සංස්කෘතියට එල්ල කෙරෙන ප‍්‍රහාරය හා ඇමරිකානු ධනවාදයේ අර්බුදය

The assault on culture and the crisis of American capitalism

05 October 2010

04 දා ආරම්භ වූ ඩිට්‍රොයිට් සංධ්වනි වාදක මන්ඩලයේ (ඩීඑස් ඕ) සාමාජිකයන්ගේ වර්ජනය දේශපාලනිකව සහ සමාජීය වශයෙන් අර්ථභාරී සිද්ධියකි. මූලික ගෙවීම සියයට 33කින් සහ අලුතෙන් බඳවා ගන්නවුන්ට කරන ගෙවීම් සියයට 42කින් කපා දමමින් ද සෞඛ්‍ය ආවරනය තියුනු ලෙස අඩුකරමින් සහ විශ‍්‍රාම වැටුප් කැටි කරමින් කලමනාකරනය විසින් පනවා ඇති ජීවන කොන්දේසිවල තියුනු පිරිහීමකට තුඩුදෙන කොන්දේසි හමුවේ වාදකයෝ සේවයෙන් ඉවත්වූහ.

සංගීතඥයන් වාදනයට අදාල නො වන සියලුම වර්ගයේ රාජකාරිවල ද නිරත විය යුතු බව වාද්‍ය වෘන්දය අවධාරනය කරන අතර එය, වාදකයින් ''සේවකයින්” ලෙස හඳුන්වනු ලැබූ තත්වයට පිරිහෙලීමක් බව වාදකයන්ගේ නියෝජිතයා කියා සිටියේය.

1914 දක්වා ආපස්සට දිවෙන දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ඩිට්‍රොයිට් වාදක කන්ඩායම සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ හොඳම වාදක කන්ඩායම් අතරට ගැනේ. පැවතීගෙන යන ආර්ථීක අර්බුදය මිචිගන් ප‍්‍රාන්තයේ සහ ඩිට්‍රොයිට් නගරයේ තත්වය විනාශ මුඛයට ඇද හෙලා ඇත. පෞද්ගලික පරිත්‍යාගයන් සමගින් ටිකට්පත් අලෙවිය පහත වැටීම නිසා වාදක කන්ඩායම ඩොලර් මිලියන 9ක අයවැය හිඟයකට මුහුන දී සිටී. නිව් යෝක් ටයිම්ස් පුවත්පතට අනුව ''බැංකු තවදුරටත් ඩීඑස්ඕ වෙත නය නො දෙන අතර එය සිය මෙහෙයුම් සඳහා ගෙවීමට පරිත්‍යාග පිටුපස දුවමින් සිටී.”

ඩීඑස්ඕ මුහුන දී සිටින අර්බුදය ජාතික පරිමාන ප‍්‍රපංචයක කොටසකි. ධනවත් පුද්ගලයින් සහ සමාගම් සිය මූල්‍ය පරිත්‍යාග අඩු කරද්දී කලා කන්ඩායම්වලට සහ කලා අධ්‍යාපනයට වෙන් කෙරෙන අයවැය සියලුම මට්ටම්වල දී එක්සත් ජනපද ආන්ඩුවල අඛන්ඩ ප‍්‍රහාරයට ලක්වන්නේ ය. වාදක කන්ඩායම්වල වැටුප් කප්පාදු කර ඇති අනෙකුත් නගර සහ ප‍්‍රාන්ත අතරට ෆීනික්ස්, හූස්ටන්, සින්සිනාටි, සියැටල්, ඉන්දියානාපොලිස්, මිල්වවුකී, බැල්ටිමෝ, ඇට්ලන්ටා, වර්ජිනියා, උතුරු කැරොලිනා සහ ඌටා අයත් වේ.

2009 වසරේ ඔක්තෝබරය වනවිට දහස් ගනනක කෞතුකාගාර සේවකයින් සමගින් කෞතුකාගාර අධ්‍යක්ෂවරුන්ගෙන් තුනෙන් එකක් පමන වැටුප් කප්පාදුවලට මුහුන පා සිටියේය.

ප‍්‍රාන්ත කලා ආයතන 31ක් 2011 වසර සඳහා අරමුදල් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කරයි. පසුගිය දශකය තුල ප‍්‍රාන්ත මට්ටමේ කලා ආයතනවල ආදායම් සියයට 34.7කින් පහත වැටී ඇත. උද්ධමනයට ගැලපූ කල එම වසර දහයේ අඩුවීම සියයට 45කට වැඩිය.

2009 මූල්‍ය වර්ෂය සඳහා කලාව සඳහා ජාතික අරමුදල (එන්ඊඒ) හරහා ලාභ බලාපොරොත්තු නො වන කලා කන්ඩායම් 100,000කට වෙන් කල සමස්ත රාජ්‍ය ප‍්‍රතිපාදනය ඩොලර් මිලියන 155කි. එනම් ඇෆ්ගනිස්ථානය තුල යුද්ධයට දිනකට හෝ දෙදිනකට වැය කරන මුදල යි. 1978 දී එන්ඊඒහි අයවැය ඩොලර් මිලියක 123ක් හෙවත් වත්මන් ඩොලර් අගය අනුව ඩොලර් මිලියන 416කි.

පිරිහෙමින් පවතින ඇමරිකානු ධනවාදයට කලාත්මක නිර්මානකරනය සඳහා උනන්දුවක් හෝ ඒ සඳහා දීමට මූල්‍ය ප‍්‍රතිපාදනයක් හෝ ඇත්තේ නැත. වඩා සමෘද්ධිමත් කාලවල දී විවිධ අධ්‍යාපනික සහ සංස්කෘතික කටයුතු සඳහා සහනාධාර දීමෙන් යම් ගරුත්වයක් සහිත වටිනාකමක් ලැබෙනු ඇතැයි ව්‍යාපාරික ප‍්‍රභූවට හැඟී තිබුනි නම් දැන්, එක්සත් ජනපදය පාලනය කරන ප‍්‍රභූස්ථරය තමන්ට ලාභ ගෙන නො දෙන සෑම ඩොලරයක් ම නාස්තියක් සහ නින්දාවක් ලෙස පවා දැකගනී. අධ්‍යක්ෂ මන්ඩලවල සහ ව්‍යවස්ථාදායක සභාවල වාඩි වන විනාශකාරීන් හමුවේ ඇමරිකාවේ සංස්කෘතික ජීවිතය ගැඹුරු අන්තරායකට මුහුන පා ඇත.

ඩිට්‍රොයිට් නිවුස් පුවත්පත පවසන පරිදි ඩිට්‍රොයිට් හෝ ඇමරිකාවේ වෙනත් තැනක වාද්‍ය වෘන්දයකට, පුස්තකාලයකට හෝ රජයේ පාසලකට වෙන් කිරීමට ''තවදුරටත් මුදල් නැත” යන්න හාස්‍යජනක ය. මූල්‍ය වෙලඳපොලවල් සහ සංගත භාන්ඩාගාර ටි‍්‍රලියන ගනනින් උතුරා යයි. ''අඩු මුදලකට මහන්සි වී වැඩකිරීම පිලිගැනීමට අපහසු දෙයකි. එහෙත් පසුගිය දශකය පුරා ඩීඑස් ඕ වෙත සහයෝගය දුන් ප‍්‍රජාවට දැන් කිරීමට සිදුව ඇත්තේ එය යි” යනුවෙන් එය තර්ක කරයි.

කුමන ප‍්‍රජාවද? මිචිගන් සහ සමස්තයක් ලෙස එක්සත් ජනපදය පුරා ඉහල ධනවත්තු වෙන කවරදාටත් වඩා ධනවත් ය. පසුගිය දශකය පුරා මිචිගන්හි මධ්‍යම නිවැසි ආදායම සියයට 21කින් ඇදවැටී ඩිට්‍රොයිට්හි නිල දරිද්‍රතාව සියයට 36කට ලඟා වී ඇති තතු තුල ඩිට්‍රොයිට්හි උතුරේ ජනගහනය 1,000කට මඳක් වැඩි බ්ලූම්ෆීල්ඞ් හිල්ස් ප‍්‍රදේශය ඇමරිකාවේ වැඩිම ආදායම් සහිත ලැයිස්තුවේ හතරවැනි ස්ථානය ගනී.

2006 දී ෆෝබ්ස් සඟරාව ඩොලර් බිලියන 16.5ක වත්කම් සහිත මිචිගන් වාසී ප‍්‍රකෝටිපතියන් 8 දෙනෙකු ලැයිස්තු ගත කලේ ය. මේ වසරේ එම සඟරාව ඩොලර් බිලියන 21ක වත්කම් සහිත ප‍්‍රකෝටිපතියන් 10 දෙනෙකු නම් කරයි. එය සියයට 22ක වර්ධනයකි. ඩීඑස් ඕ වාදකයන් සහ අනෙකුත් වෘත්තිකයන් අඩු වැටුප් සහිත කම්කරුවන් සමග පොරවැදීමට යෙදවීම සඳහා දරන ව්‍යාජ ජනතාවාදී උත්සාහය පිලිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කල යුතු ය. අඩු වැටුප් සහිත කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මාධ්‍ය පෙනී සිටින්නේ ජනගහනයේ තරමක් සතුටුදායක කොටස් සිය හිමිකම් සහ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට උත්සාහ දරන අවස්ථාවක ඒ සමග හෙට්ටු කිරීමට පමනි.

සමාජීය වසයෙන් තීරනාත්මක ආදායම් වෙනස්කම් පවතින්නේ ඩොලර් 30,000ක් හා ඩොලර් 130,000ක් උපයන්නන් අතර නො වේ. වැටුප් සහ පඩි ලබන්නන්ගේ සමස්ත පන්තිය සහ මිලියන ගනනින් ආර්ථිකය පෞද්ගලිකව කොල්ල කන සහ වෝල් වීදියේ අරමුදල් කලමනාකරුවන් සම්බන්ධයෙන් ගත්කල වාර්ෂිකව ඩොලර් බිලියන ගනන් උපයන සුපිරි ධනවතුන් අතර ය.

එක්සත් ජනපදයේ ආන්ඩු කවර කලෙකවත් කලාව සඳහා ප‍්‍රමානවත්ව සහයෝගය හෝ අරමුදල් සම්පාදනය කලේ නැත. කලාකරුවන් ලාභ ගෙනදෙන නිර්මානයන් කල යුතු බව එනම් කලාකරුවන් මුලුමනින් ම වෙලඳපොලේ ආධිපත්‍යයට යටත් විය යුතු බව අනවා සිටින ''නිදහස් ව්‍යවසායකත්වයේ” පිලිස්තීනු දෘෂ්ටිවාදීහු කලාකරුවන්ට ''බදු ගෙවන්නන්ගෙන්” සහනාධාර ලැබිය නො යුතු බව කියා සිටිත්. එහි කාලකන්නි විපාක ලාභ ගෙනදෙන චිත‍්‍රපට (හොලිවුඞ්) සහ නාට්‍ය (බ්‍රෝඞ්වේ) තුලින් දැකගත හැකිය.

අනෙක් අතට සමාගම් සහ ධනවතුන් සිය ආධාර හරහා අඩුව පිරිමසාලනු ඇතැයි අපේක්ෂිත ය. එන්ඊඒට අනුව 2007 වසරේ දී ලාභය සඳහා නො වන කලා කන්ඩායම්වල ආදායමෙන් සියයට 43ක් පමනම පෞද්ගලික ප‍්‍රදානයන් ලෙස ලැබී තිබුනේ ආන්ඩුවේ ප‍්‍රතිපාදනය යන්තම් සියයට 13ක්ව තිබියදී ය.

ධනවතුන්ගේ මෙම පරිත්‍යාගයන් මත රැඳී සිටීම වඩාත් යහපත් කාලවල දී පවා අවමානයට සහ බුද්ධිමය සීමාවන්ට තුඩු දුන්නේය. දැන් ප‍්‍රජාවක් තුල සංගීතය, චිත‍්‍ර ශිල්පය සහ නාට්‍යවල නියෝජනය ආන්තික ධනවතුන්ගේ වෙනස්කම් මත රැඳෙනු ඇත.

ඇමරිකාව තුල ''ගනන් ගන්නා” මිනිසුන් වන බැංකුකරුවන්ට සහ විධායක නිලධාරීන්ට කලාව වනාහි, මානවයන් මානවවාදී බවට පත්කරන පුනරුද්දීපනයට පත් සංවේදී මිනිසුන්ගේ ජීවිතයට සහ යහපතට අත්‍යවශ්‍ය වන කලාත්මක නිර්මානකරනයේ සහ එය භුක්ති විඳීමේ අයිතිය අහෝසි කිරීමේ බලපෑම ලඝු කිරීම මඟින් එලෙස අහිමිකලවුන්ගේ ජීවිත භෞතිකව වසංගතයක් බවට පත්කරනු ඇති බව පෙන්වීම මුලුමනින් ම නිෂ්ඵල ප‍්‍රයත්නයකි. එවැනි තර්කනයක් හුදෙක් හිස් නෙත් අයා බැලීමක් පමනකි.

ඩිට්‍රොයිට් සහ අනෙකුත් තැන්වල වාද්‍ය සංගීතඥයන්ගේ වැටුප් සහ ප‍්‍රතිලාභ කප්පාදු කිරීමට දරන මහ ව්‍යාපාරික මාධ්‍යවල මුදුනින් ම සහයෝගය ලබන උත්සාහය, තවත් ආස්ථානයකින් ද උපදේශාත්මක විය යුතු ය. සාරාත්මක වසයෙන් සංගීතඥයෝ දැන් තමන් මෝටර් රථ කම්කරුවන්, ගුරුවර ගුරුවරියන් සහ අනෙකුත් කම්කරුවන් මිලියන ගනනක් වැනි අයම බව දැකගනිති. තමන් ''වෘත්තිකයන්” ලෙස ඔවුන් සිතාගෙන සිටියා වුවත් වෙන ලෙසකින් සිතීමට ඔවුන් යොමුවීම වලක්වනු ලැබ තිබුනත් එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද බොහෝ කම්කරුවෝ අත්දැක ඇති ජීවන කොන්දේසි සහ රැකියා මත එල්ල කරන ප‍්‍රහාර, දේවල් පැහැදිලි කරගැනීමට උපකාරී වේ.

පාලක ප‍්‍රභූව සහ ඔවුන්ගේ මාධ්‍යවල ඇස් ඉදිරිපිට ඩීඑස් ඕ සාමාජිකයෝ, ඔවුන්ට කලමනාකරනයෙන් අනවන ලද කොන්දේසි යටතේ කි‍්‍රයාත්මක විය යුතු යයි අපේක්ෂා කරන ''සේවකයෝ” ය. සෑම කම්කරුවෙක් සහ ශිෂ්‍යයෙක් ම සම්පූර්න සහයෝගය ලබාදිය යුතු ඔවුන්ගේ වර්ජන කි‍්‍රයාව, ආර්ථික අර්බුදයේ සමස්ත බර සිය කර මතට පැටවීමට දරන උත්සාහයට එරෙහිව කම්කරු පන්තිය අතර වැඩෙන විරුද්ධත්වයේ ව්‍යාපාරයක කොටසක් ද වේ.

වසර ගනනාවකට පෙර ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, කලාකරුවන් සාපේක්ෂව නිදහස් ජීවිතයක් භුක්ති විඳිමින් බලයේ සිටින්නන්ගේ පිටුබලය ලද කාලසීමාවේ ''කම්කරු පන්තියේ ඉහල ස්ථරයට විශේෂ වරප‍්‍රසාද” ප‍්‍රදානය කල එම ඓතිහාසික තලයේ ම දිවි ගෙවී ය. මෝටර් රථ කම්කරුවන්ගේ ගෙවීම් සහ ප‍්‍රතිලාභ විනාශ කිරීම නො වැලැක්විය හැකි ලෙස ම ඩිට්‍රොයිට් සංගීතඥයන් සහ අනෙකුත් කලාකරුවන් මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකට කලින් සිදු වී එයට කොන්දේසි සපයා දී ඇත.

අවසාන විග‍්‍රහයේ දී ඩීඑස් ඕ ගැටුම පැහැදිලි යථාර්ථය ප‍්‍රකාශ කරයි. එනම් ඇමරිකාවේ කලාවේ දිගුදුර පැවැත්ම සහ වර්ධනය, ජීවිතයේ සෑම වැදගත් අංශයක් ම මත ව්‍යාපාරික ග‍්‍රහනය පැවතීම සමග නො පෑහෙන බවයි. එක්සත් ජනපදය තුල සෑම ගැඹුරු කලා කනඩායමකට හා සෑම ඩිට්‍රොයිට් වාදක මන්ඩල සාමාජිකයෙකුට ම අරමුදල් ලබාදීමට මෙන් ම ප‍්‍රසිද්ධ සංගීත ශිල්පීන්, චිත‍්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, කවියන් සහ නාට්‍යකරුවන්ට රක්ෂිත ආර්ථික කොන්දේසි සම්පාදනය කිරීම සඳහා ඕනෑවටත් වඩා ධනය තිබේ. එහෙත් එම ධනය ඊර්ෂ්‍යාකාර අතලොස්සකගේ ඒකාධිකාරයට යටත්ව තිබේ.

ඩීඑස් ඕ වර්ජනය සරලව හෝ ප‍්‍රාථමිකව වෘත්තීය සමිති අරගලයක් නො වේ. එය අතිමහත් ඇඟවුම් සහිත දේශපාලන සහ සංස්කෘතික අරගලයකි. වාදක මන්ඩල සංගීතඥයින් මත එල්ල කරන ප‍්‍රහාරවලට එකම අව්‍යාජ පිලිතුර රැඳී පවත්නේ සංගත ප‍්‍රභූවේ ප‍්‍රහාරවලට සවිඥානිකව විරුද්ධ වීම, ඔවුන්ගේ තර්ක සහ ප‍්‍රචාරය ප‍්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්, වෘත්තිකයන් සහ ශිෂ්‍යයන් අතර ප‍්‍රකාශිත සමාජවාදී ව්‍යාපාරයක ඉස්මතු වීම තුල යි.

ඩේවිඩ් වොල්ෂ්