ශී‍්‍ර ලංකාවේ සසප සහ සසජාශි මැයි දින රැලිය

Sri Lankan SEP and ISSE to hold May Day meeting

21 April 2011

ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු වස් මැයි 1 දා කොලඹ දී පවත්වන අපගේ ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගි වී ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්න පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

දශක ගනනාවක දේශපාලන ප‍්‍රතිගාමිත්වයෙන් පසුව, 2011 ආරම්භයේ පටන්, කම්කරුවෝ ජාත්‍යන්තර පරිමානව, මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාවේ මෙන්ම එක්සත් ජනපදයේ විස්කොන්සින් ප‍්‍රාන්තයේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සහ ජීවන මට්ටම්වලට එරෙහි ගැඹුරු ප‍්‍රහාර නතර කිරීම පිනිස ගෙනයන අරගලවල පෙරමුනට පැමින ඇත. කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නය වනාහි, ඉදිරි මාවත කුමක්ද යන වගයි.

2008 දී මතු වූ ගෝලීය ධනවාදයේ බිඳවැටීම, මහ බලවතුන් අතර එදිරිවාදිකම් ද නව-විජිතවාදී ආක‍්‍රමනික මැදිහත්වීම් ද අවුලවයි. එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය සහ ඔවුන්ගේ සගයන් විසින් ලිබියාවට එරෙහිව ගෙන යන නැටෝ බෝම්බ ප‍්‍රහාර අවධාරනය කරන්නේ, බල ශක්ති සංචිතවල පාලනය සහතික කර ගැනීමට ද කලාපය තුල විප්ලවවාදී නැගිටීම් මැඩීමට ද අධිරාජ්‍යවාදය ගෙන ඇති පරිශ‍්‍රමයයි. එමෙන්ම, අඛන්ඩව පවතින ආර්ථික අර්බුදයේ බර දරුනු කප්පාදු පිලිවෙත් හරහා වැඩ කරන ජනතාවගේ කර මත පැටවීමට මූල්‍ය ප‍්‍රාග්ධනයේ ගෝලීය පරිශ‍්‍රමයක් ද පවතී.

ශී‍්‍ර ලංකාවට මෙම කි‍්‍රයාදාමයන්ගේ බලපෑමෙන් අත්මිදිය නොහැකිය. මෙම කුඩා දිවයින මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වල, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර පවතින එදිරිවාදිකම්වල, සුලිය තුලට හසු වී ඇත. එපමනක් නොව, ආන්ඩුව දැන්, දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බලපාන මිල සහනාධාර, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලූ රාජ්‍ය වියදම් දරුනු ලෙස කප්පාදු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග කි‍්‍රයාවට දමමින් සිටී.

යුද්ධය නතර කිරීම ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා ශිෂ්ඨ සම්පන්න ජීවන කොන්දේසි සහතික කිරීම ද සඳහා පවතින එකම මාවත නම්, ලාභ ගරන ක‍්‍රමය අහෝසි කොට ලෝක පරිමානව සැලසුම් කෙරුනු සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීම පිනිස ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයයි. සසප සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ සටන් වදින්නේ එම විප්ලවවාදී ඉදිරිදර්ශනයටයි. අපගේ මැයි දින රැස්වීමට සහභාගි වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන්, කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දිනය සහ වේලාව: මැයි 1 දා සවස 3.00

ස්ථානය: නව නගර ශාලාව, ගී‍්‍රන් පාත්, කොලඹ.