බි‍්‍රතාන්‍ය ආන්ඩුව සමාජ කප්පාදුවේ පෙර නොවූ විරූ පියවර නිවේදනය කරයි

British government announces unprecedented social cuts

By Ann Talbot, 21 October 2010

බි‍්‍රතාන්‍යයේ කොන්සවේටිව් හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවෙහි ශරත් සෘතුවේ වියදම් සමාලෝචනය තුලින් පෙර නොවූ විරූ තරම් විශාල පොදු පිරිවැය කප්පාදු සැලසුමක් හඳුන්වා දී තිබේ. අයවැය ලේඛනයෙන් පවුම් බිලියන 83 ක් හෙවත් ඩොලර් බිලියන 128 ක් කපා හැරීම නිසා රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ පහක් අහෝසිවනු ඇත. එහි ප‍්‍රතිපලයක් ලෙස පුද්ගලික අංශයේ තවත් රැකියා ලක්ෂ පහක් ද අහෝසි වනු ඇත.

මෙම වසර මුල සිට ක‍්‍රියාත්මක වන හදිසි අයවැය හා දැන් ඉදිරිපත්වී ඇති වියදම් සමාලෝචනයට අන්තර්ගතවන සමාජ ශුභසාධන කප්පාදුව පවුම් බිලියන 18 ක් ලෙස ගනන් බලා ඇත.

මූලෝපායාත්මක ආරක්ෂන විමර්ෂනය යටතේ ප‍්‍රධාන වැඩ සටහන් කපා හැරෙන විට මිලිටරිය, සාමාන්‍යයක් ලෙස සියයට 8 ක කප්පාදුවකට මුහුන දෙයි.

මෙම කප්පාදු සිදුවන්නේ හිටපු ලේබර් ආන්ඩුවෙන් උරුම වූ සැලසුම්වලට අමතරව ය. මැතිවරනයට පෙර දී පවා ලේබර් ආන්ඩුවේ වියදම් සැලසුම් යටතේ ජාතික සෞඛ්‍ය සේවය පවුම් බිලියන 20 ක් කැපීමට තීරනය කර තිබුනි.

හවුල් ආන්ඩුව බලාපොරොත්තු වන්නේ එලඹෙන සිව් වසර තුල බි‍්‍රතාන්‍යයේ අයවැය හිඟය වන පවුම් බිලියන 109, එනම් ඩොලර් බිලියන 172 තියුනු ලෙස අඩුකිරීමටයි. අයර්ලන්තයට පසුව යුරෝපයේ දෙවන විශාලතම හිඟය හා ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධානය හෙවත් ඕඊසීඩී රටවල් අතුරින් ඉහලම හිඟය මෙය වන අතර, එය රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 11 වේ. බි‍්‍රතාන්‍යයේ ශුද්ධ නය ප‍්‍රමානය සැප්තැම්බරයේදී දදේනි සියයට 64.6 ක් හෙවත් පවුම් බිලියන 952ක් දක්වා ඉහල ගියේය. පසුගිය මාසයේ පමනක් ආන්ඩුව බිලියන 16කට වැඩියෙන් නය ගත්තේය. සැප්තැම්බර් මාසයක වාර්තාවූ ඉහලම අගය මෙයයි.

වාර්තාගත මට්ටම්වල මෙම නය කන්දරාව හමුවේ ආන්ඩුව, ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය නම්කල පරිදි ''බැඳුම්කර නිරීක්ෂනය කරන්නා” එනම්, පොදු වියදම් කැපීම සඳහා ආන්ඩුවලට බල කිරීම සඳහා භාන්ඩාගාර සුරැකුම්පත් අලෙවි කරන ප‍්‍රමුඛ ආයෝජකයන්ගේ, පීඩනයට හසුව සිටියි. මේ ආකාරයේ වෙලඳපොල පීඩනයන්ට හසුවූ ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය හා ස්පාඤ්ඤය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ දරුනු කප්පාදු වැඩසටහන් සමඟිනි. සාපේක්ෂව බි‍්‍රතාන්‍යයේ කප්පාදු වැඩ සටහන මේ සියල්ලටම වඩා දරුනු වන නමුත් 20දා නිවේදනයත් සමඟ බැඳුම්කර හා ස්ටර්ලිං පවුම් වෙලඳපොලවල් ස්ථාවරව පැවතියේය.

සැලැස්මේ පුලුල් කොටසක් කල්තියා කාන්දු කර තිබුන ද දැනටමත් වියදම් කප්පාදුවේ මට්ටම ගැන පවතින අවබෝධය නිසා මෙම පියවරයන් මඟින් වෙලඳපොලවල් සසල නොවීය. දැන් ව්‍යාපාරිකයන් කනස්සල්ලට පත්වන්නේ, මුදල් ඇමති ජෝර්ජ් ඔස්බෝන් නිවේදනය කර ඇති කප්පාදුවේ වේගය, බි‍්‍රතාන්‍ය තුල තවත් ආර්ථික පසුබෑමකට ඉක්මනින්ම දොර විවරවේය යන්න පිලිබඳවය.

සියලු ආන්ඩුවේ දෙපාර්තමේන්තු අලලාගත් කප්පාදුවේ සාමාන්‍ය මට්ටම සියයට 19කි. එහෙත් සමහර දෙපාර්තමේන්තු වඩා ගැඹුරු වියදම් පහත හෙලීමකට මුහුනපා සිටියි.

ස්වදේශ කටයුතු කාර්යාංශය එහි වියදම් සියයට 23 කින් ද විදේශ කටයුතු කාර්යාලය සියයට 34 ද වියදම් පහතට ගෙන එනු ඇත. ප‍්‍රාදේශීය අධිකාරයන් මධ්‍යම ආන්ඩුවෙන් ලැබෙන ප‍්‍රතිපාදනවල සියයට 28ක කැපීමකට මුහුන දෙයි. විශ්ව විද්‍යාල සියයට 40 ක කැපීමකට මුහුනපායි. ආන්ඩුව ශිෂ්‍යයෙකු වෙනුවෙන් කරන ගෙවීම වර්ෂයකට පවුම් 9,000 කට සීමා කරයි. සංස්කෘතික, මාධ්‍ය හා ක‍්‍රීඩා දෙපාර්තමේන්තු සියයට 41 ක් කැපීමක් ක‍්‍රියාත්මක කරනු ඇත. සමාජයේ නිවාස සඳහා දරන පිරිවැය සියයට 60 කින් අඩු කෙරේ.

වඩාත්ම දරුනු ප‍්‍රහාරයකට ලක්ව ඇත්තේ නිවාස ක්ෂේත‍්‍රයයි. දැන්, සමාජීය නිවාසවල පදංචිකරුවන්ට ඉහල කුලියක් ගෙවීමට සිදුවෙයි. වෙලඳපොල මට්ටම්වලදී එය සියයට 80 දක්වා ඉහල යනු ඇත. දැනට නිවැසියන් භුක්ති විඳින සංරක්ෂිත පදිංචියට වඩා ඔවුන්ට හිමිවනු ඇත්තේ කෙටිකාලීන පදිංචියක් පමනි. වඩාත් පහසුවෙන් මෙයට ගොදුරුවන නිවාස අවශ්‍යතාවෙන් පෙලෙන අඩු ආදායම්ලාභීන්, පුද්ගලික කුලී අංශයට මාරු කෙරෙනු හෝ නිවාසයක් අහිමිවීමට මුහුනදෙනු ඇත. අඩු ආදායම්ලාභීන්ට පදිංචිය සඳහා නිවෙස් කුලියට ගැනීමට ඉඩ සැලසෙන නිවාස සහන කපාහැරීම නිසා බොහාමයක් නිවැසියන්ට ඒවා හැර යාමට බලකෙරෙයි.

ආබාධිතයන් දරුනු කප්පාදුවකට මුහුනපායි. ශාරීරික හෝ මානසික ආබාධ නිසා රැකියාවක් කිරීමට නොහැකි අයට සැලසෙන සහනය වන රැකියා හා සහාය දීමනාව, දැන් වර්ෂයකට සීමා කෙරේ. ඉන් පසුව ආබාධිතයා ද සෞඛ්‍ය තත්වයෙන් යුක්ත සේවා වියුක්තියෙක් සඳහා වන කොන්දේසි යටතේම වැඩෙහි යෙදිය යුතු වේ. එහා මෙහා යෑමේ වියදම් සඳහා දැනට ආබාධිතයෙකුට ලැබෙන දීමනාව ඔහු හෝ ඇය නිවසක පදිංචිව සිටින්නේ නම් අහිමි වනු ඇත. බොහෝ දෙනෙක් මේ අනුව තමන් නිවාස අඩස්සියට පත්ව සිටින බව දැකගනු ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ, දුබලතා සහන අහිමි වීමට හා 2020 වන විට විශ‍්‍රාම ගතහැකි වයස අවරුදු 65 සිට 66 දක්වා ඉහල දැමීමට මුහුන දෙයි. ප‍්‍රාදේශීය අධිකාරයන්ගේ වියදම් කැපීම නිසා එම ආයතන විසින් සපයන ගමනාගමන, බලාගැනීමේ මධ්‍යස්ථාන පහසුකම්, නිවාස ආශ‍්‍රිත හා නිවැසි පහසුකම් ආදී සේවාවන් මත යැපෙන ආබාධිතයන් හා වයස්ගතවූවන් දරුනු ලෙස පීඩාවට පත්වනු ඇත.

ආන්ඩුව කියන්නේ තම කප්පාදු මල්ල ''සාධාරන” හා සමාජයේ සියලුම කොටස් විසින් බර කරට ගන්නා එකක් බවයි. සැබවින්ම, භාන්ඩාගාර දත්ත මත පදනම්වූ මුල් ගනන් බැලීම් ඇඟවුම් කරන්නේ වියදම් සමාලෝචනයෙන් සමාජයේ සියයට 10ක් දෙනා දරුනු ලෙස බැටකන බවයි. කප්පාදුවේ වැඩි බරක් වැටෙන්නේ අඩු හා මධ්‍යම ආදායම්ලාභීන්ගේ කර මතය. මූල්‍ය අධ්‍යයනය පිලිබඳ ආයතනය, වියදම් සමාලෝචනය හංවඩු ගසා ඇත්තේ ''අපගාමී” දෙයක් ලෙසය. මක්නිසා ද යත්, බරෙන් විශාල ප‍්‍රමානයකට කර ගසන්නේ සමාජයේ දුප්පත් අර්ධය නිසාය.

පාසැල් ප‍්‍රතිපාදන සියයට 0.1 න් වැඩිකරන බවට පොරොන්දු වී තිබේ. එහෙත් වැඩිවීම හිමිවන්නේ සමහර පාසැල්වලට පමනක් වන අතර සිසුන් සංඛ්‍යාව වැඩිවීමේ වියදම් ද ඉන් හිලව් කරගත යුතුය. ඊනියා අතිරේක මුදලින් වැඩි පංගුවක්, අධ්‍යාපන වැය ශීර්ෂයේ වෙනත් තැනකින් ඉතිරිකර ගන්නා මුදල්ය.

නිල සංඛ්‍යාවලට අනුව ගුරුවරු 40,000 කට රැකියා අහිමිවනු ඇත. අවුරුදු 16-19 අතර වයස් කාන්ඩයට වෙන්කරන ප‍්‍රතිපාදන කපා හැරේ. පාසැලේ රැඳී සිටීම හෝ රැකියා පුහුනුවට සම්බන්ධ වීම දිරිමත් කිරීම සඳහා සැලසුම්කල අධ්‍යාපනය පවත්වාගෙන යාමේ දීමනාව ඔවුන්ට අහිමිවෙයි. ප‍්‍රදේශීය අධිකාරයන් විසින් නඩත්තු කරන තරුන සමාජ, ක‍්‍රීඩා ව්‍යාපෘති හා මානසික හා සමාජ උදව් සැපයීම් වැනි තරුනයන් හා ලමුන් භුක්ති විඳින පහසුකම් ප‍්‍රතිපාදන කැපීම නිසා අහිමිවනු ඇත.

මාධ්‍යවේදීන් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති, 1920 ගනන්වලට සමාන කරන අතර අනෙකුත් අය, දෙවන ලෝක යුද්ධයේ ප‍්‍රතිපල වශයෙන් බි‍්‍රතාන්‍ය මත පැටවුනු නය ගෙවීමට දඟලමින් සිටි පශ්චාත් යුද කාලීන ලේබර් ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට සමාන කරති. යථාර්තයේදී ඒ එකදු සමානකරනයක් හෝ නොගැලපෙන්නේ, 1945 ලේබර් ආන්ඩුව මූල්‍ය කප්පාදු ක‍්‍රියාවට නඟන අතරම ශුභසාධක රාජ්‍යයක් නිර්මානය කිරීමට ද කටයුතු කල බැවිනි. පූර්ව දෙවන ලෝක සංග‍්‍රාම අවධියේ එවන් නූතන ශුභසාධක රාජ්‍යයක් පැවතුනේ නැත.

චාන්සලර් ඔස්බෝන්ගේ වියදම් සමාලෝචනය වනාහි, සමස්ත 20 සියවස පුරාම බි‍්‍රතාන්‍ය තුල වර්ධනය වූ සමාජ ජයග‍්‍රහන ආපසු කැරකැවීමේ උත්සාහයකි. ඔහු නිවේදනය කර ඇති පියවර හුදෙක් පොදු වියදම් කැපීමක් පමනක් නොව ශුභසාධක රාජ්‍යය ද බිඳ විසිරවීමට දරන උත්සාහයකි.

මූල්‍ය අර්බුදය මඟින් විවෘත කල අවස්ථාව ආන්ඩුව, ඔරලෝසුව ආපසු කරකවනු ලබන සමාජ යාන්ත‍්‍රනයක ප‍්‍රධාන කොටසක් ක‍්‍රියාවට නැඟීම සඳහා ඩැහැගෙන තිබේ. වියදම් සමාලෝචනයේ අරමුන වන්නේ, පසුගිය දශක තුන ඇතුලත වර්ධනයවී තිබෙන අසමානතාවයේ සකල මට්ටම් ම ආයතනිකගත කිරීම හා තිරසාර කිරීමයි. දැන් බි‍්‍රතාන්‍යයේ ද ගෝලීයවම ද ආධිපත්‍ය දරන මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ ආර්ථික හා සමාජ අවශ්‍යතාවන් පිලිබඳ දේශපාලනය එය ප‍්‍රකාශයට පත් කරයි.

වියදම් සමාලේචනය තුල ගෙනහැර දක්වා ඇති කප්පාදුවේ පරිමානය, ඓතිහාසික වශයෙන් පෙර නුවූ විරූ නම්, ලේබර් පක්ෂයේ හා වෘත්තීය සමිතිවල ප‍්‍රතිචාරය ගැන කිව හැක්කේ ද එයම ය. පෙර දිනයේ වෘත්තීය සමිති විසින් සංවිධානය කර පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂනයට සහභාගී වූයේ 500-2,000 අතර සංඛ්‍යාවකි. එලඹෙන සතිවලදී එවැනිම හුලං බැහැපු උද්ඝෝෂන කිහිපයක් රටේ තැනින් තැන සංවිධානය කර ඇත.

කලින් සහභාගී වන බවට පොරොන්දුවී සිටිය ද ලේබර් පක්ෂයේ නායක එඩී මිලිබෑන්ඩ්, එම උද්ඝෝෂනයට පවා සම්බන්ධ නොවීය. විපක්ෂය ශුභසාධන කප්පාදුවේ අරමුනු වලට සහාය දෙන බව ලේබර් ප‍්‍රකාශකයෝ අවධාරනය කරති. ආවරන කැබිනට්ටුවේ චාන්සලර් ඇලන් ජොන්සන්, ආබාධිත ජීවන දීමනා යෝජනා ක‍්‍රමය යටතේ ආබාධිතයන්ගේ සහන අහිමි කිරීම හා වැඩකරන ජනතාවගේ දුගී පවුල් වෙතින් බිලියන 2.4 ක් වන ලමා නය බදු සූරාගැනීම පිලිගත්තේය.

හිටපු ලේබර් චාන්සලර් වරයා වන ඇලිස්ටෙයා ඩාලිං, 1980 ගනන්වල මාග‍්‍රට් තැචර්ගේ පොදු වියදම් කප්පාදු පරයා යන වියදම් කැපීමකට දැනටමත් කැපවී සිටියි. ලේබර් පක්ෂය මැතිවරනය ජයගතහොත්, ඔවුන් සෑම ආන්ඩුවේ දෙපාර්තමේන්තුවකම වියදම් අඩුම වශයෙන් සියයට 20න් කපා හරිනු ඇත.

1920 ගනන්වල කප්පාදු පියවර අවසාන වශයෙන් 1926 මහා වැඩ වර්ජනයට හා බි‍්‍රතාන්‍ය පාලනයේ අර්බුදයකට තුඩු දුන්නේය. මෙවර වෘත්තීය සමිති, වැඩකරන ජනතාවගේ රැකියා හා ජීවන තත්වයන්ට එල්ල කරන හවුල් ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර වශයෙන් එවන් කිසිවක් සිදු නොවන බවට වගබලා ගනිති.

මාග‍්‍රට් තැචර් යටතේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂනය පිලිබඳ රාජ්‍ය ලේකම් වශයෙන් ද පසුව සේවා නියුක්ති ලේකම් වශයෙන් ද කටයුතු කල ෆෝලර් සාමිවරයා, වෘත්තීය සමිති නොසංසුන්තාවය පිලිබඳව මෙසේ අනතුරු ඇඟවීය. ''අප සිටින්නේ, පෙලපාලි, විරෝධතා හා කාර්මික අරගල වලින් කැලඹීමට පත් අවධියකය.” එහෙත් වෘත්තීය සමිති එවන් කිසිදු තර්ජනයක් කර නැත.

කඩිමුඩියේ කරන කප්පාදු නිසා අවපාතයේ තර්ජනය මතුවීම පිලිබඳ බිය පලකිරීම හැරෙන්නට වෘත්තීය සමිති නායකයෝ, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ දශකය පුරා ගෙනයන යුද්ධ හා බැංකු ඇපදීම් මඟින් හටගෙන තිබෙන අයවැය හිඟය කැපීමේ අවශ්‍යතාවය පිලිබඳව ප‍්‍රශ්න නොකරති.

වියදම් සමාලෝචනය කෙරෙහි විරෝධය, ලේබර් පක්ෂයෙන් හෝ වෘත්තීය සමිති තුලින් නම් පල නොවනු ඇත. ප‍්‍රතිරෝධය දැක්විය හැක්කේ, පන්ති අරගලය මැඬීම සඳහා කැපවී සිටින සංවිධාන වලට එරෙහි කැරැල්ලක් තුලින් පමනි.