පුලුල්වන යුද අභ්‍යාස හමුවේ එක්සත් ජනපද චීන ආතතීන් උත්සන්න වෙයි

US-China tensions mount amid widening war exercises

By Bill Van Auken, 7 December 2010

ඉරිදා පශ්චිම රත‍්‍රියේ එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා හා චීන ජනාධිපති හූ ජින්ටාවෝ අතර සිදුවූ දුරකථන සංවාදය, පසුගිය මාසයේ උතුරු හා දකුනු කොරියාව අතර සිදුවූ මිලිටරි ගැටුම හමුවේ දෙරට අතර ඉහල නඟින ආතතීන් සලකුනු කරයි.

ධවල මන්දිරය හා චීන විදේශ අමාත්‍යාංශය අතර සිදුවූ දුරකථන සංවාදය පිලිබඳව එකිනෙකා විසින් ඒක පාර්ශවිකව නිකුත්කල වාර්තාවලට අනුව, කොරියානු අර්ධද්වීපය මුල්කරගෙන වොෂින්ටනය හා බීජිනය එකිනෙකාගෙන් වෙන්කරන ගැඹුරු ආගාධය පිලිබිඹු කෙරයි.

දකුනු කොරියානු සෙබලුන් දෙදෙනෙක් හා සිවිල් වැසියන් දෙදෙනෙක් මරුමුවට පත්කරමින් නොවැම්බර් 23දා කහ මුහුදේ පිහිටි යොන්පියෝන් දිවයිනට උතරු කොරියාව විසින් එල්ල කල කාලතුවක්කු ප‍්‍රහාරය ඔබාමා විසින් හෙලාදුටු බව ධවල මන්දිරය වාර්තා කලේය. පියොන්යෑන්ග් හි උතුරු කොරියානු ආන්ඩුව ”සිය ප‍්‍රකෝපකාරී හැසිරීම නතර කල යුතු යයි” එක්සත් ජනපද ජනාධිපති කියා සිටියේය.

”ඔහු චීනයට කියා සිටියේ උතුරු කොරියානු ප‍්‍රකෝපකරනයන් අනුමත කල නොහැකි බව දන්වන පැහැදිලි පනිවිඩයක් නිකුත් කිරීම සඳහා චීනය තමන් හා අනෙක් අය සමඟ එක්ව වැඩකලයුතු බවයි. කලාපය තුල තම සගයින්ගේ ආරක්ෂාව පිලිබඳව ඇමරිකාවේ කැපවීම ද ජනාධිපති මතුකර දැක්වී යයි” ප‍්‍රකාශය සඳහන් කලේය.

හූ ද ඔහුගේ පැත්තෙන් තියුනු අනතුරු ඇඟවීමක් කලේය. ”විශේෂයෙන්ම ප‍්‍රවේශම් සහගතව කටයුතු නොකලහොත් කොරියානු මහාද්වීය තුල ආතතීන් වර්ධනය වනු හෝ කිසිවෙකුටත් හොඳක් සිදු නොවන පරිදි පාලනය කරගත නොහැකි තැනට පත්වනු ඇත.” විදේශ අමාත්‍යාංශය හූ උපුටා දක්වමින් ප‍්‍රකාශ කලේය.

ඒ වාර්තාව අනුව හූ ඔබාමාට පවසා ඇත්තේ, කලාපයේ තත්වය පිලිබඳව චීනය ”ගැඹුරින්ම කනස්සල්ලට” පත්ව සිටින බවයි.

කාලතුවක්කු වෙඩි හුවමාරුවෙන් සිදුවූ මරන පිලිබඳව චීනයේ කනගාටුව පලකල නමුත් හූ, උතුරු කොරියාව හෙලා දැක්කේ නැත. පියෝන්යෑනයට අනුව, දකුනු කොරියානු මිලිටරි අභ්‍යාසය පැවැත්වෙද්දී යොන්පියොන් දිවයිනේ සිට උතුරු කොරියානු සීමාවන් තුලට එල්ල කල කාලතුවක්කු ප‍්‍රහාර ප‍්‍රකෝපකරනයක් විය. බීජිනය කිසිවෙකුටත් චෝදනා නැඟීමෙන් වැලකී සිටියේය.

1953 කොරියානු යුද්ධය අවසානයේ එක්සත් ජනපදය විසින් ඒක පාර්ශවිකව අඳින ලද නාවික සීමාව, එනම්, ඊනියා උතුරු සීමාව, ආසන්නයේ යොන්පියෝන් දිවයින පිහිටා ඇත. සීමාව තවත් දකුනට යා යුතුබව කියා සිටින උතුරු කොරියාව එම බෙදීම කිසි විටෙකත් පිලිගත්තේ නැත.

කලාපයේ පැවැත්වෙන මිලිටරි අභ්‍යාස මාලාව කොරියාවන් දෙක අතර පමනක් නොව එක්සත් ජනපදය හා චීනය අතර ද ආතතීන් උග‍්‍ර කරන සාධකයක්ව තිබේ.

දකුනු කොරියානු මිලිටරිය සතියක් තිස්සේ පවතින ජීව උන්ඩ යොදාගන්නා නාවික අභයාසය 6දා පටන් ගත් අතර ඒ සඳහා කොරියානු මුහුදු සීමාවන් ආසන්නයේ වෙන වෙනම ස්ථාන 29ක් තෝරාගෙන තිබේ.

දකුනු කොරියානු ඒ්කාබද්ධ මෙහෙයුම් ආඥාපති සඳහන් කලේ, මෙම අභ්‍යාස වටයට පසුගිය මාසයේ උතුර සමඟ ගැටුම හටගත් යොන්පියොන් දිවයින ආසන්නයේ ජීව උන්ඩ යොදාගනිමින් කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කිරීමක් අඩංඟු නොවන නමුත් දිවයින ආශි‍්‍රතව ජිව උන්ඩ භාවිතා කරන නාවික අභ්‍යාසයක් ලඟදීම පැවැත්වෙනු ඇති බවය.

දකුනු කොරියාවේ නව ආරක්ෂක ඇමති කිම් ක්වාන් ජින් නව යුද අභ්‍යාස පිලිබඳව උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම් බැහැර කරමින් සඳහන් කලේ ”උතුරු කොරියානු ප‍්‍රතිචාර ගැන මගේ තැකීමක් නැත. ඒවා සැලකිල්ලට ගැනීමට තරම් වටින්නේ නැත.”යනුවෙනි.

05දා මෙම ජීව ප‍්‍රහාරක අභ්‍යාසය හෙලාදුටු පියොන්යෑනය, ”දකුන ගැටුම දුරදිග යෑමට හා යුද්ධයක් පටන් ගැනීමට තුඩුදෙන පියවර” ගනිමින් සිටින බවට චෝදනා නැඟීය.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන කිම්, ආරක්ෂක ඇමති ලෙස පත්කලේ ඔහුගේ පූර්ව ප‍්‍රාප්තිකයා, යොන්පියෝන් දිවයිනට උතුරු කොරියාව ප‍්‍රහාර එල්ල කිරීම පිලිබඳව ඇති තරම් ආක‍්‍රමනශීලී ලෙස ප‍්‍රතිචාර දැක්වීමට අසමත්වීම ගැන මාධ්‍යවල හා ආන්ඩුවෙන්ම නැඟුනු චෝදනා මධ්‍යයේය.

ඕනෑම නව උතුරු කොරියානු ප‍්‍රකෝපකරනයකට එරෙහිව දැඩි බලයක් යොදා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන බවට යුදවාදී ප‍්‍රකාශ මාලාවක්ම නව ආරක්ෂක ඇමතිවරයා විසින් කර තිබේ. නව කාලතුවක්කු ප‍්‍රහාරවලට දකුනු කොරියානු ප‍්‍රහාරක ගුවන් යානා මඟින් බෝම්බ හෙලීමෙන් පිලිතුරු දෙනු ඇත. ”අවශ්‍යතාවයේ හා සමබරතාවයේ මූලධර්මය මෙහිදී අදාල වන්නේ නැත. අප ආත්මාරක්ෂාවේ අයිතිය කොතක් දුරට යොදාගන්නේ ද යන්න තීරනය වන්නේ සතුරා සතු ප‍්‍රකෝපකරනයේ හැකියාව අවසන් කරන අවස්ථාවේය.” ඔහු පැවසීය.

”අපගේ භූමි ප‍්‍රදේශ හා ජනතාව ඉලක්ක කරගනිමින් උතුරු කොරියාව නැවතත් මිලිටරි ප‍්‍රකෝපකරනයක යෙදුනොත් අප ඔවුන්ට වහාම දඬුවම් කිරීම හා ඔවුන් මුලුමනින්ම යටත් වන තුරු බලගතු ලෙස ප‍්‍රතික‍්‍රියා කිරීම අවශ්‍ය වනු ඇතැයි” ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර එක්සත් ජනපද හා ජපන් හමුදා පසුගිය 10දා ආරම්භ කල භටයන් 40,000ක් සම්බන්ධ වන මිලිටරි අභ්‍යාස තවමත් සිදුවේ. ගුවන් යානා හාරක යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් නෞකාව හා පරිවාර නැව් සමූහය මූලිකත්වය දරන නාවික අභ්‍යාසය, නැගෙනහිර චීන මුහුදේ බීජිනය හා ටෝකියෝව අතර අර්බුදයට තුඩුදී ඇති දිවයින් වලට ආරක්ෂාව සැලසීමේ මුවාවෙන් එල්ල කොට ඇත්තේ චීනය වෙතය. පසුගිය සැප්තැම්බරයේදී දෙරට අතර ආතතිය නැගෙන්නට පටන් ගත්තේ ජපාන වෙරලාරක්ෂක යාත‍්‍රාවක් හා චීන ධීවර බෝට්ටුවක් එකිනෙක ගැටී, ජපානය එහි කපිතාන්වරයා අත් අඬංගුවට ගැනීමෙන් පසුවය. යුද අභ්‍යාසය දකුනු කොරියානු යුද නිරීක්ෂකයන්ගේ සහභාගිත්වය නිසා වැදගත් කමක් දරයි. දෙරට අතර සම්බන්ධතා ඓතිහාසික වශයෙන් අර්බුදකාරීය. කොරියාව තුල 35 වසරක ජපාන යටත් විජිත ග‍්‍රහනය අවසන් වූයේ දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්වීමෙන් පසුව පමනි.

චීනය හා උතුරු කොරියාවට එරෙහිව යොමුකල නව ප‍්‍රති සන්නද්ධ වීමක් පිලිබඳ සැලසුම් ටෝකියෝව නැවත නැවතත් නිකුත්කර තිබේ. නිකේ යන ජපාන ව්‍යාපාරික පුවත්පතට අනුව, 2004න් පසුව නිකුත් කරන ලද පලමු නව ”ජාතික ආරක්ෂක ක‍්‍රියාමාර්ගයේ මඟපෙන්වීම්” නැගෙනහිර චීන මුහුදේ චීනයට හරස් කැපීම සඳහා යොමුකල ”ගතික ආරක්ෂක ශක්‍යතා” වෙනුවෙන් කැඳවුම්කර සිටියි. එයට, රටේ සබ්මැරින් යාත‍්‍රා සමූහය හා ප‍්‍රහාරක ගුවන් යානා සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනා ඇතුලත්ව තිබේ. නිල වශයෙන් ජපානයේ පශ්චාත් යුද්ධ ව්‍යවස්ථාව මිලිටරියක් පවත්වාගෙන යාම තහනම් කර ඇති නමුත් ටෝකියෝව පසුගිය පස් වසර පුරා තම ආත්මාරක්ෂක බලකායන් හි මිලිටරි ගොඩනැංවීම් සඳහා ඉඩ සැලසෙන ව්‍යවස්ථාමය හා පරිපාලනමය වෙනස්කම් මාලාවක්ම සිදුකර තිබේ.

අලුත්ම දකුනු කොරියානු හා ජපාන මිලිටරි අභ්‍යාස පැවැත්වෙන්නේ න්‍යෂ්ටික නෞකාව හා පරිවාරක නැව් සමූහය ද සහභාගී වන කහ මුහුදේ පැවැත්වෙන එක්සත් ජනපද දකුනු කොරියානු යුද අභ්‍යාස පිටුපසින්ය.

මේ අතර, එක්සත් ජනපද ඒකාබද්ධ මෙහෙයුම් අනදෙන මන්ඬලයේ සභාපති අද්මිරාල් මයික් මුලන් 06දා දකුනු කොරියාවට පැමිනියේ එක්සත් ජනපද මිතුරාට සහාය පිනිස තවත් මිලිටරි ප‍්‍රදර්ශනයක් පැවැත්වීම් වශයෙනි.

බීජිනය මිලිටරි අභ්‍යාසය හෙලාදැක තිබේ. පසුගිය සතියේ චින විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කල ප‍්‍රකාශයක, ”මිලිටරි බලය ලෙලවීම ප‍්‍රශ්නයට විසඳුම නොවේ. චීනය සාකච්ඡාවන් සඳහා කරන කැඳවුම විවේචනය කරන සමහරු පිහියා හා තුවක්කු සමඟ සෙල්ලම් කරති. මෙය සාධාරන ද?” යනුවෙන් සඳහන් විය.

කොරියානු අර්ධද්වීපය තුල න්‍යෂ්ටික අවි හරනය අරමුනු කරගත් කොරියාවල් දෙක, චීනය, ජපානය, රුසියාව හා එක්සත් ජනපදය යන සය පාර්ශවික සාකච්ඡාවන්ගේ ප‍්‍රමුඛයින් ගේ හදිසි රැස්වීමක් සඳහා චීන ආන්ඩුව කැඳවුම්කර තිබේ. දකුනු කොරියා, ජපාන හා එක්සත් ජනපද ආන්ඩු, උතුරු කොරියාවෙන් පූර්ව සහන නොමැතිව සාකච්ඡුා යලි ආරම්භකල නොහැකි බව පවසමින් යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට ඔබාමා පාලනාධිකාරය, 06දා වොෂින්ටනයේදී රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා ඇගේ දකුනු කොරියානු හා ජපාන සහකරුවන් අතර රැස්වීමක් කැඳවා ඇත. එහි අරමුන ”උතුරු කොරියාවේ ප‍්‍රකෝපකාරී ප‍්‍රහාර හෙලාදැකීමයි.”

”අපි අපගේ හවුල්කරුවන්ට කැපවී සිටිමු. අපි නැගෙනහිර ආසියාවේ හා කොරියානු මහාද්වීපයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ද කැපවී සිටින්නෙමු.” ක්ලින්ටන් පැවසුවාය.

බීජිනයේදී සය පාක්ෂික සාකච්ඡාකරුවන් අතර හදිසි සාකච්ඡාවක් සඳහා කල කැඳවුම රටවල් තුන විසින් ප‍්‍රතික්ෂේප කිරීම හමුවේ දැන් පැවැත්වෙන රැස්වීම, චීන විරෝධී කන්ඩායමක ස්වරූපය ගෙන තිබේ.

එය සමඟ එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්ති නිලධාරීන්ගේ තියුනු බීජිං විරෝධී කයිවාරු අත්වැල් බැඳගෙන ඇත.

”පසුගිය මාස අට තිස්සේ චීනය උතුරු කොරියාව වැලඳගෙන සිටීම නිසා, චීනය තමන්ට පිටුබලය සපයන බව උතුරු කොරියාවට වැටහී තිබෙන අතර, දඬුවම් නොලබා කටයුතු කල හැකියයි එරට කල්පනා කරයි.” පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසීය. ”අපි හිතන්නේ චීන්නු උතුරු කොරියාව පුම්බා ඇති බවයි.”

”ආසියාවේ නැඟී එන යෝධයා සමඟ එක්සත් ජනපදයේ සම්බන්ධතා පිලිබඳ තානයේ හා දිශාවේ තවදුර පිරිහීමක් මෙම දොස් නැඟීමෙන් සලකුනු කෙරෙන” බව පුවත්පත වාර්තා කලේය. ”ගැටලු සඳහා දැන් චීනය පාර්ශවික වශයෙන් වගකිව යුතුය යන ඔබාමා පරිපාලනයේ ආස්ථානය, අලුත් තත්වයක්” බව ද එය සඳහන් කරයි.

”ඇමරිකාව ආසියාව වෙත යලි පිවිසීමට, චීනය මුහුන දෙන්නේ කෙසේ ද” යන හිසින් 06 දින චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත පලකල තීරුවක වොෂින්ටනය හා බීජිනය අතර පිරිහෙන සම්බන්ධතා පිලිබඳව සඳහන් කර තිබේ.

කහ මුහුද තුල එක්සත් ජනපදයේ ගුවන් යානා හාරක නෞකා සමූහය ගැන සඳහන් කරමින්, චීන මුදල යලි අගයකිරීම හා ඩයෝයු දිවයින් මුල්කරගෙන චීනය හා අනෙකුත් රටවල් අතර හටගෙන තිබෙන භෞමික ගැටලු වලට තමන්ගේ අත පෙවීම සඳහා පොටක් පාදා ගැනීමට ”චීනය මත විවිධ සම්බාධක, සීමා හා දුෂ් භාවිතය පිලිබඳ චෝදනා පැටවීමට” දරන වොෂින්ටනයේ උත්සාහය එය පෙන්වා දුන්නේය.

චීනය ලෝකයේ දෙවන විශාලම ආර්ථිකය ලෙස වර්ධනය වීම, ”එක්සත් ජනපදය ඉවෙන් මෙන් දැකගෙන ඇත්තේ තම අධිකාරවත් තත්වයට සෘජු හෝ වක‍්‍ර අභියෝගයක් ලෙසය.”

”සාමකාමී සංවර්ධනය හා ජාත්‍යන්තර සහයෝගීතාවය” සඳහා චීනය කැපවිය යුතු බව කියාසිටින අතරම පුවත්පත සඳහන් කරන්නේ, ”සිය අභිමතය පරිදි නියමිත වේලාවේදී චීනයේ විදේශ පිලිවෙත කෙසේ වෙතත් ඉදිරියට දමනු ඇතැයි” යනුවෙනි.

වර්ධනය වන ආතතීන් පතුලේ ඇති තියුනු ආර්ථික හා දේශපාලන ප‍්‍රතිවිරෝධයන් සලකුනු කරමින් පීපල්ස් ඩේලි පත‍්‍රය ද වාර්තාවක් පලකොට තිබේ. ඊට අනුව, චොන් ක්වින් හි ගොඩනඟන නව ”චීන-කොරියානු කාර්මික උද්‍යානය” සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 950ක් ආයෝජනය කෙරෙයි. චීන හා දකුනු කොරියානු ආන්ඩුවල නියෝජිත කනඩායම් ද සමඟ විශාල කොරියානු සමාගම් වන සැම්සුන්, හුන්ඩායි, අයිජීඑස්කේ හා පෝහෑන් යකඩ හා වානේ සමාගම්වල නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් 06දා ගිවිසුමට අත්සන් තැබුනි.

කාර්මික උද්‍යානය තුලින් කොරියානු ප‍්‍රාග්ධනයට, ”චීනයේ අභ්‍යන්තරයට තවදුරටත් ගමන් කිරීම සඳහා හොඳ වේදිකාවක් සැපයෙන අතර චීන-කොරියානු වෙලඳ බැඳීම් තව දුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.” යනුවෙන් වාර්තාව සඳහන් කරයි.