නිව් යෝක් ටයිම්ස් සහ විකිලීක්ස් වෙබ් අඩවිය

The New York Times and WikiLeaks

16 December 2010

විකිලීක්ස් වෙබ් අඩවියට සහ එහි නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව ක‍්‍රියාත්මක වෙමින් පවතින හිංසන ව්‍යාපාරය තුල දී ඇමරිකානු ලිබරල්වාදයේ ප‍්‍රධාන හඬ වන නිව් යෝක් ටයිම්ස් පුවත්පත විශේෂ අසික්කිත කාර්ය භාරයක් ඉටු කර ඇත.

පසු ගිය මස අග දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලියවිලි මුල් වරට ප‍්‍රසිද්ධ කෙරුනු තැන් පටන් ටයිම්ස් පුවත්පත එම හෙලිදරව් කිරීම්වල අර්ථභාරය පිරිහෙලීමට උත්සාහ දරා ඇත. කේබල් පනිවුඩ පිලිබඳව ලියැවෙන අලූත් ලිපි ඇතුලත පිටුවලට සීමා කරමින් එය ඒවා පල කිරීම විශාල වශයෙන් අත්හිටුවා ඇත. ආරම්භයේ සිට ම එය සිය පුවත් ආවරනය යොදා ගෙන ඇත්තේ එක්සත් ජනපද අවශ්‍යතාවන්ට මුක්කු ගැසීමට ය. එක්සත් ජනපද සාපරාධිත්වය පිලිබඳ වඩා අර්ථභාරී හෙලිදරව් කිරීම් නො සලකා හරිනු ලැබේ.

අසාන්ජ් ඉලක්ක කර ගත් ජාත්‍යන්තර ව්‍යාපාරය උග‍්‍ර වීම සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පත හිතාමතා ම නිහඬතාව රැක ඇත. අසාන්ජ් අත් අඩංගුවට ගැනීම පිලිබඳව හෝ ඔහු ඝාතනය කිරීමට සහ විකිලීක්ස් වෙබ් අඩවිය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හංවඩු ගැසීමට එක්සත් ජනපද දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය කරන ඉල්ලීම් පිලිබඳව එය එක ම කතුවැකියක් වත් පල කර නැත. මෙය මෙම ව්‍යාපාරයට සපයන නිහඬ සහායකට සමාන ය.

රහස්‍ය යැයි වර්ගීකරනය කරන ලද ලියවිලි පිලිබඳව වාර්තා කිරීමට ටයිම්ස් පුවත්පතට අයිතියක් නැතැයි තර්ක කරමින් ලියා එවන ලද ලියුම් මාලාවකට ප‍්‍රතිචාර වශයෙන් නොවැම්බර් 29 දා තැපැල් කල අතිශය අසාමාන්‍ය අදහස් දැක්වීම්වල දී විධායක කර්තෘ බිල් කෙලර් රාජ්‍යයේ සහායකයෙකු ලෙස ටයිම්ස් පුවත්පත ඉටු කරන කාර්ය භාරය නිර්ලජ්ජිතව ප‍්‍රකාශයට පත් කලේ ය.

කෙලර් ආරම්භ කලේ ටයිම්ස් පුවත්පතේ කර්තෘවරුන්ට "ආන්ඩුවට රහසක් වශයෙන් තබා ගැනීමට වුවමනා කරන තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමට තීරනය කල හැකි ය" යන මතය නිසා තමන් "අපහසුවට" පත් වුනු බව ප‍්‍රකාශ කරමිනි. මාධ්‍යය ඉටු කල යුතු වඩාත් ම අත්‍යවශ්‍ය කාර්ය භාරයන්ගෙන් එකක් හැටියට සාම්ප‍්‍රදායිකව සලකනු ලබන ඇති කාර්ය භාරයක් ඉටු කිරීමේ දී කර්තෘවරුන් "අපහසුවට" පත් වීමෙන් නිව් යෝක් ටයිම්ස් වැනි හොරනෑවල සැබෑ ක‍්‍රියාකාරිත්වය පිලිබඳව බොහෝ දේ කියැවේ.

"ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය තුල දී වෙන ඕනෑ ම කෙනෙකු තරමට ම අප ද අවදානමට ලක් වී ඇත," කෙලර් තව දුරටත් කියා සිටියේ ය. "එනිසා අප වාර්තා කරන යමකින් රට මුහුන දෙන අන්තරායන් ඉහල යා හැකි ය යන සිතිවිල්ල අප කලකිරවනසුලු ය, අවමානයට පත් කරනසුලු ය.... අප සතුව තිබෙන්නේ ආන්ඩුවේ රහස් බව දැන ගත් විට ඒවා හෙලිදරව් කල යුතු ද නැද්ද යන්න පිලිබඳව අපි දීර්ඝව සහ දැඩිව සිතා බැලුවෙමු."

"ත‍්‍රස්තවාදයට එරෙහි යුදධය" නීත්‍යනුකූල යැයි කෙලර් මෙහි දී මුලුමනින් ම පිලිගනී. එනම්, එය යොදා ගෙන ඇත්තේ සාපරාධී යුද්ධ මාලාවක් කර ගෙන යාම සඳහා වූ සියලු ව්‍යාජ හේතු එකට කැටි කර ගත්තක් ලෙස බව ඔහු මැනවින් දනී. ඇෆ්ඝනිස්ථානයෙහි සහ ඉරාකයෙහි යුද්ධ දියත් කිරීම සඳහා යොදා ගත් මුසාවන් යුක්ති සහගත කිරීමේ දී ටයිම්ස් පුවත්පත තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කලේ ය. "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය" තුල දී වෙන ඕනෑ ම කෙනෙකු තරමට ම පුවත්පත ද අවදානමට ලක් වී ඇතැයි කියා සිටීමෙන් කෙලර් සැබවින් ම ප‍්‍රකාශයට පත් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් උදෙසා ටයිම්ස් පුවත්පත ලබා දෙන කොන්දේසි විරහිත සහාය යි.

තොරතුරු හෙලිදරව් කල යුතු ද නැද්ද යන්න සලකා බැලීමේ දී ටයිම්ස් පුවත්පත "ආන්ඩුව සමග පුලුල් සහ බැරෑරුම් සාකච්ඡාවල" යෙදී සිටින බව කෙලර් ලියයි. මෙහි දී ඔහු පුවත්පත් යනු රාජ්‍යයෙන් ස්වාධීන ආයතන බවට කිසිදු අදහසක් නො දක්වයි. ටයිම්ස් පුවත්පත සිය පල කිරීම පිලිබඳ තීන්දු එක්සත් ජනපද ආන්ඩුව සමග නිතිපතා සාකච්ඡා කල යුතු ය යන්න ඔහුට පරිපූර්නව ම ස්වාභාවික දෙයකි.

ඕවල්ගෙන් ඍජුව ම උපුටා ගත්තේ යැයි සිතිය හැකි එක් පාඨයක කෙලර් මෙසේ ලියයි: "විනිවිද භාවය යනු පරම යහපතක් නොවේය යන්නට අපි මුලු හදින් ම එකඟ වන්නෙමු. පුවත්පත් නිදහස යන්නට පල නො කර සිටීමේ නිදහස ද ඇතුලත් ය. එය අප නිතර ම පාහේ පාවිච්චියට ගන්නා නිදහසකි" [අවධාරනය ඈඳින].

කෙලර්ට නම් පුවත්පත් නිදහස පිලිබඳ ප‍්‍රශ්නය පුවත්පත්වල පරීක්ෂනාත්මක විමසුම් හරහා රාජ්‍යයේ රහස් දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය පිලිබඳ කාරනාවක් නො ව මාධ්‍යය සමග පවතින සම්බන්ධතා හරහා ඇමරිකානු මහජනතාවගෙන් "නිතර ම පාහේ" තොරතුරු වසං කිරීමට රාජ්‍යයට ඇති අයිතියකි. එක්සත් ජනපදය සිදු කල නීති විරෝධී දේශීය ඔත්තු බැලීම් සහ වධහිංසා පැමිනවීම් සම්බන්ධ ප‍්‍රවෘත්ති යට ගැසීමට ටයිම්ස් පුවත්පත තීරනය කල බව දැනට මත් ප‍්‍රකට ය. පුවත්පත කොපමන වෙනත් අපරාධ වසං කිරීමට උදව් කරමින් සිටින්නේ ද මෑතක දී ප‍්‍රසිද්ධ කෙරුනු ලියවිලි සම්බන්ධයෙන් කෙලර් තව දුරටත් මෙසේ ලියයි: "අප අපගේ ම තීරනය මත සහ ආන්ඩුවේ නිලධාරීන්ගේ උපදෙස් මත මෙම කේබල් පනිවුඩ තුල අඩංගු වුනු ජීවිත අවදානමට ලක් විය හැකි යැයි හෝ ජාතික අවශ්‍යතාවන්ට හානි විය හැකි යැයි අප විශ්වාස කරන තොරතුරු රැසක් පල කිරීම අත්හිටුවා ඇත." "ජීවිත අවදානමට ලක් කල හැකි හෝ ජාතික අවශ්‍යතාවන්ට හානි කල හැකි" ඇමරිකානු මහජනයාට දැන ගැනීමට නො දී තොරතුරු අත්හිටුවීම පිලිබඳ මෙම කොන්දේසි සැබවින් ම ඕනෑ ම දෙයක් වසං කිරීමට තරම් පුලුල් ඒවා වේ.

ටයිම්ස් පුවත්පත තමන් ම වාරනය වී ගත්තා පමනක් නො වේ. තම ප‍්‍රධාන ලිපිය හඹා යාම සඳහා අනෙක් පුවත් ආයතන ලියවිලි වෙත ප‍්‍රවේශ වීම වැලැක්වීමට දැරූ උත්සාහයේ දී එය සැබවින් ම එක්සත් ජනපද ආන්ඩුවේ බලල් අතක් ලෙස ක‍්‍රියා කලේ ය. තමන් සන්තකව ලියවිලි තිබෙන බවත් ඒවා "රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ඒ හෙලිදරව් කිරීම් පිලිබඳව සහ අප සතු සංවේදී තොරතුරු සංස්කරනය කිරීමට අපට තිබෙන සැලසුම් පිලිබඳව උත්සුක වන" ලියවිලි බවත් අනෙක් පුවත් ආයතනවලට දැන්වීමට ටයිම්ස් පුවත්පත උත්සාහ කලේ යැයි ද "අනෙක් පුවත් ආයතන මෙම සංස්කරනය කිරීම්වලට සහාය දුන්නේ යැ"යි ද නොවැම්බර් 29 දා පලකෙරුනු ටයිම්ස් සිය අන්තර්ජාල ප‍්‍රකාශනයේදී කෙලර් සඳහන් කලේ ය.

ටයිම්ස් පුවත්පතට නම් විකිලීක්ස් වෙබ් අඩවිය ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම අවාසනාවකි. මෙම තොරතුරු ද කලින් සිදු වුනු ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය තුල එක්සත් ජනපදය කර ගෙන ගිය යුද්ධවල සාපරාධී ස්වභාවය ප‍්‍රලේඛනය කල ලියවිලිවල කාන්දු වීම් ද රහසක් ලෙස තබා ගැනුනේ නම් කෙලර් වඩාත් කැමති වනු ඇත. කෙසේ වුව ද, කවරාකාරයකින් හෝ ලියවිලි හෙලිදරව් වුනු තතු යටතේ ටයිම්ස් පුවත්පත ඉටු කල කාර්ය භාරය වූයේ ඒවා සියුම් පරීක්ෂාවකට ලක් කොට රාජ්‍ය රහස්වල "දොරටුපාලයෙකු" සහ ආරක්ෂකයෙකු ලෙස ක‍්‍රියාත්මක වීම යි.

ටයිම්ස් පුවත්පතට විකල්ප දෙකක් තිබිනැයි කෙලර් ලීවේ ය: "කොයි හැටියෙන් හෝ ඒවා පුලුල්ව කියවීම තෝරා ගැනීම අන්තරායකාරී තොරතුරු ඉවත් නොකර පලකිරීමට ඇති හැකියාව විවිධ න්‍යාය පත‍්‍ර එනම්, එක්සත් ජනපද ආන්ඩුවේ ප‍්‍රතිපත්තියට විරුද්ධ න්‍යාය පත‍්‍ර ඉදිරිපත් කිරීම සඳහා යොදාගැනීමට ඇති හැකියාව දැනගෙන රහස් ලියවිලි නොතකා හැරීම හෝ ඒවා අධ්‍යයනය කිරීම, නිසි සන්දර්භයෙහි පිහිටුවීම සහ ඒවා පදනම් කර ගෙන ලිපි පල කරන අතර සැබෑ ලියවිලි අතරින් තෝරා ගත් ඒවා පරෙස්සමින් සංස්කරනය කොට පල කිරීම. අප පසුව කී මග තෝරා ගත්තෙමු."

ජාතික මහජන ගුවන් විදුලියේ "ෆ්‍රෙෂ් එයාර්" වැඩ සටහනට මෑත දී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ ප‍්‍රධාන වොෂින්ටන වාර්තාකරු ඩේවිඩ් සැන්ගර් යමක් පවසන්නට උත්සාහ දැරුවේ නම් එය වඩා පැහැදිලි විය. "පුද්ගලයන්ට, ක‍්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුම්වලට එනම්, මිලිටරි සහ රහස් ඔත්තු සේවා මෙහෙයුම්වලට සහ එවැනි වෙනත් දේවලට දැවැන්තතම හානියක් සිද්ධ වෙන එක වැලැක්වීමට දැරූ උත්සාහයක් වශයෙන් අප ඒවායින් තෝරා ගත් කොටස් ප‍්‍රකාශයට පත් කලා... මේ සියල්ල අන්තර්ජාලයෙහි පල වෙන තුරු අප පරක්කු වුනා නම්... සංස්කරනය කල යුත්තේ මොනවා ද නොකල යුත්තේ මොනවා ද කියා අප කල තරම් තදින් සිත සිතා ඉන්නට තරම් කාලයක් අපට ලැබෙන එකක් නැහැ."

ටයිම්ස් පුවත්පත ද සමස්ත එක්සත් ජනපද මාධ්‍යය ද මීට වඩා විවෘත ස්වයං නින්දාවක් සහ හෙලිදරව්වක් කර ගනිති යි සිතීම දුෂ්කර ය. අංශුමාත‍්‍ර ලජ්ජාවකින් තොරව පුවත්පත් කලාව ගනිකා වෘත්තියෙහි යොදවන එවන් ප‍්‍රකාශ කල හැකි මට්ටමකට එක්සත් ජනපද මාධ්‍ය සංස්ථාපිතයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විඤ්ඤානය ජරපත්ව ඇත. එක්සත් ජනපද මිලිටරි සහ රහස් ඔත්තු යන්ත‍්‍රනය ඇමරිකානු මාධ්‍යය තුල "කා වැදී සිටින්නේ" සංග‍්‍රාම භූමියේ දී පමනක් නො වේ, ඒවා හැම විට ම සහ සියලු තත්ත්වයන් යටතේ ඒ තුල කා වැදී සිටී.

කෙලර් රාජ්‍ය දාසයෙකු ලෙස ක‍්‍රියා කරයි, ටයිම්ස් පුවත්පත රාජ්‍ය ආයතනයක් ලෙස ක‍්‍රියා කරයි. මෙම අදහස් දැක්වීම් කියවීමෙන් පසුව හොඳ සිහියෙන් යුතු කිසි ම පුද්ගලයෙකු එක්සත් ජනපද ආන්ඩුවට හානිකර විය හැකි තොරතුරු අතැතිව ටයිම්ස් පුවත්පත වෙත නොයනු ඇත. එවැනි හමුවක් සිදු වුව හොත් ඉන් අනතුරුව රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවලට දුරකථන ඇමතුමක් දීමට කෙලර් පසුබට නොවන බව නිසැක ය.

එවැනි ප‍්‍රකාශවලින් පෙර පරපුරේ පුවත්පත් කලාවේදීන්ට පහරක් එල්ල විනැයි සිතිය නොහැකි ය. පෙර අවධිවල පුවත්පත් ආන්ඩුව සමග සාකච්ඡාවල යෙදී ගත්තේ නම්-සැබවින් ම ඒවා එසේ කලේ ය-එය මේ තරම් විවෘතව පිලිගැනීමට අවසර නොලැබෙනු ඇත.

කෙලර් පවසන සියලු දේ පෙන්ටගන ලියවිලි සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පත ගත් ආස්ථානය ප‍්‍රතික්ෂේප කිරීමකි. එක්සත් ජනපදය වියට්නාමය තුල කර ගෙන ගිය යුද්ධය හා සම්බන්ධ මුසාවන් සහ අපරාධ හෙලිදරව් කරමින් කාන්දු වුනු ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම වැලැක්වීමට ප‍්‍රයත්න දරමින් එක්සත් ජනපද ආන්ඩුව පැනවූ නඩුවකට 1971 දී ටයිම්ස් පුවත්පත මුහුන දුන්නේ ය. පුවත්පත තමන් සතුව තිබෙන ලියවිලි මොනවා දැයි ආන්ඩුවට හෙලි කිරීම ප‍්‍රතික්ෂේප කලේ ය. එවැනි පියවරක් පුවත්පත් නිදහසට සහ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ම කේන්ද්‍රීය වන මූලධර්ම උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි එය සැලකී ය.

පුවත්පතේ නීතිඥ ෆ්ලෝයිඩ් ඒබ‍්‍රම්ස් එක් නඩු වාරයක දී තර්ක කලේ ටයිම්ස් ලියවිලි ආන්ඩුවේ පරීක්ෂාවට විවෘත කිරීම "පලමු සංශෝධනය යටතේ එතරම් ම ආරක්ෂිත යැයි සිතෙන පුවත්පතක ලිපිගොනු බිලී බා ගැනීමට" ඒවා හෙලිදරව් කිරීමක් වනු ඇති බව යි.

ශ්‍රේෂ්ඨාධිකරනය ටයිම්ස් පුවත්පතේ පැත්ත ගෙන පෙන්ටගන ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම කර ගෙන යා හැකි බව ප‍්‍රකාශයට පත් කල පසුව මෙම තීරනය තුල පුවත්පත් නිදහසින් ඔබ්බට යන ඇඟවුම් ඇතැයි පුවත්පත කතුවැකියක ලීවේ ය. "එහි වඩා ගම්භිර අර්ථභාරය රඳා පවතින්නේ ඇමරිකානු මහජනතාවට තම ආන්ඩුවේ දේශපාලන තීන්දු පිලිබඳව දැනුවත් වීමට පූර්ව කල්පිත අයිතියක් ඇත යන ව්‍යංග්‍යයෙන් කියැවෙන නමුත් මග හැරිය නොහැකි නිගමනය තුල යැයි අපි විශ්වාස කරන්නෙමු," ටයිම්ස් පුවත්පත ප‍්‍රකාශ කලේ ය.

ටයිම්ස් පුවත්පත දැන් කල්පනා කරන්නේ මෙම "පූර්ව කල්පිත අයිතිය" අහෝසි කල යුතු ය යන්න ගැන පමනක් නො වේ. එය විශ්වාස කරන්නේ විකිලීක්ස් වෙබ් අඩවිය වැනි සංවිධානවලට පටහැනිව සමස්ත ජන මාධ්‍යයේ ම කාර්ය භාරය විය යුත්තේ ආන්ඩුවේ රහස්‍ය භාවය සහතික කිරීම බව යි.

දිගු කලක් තිස්සේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රධාන හඬක් ලෙස ක‍්‍රියා කර ඇති නිව් යෝක් ටයිම්ස් පුවත්පත විදහා පාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විඤ්ඤානයේ ජරපත් වීම වනාහි ඇමරිකානු සමාජය තුල සිදු වී ඇති පුලුල් පරිනාමන පරිවර්තනයක එක් පිලිබිඹුවක් පමනකි. රාජ්‍ය පාලිත පුවත්පත් යනු සංගත ප‍්‍රභූවක් පහල වීමේ නො වැලැක්විය හැකි ප‍්‍රතිඵලයකි.

ජෝශප් කිෂෝර්