ශී‍්‍ර ලංකාවේ ට්‍රොට්ස්කිවාදියාගේ අභාවය පිලිබඳ ජාත්‍යන්තර ශෝක පනිවිඩ

International condolences on the death of Sri Lankan Trotskyist

By our correspoondents, 14 September 2010

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය, ජර්මානු සහ කැනේඩියානු ශාඛා, පියසීලි විජේගුනසිංහගේ අභාවය පිලිබඳ සිය ශෝක පනිවිඩ, ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ ඇගේ සැමියා වූ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් වෙත යැවීය. සැප්තැම්බර් 6 දා පැවති පියසීලි සහෝදරියගේ අවමංගල උත්සවයේ දී කියවන ලද එම ශෝක පනිවිඩ මෙහි පහත පල වේ.

***

බි‍්‍රතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් කි‍්‍රස් මාස්ඩන්

ආදරනීය සහෝදරවරුනි,

බි‍්‍රතාන්‍ය ශාඛාවේ අප සියලු දෙන මෙම ශෝකී දිනයේ ඔබ ගැන ද අන් සියල්ලටම වඩා ගැඹුරු වියෝගයට පත්ව සිටින විජේ සහෝදරයා ගැන ද සිතන්නෙමු.

අසනීපය පියසීලි සහෝදරියගේ ජීවිතය කෙටි කලේය. එහෙත් ඇගේ ජීවිතය ආඪ්‍ය වූ ද සමාජවාදයේ පරමාර්ථය වර්ධනය කිරීමේ ලා කැපවූ ද එකක් විය. මාක්ස්වාදී සාහිත්‍ය විචාරය මගින් ද සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කෘති සිංහලට පරිවර්තනය කිරීම මගින් ද විප්ලවීය කම්කරු පන්තියේ පෙරටු බලඇනිය උගන්වා ගැනීමේ ලා ඇයගේ භූමිකාවේ අගය මිනිය නොහැකිය. දැන් ඇය අප හැර ගිය පසු ද එම උරුමය පලදරනු ඇත.

ඉංගී‍්‍රසි කවියෙකු වූ ෂෙලී මෙසේ ලිවීය:

මිය ගිය ද මියැසි සර මුදු

රැඳී රැව් දේ සිත් තුල

මැලව ගිය ද දම්වන් කුසුම්

සුවඳ නලියයි ඉඳුරන්හි පන

ගැසෙන ඉන්

විජේට ද ඔවුන්ගේ පුත් කීර්තිට ද සිය පවුලට ද පක්ෂයේ සහෝදරයන්ට ද පියසීලි එවන් පෞද්ගලික මතකයන් සුවහසක් තුලින් ජීවමානව සිටිනු ඇත. එවන් ස්මරනයන් ගතව ගොස් බෙහෝ කලකට පසු ද පියසීලිගේ බුද්ධිමය හා දේශපාලන ප‍්‍රතිපදානය, ඇය ඉතුරු කර යන උරුමය, දිගුකල් පවතිනු ඇත.

බි‍්‍රතාන්‍යයේ අපට පියසීලි සහෝදරිය පෞද්ගලිකව ඇසුරු කිරීමට නොලැබුනි. එය අපට ඉමහත් පාඩුවකි. අපි විජේ සමීපව දනිමු; අගය කරමු; ඔහුට ගැඹුරෙන් ගෞරව කරමු. මෙම ශෝක අවස්ථාවේදී අපි ඔහු හා එක්වෙමු.

***

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් උලී රිපර්ට් සහ පීටර් ෂ්වාට්ස්.

ආදරනීය විජේ,

සමාජවාදී සමානතා පක්ෂයේ ආදරනීය සහෝදරවරුනි,

ඔබගේ සහකාරිය වූ පියසීලි සහෝදරියගේ අකල් මරනය අසන්නට ලැබුනු අපි ඉමහත් කම්පනයට ද ශෝකයට ද පත්වීමු. පියසීලි සහෝදරියගේ මරනය අපගේ ජාත්‍යන්තර පක්ෂයට දීර්ඝ කාලීන සාමාජිකාවක හා ව්‍යාපාරයේ සමාජවාදී ඉදිරිදර්ශනයන්හි අචල සහකාරියක අහිමි කරයි.

විජේ, විශේෂයෙන්ම, ඔබටත් ඔබගේ පවුලේ අයටත් ශෝකය සහ සහෘදත්වය ප‍්‍රකාශ කර සිටිමු. ඔබට නැතිව ගියේ වැදගත් දේශපාලන සහෝදරියක පමනක් නොවේ, දශක ගනනාවක් ස්ථිරසාරව ඔබ සමග නැගී සිටියාවූ ඔබගේ ආදරනීය සහකාරිය ද ඔබගේ පුත‍්‍රයාගේ දයාබර මව ද වේ. මේ දුෂ්කර මොහොතේ ඔබගේ වේදනාව බෙදාගන්නා අපි අපගේ මිත‍්‍රත්වය ද ආදරය ද සහතික කර සිටිමු.

පියසීලි සහෝදරිය ලංකා සමසමාජ පක්ෂය විසින් කරන ලද පාවාදීමෙන් ගතයුතු පාඩම් උකහා ගත්තා වූ ද සැබෑ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්මයන් ආරක්ෂා කරා වූ ද පරම්පරාවක විශිෂ්ටතම සාමාජිකාවක් වූවා ය; තමාගේ පොත් පරිවර්තන සහ ලිපි මගින් නව පරපුරක් මාක්ස්වාදයෙන් පුහුනු කිරීමේ හා උගන්වා ගැනීමේ ලා තීරනාත්මක කි‍්‍රයා කලාපයක් ඉටු කලා ය.

ඇගේ අකාල මරනය ඉමහත් වේදනා ගෙන දෙයි. ඇයගේ ආදර්ශමත් ජීවිතය තරුන සහෝදරවරුන් විශාල සංඛ්‍යාවකට ආස්වාදයක් වනු ඇත. පියසීලි සහෝදරියගේ මතකය අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුල ස්ථිරසාරව පවත්වා ගෙන යාමට සපථ කර සිටිමු. ඇය අපට සදානුස්මරනීය ය.

විජේ මෙම ඉමහත් ශෝකයේ හා සන්තාපයේ දවසේ ඔබට අපේ ගැඹුරුම ශෝකය, සහෘදත්වය සහ සහෝදරත්වය ප‍්‍රකාශ කර සිටිමු.

***

කීත් ජෝන්ස්, කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්.

ආදරනීය විජේ, කීර්ති සහ අනෙකුත් සහෝදරවරුනි පියසීලිගේ ඥාතින් හා මිත‍්‍රයිනි.

සමාජවාදී සමානතා පක්ෂය කැනඩාව වෙනුවෙන් ගැඹුරුම ශෝකය ඔබ සියලුදෙනා වෙත ඉදිරිපත් කරන මම පියසීලි සහෝදරියගේ ජීවිතයට සහ අරගලයට ප‍්‍රනාමය කිරීමේ දී ඔබ සමග එක්වන්නෙමි.

ඔබ සියල්ල මෙන් මම ද ඇගේ හදිසි මරනයෙන් කම්පාවට සහ ශෝකයට පත්වීමි.

මට පියසීලි සහෝදරිය හමුවූයේ කිහිප අවස්ථාවකදී පමනි. එහෙත් ඇයගේ උනුසුම්භාවය ඇගේ දේශපාලන සහ සංස්කෘතික ඥානයේ පෘථුලභාවය සහ සමාජවාදී මූලධර්මයන්ට ඇය දැක්වූ කැපවීම මා සිත් ගත්තේය.

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය තුල ද ජාත්‍යන්තරව ඇය හඳුනාගත් සහෝදරවරුන් අතර ද ඇය කොතරම් ගෞරවයට පාත‍්‍රවූවා දැයි මම මැනවින් දනිමි. පක්ෂයේ ප‍්‍රධාන ලේකම්වරයාගේ බිරිඳ ලෙස ඇය සත්තකින්ම ගෞරවයට පාත‍්‍ර විය යුතු අතර ම පක්ෂය තුල ඇය දිනාගත් ගෞරවය හුදෙක් මෙම පෞද්ගලික බැඳුම නිසා පමනක් වූයේ නැත. ඇය ඇයගේම අයිතියෙන් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක සමයේ පටන් සාමාජිකාවක ලෙස ද විශේෂයෙන්ම ඇයට සුවිශේෂ වූ ක්ෂේත‍්‍රයේ එනම් සාහිත්‍යමය සහ සංස්කෘතිමය ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඇගේ සුවිශේෂී ඥානය පිලිබඳව ද ගෞරවයට පාත‍්‍ර වූවා ය.

අති මහත් දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කරමින් ලංකා සමසමාජ පක්ෂය පැබ්ලෝවාදී ජාත්‍යන්තරයේ ආධාරයෙන් සහ උපකාරයෙන් (1964) කල පාවාදීමේ තතු යටතේ දේශපාලන ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ දුෂ්කර අරගලයට කර දුන් තරුන සහෝදරවරුන් අතර පියසීලි ද වූවා ය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරම්භ කල සහෝදරවරුන් හුදෙක් ලංකා සමසමාජ පක්ෂය නොනවතින විප්ලවය අතහැර දමා පාර්ලිමේන්තු සහ වෘත්තීය සමිති අවස්ථාවාදය ද ප‍්‍රතිගාමී සිංහල ජනතාවාදය වැලඳගැනීම හෙලා දුටුවා පමනක් නොවේ. ඔවුහු ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීමේ දේශපාලන මූලාශ‍්‍රයන් ද ජාත්‍යන්තර අර්ථභාරය ද වටහාගැනීමට දෘඪ අරගලයක යෙදුනහ. එමගින් ඔවුන් පහත සඳහන් දෙය විස්ථාරනය කර ගත්හ. ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීමේ දේශපාලන මූලයන් පැවතියේ පශ්චාත් ලෝක යුද්ධ සමයෙහි දී ඇති කරන ලද ධනවාදී සමථයේ කොටසක් ලෙස දකුනු ආසියාවේ ඇති කරන ලද ප‍්‍රතිගාමී ජාතික රාජ්‍ය පද්ධතියට අනුගත වීම තුලය. ධනවාදය එසේ යලි තහවුරු කර ගත හැකි වූයේ ක්‍රෙම්ලින් නිලධරය හා එහි සහකරුවන් වූ කොමියුනිස්ට් පක්ෂවල පාවාදීම්වල ආධාරයෙනි.

පියසීලිගේ අකල් මරනය අපට පහත සඳහන් දෙය බරපතලව අඟවා සිටී. ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීම මගින් පෝෂනය වූ සුලුධනේශ්වර බලවේගයන්ට - සිංහල ජාත්‍යොත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන ද දෙමල ජාතිවාදී එල්ටීටීඊ සංවිධානය - එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනය සඳහා සටන් වදිමින් 1968 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටවූ තරුනයන් තව දුරටත් තරුන නොවන බවය.

එහෙත් එම පරම්පරාව තවමත් අරගලය නවත්වා නැත. ඔවුන්ට ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස ඔවුන් විසින් පුහුනු කරන ලද කාර්යධරයන්ට ද දැන් දකුනු ආසියාව හරහා ට්‍රොට්ස්කිවාදය සඳහා දේශපාලන ප‍්‍රහාරයක් දියත් කිරීමට අවස්ථාව එලඹී ඇත. එය (1942 දී) ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය (බීඑල්පීඅයි) ඉදිරිපත් කල දේශපාලන සපථය ද දුරදක්නා පර්යාලෝකය ද සපුරා ලීමක් වනු ඇත.

ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීමෙන් උද්ගත වූ බරපතල ප‍්‍රතිවිපාකයන්ගෙන් එකක් නම් ඉන්දියාවේ ස්ටැලින්වාදය ශක්තිමත් කිරීම ය. ලංකා සමසමාජ පක්ෂය පන්ති සතුරාගේ පැත්තට මාරු වූයේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය තුල දැවැන්ත අර්බුදයක් පුපුරා ගිය තතු තුලය. එම පුපුරා යාම පැන නැංගේ ඉන්දියානු ධනේශ්වරයේ කොංග‍්‍රස් පක්ෂය සමග ඉන්දියානු ස්ටැලින්වාදීන් පවත්වාගෙන ගිය වහල් සංධානය තුලිනි. ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීම නිසා ඇතිවූ ප‍්‍රතිවිපාකයක් නම් ඉන්දියානු ස්ටැලින්වාදීන්ගේ එම අර්බුදයට මැදිහත් වීමට නොහැකි තත්වයක් ට්‍රොට්ස්කිවාදීන්ට උද්ගත කර දීමය. එහෙයින් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ ඉක්බිති නක්සල්වාදීන්ට තමන් ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට විකල්පයක් ලෙස ඉදිරිපත් කර ගැනීමට ඉඩ ලැබුනි. එහෙත් ඇත්ත වශයෙන් ම ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය පමනක් ම නොව ඉන් බිඳී ගිය කොමියුනිස්ට් පක්ෂයන් ද අවධි දෙකේ විප්ලවයේ න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදීන් මෘග ලෙස මර්දනය කිරීම සමස්ත ස්ටැලින්වාදී උරුමයට ම දිගින් දිගටම ආධාර කරති.

අද ඉන්දියාවේ ස්ටැලින්වාදීහු දිගැද්දුනු දිරාපත්වීමකට පත්ව සිටිති. චීනය සමාජවාදී යයි කියන අතර ම සෝවියට් සංගමයේ බිඳගෙන වැටීම ගැන කිසිවක් පැහැදිලි කිරීමට නොහැකිව ඉන් ඔප්පු වන්නේ ”සමාජවාදය වනාහී ඈත දුර ගෝසාවක් පමනක් ය”යි ද කියාපාන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය දේශපාලනිකව නිරුවත්ව සිටී. දැන් එය නායකත්වය දෙන බටහිර බෙංගාලයේ සහ කේරලයේ වාම පෙරමුනු ආන්ඩු රාජ්‍ය මට්ටමේ ද ජාතික මට්ටමේ ද යන දෙකේ දී ම ඉන්දියානු ධනේශ්වරයේ වෙලඳපල ගැති වැඩපිලිවෙලට දුන් සහාය නිසා වැඩ කරන කම්කරු පන්තිය සහ පීඩිතයන්ගේ සහාය සහ විශ්වාසය මුලූමනින්ම නැති භංග කොට ගෙන බරපතල මැතිවරන පරාජයන්ට ආසන්නව සිටී. එන්න එන්නම වැඩිවන්නා වූ කම්කරුවන් හා තරුනයෝ නක්සල්වාදීන්ගේ ගොවි හා ගෝත‍්‍ර පදනම් කර ගත් දිග්ගැසුනු ගරිල්ලා සටන් ක‍්‍රමය අන්ධ ගමනක් යැයි ද කම්කරු පන්තිය දේශපාලන වශයෙන් පක්ෂාඝාත කොට ගෝති‍්‍රක ජනයා සහ වෙනත් පීඩිත ජන කොටස් කම්කරු පන්තියෙන් වෙන් කොට දමන්නක් යයි ද වටහා ගනිමින් සිටිති. මාවෝවාදීන්ගේ සන්නද්ධ අරගලය ඔවුන් විසින් ඉන්දියානු ධනපති පන්තියේ නියෝජිතයන් සමග ගෙන යන අවස්ථාවාදී උපාමාරු දැමීම සමග එකට ගැලතී පවතී. ඔවුන් මෙම හවුල් අටවා ගන්නේ ඒවා වැඩවසම් විරෝධී ජාතික ප‍්‍රජාතන්ත‍්‍ර එනම් ධනපති විප්ලවය යයි කඨෝර ස්ටැලින්වාදී තර්ක මගින් යුක්තිසහගත කරගනිමිනි.

පියසීලි සහෝදරිය ගේ ලේඛනයන් ඉංගී‍්‍රසි බසට ද ඉන්දියානු ජාතික භාෂාවන් කිහිපයකට ද පරිවර්තනය කිරීම කල යුතු යයි ද එය දකුනු ආසියාව පුරා ට්‍රොට්ස්කිවාදය සඳහා ප‍්‍රහාරයක වැදගත් කොටසක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම කර්තව්‍ය සඳහා කම්කරු පන්තිය ඉදිරියේ තැබිය යුත්තේ සමකාලීන ස්ටැලින්වාදී පක්ෂවල ප‍්‍රතිගාමී දේශපාලනය සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන වාර්තාව සහ සම්ප‍්‍රදාය පිලිබඳ විවරනයක් පමනක් නොවේ. සෝවියට් සංගමයේ බලය උදුරා ගත් නිලධාරිවාදී පෙලැන්තියට එරෙහිව ද මාක්ස්වාදය පිලිබඳව ස්ටැලින්වාදීන් කරන ලද විකෘතියට එරෙහිව ද ට්‍රොට්ස්කි සහ වාම විපාර්ශවය සහ හතරවන ජාත්‍යන්තරය ද ගෙන ගිය සමස්ථ අරගලය ඉස්මත්තට ගෙන ඒමෙනි. මෙම අරගලයේ වැදගත් කොටසක් වනු ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ සමාජවාදී සමානතා පක්ෂය ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායේ න්‍යායික ප‍්‍රකාශනය වූ නොනවතින විප්ලවයේ කි‍්‍රයාමාර්ගය උදෙසා ගෙනයන ලද අරගලයේ පාඩම් ඉන්දියාවේ, පකිස්තානයේ, බංගලාදේශයේ සහ සමස්තයක් වශයෙන් ආසියාවේ කම්කරුවන් සහ පීඩිතයන් වෙත ඉදිරිපත් කිරීම ය. ශී‍්‍ර ලංකාවේ රාජ්‍යයට එරෙහිව දෙමල ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද දෙමල බෙදුම්වාදයේ භේදකාරී ප‍්‍රතිගාමී පිලිවෙතට එරෙහිව ද සටන් වදිමින් ශී‍්‍ර ලංකාවේ සහ දෙමල ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරන ලද අරගලයක් තුලින් සිංහල සහ දෙමල කම්කරු පන්තියේ ඒකාබද්ධතාවයට එය ගෙන ගිය අරගලය ද දකුනු ආසියාව පුරා ප‍්‍රතිගාමී ධනපති පන්තිය විසින් සෑම මොහොතකම අවුලූවනු ලබන ප‍්‍රජාගනවාදී, කුලවාදී සහ වර්ගවාදී දේශපාලනයට එරෙහිව විප්ලවවාදීන්ට, ඉමහත් ආදර්ශයක් වනු ඇත.

පියසීලි සහෝදරිය තවදුරටත් ජීවතුන් අතර නැත. එහෙත් ඇගේ අරගලය මෙම ව්‍යාපාරය තුල සදහට පැවතිය යුතුය, පවතිනු ඇත.