ශ්‍රී ලංකාවේ සසප පියසීලි විජේගුනසිංහ සහෝදරියගේ අවමංගල උත්සවය පවත්වයි

SEP (Sri Lanka) holds funeral for comrade Piyaseeli Wijegunasingha

By our correspondents, 14 September 2010

සැප්තැම්බර් 6 දා පැවති ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකාවක වූ පියසීලි විජේගුනසිංහ සහෝදරියගේ අවමංගල උත්සවයට 500ක් පමන සහභාගි විය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවල නියෝජිතයන්, සසප සාමාජිකයන් හා ආධාරකරුවන්, පවුලේ සාමාජිකයන්, කොලඹ විශ්වවිද්‍යාලයේ හිටපු ශාස්ත‍්‍රාලික සගයන් හා සිසුන්, බුද්ධිමතුන්, චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ කලාකරුවෝ ඔවුන්ට ඇතුලත් වූහ.

ශී‍්‍ර ලංකාවේ සසප වෙත හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශෝකය පල කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ එක්සත් ජනපදයේ සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත්, පියසීලිගේ වියෝව "පිරවිය නොහැකි පාඩුවක්” යයි පැවසීය. "අද අප මෙහි රැස්ව සිටින්නේ, ශෝක වීමට පමනක් නොව, අකාලයේ අවසන් වූ අත්‍යසමාන ජීවිතයක් ස්මරනය කිරීමටයි. . . . ඇය රෝහලට ගිය මොහොත වන තෙක්ම පියසීලි බුද්ධිමයව හා දේශපාලනිකව කි‍්‍රයාකාරීව සිටියා.” යයි නෝර්ත් සඳහන් කලේය.

ජීවිතකාලීන ට්‍රොට්ස්කිවාදියකු වූ පියසීලි, කොලඹ රෝහලක දී පියයුරු පිලිකා සඳහා සිදු කල ශල්‍ය කර්මයකින් පසුව සැප්තැම්බර් 2 දා උදෑසන හදිසියේ මිය ගියාය. මිය යන විට ඇය 67 වන වියෙහි පසුවූවාය. ඇය සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්ගේ බිරිඳ විය.

පියසීලි ශී‍්‍ර ලංකාව තුල මාක්ස්වාදී සාහිත්‍ය විචාරය සඳහා අරගලයේ නායක චරිතයක් වූවාය. ඇය දශක හතරක් තිස්සේ කොලඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස වැඩ කලාය. 1997 දී ඇය සිංහල සාහිත්‍යය අංශයේ මහාචාර්ය හා අංශ ප‍්‍රධානි ලෙස පත් කරන ලද අතර පසුගිය වසරේ ජනවාරියේ දී විශ‍්‍රාම ලැබීය.

ඇගේ වැඩකටයුතුවලට පැවති පුලුල් ආනුභාවය හා බලපෑම පෙන්නුම් කරමින්, ශී‍්‍ර ලංකාවේ සෑම පුවත්පතක්ම පාහේ පියසීලිගේ මරනය පිලිබඳ වාර්තා පල කලේය. සමහර පුවත්පත් ඇගේ අදහස් සහ කලා හා සාහිත්‍ය විචාරකයකු ලෙස ඇගේ කාර්ය භාරය පැහැදිලි කරමින් දීර්ඝ ලිපි පල කලේය. ජාතික රූපවාහිනිය ද ඇගේ මරනය වාර්තා කලේය.

Hallශෝකය පල කිරීමට පැමින අය පියසීලිගේ කෘතීන් අධ්‍යයනය කරමින්

පියසීලිට ගෞරව දැක්වීම පිනිස, සැප්තැම්බර් 2 දා සවස සිට අවමඟුල පැවති දින දක්වා ඇගේ දේහය තබා තිබූ කොලඹ ජයරත්න මල් ශාලාව වෙත සිය ගනනක් පැමිනියහ. ට්‍රොට්ස්කිවාදියකු, සාහිත්‍ය විචාරකයකු හා කැපවූ ගුරුවරියක ලෙස ඇගේ වැඩකටයුතු පිලිබඳ සිය අගය කිරීම ප‍්‍රකාශ කරමින් බොහෝ දෙනෙක් ශෝක පනිවිඩ පොතේ සටහන් තැබීය.

මාක්ස්වාදී සාහිත්‍ය විචාරය පිලිබඳ පියසීලි ලියූ පොත් මෙන් ම ඇගේ කලා විචාර සහ ලියොන් ට්‍රොට්ස්කිගේ හා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පොත්වල ඇය කල පරිවර්තන එහි ප‍්‍රදර්ශනය සඳහා තබා තිබුනි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා එවූ මල් වඩම් ඇගේ දේහය අසලම තිබුනි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හමුදා නිලධාරියකු විසින් මල් ශාලාව වෙත ගෙන එනු ලැබූ මල් වඩම භාරගැනීම සසප ප‍්‍රතික්ෂේප කලේය.

Hallවිජේ ඩයස්

මල් ශාලාවේ සිට පැවති අවමඟුල් පෙරහැරකින් පසුව අවමඟුල් උත්සවය කොලඹ පොදු සුසාන භූමියේ දී පවත්වන ලදි. අවමංගල සභාවේ මුලසුන දැරූ විජේ ඩයස්, සිය අවසන් ගෞරව දැක්වීමට පැමිනීම වෙනුවෙන් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නියෝජිතයන්ට, සසප සාමාජිකයන්ට හා ආධාරකරුවන්ට සහ සෙසු අයට සිය ස්තුතිය පල කලේය.

ඩේවිඩ් නෝර්ත් සිය කතාව තුල දී, කොලඹ වෛද්‍ය විදාලයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට පිලිතුරු දෙමින්, රටේ දිගු කාලීන සිවිල් යුද්ධය පිපුරුනු 1983 දී පියසීලි ලියූ ලිපියට සැඳහුම් කලේය. ප‍්‍රචන්ඩත්වය මනුෂ්‍ය ස්වභාවය තුල ජීව විද්‍යාත්මකව මුල් බැස ඇති බව ෆොන්සේකා කියා තිබුනි. පියසීලි එයට මෙසේ පිලිතුරු දී තිබුනි: "ප‍්‍රචන්ඩත්වය මනුෂ්‍ය ස්වභාවය තුලින් අතිමූලිකව පැනනගින්නක් නොවේ. එය පැන නගින්නේ සමාජය තුල පවත්නා ප‍්‍රතිවිරෝධතාවන්ගෙනි. එය විසඳිය හැක්කේ එම ප‍්‍රතිවිරෝධතා පෙරලා දැමීම මගින් ම පමනි.”

නෝර්ත් මෙසේ අදහස් දැක්වීය: "තථ්‍ය වසයෙන් ගත් කල, ඇය පිලිතුරු දුන්නේ ශී‍්‍ර ලංකාව තුල සිටින බුද්ධිමය විරුද්ධවාදියකුට පමනක් නොව, සමාජය සහ මනුෂ්‍ය වර්ගයා පිලිබඳව අසාරදර්ශී හා ප‍්‍රගාඪ වසයෙන් ම ප‍්‍රතිගාමී දෘෂ්ටියක් දරන පුලුල්ව පැතිරුනු ජාත්‍යන්තර ප‍්‍රවනතාවකට ය. . . . ප‍්‍රචන්ඩත්වය පැන නගින්නේ මනුෂ්‍ය සමාජයේ ප‍්‍රතිවිරෝධතාවන්ගෙන් නම්, ප‍්‍රචන්ඩත්වය අවසන් කල හැක්කේ එම සමාජය පරිවර්තනය කිරීමෙනි.

"ශී‍්‍ර ලංකාවේ නිමක් නැති ප‍්‍රචන්ඩත්වයට හා සිවිල් යුද්ධයට එරෙහිව මෙම තර්කය මතු කිරීම ඇගේ පාර්ශ්වයෙන් අතිමහත් බුද්ධිමය හා සදාචාරමය ධෛර්යයක් පෙන්නුම් කලේය. පියසීලි විප්ලවවාදී සුභවාදියෙක් විය. මනුෂ්‍ය වර්ගයට සමාජය පරිවර්තනය කිරීමේ හැකියාව ගැන ඇය ප‍්‍රගාඪ ලෙස විශ්වාස කලාය.”

පියසීලි "ජාත්‍යන්තර කම්කරු පන්තියට ආශ්වාදයක් ලෙස” පවතිනු ඇතැයි සඳහන් කරමින් නොර්ත් සිය කතාව සමාප්ත කලේය.

සෙසු ජාත්‍යන්තර නියෝජිතයන් වූයේ ඕස්ටේ‍්‍රලියාවේ සසප නියෝජ්‍ය ජාතික ලේකම් ලින්ඩා ලෙවින් සහ එම පක්ෂයේ ම පීටර් සිමන්ඩ්ස් ය. ප‍්‍රන්සයේ හා ජර්මනියේ සිටින ජාත්‍යන්තර කමිටුවේ දෙමල ජාතික ආධාරකරුවන් වෙනුවෙන් අදියන් ද ජාත්‍යන්තර කමිටුවේ ඉන්දියානු ආධාරකරුවකු වන අරුන් කුමාර් ද එම අවස්ථාවට සහභාගි විය.

Hallඅවමංගල උත්සවයේ අවස්ථාවක්

ශී‍්‍ර ලංකාවේ සසප ද පියසීලිගේ ස්වාමි පුරුෂයා වන විජේ ඩයස්, ඇගේ පුත‍්‍රයා, ලේලිය සහ මිනිබිරිය ද වෙත, හතර වන ජාත්‍යන්තරයේ ඕස්ටේ‍්‍රලියානු ශාඛාවේ සාමාජිකත්වයේ ශෝකය ගෙන එමින්, ලින්ඩා ලෙවින් කියා සිටියේ පියසීලි 1960 ගනන් මුල ට්‍රොට්ස්කිවාදයට දිනාගනු ලැබූ ශී‍්‍ර ලංකාවේ අත්‍යසමාන පරම්පරාවේ කොටසක් බවයි. "ඇය විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ ශ්‍රේෂ්ඨ අදහස්වලට, මූලධර්මවලට හා ඉදිරිදර්ශනයට ආකර්ෂනය වූ අතර එතැන් පටන්, දැවැන්ත දේශපාලන හා පුද්ගලික දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ, ඇගේ වෘත්තීය තුල ද ශී‍්‍ර ලංකාවේ කම්කරු පන්තිය හා තරුනයන් අතර ද මෙම මූලධර්ම හා ඉදිරිදර්ශනය සඳහා අරගලය වෙනුවෙන්, ඇගේ දිවිය කැප කලාය.”

පියසීලි "අතිමහත් ආත්ම ගෞරවයක් හා සුසංයත බවක්, මුදු බවක් හා උනුසුම් බවක් සහිත කලාවට ගැඹුරින් ම ආදරය කල අයෙක්” බව ලෙවින් පැහැදිලි කලාය. එමෙන් ම ඇය "අතිමහත් බුද්ධියකින් ද තමන් ඒත්තුගත් අදහස් වෙනුවෙන් සටන් වැදීමෙහි ලා දැඩි අධිෂ්ඨානයකින් හා ධෛර්යයකින් ද” සමන්විත විය. "ඇය සාහිත්‍යය තුල ආගමික හා විඥානවාදී දෘෂ්ටිවාදයන්ට හා ඒවායේ ආනුභාවයට එරෙහිව මාක්ස්වාදී භෞතිකවාදය සඳහා සටන් වැදුනාය. එමෙන් ම ඇය විශ්වවිද්‍යාලයේ සිය වෘත්තීය සගයන්ගේ හා ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිනිස සටන් වැදුනාය.”

ලෙවින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පියසීලි සැපයූ කලා විචාරවලට සැඳහුම් කලාය. එහි දී ඇය "දශක ගනනාවක සිවිල් යුද්ධය හා ප‍්‍රචන්ඩත්වය ද ජාතිකවාදය හා වර්ගෝත්තමවාදය අනවරතයෙන් ප‍්‍රවර්ධනය කිරීම ද විසින් ශී‍්‍ර ලංකාවේ සමාජ සබඳතාවන් හි සිදු කෙරී ඇති ව්‍යසනකාරී පරිවර්තනයන්” පිලිබඳ ඇගේ සංවේදිතාව එලිදරව් කලාය. ශී‍්‍ර ලාංකික චිත‍්‍රපට අධ්‍යක්ෂක ප‍්‍රසන්න විතානගේගේ පවුරු වළලු චිත‍්‍රපටය පිලිබඳ කල විචාරයක දී ඇය මෙසේ ලිවාය: "සාමාන්‍ය වශයෙන් ධනේශ්වර සමාජයෙහි, විශේෂ වශයෙන් පසුගාමී ධනේශ්වර සමාජවල, සංස්ථාපිත පවුල ඇතුලු, පවතින සමාජ ක‍්‍රමය විසින් පුරුෂයා හා ස්ති‍්‍රය මත පතිත කෙරෙන කඨෝර අසහනීය මනස්තාප පවුරු වළලු සිනමා කෘතිය මගින් අනාවරනය කෙරේ.”

ලියොන් ට්‍රොට්ස්කි විසින්, 1940 දී, එනම් සිය ඝාතනයට යන්තම් සති කිහිපයකට පෙර, ලියන ලද ඡෙදයකින් පියසීලි සිය විචාරය සමාප්ත කර තිබුනි: "නටාශා මේ දැන් මිදුල දෙසින් මගේ කාමරයේ ජනේලය ලඟට අවුත්, වාතාශ‍්‍රය කාමරය තුලට නිදහසේ ගලා එන පරිද්දෙන් ජනේල පියන්පත් වඩාත් පුලුල් ව විවර කලාය. තාප්පය පාමුල දීප්තිමත් හරිත වර්න තෘන පලසත් තාප්පයට ඉහලින් පැහැදිලි නිල් වන් අහසත් සෑම තැනක ම ඉතිර පැතිර තිබෙන හිරු එලියත් මට පෙනේ. ජීවිතය සුන්දරය. අනාගත පරම්පරාවෝ එය සකලවිධ නපුරින් පරිපීඩනයෙන් හා ප‍්‍රචන්ඩත්වයන්ගෙන් මුදා පවිත‍්‍ර කොට ගෙන උපරිම සන්තුෂ්ටියෙන් වින්දනය කරත්වා.”

ලෙවින් මෙසේ අදහස් දැක්වීය: "මෙම වදන් . . . පියසීලි සහෝදරියගේ ජීවිතය හා වැඩ කටයුතු ප‍්‍රානවත් කල මනෝගතීන්ගේ බලගතු ප‍්‍රකාශනයකි.”

Hallඅවමංගල්‍ය උත්සවයට පැමින සිටි පිරිසෙන් කොටසක්

විජේ ඩයස් ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් උලි රිපර්ට් හා පීටර් ෂ්වාට්ස් විසින් ද බි‍්‍රතාන්‍යයේ සසප වෙනුවෙන් කි‍්‍රස් මාස්ඩන් විසින් ද කැනඩාවේ සසප වෙනුවෙන් කීත් ජෝන්ස් විසින් ද එවන ලද ශෝක පනිවිඩ කියවීය.

අදියන් ප‍්‍රන්සයේ සිටින හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදරවරුන්ගේ හා ආධාරකරුවන්ගේ ශෝක පනිවිඩ ගෙන ආවේය. "ඉතිහාසයේ තීරනාත්මක මොහොතක දී ඉතා වැදගත් හා දීප්තිමත් සහෝදරියක අහිමි වීම අතිශයින්ම ශෝකජනක දෙයකි. අද අප මෙහි සිටින්නේ 1960 ගනන්වල පියසීලි හා විකොස සෙසු සහෝදරවරු විසින් ගෙන යන ලද බලගතු දේශපාලනික හා න්‍යායික අරගලවල ප‍්‍රතිඵලයක් ලෙසයි.” ඔහු පැවසීය.

"අප ඇතුලු වෙමින් සිටින්නේ තීරනාත්මක හා වැදගත් කාල පරිච්ඡෙදයකටයි. එහි දී අපට ඉටු කිරීමට අතිමහත් දේශපාලනික හා න්‍යායික කාර්යභාරයක් ඇත. මෙම කොන්දේසි යටතේ, පියසීලි සහෝදරියගේ වියොව අපට අතිමහත් පාඩුවකි. අපි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ කොටස්කරුවන් ලෙස සිටින්නෙමු.”

කොලඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය ද රැස්ව සිටි පිරිස ඇමතීය. සිංහල සාහිත්‍යය විෂය සම්බන්ධයෙන් පියසීලිගේ ශිෂ්‍යයකු ලෙස, "විශ්වවිද්‍යාලයේ අපගේ සියලු ආචාර්යවරු අතරින් අප මත වඩාත්ම අර්ථදායක බලපෑමක් ඇති කල” චරිතය ඇය බව ඔහු මතක් කලේය. "ඇගේ අතිමහත් දැනුම ඇය විශ්වාස කල දේශපාලන දෘෂ්ටිය මත පාදකව සාහිත්‍යය අධ්‍යයනය කිරීම මගින් නිර්මානය වූවක් බව අපි අවබෝධ කරගෙන සිටියෙමු. පරිනත සාහිත්‍ය විචාරිකාවක් ලෙස කටයුතු කිරීමට ඇගේ දේශපාලන දෘෂ්ටිය ඇයට උදව්කාරක වූ බවට අපි සියල්ලෝම එකඟ වීමු.”

ශී‍්‍ර ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු, ශාස්ත‍්‍රාලිකයන්ගෙන් බහුතරයක් ධනවාදී දෘෂ්ටිය ප‍්‍රචාරය කල තතු යටතේ, මාක්ස්වාදය උදෙසා පියසීලි ගෙන ගිය දේශපාලන හා න්‍යායික අරගලයේ වැදගත්කම අවධාරනය කලේය. ''සමාජවාදී කි‍්‍රයාමාර්ගය හා ඉදිරිදර්ශනය ආරක්ෂා කිරීමට පියසීලි සටන් වැදුනේ සෝවියට් සංගමයේ කඩාවැටීමෙන් පසුව "සමාජවාදය අභාවයට ගොස්” ඇති බවට ගෙන ගිය ප‍්‍රතිගාමී ප‍්‍රචාරයට එරෙහිවයි.”

ශී‍්‍ර ලංකාව තුල සසජාශි ගොඩනැගීමට ගෙන යන අරගලයට සැඳහුම් කරමින් ප‍්‍රනාන්දු මෙසේ පැවසීය: "තමන් ලෝකය භෞතිකවාදීව දැකීමට ඉගෙන ගත්තේ පියසීලිගේ කෘතීන් අධ්‍යයනය කිරීම හරහා බව අපට හමු වූ බොහෝ සිසුන් කියා සිටියා.”

සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක, පක්ෂය වෙනුවෙන් කතා කරමින්, අවමංගල සභාවේ වැඩකටයුතු සමාප්ත කලේය. "අද අප ශාරීරිකව වෙන් වන්නේ මාක්ස්වාදී කලා විචාරකයකු සහ ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගයේ ඉතා දෘඩතර සටන්කරුවකු ලෙස සිය වැඩකටයුතු වෙනුවෙන් සිය දිවිය කැප කල සහෝදරියකගෙනි. එහෙත් ඇගේ අදහස් නොනැසී පවතී.”

පියසීලි "යකඩ ගැහැනියක” ලෙස විස්තර කල තිබූ පුවත්පත් ලිපියක් රත්නායක උපුටා දැක්වීය. "ඇයව එලෙස විස්තර කල තිබුනේ කිසිදු සම්මුතියකින් තොරව තමා විශ්වාස කල ට්‍රොට්ස්කිවාදී මූලධර්ම වෙනුවෙන් සටන් වැදීමට ඇය පෙරමුන ගත් හෙයිනි. ඇගේ දැවැන්ත ශක්තිය වූයේ සාහිත්‍යය හා කලාව තුල බෞද්ධාගමේ බලපෑම ද ඇතුලුව, විඥානවාදී දෘෂ්ටිවාදයන්ට එරෙහිව භෞතිකවාදයේ පදනම මත සටන් වැදීමයි.”

ඇගේ මරනය සිදුව ඇත්තේ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයක හා ලෝක යුද තර්ජනයක පසුබිමක බව ඔහු පැවසීය. කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයන්ට අවතීර්න වන කල, පියසීලි සිය දිවිය පුරා සටන් වැදුනු ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය හා පක්ෂය ඔවුන්ට අවශ්‍ය වනු ඇත.

ජාත්‍යන්තර ගීය ගායනා කිරීමෙන් අවමංගල සභාවේ වැඩකටයුතු සමාප්ත විය.