වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් කොලඹ දී පැවැත්වූ උද්ඝෝෂනයට ඉහල සහභාගිත්වයක්

අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව මැයි 07 අඟහරුවාදා, කොලඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට, සහබාගී වූවන්ගෙන් කොටසක්

වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මැයි 02 දා ආරම්භ කල අඛන්ඩ වැඩවර්ජනයට සමගාමීව, අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව විසින්, මැයි 07 අඟහරුවාදා, කොලඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් 4000 කට අධික පිරිසක් සහභාගි වූහ.

යාපනය සහ නැගෙනහිර ආදී විශ්වවිද්‍යාලවල කම්කරුවන් උද්ඝෝෂනයට සහභාගි වීම සඳහා පෙර දින කොලඹට පැමින සිටි අතර, කොලඹින් දුර බැහැර පිහිටි අනෙකුත් විශ්වවිද්‍යාලවල කම්කරුවෝ සමූහ වශයෙන් සංවිධානය වී එදින පෙරවරුවේ කොලඹට පැමිනියහ.

කැරලි මර්දන පොලිස් භටයෝ, උද්ඝෝෂකයන් සහ සෙසු මහජනතාව අතර පවුරක් සාදමින්, අන ලද සැනින් පහර දීමට සූදානම් ව සිටින අයුරු

ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් සහ ඩ්‍රෝන කැමරා වලින් සන්නද්ධව සිටි කැරලි මර්දන පොලිස් භටයෝ, උද්ඝෝෂකයන් සහ සෙසු මහජනතාව අතර පවුරක් සාදමින්, අන ලද සැනින් පහර දීමට සූදානම් ව සිටියහ. එම තර්ජනය සහ උනුසුම් කාලගුනය නොතකා කම්කරුවෝ පැයක පමන කාලයක් උද්ඝෝෂනයේ යෙදුනාහ.

ඔවුන්ගේ එක් ඉල්ලීමක් වූයේ, 2015 දී රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සියයට 107 ක වැටුප් වැඩිවීමට අදාලව අනධ්‍යන සේවකයන්ට ලබා දුන්නේ සියයට 95 ක වැඩිවීමක් පමනක් බැවින් ඉතිරි සියයට 15 ලබාදෙනු යන්නයි. වසර 8 ක් තිස්සේ මෙම ඉල්ලීම ඉදිරිපත් කල ද අනුප්‍රාප්තික ආන්ඩු සියල්ල එය ප්‍රතික්ෂේප කලහ. අනෙක් ඉල්ලීම් වූයේ, 'එමිසීඒ (මාසික හිලවු දීමනාව) සියයට 25කින් වැඩි කරනු', 'ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සුරක්ෂිත කරනු', 'විශ්වවිද්‍යාල පද්ධතියට අහිමි කල වැටුප් සහ දීමනා ලබා දෙනු', 'විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදු නොකරනු', 'අර්ථසාධක විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කරනු', 'කාර්ය මන්ඩල බඳවා ගැනීම් වහා සිදු කරනු', ආදිය යි. ඉහත සටන් පාට ප්‍රදර්ශනය කරමින් කම්කරුවෝ ඒවා හඬ නැගූහ.

දිවයිනේ නන් දෙසින් පැමිනි, සිංහල, දෙමල සහ මුස්ලිම් අනධ්‍යන කම්කරුවන් උද්ඝෝෂනයට ක්‍රියාශීලීව සහභාගිවීමෙන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු අනධ්‍යන සේවකයන් අඛන්ඩ වැඩවර්ජනයට එක්වීමෙන් පෙන්නුම් කරන්නේ, එම ඉල්ලීම් දිනා ගැනීමේ දැඩි අවශ්‍යතාව සහ ධනපති පාලකයන් විසින් නිර්මානය කල වර්ග භේද නොතකා, ඒ සඳහා එක්ව සටන් කිරීමේ අධිෂ්ඨානය යි.

කෙසේ නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, අන් සෑම කම්කරු සටනක් මෙන්ම, මෙම වර්ජනය ද තලා දැමීමට මාන බලයි.

කම්කරු සටන මෙන්ම, මෙම වර්ජනය ද තලා දැමීමට පොලීසිය යොදාසිටි අයුරු

ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනුවස්, වර්ජනය 'දේශපාලන අරමුනක්' මත සිදු කෙරෙන්නක් බවට හංවඩු ගැසීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත වැඩට බැස සිටී. මැයි 03 දා ඔහු සිරස මාධ්‍යයට පැවසුවේ, අනධ්‍යන කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තමා දැනටමත් අමාත්‍ය මන්ඩල සංදේශයක් ඉදිරිපත් කොට ඇතිබව සහ එලැඹෙන කැබිනට් මන්ඩල සැසියේදී එය සාකච්ඡාවට ගැනෙන බවයි. 'සමහර වෘත්තිය සමිති වලට දේශපාලන අරමුනු තිබෙනවා ඒගොල්ලන්ට ඔක්කොම දුන්නත් වර්ජන වලින් ඉවත් වෙන්නේ නැහැ මම මගේ වැඩ කොටස කරන බව ඒගොල්ලන්ට දන්නල තිබෙන්නේ' යැයි ඔහු පැවසීය.

මේ අතර, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන්, මැයි 07 දා, ද මෝර්නින්ග් පුවත්පතට පවසා තිබුනේ, අනධ්‍යන සේවකයන් යලි සේවයට වාර්තාකොට ආන්ඩුව සමග තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කලයුතු බවයි. වර්ජනය හේතුවෙන් රජයට රුපියල් මිලියන 125 ක් දෛනිකව පාඩු සිදුවන බවත්, 'ඔවුන් (අනධ්‍යන සේවකයන්) ගනුදෙනු කරන්නේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික ජීවිතය සමග' බවත් පවසමින් ඔහු, අනධ්‍යන සේවකයන්ට එරෙහිව ශිෂ්‍යයන් සහ මහජනතාව උසි ගැන්වීමට එහිදී යත්න දරා ඇත.

ඇමතිවරුන් දෙදෙනාගේ මේ සියලු ප්‍රකාශයන්, අනධ්‍යන කම්කරු වර්ජනයට එරෙහි රාජ්‍ය මර්දනයක් දෙසට ඝෘජුවම යොමු වී ඇත.

අනෙක් අතට, රාජ්‍ය වැටුප් කැටි කිරීම සහ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් වඩාත් සීමා කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු අතරින් ප්‍රමුඛ විධානයක් වන තතු තුල, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් මෙම ඉල්ලීම් ලබා ගත හැකි වෙතැයි අනධ්‍යන කම්කරුවන් විශ්වාස නොකල යුතුය.

ජාමූඅ හි විධානයක් වන පුද්ගලීකරනයට එරෙහි ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන්ගේ අරගලයෙන් ද එය සනාථ වී ඇත. පුද්ගලීකරනය නතර කරනුවස් ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා ලංවිම සමිති නිලධරය කැඳවූ වර්ජනයට සහභාගිවීම හේතුවෙන්, එහි සේවකයන් 62කගේ වැඩ තහනම් කෙරුනි. දැඩි මර්දනය මධ්‍යයේ ලංවිම ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහකරනය ආන්ඩුව විසින් ඉදිරියටම ගෙන යමින් පවතී.

එසේ වුවද, අනෙක් සමිති මෙන්ම, අනධ්‍යන සටනට නායකත්වය දෙන වෘත්තිය සමිතිය එකමුතුව, තම සාමාජිකත්වයට නැවත නැවතත් කියා සිටින්නේ, ආන්ඩුවට පීඩනය යෙදීමෙන් තම ඉල්ලීම් ලබාගත හැකි බවයි.

උද්ඝෝෂනය අවසානයේ කතා කල වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත, අඛන්ඩ වැඩ වර්ජනයේ දී ආන්ඩුවට යොදන පීඩනය වැඩි කිරීමට දැනට පවත්වාගෙන යන අත්‍යාවශ්‍ය සේවා සියල්ලෙන් ඉවත් වෙමින් රෝහල්වල සාම්පල පරීක්ෂා කිරීම, ගොවිපල නඩත්තු වල වැඩකටයුතු වලින් අනධ්‍යයන කම්කරුවන් ඉවත් වන බව කියා සිටියේය.

එම රැස්වීමේ කතා කල ජනතා විමුක්ති පෙරමුන, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුන යන දේශපාලන පක්ෂ වලට අයත් වෘත්තීය සමිති නායකත්වය මෙන්ම ඊනියා ස්වාධීන වෘත්තීය සමිති කිහිපයක සියලුම කතිකයෝ ප්‍රියන්ත ගේ කතාව අනුමත කලහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට සම්බන්ධ 'ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රයේ' සභාපති තුෂාර සංජීව පෙරේරා, ඇමැති ප්‍රේමජයන්තගේ චෝදනාවට පිලිතුරු දෙමින් කියා සිටියේ, 'සටන කුමන ආකාරයකින්වත් දේශපාලනීකරනය වීමට ඉඩ නොදෙන' බවයි.

විරෝධතා උද්ඝෝෂනයට, සහබාගීවූවන්ගෙන් කොටසක්

සමිති නිලධරයේ මෙම ප්‍රකාශ අනධ්‍යන කම්කරුවන් විසින් බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතුය. සැබැව්න්ම, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන කප්පාදු ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගින් පමනකි. මෙම 'සටන කුමන ආකාරයකින්වත් දේශපාලනීකරනය වීමට ඉඩ නොදෙන' බවට ඔවුන් සපථ වන විටත්, ආන්ඩුවට යොදන පීඩනය වැඩි කිරීමෙන් ඉල්ලීම් දිනාගත හැකි බවට සමිති නිලධරය කියාපාන විටත්, එහි අරමුන වනුයේ කම්කරු පංතියේ එවන් දේශපාලන සටනක් වලකාලීමයි.

'විශ්වවිද්‍යාල අනධ්‍යන සමිති අධ්‍යාපන ඇමතිට යැවූ ලිපිය වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව ගැඹුරින්ම හෙලි කරයි' යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපියෙන් පැහැදිලි කෙරුනු පරිදි, 'වෘත්තීය සමිති අදදින කවර හෝ කාර්මික ක්‍රියාවක් කැඳවනු ලබන්නේ, තම සාමාජිකත්වයෙන් එල්ලවන පීඩනය නිසා මිස, ඔවුනගේ දැවෙන අවශ්‍යතා වෙනුවෙන් සැබෑ අරගලයක් දියත් කිරීමේ උවමනාවෙන් නොවේ.'

රැස්වීමේදී කතාකල වෘත්තිය සමිති නායකත්වය විසින් ම එය තහවුරු කලේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය වන නිදහස් සේවක සංගමයේ විශ්වවිද්‍යාල ශාඛාව නියෝජනය කරමින් කතාකල හර්ෂපාල බන්ඩාර මෙසේ පැවසීය: “වෘත්තීය සමිති නායකයෝ නෙවෙයි අපි මෙතනට තල්ලුකලේ. වෙනදා ඉතිහාසයේ වෘත්තීය සමිති තමයි සාමාජිකයෝ තල්ලුකරගෙන එන්නේ. හැබැයි වර්තමානයේ ඒක නොවෙයි වෙන්නෙ. පලමු වතාවට සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ සේවකයන් විසින් වෘත්තීය සමිති නායකයන් තල්ලුකරගෙන එන තත්වයක් උදාවෙලා තියෙන්නේ. ඒ තරම් පීඩනයකින් සමාජිකයා ඉන්නේ.”

ඉහත ලෝසවෙඅ ලිපියේ සඳහන් කෙරුනු පරිදි, 'සමිති නිලධරය තොරොම්බල් කරන ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙලට එරෙහිව තම ඉල්ලීම් දිනා ගැනීමේ ශක්‍ය වැඩපිලිවෙලක්, එනම් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන වැඩපිලිවෙලක් සම්මත කර ගැනීම සඳහා සියලු ශ්‍රේනිවල අනධ්‍යන කම්කරුවන්ගේ ඒකාබද්ධ සමුලුවක් කැඳවන ලෙසත්, සමුලුව තුල ඒ සඳහා පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සෑම අනධ්‍යන සමිතියකම සාමාන්‍ය සාමාජිකත්වය සටන් කල යුතුය.'

ධනපති ක්‍රමයට හිසේ සිට දෙපතුල දක්වා බැඳී සිටින වෘත්තීය සමිති සහ එහි නිලධරය එවන් වැඩපිලිවෙලකට මුලුමනින්ම හතුරු බැවින්, එම සමිති සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන තමාගේම බල සංස්ථාවන් කම්කරුවන්ට අත්‍යවශ්‍ය ය. එකී බල සංස්ථාවන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු, සෑම කම්හලක්, වැඩපොලක්, රෝහලක්, පාසැලක්, විශ්වවිද්‍යාලයක් සහ ගොවිබිමක් ආශ්‍රිතව ගොඩනගමින් ඒවා ජාත්‍යන්තරව ගොඩනගන එවන් කමිටු සමග සන්ධාන ගතකල යුතුවෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ සෑම විශ්වවිද්‍යාලයක් තුලම කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට අනධ්‍යන සේවකයන් ආරම්භකත්වය ගත යුතුය.

Loading