ඔබාමාගේ ව්‍යාපාරික සමුලුව

Obama’s business summit

17 December 2010

එක්සත් ජනපද සමාගම් ප‍්‍රධානින් සමග ජනාධිපති ඔබාමා බදාදා දිනයේ පැවැත්වූ සම්මේලනය මගින් පෙන්නුම් කලේ පරිපාලනය මුලුමනින්ම වාගේ මහා ව්‍යාපාරිකයන්ට නින්දිත ලෙස අවනතව ඇති ආකාරයයි. මහා අවපාතයෙන් පසුව දක්නට ලැබෙන නරකම රැකියා අර්බූදය හා මිලියන ගනන් ජනයාට තම වාසස්ථාන අහිමිවන හා දුප්පත්කමට ඇද වැටෙන තත්වය මධ්‍යයේ ඔබාමා රහසිගත ලෙස මහා ව්‍යාපාරිකයන් 20 දෙනෙක් මුනගැසීම සඳහා පැය පහක කාලයක් ගත කරමින් ඔවුන් වෙත තම කොන්දේසි විරහිත සහයෝගය පලකල අතර ලාභ ඉහල නැංවීම සඳහාත් වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසි අවම කිරීම සඳහාත් කුමන්ත‍්‍රනයක යෙදී සිටියි.

මහා ව්‍යාපාරිකයන් ඉදිරියේ දනනමා තමාටම අවමන් කරගැනීම දක්වා ගමන්කල ඔබාමා විටෙක තමා ව්‍යාපාර විරෝධී වාචාලකම් දෙඩවීම පිලිබඳව කනස්සල්ල ද පල කලේ ය. සමුලුව ධවල මන්දිරයේ නොපවත්වා පෙන්සිල්වේනියාවේ බ්ලෙයාර් හවුස්හි පැවැත්වීමට තීරනය කිරීමෙන් නිසැකම අදහස් කලේ තමා ඔවුන් මුනගැසෙන්නේ මැදහත් පුද්ගලයෙකු වශයෙන් බවට ව්‍යාපාරික විධායකයින් වෙත දැනුම් දීමයි. ධවල මන්දිරයේ සිට රැස්වීම් ස්ථානය වෙත තනිවම ඇවිදයන විට තමා වීඩියෝ ගත කිරීම පිලිබඳ ප‍්‍රශ්නය ඔහු මතු කලේය.

සමුලුවේ අන්තර්ගතය එයට පසුබිම් වූ වාතාවරනය සමග සම්පාත විය. බ්ලෙයාර් හවුස්වෙත යාමට පෙර කරන ලද කෙටි සඳහනකදී ඔබාමා එක්සත් ජනපද සංගත හා ව්‍යාපාර ප‍්‍රභූ පැලැන්තියේ ප‍්‍රධාන අවශ්‍යතා පිලිබඳව සැලකිල්ල යොමු කල අතර ඔවුන්ගේ ඉල්ලීම් සන්තර්පනය කිරීමට තමන් උනන්දුවෙන් සිටින බව පැහැදිලි කලේ ය. එක්සත් ජනපද අපනයන වැඩි කිරීම, බදු සංශෝධන, මූල්‍ය විනය හා අයවැය හිඟය අඩු කිරීම හා "සංවර්ධනය ඔප්නංවන හා එයට බාධා නොකරන රෙගුලාසි සම්පාදනයේ දී සමබර ප‍්‍රවිෂ්ටයක්” පිලිබඳවත් ඔහු සඳහන් කලේ ය.

පොහොසතුන් සඳහා බුෂ් පරිපාලනය විසින් කල බදු කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීම පිලිබඳ ඔහුගේ එකඟතාවය ඔහු තැරැව් කලේය. පොහොසතුන්ගේ බදු කප්පාදුව අවසන් කර මධ්‍යම පන්තිකයන් සඳහා පමනක් බදු කප්පාදුව දීර්ඝ කිරීම පිලිබඳව ඔබමා තම මැතිවරන ව්‍යාපාරයේදී දී දුන් පොරොන්දු අත්හැර දමමින් මූල්‍ය පැලැන්තියේ සේවය පිනිස තමන් කැප වී සිටින බව ඇඟවුම් කලේය. නොවැම්බර් මාසයේ මධ්‍ය වාර මැතිවරනයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂය පරාජයට පත් වීමත් සමග දකුනු කොරියාව සමග නිදහස් වෙලඳ ගිවිසුම නැවත සාකච්ඡාවට ගැනීම සහ පරිසර දූෂක අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම පිලිබඳ රෙගුලාසි ප‍්‍රමාද කිරීම ඇතුලු මහා ව්‍යාපාරිකයින් සනසාලන පියවරයන් කිහිපයක්ම ධවල මන්දිරය විසින් ගන්නා ලදී.

"මම විශ්වාස කරන්නේ ඇමරිකාවේ ආර්ථික ජයග‍්‍රහනයේ මූලික යාන්ත‍්‍රනය ආන්ඩුව නොවන බවයි. එහි ගාමකය ඇමරිකාවේ ව්‍යවසායකයන්ගේ උපාය කුශලතාවයයි. එය අපගේ වෙලඳපොලවල්වල ගාමකයයි,” යනුවෙන් ප‍්‍රකාශ කරමින් ඔබාමා තවදුරටත් නිදහස් වෙලඳපොල ධනවාදයට හා එක්සත් ජනපද ව්‍යාපාරික ප‍්‍රභූන්ට තමාගේ පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කලේ ය.

ඒ අනුව පරිපාලනයේ ව්‍යාපාරික ගැති දිශානතිය පිලිබඳව කිසිදු සැකයක් නැති අතර, බ‍්‍රහස්පතින්දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව ඔබාමා රැස්වීම ආරම්භ කලේ මෙසේ සඳහන් කරමිනි. "මෙම මේසය වටා සිටින ඔබ ඇමරිකාව අද්විතීය වන්නේ ඇයි ද යන්නටත් අපගේ ව්‍යවසායකත්වයේ ශක්තියටත් හේතුව නිරූපනය කරති; එසේ හෙයින් ඔබගේ සාර්ථකත්වයට බාධා කිරීමට අපට අවශ්‍යව ඇතැයි යනුවෙන් පවතින කුමන හෝ අදහසක් ප‍්‍රතික්ෂේප කිරීමට අපට අවශ්‍යය; අපට අවශ්‍ය ඔබට ධෛර්ය හා සහාය දීමයි; මක්නිසාදයත් ඔබ ජයග‍්‍රහනය කරන විට ඇමරිකාව ජයග‍්‍රහනය කරන බැවිනි.”

මෙම ප‍්‍රකාශය ටයිම්ස් වෙත හෙලිකර තිබුනේ "තම අනන්‍යතාවය වසංකරමින් කතා කල රැස්වීම සිදුවන මොහොතේ කාමරය තුල සිටි පරිපාලන නිලධාරියකු” විසිනි. වෙනත් වචනවලින් පවසන්නේ නම් මෙම නිර්ලජ්ජිත බැගෑපත් වීම සමස්තයක් ලෙස සංගත-ව්‍යාපාරික ප‍්‍රභූවේ සුභසිද්ධිය තකා ප‍්‍රසිද්ධියට පත් කිරීමට ධවල මන්දිරයට අවශ්‍ය විය.

ප‍්‍රභූ පැලැන්තිය ජයග‍්‍රහනය කරන විට "ඇමරිකාව” ජයග‍්‍රහනය කරයි යන්න ප‍්‍රකට ලෙසම ප්‍රෝඩාවකි. නැවත වරක් ව්‍යාපාරික ලාභ ද ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප් ද දැවැන්ත ලෙස ඉහල නඟින්නේ, මිලියන ගනන් ජනයාට සමාජ ව්‍යවසනයක් අත්පත් කර දෙමින් ද බොහෝ ඇමරිකානුවන්ට දිනෙන් දින හෝදාපාලුවන ජීවන කොන්දේසි උරුම කර දෙමින් ද ය. ආන්ඩුවේ සහයෝගය ඇතිව එක්සත් ජනපද පාලක පන්තිය තමන් විසින්ම නිර්මානය කල අර්බූදයේ ප‍්‍රතිපල වශයෙන් නිර්මිත මහා විරැකියාව, වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් දරුනු ලෙසත් ස්ථීරසාර ලෙසත් පහත හෙලීමට හා සූරාකෑම උග‍්‍ර කිරීමට යොදා ගැනෙයි. වැටුප් කප්පාදුව, වැඩ වේගවත් කිරීම් සහ ව්‍යාපාර කැටිකිරීම වර්තමාන ලාභ උත්පාතයේ රසකාරක බවට පත්ව තිබේ.

ඇමරිකානු මහා ව්‍යාපාරිකයන් ඩොලර් ටි‍්‍රලියන දෙකක් පමන මුදලක් මඩිගසා ගැනීම පිලිබඳව රැස්වීමට ප‍්‍රථම ඔබාමා ඇඟට නොදැනී කෙටි සඳහනක් පමනක් කලේ ය. යථාර්තය වන්නේ වෝල් වීදිය නිෂ්පාදන ආයෝජනයක් සහ රැකියාවලට බඳවාගැනීමේ වර්ජනයක් දියත් කරමින් ඉලක්කම් දෙකේ ආදායම් බදු සහ ව්‍යාපාරික බදු කපාහැරීමක් ද ව්‍යාපාරික සීමා තවදුරටත් ඉවත් කිරීම හා සෞඛ්‍යය හා සමාජ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සමාජ වැඩසටහන් කප්පාදු කිරීමක් ද අපේක්ෂාවෙන් රට කප්පමට යටත් කරමින් පවතින බවයි.

ඔබාමා සිය සහාය අඟවා සිටි මේ සියල්ල කරන්නේ රැකියා උත්පාදනය කිරීමේ අරමුනෙන් බව කියා පානු ලැබේ. මෙය ප්‍රෝඩාවකි. වටමේස සාකච්ඡාවට පැමින සිටි සමාගම් 20 ලාභ අත්පත්කර ගැනීම සඳහා ඔබාමා නියෝග කරනු ලැබුවේ නම් ලක්ෂ ගනනින් රැකියා උත්පාදනය කිරීම සඳහා ඩොලර් බිලියන ගනන් යොදවා පොදු වැඩසටහන් ආරම්භ කිරීමට ඔහුට හැකියාව තිබුනි. නමුත් ඇත්ත වශයෙන්ම එවන් පියවරක් පිලිබඳව ඔබාමා හෝ අන් කිසිම ධනපති දේශපාලකයෙක් කිසි ලෙසකින්වත් කල්පනා නො කරනු ඇත.

සමුලුවට සහාභාගී වුවන් අතර ලෝකයේ ප‍්‍රබලම සමාගම් කිහිපයක ප‍්‍රධානීන් සිටියේ ය. ඒ අතර මෝටරෝලා, සිස්කො, හනිවෙල්, යුපීඑස්, ජෙනරල් ඉලෙක්ටි‍්‍රක්, ඩ්‍යුපොන්ට්, එලි ලිලි, ඩොව් කෙමිකල්, බෝයිං, පෙප්සිකො, කොම්කාස්ට් හා ගූගල් සමාගම්වල ප‍්‍රධානින් ද විය. රැස්වීමෙන් අනතුරුව විධායක නිලධාරීන් ගනනාවක්ම ව්‍යාපාරික බදු කප්පාදු කිරීම සහ වෙනත් ක‍්‍රියාමාර්ග හරහා ලාභ ඉහල නැංවීමට කටයුතු කිරීම සම්බන්ධව ඔබාමාට ප‍්‍රසංශා කලේ ය. බෝයිංහි ප‍්‍රධාන විධායක නිලධාරී ජේම්ස් මැක්නර්නි රාජ්‍යතාන්ත‍්‍රික භාෂාවෙන් ඔබාමාගේ බයාදුකම පිලිබඳව සඳහන් කලේ "අපි සියලු දෙනාම අපගේ කනගාටුව පල කලෙමු” යනුවෙනි.

ව්‍යාපාරික ගැති ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම පිලිබඳ ධවල මන්දිරයේ පිලිවෙත අතීත ප‍්‍රතිපත්ති අපසු හැරවීමක් පමනකි. ඔබාමාගේ නිලකාලය එකසිතින්ම මූල්‍ය වංශාධිපතීන්ගේ ධනය ආරක්ෂා කිරීම හා එය වර්ධනය කිරීම වෙනුවෙන් කැපවී තිබේ. ඡන්දයෙන් දිනුවත් ජනාධිපති ලෙස තවමත් වැඩ භාරගෙන නොතිබියදී පවා ඔබමා, බුෂ් පරිපාලනය විසින් බැංකු ගලවා ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් බිලියන 700 ක් යෙදවීමට ගෙන ආ යෝජනාව කොංග‍්‍රසය මගින් සම්මත කරවා ගැනීම පිනිස වෙහෙස නොබලා වැඩකර තිබුනි. වැඩ භාර ගැනීමෙන් මාස කිහිපයකට පසුව ඇප දී ගලවා ගත් සමාගම්වල විධායකයින්ගේ බෝනස් සීමා කිරීම සඳහා ගෙනඒමට නියමිතව තිබු නීති වලක්වාලීමට ඔහු මැදිහත් වූයේ ය. ඉන් අනතුරුව දරුනු රැකියා හා සහන කප්පාදුව ද අලුතින් බඳවා ගන්නා කම්කරුවන්ගේ වැටුප් සියයට 50 කින් අඩුකරන ලෙසට ද බල කරමින් ඔහු, ජෙනරල් මෝටර්ස් සහ ක‍්‍රයිස්ලර් සමාගම් ඉදිරිපත් කල ප‍්‍රකෘතිමත් කිරීමේ සැලැස්ම ප‍්‍රතික්ෂේප කලේ ය.

ඔබාමාගේ ඩොලර් බිලියන 787 ක උත්තේජක පනත් කෙටුම්පත ඉහලයන විරැකියාව පහත හෙලීමට කිසිසේත් ප‍්‍රමානවත් නොවු අතර එය ව්‍යාපාර සඳහා බදු සහනවලින් පිරී තිබිනි. එහි අරමුනු ලෙස පැවතියේ පරිභෝජනය බිඳවැටීම හා මහා පරිමාන අවපාතයකට ඇදවැටීම වලක්වා, බැංකු මුදා ගැනීම පිනිස ආර්ථිකය කොල්ලකෑම වසං කිරීම සඳහා දේශපාලනික ආවරනයක් සැපයීම ය. එය කඳුගැසී තිබුනු වෝල් වීදියේ නය බර අවමකර ගෙන නැවතත් ලාභ උපයන තත්වයට පත්වීමට අවශ්‍ය කාලය ලබාදීමත් සමග එකට බැඳී තිබුනි.

ඔහුගේ ප‍්‍රධානතම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන, එනම් සෞඛ්‍ය හා මූල්‍ය නියාමන "ප‍්‍රතිසංස්කරන” යන දෙඅංශයම සැලසුම්කර තිබුනේ ලාභ ආවරනය කිරීමටත් ඕනෑම අව්‍යාජ ප‍්‍රතිසංස්කරනයක් පූර්වභංග කිරීමටත් ය. මුල් ප‍්‍රතිසංස්කරනය සෞඛ්‍ය රක්ෂන පිරිවැයෙහි දැවැන්ත කප්පාදුවක් හා පන්ති රේඛා ඔස්සේ සෞඛ්‍ය සේවය පෙලගැස්වීමටත් වරපත‍්‍රයක් විය. ඊලඟ ප‍්‍රතිසංස්කරනය මගින් ඇත්තවශයෙන්ම ජාතියේ මූල්‍ය ජීවනාලිය මත වෝල් වීදියේ විශාලම සමාගම්වල ග‍්‍රහනය දැඩි කරන අතර එමගින් මූල්‍ය සමපේක්ෂන හා පරපුටුකම සීමා කිරීමට කිසිවක් සිදු නො කරයි.

කෙසේ නමුත් මෙකී ක‍්‍රියාමාර්ග දෙක කෙරෙහිම මහා ව්‍යපාරිකයන්ගෙන් ප‍්‍රධාන කොටස් තම නොසතුට පල කල අතර ව්‍යාපාරිකයන්ගෙන් ඉහලම ආදායම් උපයන සියයට දෙක සඳහා බුෂ් පරිපාලනය විසින් ලබා දී තිබු බදු වාසිය අවසන් කරන බවට ඔබාමා කල ප‍්‍රකාශ පිලිබඳව සමස්ත පාලක පන්තියම කුපිත වී සිටියේ ය. ඔවුන් තම නොසතුට ප‍්‍රකාශ කලේ, නොවැම්බර් මැතිවරන ව්‍යාපාරය සඳහා සැපැයූ මුදල්වලින් වැඩිම පංගුව රිපබ්ලිකන් අපේක්ෂකයන්ට පිරිනමමින් හා ඔවුන්ගේ ප‍්‍රචාරන දැන්වීම් පලකිරීමෙනි.

ඩොලර් ටි‍්‍රලියන ගනනින් ඇප ලබාගෙන සිටින ව්‍යාපාරික ප‍්‍රභූ කොටස් තවත් බොහෝ දේ ඉල්ලති. වෝල් වීදියේ බිඳවැටීමෙන් වසර දෙකකට පසුව ඔවුහු වෙන කවදාටත් වඩා උද්ධච්ඡ ලෙස තම දේශපාලන නියෝජිතයන්ට කස පහර දෙති. ඔබාමා තුල සිටින්නේ ඔවුන් සන්තර්පනය කිරීමට කැපවූ ජනාධිපතිවරයෙකි.

නේෂන් සඟරාවේ සිට ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දක්වා වු මධ්‍යම පන්තික ලිබරලුන් හා "වාම” කන්ඩායම්වල බංකොලොත්කම මීටත් වඩා නිරාවරනය විය නොහැකිය. මොවුන් අවධාරනය කරන්නේ ඔබාමා සහ ඩිමොක‍්‍රටික් පක්ෂය වමට තල්ලු කල හැකි බවයි. ඔබාමා පිලිබඳව මායාවන් මවා පෑමටත් ඔහු ජනාධිපති ලෙස තෝරාපත් කර ගැනීමටත් තමන්ගේ කාර්යභාර්ය ඉටුකල මොවුන් දැන් පරිපාලනය වඩාත් දරුනු අන්දමින් දක්ෂිනාංශික දිශානතියක් අත්පත් කර ගැනීම පිලිබඳව හා මහජන බලාපොරොත්තු බිඳවැටීම පිලිබඳව කිසිදු දේශපාලන නිගමනයකට එලඹීම වැලැක්වීමේ උත්සාහයක නිරතව සිටී.

මොවුන් නියෝජනය කරන්නේ වැඩ කරන ජනතාවගේ හා තරුනයන්ගේ පුලුල් කොටස්වල අවශ්‍යතාවන් නොව සුවපහසු ජීවිත ගතකරන ඉහල පැලැන්තියේ අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් ය. මොවුන් ප‍්‍රධානකොටම බියපත් වන්නේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා එහි මිතුරු වාත්තීය සමිති ඇතුලු සංවිධානවලට පිටින් මහජන විරෝධතා ව්‍යාපාරයක් මතුවනු ඇත් ද යන්නටයි. එවන් ව්‍යාපාරයක් වලක්වාලීමට ඔවුහු අධිෂ්ඨාන කර ගෙන සිටිති.

නමුත් යථාර්ථය තවතවත් පැහැදිලි ලෙස නිරාවරනය කරනු ලබන්නේ ඇමරිකාවේ පන්ති අතර පවතින ගැඹුරු පරතරයයි. ඔබාමා පරිපාලනය පිලිබඳ අත්දැකීම පෙන්නුම් කරන්නේ මහා ව්‍යාපාරිකයන්ට අයත් මෙම පක්ෂ දෙකෙන්ම කම්කරු පන්තිය කැඩී වෙන්වීමේ අවශ්‍යතාවත් කම්කරු ආන්ඩුවක් සඳහා සටන් කිරීමට සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු බවත් ය.

බැරී ග්‍රේ

the WSWS | Contact Us | Privacy Statement | Top of page

Copyright © 1998-2010 World Socialist Web Site - All rights reserved