ධවල මන්දිරය හා එක්සත් ජනපදයේ උකස් වංචාව

The White House and the US mortgage racket

15 October 2010

නිවෙස් වලින් පවුල් පිටින් දොට්ට දැමීමට හා ඔවුන්ගේ නිවාස වෙන්දේසියේ දැමීම සඳහා බැංකු විසින් උගස්කරයන්ට අදාල ලියවිලි නීතිවිරෝධී ලෙස සකසා ඇතැයි හෙලිදරව් වී තිබියදීත් නිවාස අත්පත් කර ගැනීම් වලට වාරනයක් පනවන්නැයි කෙරෙන ඉල්ලීම් ඔබාමා පාලානාධිකාරය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ධවල මන්දිරය ආරක්ෂා කරන්නේ කවර පන්ති අවශ්‍යතා ද යන්න මෙතරම් හොඳින් පෙන්නුම් කරන තවත් තැනක් නැත. ප‍්‍රධාන බැංකු නොදන්නා තරම් සංඛ්‍යාවක් පවුල් දඩයම් කරමින් ක‍්‍රමානුකූලව නීති උල්ලංඝනය කරන අතර, ඔබාමා පාලන තන්ත‍්‍රය අපරාධකරුවන් ආරක්ෂා කරමින් නිහඬව සිටියි.

අනාවරනය වී ඇති වංචාකාරී සිදුවීම් අතර, බැංකු සේවකයන් හා අදාල සිදුවීම් පිලිබඳව තමන් පෞද්ගලිකව දන්නා බවට සහතික වන තැරැව්කරුවෝ, අත්සන් කූට ලෙස යොදමින් ද, නොතාරිස් මූද්දර ගැන බොරු කරමින් හා ලිපි ලේඛන වෙනස් කරමින් ක‍්‍රියාත්මක වී ඇති අතර බැංකු තමන්ට නෛතිකව අයිති නැති නිවාස වලට වංචාකාරී ලෙස අයිතිවාසිකම් කියති.

සෑම දිනකම අලුත් සිද්ධි හෙලිදරව් වෙමින් තිබේ. සිටිගෲප් හා ජීඑම්ඒසී, කුලියට ගත් කම්කරුවන් ඇතැම් අවස්ථාවල කෙතරම් ''හෙම්බත්ව” සිටින්නේ ද යත් ඔවුන් සරලවම නොයෙකුත් ලියවිලි කුනුකූඩයට දමන අතර ''තමන් අත්සන් කලේ කුමකටදැයි බැලීමටවත් ප‍්‍රමානවත් කාලයක් නොලැබෙන,” තරම් කඩිමුඩියකින් ගොල්ඩ්මන්ඞ් සැක්ස්හි කොන්ත‍්‍රාත් කම්කරුවන් වෙත වෙන්දේසි දැමීමේ ලියවිලි අවසන් කිරීමට සිදුව ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේය.

සෑම ප‍්‍රධාන බැංකුවක්ම මෙයට හවුල් වී ඇති අතර වෙන්දේසි කිරීමට මුහුන දී සිටින මිලියන ගනනක් නොවේ නම් ලක්ෂ ගනනක් නිවාස හිමියෝ පීඩාවට පත් ව සිටිති. තමන්ගේ උකස් වාරික ගෙවීම කිසිසේත්ම පැහැර නොහැරි පවුල් පවා නිවාස වලින් දොට්ට දැමීමේ නොයෙකුත් සිද්ධීන් ද වාර්තා වේ.

ප‍්‍රාන්ත රාජ්‍ය පනහේම නීතිපතිවරුන් ඒකාබද්ධ විමර්ශනයක් දියත් කර තිබෙන අතර මෙම කූට ලේඛන ''උසාවියට වංචා කිරීමක්” ලෙස හඳුන්වමින් නිවාස වෙන්දේසියේ දැමීම් මත වාරනයක් පනවන්නැයි ඉල්ලා තිබේ. රටේ ඉහලම වෙන්දේසි කිරීම් සහිත ප‍්‍රාන්තය වන නෙවාඩාහි තියුනු මැතිවරන තරඟයකට මුහුනපා සිටින සෙනේට් බහුතරයේ නායක හැරී රීඩ් ද වාරනයක් ඉල්ලා සිටියි.

අවසන් කර නැති මූලික කි‍්‍රියාවලිය වාරනයක් පැනවීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි. මේ තත්වයේදී කෙතරම් නිවාස ප‍්‍රමානයක් නීති විරෝධී ලෙස වෙන්දේසි කර තිබේද හෝ යලි වෙන්දේසියට දමා ඇත් දැයි කිසිවෙකුත් නොදනී. බැංකු වාර්තා පිලිවෙලකට නැත. සම්පූර්න විමර්ශනයක් පවත්වන තෙක් තවත් නිවාස වෙන්දේසි නොකල යුතුයැයි තර්කයේ හා නීතියේ ඉල්ලීම වී තිබේ.

එහෙත් ඔබාමා පාලානාධිකාරිය යලිවතාවක් ජනතාවට එරෙහිව බැංකු සමඟ අත්වැල් බැඳගෙන ඇත. වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව, ෆෙඩරල් පරීක්ෂකයින් හුදෙක්ම ඉල්ලා සිටියේ, ''බැංකු සිය කටයුතු ස්වේච්ඡාවෙන් සමාලෝචනය කරන අතරතුර පුලුවන් තරම් ඉක්මනින් වෙන්දේසි කිරීම් අඛන්ඩව ගෙන යන” ලෙසයි.

මෙම සතියේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී ධවල මන්දිර ප‍්‍රකාශක රොබට් ගිබ්ස්, බැංකු වංචාවෙන් පීඩාවට පත් වූවන්ගේ ඉරනම පිලිබඳව මොනම තැකීමක් වත් කලේ නැත. බැංකු වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස පෙනී සිටිමින් ඔහු කියා සිටියේ: ''අහල පහල හිස් නිවසක් ඇත්නම් හා ඒ සඳහා කොන්ත‍්‍රත්තුවක් ලැබී ඇත්නම් හා වැඩ නිමවීමට නියමිත දිනය එලැඹෙන සතියට යෙදී ඇත්නම් ඉදිකෙරෙමින් පවතින නිවස මත වාරනයක් පනවා තිබුන ද කිසිවෙකුටත් එය අවසන් කල නොහැකිය, එම ගනුදෙනුව සිදුකල නොහැක.”

වෙනත් වචන වලින් කිවහොත් ඔබාමා පාලන තන්ත‍්‍රයේ නිවාස ප‍්‍රතිපත්තිය යනු මිලියන ගනනක් ජනතාව සිය නිවාස වලින් දොට්ට දැමීමයි.

වෙන්දේසි කිරීම් මත පනවන වාරනයක් නිවාස වෙලඳපොලේ බිඳවැටීමකටත් තවත් මූල්‍යමය කලබගෑනියක් කඩිනම් කරවීමටත් හේතු වනු ඇතයි බැංකුකරුවන් හා ආන්ඩුව තුල ඔවුන්ගේ කේවට්ටයන් විසින් ඉදිරිපත් කර ඇති සැක කටයුතු ප‍්‍රකාශ - සැබවින්ම මෙය ඔප්පු කර දැක්වීමට නොවෙහෙසෙන ස්වයං-නිර්නිත තර්කයකි - යමෙක් විස්වාස කරන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ වත්මන් ආර්ථික පද්ධතියේ බඩජාරි සහ විනාශකාරී සාමාජ ස්වාභාවයම පමනි. ලාභ පද්ධතිය රැඳී පවත්නේ නිවාස නොමැතිකම හා සමාජ කාලකන්නිකම පැතිරයාම මතය යන්න වෝල් වීදිය පිලිගන්නේය යන කාරනය පෙන්වා දෙන්නේ මෙම පද්ධතිය පෙරලා දැමීමේ අවශ්‍යතාවයි.

උකස්කර ලියවිලි වංචා කිරීම මහජනයාට එරෙහි විශාල අපරාධයක නවතම අදියරයි.

2008 මූල්‍යය අර්බුදයට පෙරාතුව බැංකු, මිලියන ගනනක් ඇමෙරිකානුවන් අධික ලෙස මිලකල අවමුඛ උකස් කරා ආකර්ශනය කර ගත්තේ, බොහෝවිට නියමිත කෙටි කාලයකින් අනතුරුව තියුනු ලෙස ඉහල නගින පහත් පොලී රේට්ටුවක් පිරිනමමිනි. මෙම නය යලි පියවිය නොහැකි බව මුදලට වහවැටුනු වෝල් වීදියේ හොර ව්‍යාපෘති කලමනාකරුවෝ යහමින් දැන සිටියහ. එහෙත් සියලු ප‍්‍රයෝගකාරයින් සේම ඔවුහු ද හැකි සෑම ආකාරයෙන්ම වංචනික ලෙස වාසි ලැබීමේ බලාපොරොත්තුවෙන් වැඩ කල අතර අවසානයේදී සිය අලාබ පියවීමට ආන්ඩුව පියවර ගනු ඇතැයි විස්වාස කලෝය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, බැංකු විධායකයින් හා ප‍්‍රමුඛ කොටස් හිමියන් ඇස් නිලංකාර කරවන මට්ටම්වලින් ධනය ගොඩගසාගත් ප්‍රෝඩාකාරී හා සැකකටයුතු පදනම් මත රැඳුනු දැවැන්ත නය ව්‍යුහයක් නිර්මානය කරමින්, මෙම විස සහිත නය ගොනු රක්ෂනය කර විකුනා දැමූහ.

මෙම ව්‍යාජ ව්‍යාපෘතිය කඩා වැටුන විට, මධ්‍යම ආන්ඩුව බැංකුවලට ඇප බැන්දේ ඩොලර් ටි‍්‍රලියන ගනනින්ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැන් බැංකු, මුදලින් තරවී සිටින අතර ඒවායේ විධායකයින් 2009 සහ 2010 යන දෙවර්ෂයේම වැටුප් වාර්තා බිඳහෙලමින් සිටී.

එහෙත් නිවස තමන් සතු ධනයේ මූලික ප‍්‍රභවය වන මිලියන ගනනක් ඇමෙරිකානු පවුල්වලට මෙය විනාශකාරී ලෙස බලපා තිබේ. බැංකුවල ස්වේච්ඡා සහභාගිත්වය මත පදනම්වූ ඔබාමා පාලන තන්ත‍්‍රයේ ඊනියා ''නිවාස බේරාදීමේ” වැඩ සටහන මුලුමනින්ම පාහේ නිරර්ථකවී තිබේ. මැයි අවසානයේ සිට මේ මඟින් බේරුම්කර ඇත්තේ නයකර 5,000කට අඩු ප‍්‍රමානයක් පමනි.

ප‍්‍රතිඵලය වී ඇත්තේ යෝධ හා දිග් ගැස්සුන අර්බුදයකි. තෙවන කාර්තුවේදී එක්සත් ජනපද නිවාස මිලියනයකට ආසන්න ප‍්‍රමානයකට. එනම්, 139කින් එක් අයෙකුට වෙන්දේසි කිරීමේ ලියවිල්ලක් ලබා දී ඇති අතර නිවාස 100,000කට අධික ප‍්‍රමානයක් බැංකු විසින් යලි අත්පත්කරගෙන තිබේ. 2007 දෙසැම්බර් සිට නිවාස මිලියන 2.5ක් බැංකු විසින් මෙලෙස යලි අත්කර ගෙන ඇත. මේවායින් කීයක් වංචාකාරී සහ නීති විරෝධී බැංකු ගනුදෙනු නිසා සිදුවී ඇත්දැයි හරියට දැන ගැනීමට නැත.

මූල්‍ය කර්මාන්තයට සහ පක්ෂ දෙක තුල එහි අතවැසියන්ට එරෙහි අරගලයකින් තොරව නිවාස අර්බුදයට විසඳුමක් සොයා ගත නොහැකි බව අතිශයින්ම පැහැදිලිය. උකස්කර වංචාව සඳහා වගකිව යුතු වෝල්වීදියේ අපරාධකරුවන් පරීක්ෂනයට ලක් කොට දඬුවම් පැමිනිවිය යුතුය. ඔවුන් වංචාකාරී ලෙස ඉපැයූ ධනය අත්කර ගෙන ඒවා වැඩකරන ජනතාව වෙනුවෙන් ප‍්‍රමානවත් පහසුකම්වලින් සමන්විත නිවාස නිර්මානය කිරීමට යෙදවිය යුතුය.

කම්කරු පන්තිය ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් බිඳී වෙන් විය යුතුය. වෙන්දේසි කිරීම් මත වාරනයක් පැනවීම අරභයා ඔබාමාගේ විරුද්ධත්වය, කිසිදු ව්‍යාකූලත්වයකට ඉඩ නොතබයි. ඩිමොක‍්‍රටික් පක්ෂය ''ජනතාවගේ” හෝ ''මධ්‍යම පන්තියේ” පක්ෂයක්ව පැවතියේ නැති අතර කිසිදු කලෙක එසේ වන්නේ ද නැත. එහි රිපබ්ලිකන් විපාක්ෂිකයා මෙන්ම එය ද, මහජනතාවගේ අවශ්‍යතාවන් වන මනා වැටුප් සහිත රැකියා, සුරක්ෂිත රක්ෂනාවරනයක්, අධ්‍යාපනය, සුව ආරක්ෂනය, ගුනාත්මක නිවාස යනාදියට එරෙහි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන පාලක පන්තියේ පක්ෂයකි.

ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් කැඩී වෙන් වී මූල්‍යමය කතිපයාධිකාරයේ ආධිපත්‍යය මුලිනුපුටා දැමීමට සහ සංගතවල ලාභ උදෙසා නොව සමාජ අවශ්‍යතා සඳහා සේවයේ යෙදවීම පිනිස ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමටත් කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීමටත් සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි.

අප විසින් මෑතක දී සම්මත කර ගත් ක‍්‍රියාමාර්ගික වැඩපිලිවෙල තුලදී සමාජවාදී සමානතතා පක්ෂය අවධාරනය කලේ, යහපත් නිවාස පහසුකම සාමාජයීය අයිතියක් බවයි. ''සියලුම වෙන්දේසි කිරීම් හා දොට්ට දැමීම් වහාම නතර කිරීමට” සහ ''දැරිය හැකි මට්ටම්වලට, වැටුපට හා රැකියා තත්වයට ගැලපෙන පරිදි” සියලුම උකස්තැබීම් ප‍්‍රතිව්‍යුහගත කිරීම සසප වැඩපිලිවෙලින් ඉල්ලා සිටියි.

''සියලු දෙනා සඳහා ම යහපත් නිවාස ලැබීමේ අයිතිය සහතික කල හැක්කේ, නිවාස ඉදි කිරීම සහ මූල්‍ය කර්මාන්තය මහජන අයිතියට පත්කිරීමෙන්” සහ ''නව නිවාස ගොඩ නැඟීමට හා දැනට පවත්නා ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරනය කිරීමට මහජන අරමුදල් ඩොලර් බිලියන සියගනනක් යෙදවීමෙන් පමනි,” සසප වැඩපිලිවෙල තවදුරටත් අවධාරනය කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ වැඩපිලිවෙල අධ්‍යනය කරන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැංවීමට එයට බැඳන ලෙසත් ය.

ටොම් එලී