ශ‍්‍රී ලංකාව: විශ්ව විද්‍යාල පුද්ගලීකරනයට එරෙහිව සටන් වදිනු

Sri Lanka: Fight against university privatisation

02 November 2010

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයේ ප‍්‍රකාශනය

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා මාවත සකසන ආන්ඩුවේ නව උසස් අධ්‍යාපන පනතට විරුද්ධ වන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියි. නව නීති මඟින් තරුන තරුනියන්ට තෘතීයික විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසීමට ඇති ඉඩකඩ හා රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් මුහුනපාන තත්වය තවදුරටත් ඛාදනය කෙරෙනු ඇත.

නීතිය සම්මත කිරීමේ සූදානම, මෑත සතිවලදී පුද්ගලීකරනයට විරෝධය දැක්වූ සිසුන් මත එල්ල කර තිබෙන රුදුරු මර්දනය සමඟ එකට ගමන් කරයි. පේරාදෙනිය, රුහුන, රජරට හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල සිසුන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, විශ්ව විද්‍යාල පරිශ‍්‍රයන්හි දේශපාලන කටයුතු වැලැක්වීම සඳහා අපේ‍්‍රල් මාසයේදී විශ්ව විද්‍යාල බලධාරීන් පනගැන්වූ නීතියෙන් එල්ල කල විවිධ චෝදනා යටතේය. තවත් සිසුන් 200කගේ පන්ති තහනම්කොට ඇත. ඔක්තෝබර් 29 දින විරෝධතා සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය හෙවත් අවිශිබමයේ කැඳවුම්කරු වන උදුල් පේ‍්‍රමරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට තිබේ.

අවිශිබමයේ වර්ගවාදී දේශපාලනය කෙරේ සසජාශියේ අශමනීය විරුද්ධත්වය තිබියදීම එය, අත්අඩංගුවට ගත් සියලු සිසුන් වහාම නිදහස් කරන ලෙසට හා ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත්කරන ලෙසටත් බලකර සිටියි. ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අවිශිබම, මර්දන පියවර සඳහා පොට පාදාගැනීමට ආන්ඩුවට ඉඩ සලසමින් විශ්ව විද්‍යාල පරිශ‍්‍රයන්හි තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මැර බලය යෙදීම සම්බන්ධයෙන් කුප‍්‍රකටය. කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීම්වල පුලුල් අරමුන සිසුන් බියවැද්දීම, දේශපාලන ක‍්‍රියාකාරකම් වලට වැට බැඳීම හා පුද්ගලීකරන පියවර සඳහා වන ඕනෑම විරුද්ධත්වයක් මැඩලීමය.

තවමත් ප‍්‍රකාශයට පත්කොට නැති නව නීතිය අනුව, පුද්ගලික සරසවි සඳහා ඉඩකඩ සලසා නැති 1978 විශ්ව විද්‍යාල පනත වෙනස්කරනු ඇත. පුද්ගලික ආයතනයක් ලෙස උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට 1980දී දරන ලද මුල් උත්සාහය, විශ්ව විද්‍යාල සිසුන්ගේ ද කාර්ය මන්ඬලවල ද විරෝධයට මුහුනපෑ අතර එහි උපාධිවල වලංගුභාවය පිලිබඳ ගැටලු මතු විය. පසුව එම වෛද්‍ය විද්‍යාලය කැලනිය විශ්ව විද්‍යාලයේ පාලනය යටතට පත්කරන ලදී.

නව නීතියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා දොරටු විවෘත කෙරෙන බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මනාව පැහැදිලි කර ඇත. ඔක්තෝබර් 19 දින ශ‍්‍රී ලංකා- ඕස්ටේ‍්‍රලියා- නවසීලන්ත ව්‍යාපාරික මන්ඩලය අමතමින් ඔහු, පෞද්ගලික පහසුකම් සැලසීම පිනිස ඕස්ටේ‍්‍රලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලය හා චීනයේ බීජිං රාජ්‍ය විශ්ව විද්‍යාලය ද ඇතුලු විදේශ විශ්ව විද්‍යාල 15ක් සමඟ දැනටමත් සාකච්ඡා පැවැත්වෙන බව ඇඟවුම් කලේය.

තම දෙපාර්තමේන්තුව හා ආයෝජන මන්ඩලය, පුද්ගලික ආයතන පිහිටුවීම සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවලට ''එක තැනින් සියලු” පහසුකම් සලසනු ඇතැයි උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න රැස්වීමේදී පැවසීය. ඔවුන්ට ශිෂ්‍ය ගාස්තු පිලිබඳ පාලනයකට යටත් වීමට සිදු නොවන ඇතර, නොමිලයේ ඉඩම් හා බදු සහන සැලසෙනු ඇත.

නීතිය යුක්තිසහගත කිරීමට උත්සාහ කරමින් දිසානායක, පවත්නා රජයේ විශ්ව විද්‍යාල නඟාසිටුවීමට වසර 10ක් වත් ගතවන බැවින් විදේශ විශ්ව විද්‍යාල සහභාගිකර ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වන බව මාධ්‍ය වෙත පැවසීය. ආන්ඩුවේ අරමුන රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වල පල්ලට යැවීම බව මෙම ප‍්‍රාකාශ මඟින් නිහඬවම පිලිගැනෙයි. ප‍්‍රතිපලය වනු ඇත්තේ බහුතරයක් සිසුන්ට අරමුදල් සිඳී ගිය තදබදයෙන් යුක්ත ආයතන ද මුදල් ගෙවිය හැකි අයට පුද්ගලික විශ්ව විද්‍යාල ද යන පන්ති දෙකක විශ්ව විද්‍යාල පද්ධතියකි.

අධ්‍යාපනය වෙනුවෙන් කරන ආන්ඩුවේ වර්තමාන වියදම 2006 වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.67 ක සිට 2009 වසර වන විට සියයට 2.08 දක්වා පහත වැටී ඇති නමුත් බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව ගෙනගිය සිය වර්ගවාදී යුද්ධයේ වියදම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අහස උසට නංවනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීඩනය යටතේ ආන්ඩුව, මෙම මාසයේ අයවැයෙන් නව වටයක වියදම් කප්පාදුවක් සූදානම් කරමින් සිටියි.

තදබදයෙන් පිරුනු දේශන ශාලා, පරීක්ෂනාගාර පහසුකම් හා අනෙකුත් පහසුකම් හිඟයෙන් දැනටමත් සරසවි සිසුන් අති දුෂ්කර කොන්දේසිවලට මුහුනපා සිටියි. නිදසුනක් ලෙස කැලනිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨ සිය මූලික දේශන පවත්වන්නේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරය දෙකට බෙදාගෙනය. 8,200ක් වන සිසුන් සඳහා එහි පුස්තකාලයේ ඉඩකඩ ඇත්තේ 800කට පමනි. ප‍්‍රමානවත් නේවාසිකාගාර පහසුකම් නොමැතිකම නිසා බොහෝ සිසුන්ට පෞද්ගලික නවාතැන් සොයාගැනීමට සිදුව තිබේ. මසකට රුපියල් 2,500ක් හෙවත් ඇමරිකානු ඩොලර් 22ක මහපොල ශිෂ්‍යාධාරය මත යැපෙන බොහෝ සිසුහු දුගී භාවයේ ගිලී සිටිති.

දැනට සරසවි වරම් නොලබන දහස් ගනන් සිසුන්ට පුද්ගලික ආයතනවලින් සහන සැලසෙනු ඇතැයි යන දිසානායකගේ ප‍්‍රකාශය බොරුවකි. අයකරන ගාස්තු නිසා අති මහත් බහුතරයක් තරුනයන්ට පෞද්ගලික සරසවි වෙත ලඟාවීමටවත් නොහැකිවනු ඇත. සිසුන්ගෙන් එක්තරා ප‍්‍රතිශතයකට නිදහස් වරම් ලබාදීම ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ඇමති වරයා කියා ඇතත් එය පවා අවිනිශ්චිතය. ''ආසියාවේ දැනුම් කෝෂ්ඨාගාරය” බවට මෙරට පත්කිරීම මඟින් විදේශ ආයෝජන දිරිගැන්වීම ආන්ඩුවේ එකම අභිප‍්‍රාය වන්නේය.

සිසුන් අතර පවත්නා පුලුල් විරෝධය ගැන හොඳින්ම දැනුවත්ව සිටින ආන්ඩුව, එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය යුද්ධය අවධියේ ගොඩනඟන ලද පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන් සරසවි පරිශ‍්‍රයන් තුල ද යෙදීම සඳහා සූදානම් වෙමින් සිටියි. පොලිසිය සමඟ ගැටුම්වලදී අවිශිබම සිදුකලායයි කියන ප‍්‍රචන්ඩත්වය දඩමීමා කරගෙන ජනාධිපති රාජපක්ෂ, සියලු සිසු විරෝධතා රුදුරු ලෙස මැඬීමට සූදානම් වෙයි.

ඔක්තෝබර් 26 දින රාජපක්ෂ, පුද්ගලීකරනයට එල්ලවන සිසු විරෝධතාවන්ට මුහුනදීම සඳහා සරසවි උපකුලපතිවරුන්ගේ රැස්වීමක් කැඳවීය. ''දේශපාලන අරමුනු සහිත දෙදහසක් පමන සිසුන් පිරිසක් 80,000කට අධික සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අතර එම නොහික්මුනු සිසුන්ට එරෙහිව රටේ පවත්නා නීතියට අනුව කටයුතු කරනු ඇතැයි” ඔහු අනතුරු ඇඟවීය.

රාජපක්ෂගේ ප‍්‍රකාශයන් යටින් ඇති තර්ජනය, අධ්‍යාපන ලේකම් නවරත්න මාධ්‍ය සමඟ දොරවල් වසාගෙන පැවත්වූ හමුවකදී ඇඟවුම් කලේ මෙසේය.

''මීට පෙර ත‍්‍රස්තවාදය පරාජය කරමින් ඔවුන් (ආරක්ෂක හමුදා) කිලිනොච්චියේදී කලාක් මෙන් එහිද (සරසවි තුල) ආන්ඩුවේ නීතිය පවත්වාගනු ඇත.”

සිසුන්ට එරෙහිව මිලිටරිය යොදාගැනීමේ තර්ජනය සලකුනු කරමින් උසස් අධ්‍යාපන ඇමති දිසානායක ලක්බිම පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී 1989 වසරේ ටියනාන්මෙන් චතුරස‍්‍රයේ ශිෂ්‍යයන් හා කම්කරුවන් පැවැත්වූ විරෝධතාවය කෙරෙහි චීන පාලන තන්ත‍්‍රය දැක්වූ ප‍්‍රතිචාරය සිහිපත් කලේය. රටේ ''සරසවි පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා” දෙතුන්දාහක් සිසුන් දොට්ට දැමීමට ආන්ඩුව නොපැකිලෙනු ඇතැයි ඔහු කියා සිටියේය.

විශ්ව විද්‍යාල සිසුන්ට තනිවම නිදහස් ආධ්‍යාපනය රැකගත නොහැකි අතර ඔවුන්, ආන්ඩුව මූල්‍ය අරමුදලේ වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නැඟීමේදී රැකියා, සේවා කොන්දේසි හා අත්‍යවශ්‍ය සේවා මත එල්ල කෙරෙන බරපතල ප‍්‍රහාරයන්ට එකසේ මුහුනපා සිටින කම්කරු පන්තිය වෙත හැරිය යුතුය. සියල්ලටත් වඩා මෙහිදී අවශ්‍ය කෙරෙන්නේ, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම්ව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැඟීමේ දේශපාලන අරගලයකි.

අවිශිබම හා ජවිපෙ ඉඳහිට කරන සමාජවාදී වාචාල කථා නොතකාම ඔවුන්, එවන් අරගලයකට තරයේම සතුරුය. අවිශිබම, ශිෂ්‍ය විරෝධතා තුලින් සිය සැලසුම් හකුලා ගැනීම පිනිස ආන්ඩුවට බලපෑම් කල හැකිය යන මාරාන්තික මිත්‍යාව තොරොම්බල් කරන අතරතුර ජවිපෙ, ''නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ ජාතික මධ්‍යස්ථානයක්” ගොඩනැඟීම තුලින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ විරුද්ධ කඳවුරක් යෝජනා කරයි. විවෘතවම මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂයක් වන එජාපය, 1977 බලයට පැමිනීමෙන් පසුව නිදහස් අධ්‍යාපනයට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීමේදී මෙන්ම එහි විවෘත ආර්ථිකයේ න්‍යායපත‍්‍රය ක‍්‍රියාවට නැඟීමේදී ගත් ආරම්භකත්වය පිලිබඳව වගකිවයුතු වේ.

ජවිපෙ දැනටමත් ශිෂ්‍ය විරෝධතාවන්ට සහාය දැක්වීමෙන් පසුබසිමින් සිටියි. ආන්ඩුව හා මාධ්‍ය අවිශිබම හෙලාදකින අතරතුර ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක, පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී තම පක්ෂය සිසුන්ගේ සියලු ක‍්‍රියා අනුමත නොකරන බව ප‍්‍රකාශ කලේය. ජවිපෙ, ''පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට එකඟවීමේ කාරනය සැලකිල්ලට භාජනය කර තිබෙන නමුත් දුප්පත් ජනතාව මුහුනපෑ හැකි කනගාටුදායක තත්වය නිසා එය අනුමත කල නොහැකි” යයි ඔහු තවදුරටත් පැවසීය.

''දුප්පත් ජනතාව” ගැන කනස්සල්ල පුහු මවාපෑමකි. ජවිපෙ 2004දී, ප‍්‍රතිව්‍යුහකරනයේ හා පුද්ගලීකරනයේ නව වටයක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ ආන්ඩුවේ ඇමති තනතුරු දැරීය. 2005 වසරේ පැවති ජනාධිපතිවරනයේදී ජවිපෙ, රාජපක්ෂට මුක්කුව දෙමින් ඔහු යලි ආරම්භ කල එල්ටීටීඊ විරෝධී යුද්ධයට උපරිමයෙන් සහාය දුන්නේය. 2008 මැයි මාසයේ එල්ටීටීඊ පරාජයෙන් නිමාව දුටු යුද්ධය පුරාවටම අවිශිබම හා ජවිපෙ, අධ්‍යාපනය ද ඇතුලු සියල්ල යුද වෑයම වෙනුවෙන් කැපකල යුතු බවට තර්ක ගෙතීය.

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ කුමන දේශපාලන අරගලයක හෝ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ, ජවිපෙ හා එහි ශිෂ්‍ය සංවිධානය ද ඇතුලු ධනපති පන්තියේ සියලු පක්ෂවලින් මුලුමනින්ම ස්වාධීන වීමයි. නිදහස් අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාර. මෙරට ද ජාත්‍යන්තරව ද වැඩකරන ජනතාවන්ගේ ජීවන තත්වයන් ට එල්ල කෙරෙන වඩාත් පුලුල් ප‍්‍රහාරයක කොටසක් පමනි. යුරෝපයේ එක්සත් ජනපදයේ හා ලෝකය මුලුල්ලේම ආන්ඩු, ගෝලීය ආර්ථික අර්බුදයේ මුලු බර කම්කරුවන් හා තරුනයන් මත පැටවීමට උත්සාහ දරයි. නිදහස් අධ්‍යාපනය සඳහා සිසුන්ගේ අරගලය, ලාභ පද්ධතියට එරෙහිව ශ‍්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැඟීම සමඟ මුලුමනින්ම බැඳී තිබේ.

අධ්‍යාපනය ලැබිය යුතු සියලු තරුනයන්ට ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් නොමිලයේ සැපයීම පිනිස විශ්ව විද්‍යාල නඟාසිටුවීම වෙනුවෙන් රුපියල් බිලියන ගනන් වැයකල යුතු වේ. එවැන්නක් සිදුවනු ඇත්තේ, ධනවතුන් අතලොස්සකගේ ලාභය සඳහා නොව බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී ප‍්‍රතිපත්ති පදනමක් මත පිහිටුවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනක් තුල පමනි. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයේ හා සමාජවාදී සමානතා පක්ෂයේ ක‍්‍රියාමාර්ගය එයයි. දිවයින පුරා සරසවි පරිශ‍්‍රයන් තුල සසජාශි ගොඩනඟමින් මෙම අරගලයට එක්වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.