” හෙවත් “එක්වෙමු ” යන සංවිධානය යටතේ සංවිධානය වී ඇති වෘත්තීය සමිති සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන තම රැලිය කොලඹ ස්ටැන්ලි ජෑන්ස් පිටියේ පැවැත්විය.

මෙයට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (සෞවෘස), සමස්ත ටෙලිකොම් සේවක වෘත්තීය සමිති, ලංකා බැංකු සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ප්‍රගති ගුරු සංගමය, ඇතුලත් විය. ඇඟලුම් කම්කරුවන් නියෝජනය කරමින් දාබිඳු සාමූහිකය, ස්ටෑන්ඩ්අප් මූව්මන්ට්, වතුකරයේ ජනතා හඬ සංවිධානය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද සම්බන්ධ විය.

මෙම වේදිකාවේ සිටි වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් සංවිධාන වල කථිකයන්ගේ සටන් පාඨය වූයේ මහ පාරේ අරගලය කිරීමත් ආන්ඩුවලට පීඩනය එල්ල කිරීමත්, එමගින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල වලක්වා ගත හැකිය යන මිත්‍යාව වගාදිගා කිරීමත්‍ ය.

“එක්වෙමු” යටතේ වෘත්තීය සමිති සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන කොලඹ ස්ටැන්ලි ජෑන්ස් පිටියේ පැවැත්වූ මැයි දින රැලිය අමතන රවී කුමුදේශ්

සෞවෘස හි සභාපති රවි කුමුදේශ් එහි දී කතා කරමින්, රටේ අර්බුදය මෙන්ම සෞඛ්‍ය සේවයේ අර්බුදයටද තුඩු දී ඇත්තේ ධනවාදී අර්බුදය නොව දේශපාලකයන්ගේත් පරිපාලනයෙත් වංචා දූෂන නිසා යැයි සත්‍ය වසන් කරමින් පැවසීය. විසඳුම ලෙස ඔහු කම්කරුවන්ට ආයාචනය කලේ “ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක්” ලෙස පෙරමුන ගෙන වෘත්තීය සමිති මට්ටමෙන් කම්කරු ප්‍රශ්න විසඳා ගත හැකි බවයි.

ටෙලිකොම් සමිති නායක ජගත් ගුරුසිංහ ජාමූඅ සහ ලෝක බැංකුව විවේචනය කරමින් මෙම ආයතන දෙක සමස්ත ලෝකයම සූරා කන බවත් ලංකාවේ සමාජ කොන්දේසි කාබාසීනියා කර ඇති බවත් ආන්ඩුව ටෙලිකොම්, ලංවිම ඇතුලු රාජ්‍ය ආතන 430 ක් ජාමූඅ යටතේ විදේශ සමාගම්වලට විකිනීමට යන බවත් පැවසුවේය. “කම්කරු පන්තිය විදියට උඹලත් එක්ක දරුනු හැප්පිල්ලකට එනවා. ඒක වැඩි ඈතක නැහැ” ගිගුරුවේ ය.

එහෙත් වැඩි ඈතකට නොයා, පසුගිය අවුරුදු දෙකේ මෙම සමිතිවල වාර්තාව සැලකිල්ලෙන් බලන කම්කරුවන්ට දකින්නට ලැබෙනු ඇත්තේ, වේදිකාවල බිරුසන් දෙන මේ නායකයන් කම්කරුවන්ගේ අරගල වලට වල කපමින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට උදවු දුන් ආකාරයයි.

මෙම සියලුම පක්ෂ සහ සංවිධානවලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත පැවැත්වෙන ජාත්‍යන්තර මැයි දිනයට එක්වන ලෙස ඉල්ලා සිටී. මේ සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලංකාවේ වේලාවෙන් මැයි 5 වැනි දා අලුයම 12.30 ට පවත්වනු ලබන ඔන්ලයින් රැස්වීමට සහභාගි වන ලෙස උද්ඝෝෂනය කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලොසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නොර්ත්, 'තුන්වන ලෝක යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය නැවැත්වීමට කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනඟමු!' යන තේමාවෙන් ඉදිරිපත් කල සිය මැයි දින කැඳවීම තුල මෙසේ සඳහන් කරයි:

'තුන්වන ලෝක යුද්ධයක් දුරස්ථ දෙයක් නොවේ. මෙම යුද්ධයේ ආරම්භක අදියර දැනටමත් සිදුවෙමින් පවතී. රුසියාව, චීනය සහ ඉරානයට එරෙහි ගෝලීය මිලිටරි මෙහෙයුම් සඳහා මේ සතියේ ද්විපාර්ශ්වික අනුමැතිය යටතේ අමතර බිලියන ගනනක් වෙන් කිරීමේ සුවිශේෂතාව මෙයයි.

'ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීමේ නොවරදින ලකුනක් වන්නේ, විශ්ව විද්‍යාල “යුදෙව්විරෝධය” යන පචය යොදාගනිමින් ජන සංහාරයට එරෙහි ශිෂ්‍යය විරෝධතාවලට ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ආන්ඩුවල ප්‍රචන්ඩ ප්‍රතිචාරයයි. මෙය, යුද්ධයට එරෙහි, සියලු දේශීය විරෝධයන්ට එරෙහිව එල්ල කෙරෙන දැවැන්ත ආන්ඩු මර්දනයේ පලමු අදියර පමනි. එතෙර යුද්ධය යනු සිය රට තුල යුද්ධයයි.

“න්‍යෂ්ටික අවි භාවිතය, නොවැලැක්විය හැකි පරිදි ලෝක යුද්ධයක් දක්වා ව්‍යසනකාරී ලෙස උත්සන්න වීමේ දැවැන්ත අන්තරායට එරෙහිව, බරපතල හා දූරදර්ශී දේශපාලන උපාය මාර්ගයක් අවශ්‍ය වේ...”

මෙම ජාත්‍යන්තරවාදී හා සමාජවාදී මුලෝපාය සාකච්චඡා කෙරෙන, මැයි 4දා පවත්වනු ලබන අපේ ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට සහභාගීවීමට ලියාපදිංචි වන මෙන් කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading