මූල්‍ය යුද්ධ : ධනවාදී බිඳවැටීමේ තවත් අවධියක්

Currency wars: Another phase in the capitalist breakdown

09 October 2010

වොෂින්ටන් නගරයේ අද පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික හමුව 1930 ගනන්වල මහා අවපාතය සංලක්ෂිත කරගත් ආර්ථික යුද්ධ හා තරගකාරී අවප‍්‍රමාන කිරීම් වලින් පසු ලෝක ආර්ථිකයේ ඉතාමත් තීරනාත්මක බිඳ වැටීමක් සනිටුහන් කරයි.

තමන්ගේ ආර්ථිකයන් එකතැන පල් වීම හා තව තවත් ලෝක මුල්‍ය අසමතුලිතතාවන් වර්ධනය නිසා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ප‍්‍රධාන බලවත්තු යුආන් මුදලේ වටිනාකම ඉහල දමන ලෙස බලකරමින් චීනයට එරෙහිව වර්ධනය වන විවෘත ආර්ථික යුද්ධයක් කරගෙන යති.

2008 සැප්තැම්බරයේ දී සිදු වූ ලෙහ්මන් බ‍්‍රදර්ස් බිඳවැටීමත් සමග ඇරඹුනේ යථා තත්වයට පැමිනිය හැකි තාවකාලික පහත බැසීමක් නොව අඛන්ඩව කුනුවන භූගෝලීය ආර්ථික තත්වයේ 1930 ගනන්වලින් පසු නොදුටු විරූ ගැටුම් තුලට පල්ලම් බැසීමේ තත්වයක් වන අතර එය දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට සිදුවන සමස්ත ආර්ථික ව්‍යුහයේම බිඳවැටීමක ආරම්භය සටහන් කරයි.

මෙම සන්තතියේ වපසරිය හා ගැඹුර පෙන්නුම් කිරීමට එක කරුනක් පමනක් වුව සෑහේ, එනම් ඊනියා ලිබරල් ආර්ථික විශ්ලේශකයන් විසින් වෙලඳ හා මූල්‍ය යුද්ධයක පිලිවෙත් සඳහා කරන කැඳවීමය. මහා බිඳවැටීමේ හිමිදිරියේ, විදේශ වෙලඳාම මත තහංචි මාලාවක් පැනවීම සඳහා, 1930 ජුනි මාසයේ දී එක්සත් ජනපද කොන්ග‍්‍රසය විසින් අනුමත කල ස්මූට් හෝලි තීරු බදු පනත ලිබරල් ආර්ථික කවයන් තුල වෛරයට ලක් විය. එය අවසානයේ දී ලෝක යුද්ධයට මග පෑදූ 1929-1932 දක්වා ලෝක වෙලඳාම තුල සර්පිලාකාරව පහලට කැරකුනු ලෝකය තුල එකිනෙකට හතුරු වෙලඳ කන්ඩායම් ගොඩනැගීමට මූලික වූ හේතුන්ගෙන් එකක් ලෙස පිලි ගැනිනි.

සති දෙකකට පෙර වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ආර්ථික විශ්ලේශක රොබට් සැමුවෙල්සන් චීනයට එරෙහිව වෙලඳ යුද්ධය සඳහා කැඳවුම් කල අතර ස්මූට් හෝලි (තීරුබද්ද) සිහිපත් කලේය. ගෙවී ගිය කාලයේ ආර්ථික සහයෝගීතාවයේ අඩු කම පිලිබඳව අනතුරු ඇඟවීම් සහිත ලිපි ලේඛන ගනනාවක් එලිදැක්වූ ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ ආර්ථික විශ්ලේශකයකු වන මාර්ටින් වුල්ෆ් දින 10කට පසු වෙනත් ''කිසිම පිලියමක් නැති නිසා” චීනයට එරෙහිව මූල්‍ය යුද්ධයකට කාලය එලඹ තිබෙන බව ප‍්‍රකාශ කලේය. ඊයේ සිතිය නොහැකිව පැවති දේ අද අවශ්‍යතාව බවට පත්ව ඇත.

දකුනු කොරියාවේ සෝල් නගරයේ එන මාසයේ පැවැත්වීමට නියමිත ජී-20 ලෝකයේ ප‍්‍රමුඛ රට වල එකඟතාවය ලබා ගැනීම සදහා නව මූල්‍ය ගිවිසුමකට 400ට වැඩි ලෝකයේ ප‍්‍රමුඛ බැංකු හා මූල්‍ය සමාගම් නියෝජනය කරමින් ජාත්‍යන්තර මුල්‍ය ආයතනය (අයිඑෆ්එෆ්) කල කැඳවීමක් වැඩි වන භූගෝලීය ආර්ථික ආතතිය ගිනි අවුලුවා ඇත.

ලෝක ආර්ථිකය 2009 මුල් මාස වලදී මුහුන දුන්නාක් වැනි තත්වයකට මුහුන දී සිටී යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලක අධ්‍යක්ෂ චාල්ස් එච් ඩැලරා අනතුරු ඇඟවී ය. එම කාලයේ දී කාර්මික නිෂ්පාදනය, ලෝක වෙලඳාම හා කොටස් වෙලඳපොල 1929 ඔක්තෝබරයේ කොටස් වෙලඳපොල අර්බුදයෙන් ඉක්බිති ව අදාල කාලය තුල සිදු වූවාට වැඩි වේගයකින් පහත වැටෙමින් පැවතුනි.

''ලෝක වර්ධනයේ වේගයේ අඩුකම සමග රටවල් තනිවම සටන් වදින නිසා - සහ බොහෝ අවස්ථාවල දී ඉහල විරැකියාවන් නිසා-සාර්ව ආර්ථික වෙලඳ හා මූල්‍ය කරුනු මත තනි තනි ප‍්‍රයත්න දැරීම් දෙසට යොමු වූ ප‍්‍රවනතාවන් වැලැක්වීම සඳහා හදිසි පියවර ගැනීම අවශ්‍යය”යි ඔහු ලිව්වේය.

අන්‍යෝන්‍ය ශක්තිමත් වීම සදහා ගැටලු ආමන්ත‍්‍රනය කිරීමට හා ස්තිරසාර ක‍්‍රියාමාර්ග ගැනීමට ''බහුපාර්ශවීය සාකච්ඡා” වලට සහභාගි වන ලෙස කරන ප‍්‍රතිපත්ති සම්පාදනයක් සඳහා වූ කැඳවුම වනාහි ජී-20 කන්ඩායමේ කෙරෙන කමකට නැති කියමන් වල නව ප‍්‍රකාශයක් යයි පවසන ඩැලරා වෙලඳපොල විශ්වසනීයත්වයට තවදුරටත් යටින් වල කැපීමේ අවදානම නිර්මානය කරති යි අනතුරු අඟවයි.

අද ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ප‍්‍රකාශයට පත් කල විවරනයන් තුල මූල්‍ය ව්‍යාපාර හිමි කෝටිපතියකු වන ජෝර්ජ්් සෝරෝස් චීනයට එරෙහි මුදල සම්බන්ධ ක‍්‍රියාමාර්ග ගැනීමට කරන කැඳවුම පිලිබඳව සිය හඬ එක් කලේය. ''ධනාත්මක ප‍්‍රතිඵලයක් ලැබීමේ හැකියාව එතරම් නැතැ”යි ලිව් ඔහු ''එනමුත් ජාත්‍යන්තර සහයෝගීතාව නොමැති කමෙන් ලෝකය මහා කලහයන්ගේ සහ දෙදරුම් වල කාල පරිච්ඡෙදයක් සඳහා මුල් ව ඇති නිසා අපි ඒ සඳහා දැඩි ප‍්‍රයත්නයක් දැරිය යුතුය. කෙසේ වුවද එවැනි සහයෝගීතාවන්ට ඉඩ නැත්තේ මන්ද යන්න මූල්‍ය යුද්ධයන්ගේ වර්ධනය සහ මූලයන් පිලිබඳ පරීක්ෂා කිරීමෙන් පෙනේ.

2009 මුල් මාසවල දී එනම් ලොව පුරා ආන්ඩු තමන්ගේ ආර්ථිකයන් ගොඩ දැමීමේ අරමුනෙන් උත්තේජක පොදි කි‍්‍රයාවට දමමින් සිටි අවධියේ ලෝක සහයෝගීතාව පිලිබඳ සාකච්ඡා පැවතියේ ය. නමුත් එය කෙටි ආයු කාලයකට ය. ඩුබායි බංකොලොත්භාවයේ ආසන්නයට ම ඒම සහ ග‍්‍රීක නය අර්බුදය තුලින් ඊනියා ස්වෛරී නය අර්බුදය ඉස්මතුවීම නිසා 2009 අවසානයත් සමඟ නව පරස්පර විරෝදයන් පැන නැගී ඇත.

මෙම වසරේ මැයි මාසයේ දී යුරෝපා බැංකු පද්ධතිය බිඳවැටීමකට මුහුන දුන් අතර එය යන්තම් එල්ලී රැඳී ගත්තේ යූරෝ බිලියන 750 ක් ඇප තැබීමේ කොන්දේසි තුලිනි. මූල්‍ය වෙලඳපොල ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය ජාතික ආන්ඩුවලට බල කිරීම නිසා අර්බුදය ප‍්‍රතිපත්ති ආපසු හැරීමකට බලපෑවේ ය. එවක් පටන් ඔවුහු මුදල් සම්බන්ධ උත්තේජක පොදි අවසන් කරන ලෙස හා පශ්චාත් යුද කාලය පුරා කම්කරු පන්තිය විසින් දිනා ගත් ජයග‍්‍රහන අතුගා දැමීම එල්ල කර ගත් වියදම් කපා හැරීමේ වැඩපිලිවෙලක් ඉල්ලූහ.

ඒ සමග ම ඉතා අඩුපොලියට ලබා දුන් ආර්ථික උත්තේජක ඊටම අයත් මාවත ඔස්සේ ගමන් කර ඇත. එක්සත් ජනපද හා ජපානය යන දෙරට තුලම මහ බැංකුව විසින් සකස් කෙරුනු කෙටි කාලීන පොලී අනුපාත කෙතරම් අඩුද යත් ආන්ඩුවේ බැඳුම්කර මිලදී ගනිමින් ප‍්‍රමානාත්මක සහනයන් හරහා දිගු කාලීන රේට්ටු වඩා පහල මට්ටමක පවත්වා ගැනීමට මූල්‍ය අධිකාරීන්ට සිදුවිය.

නමුත් මෙම කි‍්‍රයාවන් ආර්ථික වර්ධනය ඉහල දැමීමට සමත් වී නැත. ලෝකයේ ප‍්‍රධාන ආර්ථිකයන් හය තුල එනම් එක්සත් ජනපදය ජපානය ජර්මනිය ප‍්‍රන්සය එක්සත් රාජධානිය හා ඉතාලිය - මේ වසරේ දෙවන කාර්තුවේ දල ජාතික නිෂ්පාදනය 2008 දෙවන කර්තුවේ මට්ටමට මේ දක්වාත් පැමින නැත. තවදුරටත් මෙම ආර්ථිකයන් පසු ගිය කාලයේ පවත්වා ගත් මට්ටමින් සියයට දහයක් පමන පහලින් කි‍්‍රයාත්මක වන බව තක්සේරු කෙරී ඇත.

උත්තේජක පොදි සහ පොලී රේට්ටු කැපීම එක්කෝ නැවැත්වීම නැතිනම් බලපෑමකින් තොර වීම නිසා ජාතික ආන්ඩු ආර්ථික සහනයන් සම්පාදනය කිරීමට ඉතිරි වී ඇති එකම ක‍්‍රමය ලෙස තමන්ගේ මුදල්වල වටිනාකම් පහල දමමින් අපනයන වර්ධනයට මාවතක් සොයමින් සිටිති. නමුත් එහි ස්වභාවයෙන් ම අපනයනවලට ලෝක ආර්ථිකය සමස්තයක් හැටියට ගොඩ නැංවිය නොහැක. තරඟකාරී ලෙස මූල්‍ය අගයන් පහල දැමීම, වෝල්ස්ටී‍්‍රට් ජර්නල් හි විශ්ලේෂනයක් මෑතදී සඳහන් කර ඇති පරිදි, ජීවිත ආරක්ෂක බෝට්ටුවක් සම්පාදනය කිරීමට වඩා සමාන වන්නේ ගිලෙන නැවක නැවියන් එකිනෙකාගේ කර මතට නැග දියමත රැඳීමට උත්සාහ කිරීමකට ය.

දැන් පවතින පරස්පරය ආර්ථික ස්වභාවයක් ගනී. එසේ නමුත් මෙතෙක් නොදුටු විරූ මාරාන්තික ප‍්‍රතිඵල දක්නට ලැබෙනු ඇත යන්න ඒකාන්තය. වත්මන් තත්වය පිලිබඳ විචාරයක් 1938 දී ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ පාදක කි‍්‍රයා මාර්ගයෙහි සඳහන් ලියොන් ට්‍රොට්ස්කිගේ වචන මතකයට ගෙන එයි.

''ධනේශ්වරය ඒ හැටියට ගත් කල මාවතක් නොදකී, දැන් එය ආර්ථික හා මිලිටරි විනාශයක් දෙසට ඇස් වසා ගෙන රූටා යන්නේ ය” යි ට්‍රොට්ස්කි ලියුවේය. සූදානම් කෙරී පවතින ව්‍යසනය මග හැරීමේ එක ම මාවත වන්නේ ධනේශ්වර දේපල සබඳතා හා ප‍්‍රතිවිරෝධී ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක ආර්ථිකය සමාජ අවශ්‍යතා වෙනුවෙන් නැවත ගොඩ නැගීමට කැප වූ සමාජවාදී ජාත්‍යන්තර කි‍්‍රයා මාර්ගය සඳහා සටන් වදිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය එයයි.

නික් බීම්ස්