ඇමෙරිකා ද්විත්වය

The two Americas

6 April 2011

ප‍්‍රන්ස විප්ලවය පිලිබඳව චාල්ස් ඩිකන්ස්ගේ ප‍්‍රබන්ධ කෘතිය වන දෙනුවර අන්දරයක් හි එන "එය හොඳම සමයයි, නරකම සමය වූයේද එයමැයි” යන සමාරම්භක පේලිය ඒ හා සමාන බලයෙන් යුක්තව වත්මන් ඇමෙරිකාවටද යෙදිය හැකිය. වර්සායි මාලිගයේ රාජ්‍ය සභිකයිනට ලජ්ජා හිතෙන තරමේ සමාජ ධනයක්, එක්සත් ජනපද ජනගහනයේ තුනී ස්ථරයක් විසින් අත්පත් කරගෙන ඇති සැටි නව වාර්තා ගනනාවක් විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ආර්ථික "සමහන්වීම’’ ඉදිරියට ගමන් කර තිබෙන්නේ "ඉහල මට්ටමේ විරැකියාවට සහ නොකඩවා සිදුවන උකස් සින්න වීම්වලට එරෙහිව එක දිගට අරගල කරන කම්කරුවන්ගේ සහ සාමාන්‍ය මට්මමේ මිනිසුන් සඳහා එක මාවතක් ද ආයෝජනය කරන පන්තිය හා ධනවතුන් සඳහා වෙනත් මාවතක් ද වසයෙන් මාවත් දෙකක් ඔස්සේ බව’’ ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනය (ඊපීඅයි) මාර්තු 23 වෙනිදින අධ්‍යනයකින් නිගමනය කලේය.

නිල වසයෙන් 2007 වසරේ දෙසැම්බර් සිට 2009 ජූනි දක්වා පැවතීගෙන ගිය අවපාතය, මුලු ගෘහස්ත ධනයෙන් ජනගහනයේ පහලම සියයට 80 ට ගලා ගිය කොටස සියයට 12.8 දක්වා, එනම් සියයට 2.2 කින් පහත වැටීමක් දැක ගති. අනෙක් අතට, ධනවත්ම සියයට 1 එහි ශුද්ධ ධනය සාමාන්‍ය ගෘහස්ත ධනයට වඩා 225 ගුනයකින්- වාර්තාගත ඉහලම අගය- වැඩි කරගෙන තිබේ.

ඇමරිකාවේ පවුල්වලින් එක කාර්තුවක් පමන කිසිම ආදායමක් නොලබන අය හෝ නැතහොත් සෘන ආදායමක් ලබන අය වෙති. 2007 වසරේ සිට නිවෙස් හිමියන්ගේ දේපල සියයට 35කින් වැටුන තැන් පටන් දැන් රටේ නිවාස වෙලඳපොලෙන් බහුතරය බැංකු කර්මාන්තය සතුව පවතී.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ එමානුවෙල් සුයිස් විසින් එකතු කල දත්ත අනුව, 2008 වසරේදී ඉහලම ආදායම ලබන පවුල් සියයට එකෙන් ධනවත්ම සියයෙන් පංගුව- පවුල් 10,000 කින් 1ක් - දල වසයෙන් එක් පවුලක් ඩොලර් මිලියන 27 ක අගය ඇති නිවෙසකට හිමිකම් කී අතර පහලම සියයට 90හි එම අගය ඩොලර් 31,244ක් බව බර්කෙලි අනාවරනය කරයි. කම්කරුවෙකුගේ දල ඉපයීම සාමාන්‍ය ඉහල විධායකයෙකුගේ ඉපයීමෙන් 185න් එක් පංගුවකි.

රාජ්‍ය අයවැය කාර්යාලයට අනුව, 2007 වසරේදී ඩොලර් මිලියන 2කට ආසන්න ධනයක් අත්කරගත් ආදායම් බදු ගෙවන්නන්ගෙන් ඉහලම සියයට 1 ආදායම් බදු ගෙවීමෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික කොටස 1979 වසර හා සසඳන විට 130 ගුනයකින් පමන වැඩිකර ගෙන තිබෙන බව පෙන්නුම් කරයි. පහලම සියයට 80 තම කොටස සියයට 10 සහ සියයට 30 අතර පහත වැටීමක් අත් දැක්කේය.

එමෙන්ම, බොහෝ පවුල් සඳහා ප‍්‍රධාන ධන මාර්ගය වූ නිවාසවල වටිනාකම් දරුනු ලෙස පහත වැටීමට ප‍්‍රථම 2007 වසරේදී ගෘහ හිමියන්ගෙන් පහලම සියයට 90 ජාතික ධනයෙන් සියයට 29.9 අයිතිව සිටි අතරේ නිවෙස් අයිතිකරුවන්ගෙන් සියයට 1 එක සියයට 34.6කට හිමිකම් කීය.

මාක්ස් කැපිටාල්හි සඳහන් කල ආකාරයට, " එක් අන්තයක ධනය සංකේන්ද්‍රනය වීම වනාහී. . . ඒ සමගම කාලකන්නිභාවය, ශ‍්‍රම බරින් හෙම්බත්වීම, වහල්භාවය, අඥානභාවය, ම්ලේච්ඡත්වය, මානසික ව්‍යාධිත්වය එහි විරුද්ධ අන්තයෙහි සංකේන්ද්‍රනය වීමයි.’’ විසි එක්වන ශතවර්ෂයේ දෙවැනි දශකයෙහි දැන් එය ඇමෙරිකාව තුල දැක ගත හැකිය.

ආහාර පර්යේෂන හා ක‍්‍රියාකාරී මධ්‍යස්ථානයේ මෑත වාර්තාවකින් සොයා ගෙන ඇත්තේ, ජනවාරි වනවිට එක්සත් ජනපදයේ ජනගහනයෙන් මිලියන 44.2ක්, එනම් හත් දෙනෙකුගෙන් එක් අයෙකු, ආහාර සලාක වැඩසටහන් මත යැපෙන බවයි. මෙය පසුගිය වසරට වඩා මිලියන 4.7ක වැඩීමකි. මධ්‍යස්ථානයට අනුව, 2010 වසරේදී ඇමෙරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු යැපීමට තරම් ප‍්‍රමානවත් ආහාර සෙවීමේ සටනක යෙදී සිටියේය.

එක්සත් ජනපදයේ ලමුන් හතරදෙනෙකුගෙන් එක් අයෙක්- සමස්තයක් වසයෙන් මිලියන 16ක්- දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන අතර සෑම වසරකම මිලියන 1.5ක් ලමුන් නිවෙස් නොමැතිකම අත් දකිති. නිශ්චිතව ම මෙතෙකැයි කිව නොහැකි මිලියන ගනනාවක් නිවෙස් උනුසුම්කරන, විදුලිබලය හෝ පිරිසිදු ජලය නොමැතිව සිටිති.

වැඩෙමින් පවතින කම්කරු පන්තික කොටස්වල දරිද්‍රතාව සමඟ එක්ව ජනගහනයෙන් සුලු කොටසක් විසින් මෙලෙස වස්තුව ගොඩගසා ගැනීම ජීවිතයේ -- ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික යන-- සෑම අංශයකම ව්‍යාප්ත වී පවතී. දේශපාලන තලයේදී එය ප‍්‍රකාශයට පත් වන්නේ, මූල්‍ය කතිපයාධිකාරිය සතු ධනය තරකර ගැනීම කඩිනම් කරවීමට - ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ සහ ආන්ඩුවේ සෑම මට්ටමක්ද ඇතුලත්- සමස්ත දේශපාලනික සංස්ථාපිතයේ ධාවනය මගිනි.

රැකියාවක් නොමැතිව මාස හයක් හෝ ඊටත් වැඩි කලක් ලතැවෙන මිලියන හයක් වන රැකියා විරහිතයන් වෙනුවෙන් මොනයම්ම රැකියා වැඩපිලිවෙලක් හෝ බරපතල සහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීම ඔබාමා පාලන තන්ත‍්‍රය විසින් අත්හැර දමා ඇත. ධනවතුන් සඳහා ආදායම් බදු කැපීමද ප‍්‍රකෝටිපතියන් වෙනුවෙන් රාජ්‍ය බදු අවම කිරීමද ඇතුලත් බුෂ්-යුගයේ පිලිවෙතේ දිගුවකට හෙතෙම දෙසැම්බරයේදී අත්සන් කලේය.

එපමක්ද නොව, සමාජ වියදම් අතරින් සීමා පනවා නොමැති සියලු වියදම් කැටි කිරීමට ශපථවූ ඔහු, සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වසර දෙකකට කැටි කරන නියෝගයකට නොවැම්බර් මාසයේදී අත්සන් කලේය. මෙයින් අනතුරුව පැමිනියේ සංගත පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීමක් කරා වූ ක‍්‍රමානුකුල ධාවනයක නිවේදනයකි. 2008 වසරේ මූල්‍ය කඩා වැටීමටත් 2010 වසරේ බීපී ගල්ෆ් තෙල් ව්‍යසනය සඳහාත් වේදිකාව සැකසුවේ හරියටම මෙම සන්තතිය විසිනි.

අයවැය කප්පාදුවලින් ආරක්ෂා වී ඇත්තේ මිලිටරි හා දේශීය ආරක්ෂක වියදම් පමනකි. සංගතයන්හි ලාභ හා අපනයන තරකර ගැනීමට වැටුප් කප්පාදු ද "රැකියා නිර්මානය කිරීමට’’යැයි කියා මූල්‍ය කප්පාදුද නිවේදනය කර ඇත.

ඇමෙරිකන් ධනවාදයේ ජරපත් වීම හා අර්බුදයේ කොන්දේසි යටතේ "පෞද්ගලික අංශය’’ සහ "නිදහස් වෙලඳපොල’’ ආරක්ෂා කිරීමට ඔබාමා විසින් නිරතුරුව ප‍්‍රකාශ කරන දැඩි කැපවීමේ තේරුම නම් සීඅයි ඕ කාර්මික වෘත්තීය සමිති ස්ථාපිත කල, 1930 ගනන්වල මහජන අරගලවලට පෙරාතුව ව්‍යාප්තව පැවති මට්මට සහ අද දිනයේ ආසියාවේ, නැගෙනහිර යුරෝපයේ හා ලතින් ඇමෙරිකාවේ පැතිර පවතින ලාභ ශ‍්‍රම සුරපුරවල මට්මටද කම්කරුවන්ගේ වැටුප් හා ජීවන මට්මම් ඓතිහාසිකව පෙරලා යැවීමයි.

තම ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීම මත පදනම් වූ වෘත්තීය සමිති, කම්කරු පන්තිය තලා දැමීමෙහිලා සහ වැටුප්, සහන හා රැකියා මත පෙරනුවූ විරූ දරුනු කප්පාදු ක‍්‍රියාත්මක කරවීමෙහිලා ආන්ඩුවේ සහ සංගතවල සහායකයා බවට පරිවර්තන වී තිබේ.

කම්කරු පන්තියට එරෙහි පාලක පන්තියේ ප‍්‍රහාරයේ නව අවධියක් සඳහා මේ සියල්ල පසුබිම සකසා දී තිබේ. අයවැය හිඟයන්ගෙන් බැටකන ප‍්‍රාන්ත හා නගරවලට මූල්‍යමය අතහිත දීම ප‍්‍රතික්ෂේප කිරීම මගින්, ප‍්‍රාන්ත ආන්ඩු විසින් අධ්‍යාපන, සෞඛ්‍යය හා අත්‍යවශ්‍ය සේවා යන අංශවල කරන පෙර නොවූ විරූ කප්පාදුවලට ද සාමූහිකව කේවල් කිරීමට හා වැඩවර්ජනය කිරීමට ඇති අයිතියද ඇතුලත් කම්කරු පන්තියේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත එම ප‍්‍රාන්ත ආන්ඩු විසින් එල්ල කෙරෙන ප‍්‍රහාරයකට ද ඔබාමා පාලානාධිකාරය වක‍්‍රව උදව් කරයි.

රටින් පිටත මිලිටරි කඩාපැනීම් පිලිබඳ ඔබාමාගේ පිලිවෙත පිලිබිඹු කරමින්, ඔහුගේ අභ්‍යන්තර ප‍්‍රතිපත්තියේ ඒකායන අරමුන වූයේ ධනවතුන්ගේ වාසනාව සුරක්ෂිත කරදීම සහ තවත් පුලුල් කර දීමයි. මහා අවපාතෙයෙන් මෙපිට ඇතිවූ දරුනුම සමාජ අර්බුදය මධ්‍යයේදී, සංගත ලාභ ඩොලර් ටි‍්‍රලියන 1.68කට නැග ගත්තේ 2010 වාර්තා බිඳ හෙලමිනි.මෙය වසරක් ඇතුලතදී සියයට 36.8ක වැඩිවීමකි. කොටස් වෙලඳපොල 2010 වර්ෂයේදී වටිනාකම්වලින් ඩොලර් ටි‍්‍රලියනයක් එක් කර ගත්තේය. පසුගිය වසරේ හෙජ් අරමුදල් කලමනාකාර ජෝන් පෝල්සන්ගේ ඩොලර් බිලියන 5හේ දීමනාවේ ගැම්මෙන් සුපිරි විධායක වැටුප් සහ බෝනස් යලිවතාවක් පූර්ව-අර්බුද කාලයේ අශික්ෂිත මට්මම්වලට නැග ගත්තේය.

ඇමරිකාව තුල සමාජ අසමානත්වයේ කැකෑරෙන මට්මට පිලිබඳ දත්ත විශ්ලේෂනය කරමින්, නොබෙල් සම්මානලාභී ආර්ථිකඥ ජෝශප් ස්ටිග්ලිට්ස් සමාජ පිපිරීමක් පිලිබඳව පාලක පන්තියට අනතුරු අඟවා සිටියේය. "1%ක් විසින්, 1%ක් සඳහා 1%කගේ’’ යන හිසින් වැටිනි ෆෙයාර්හි පලවූ ලිපියක ඔහු මෙසේ ලිවීය: "තමන් දිවිගෙවන පීඩක සමාජවල දේශපාලන, ආර්ථික හා සමාජ කොන්දේසිවලට විරෝධය පෑමට මිලියන ගනන් පාරට බසිනු මෑත සතිවලදී අපි දැක ඇත්තෙමු. වීථිවල ජනතා උද්‍යෝගයෙන් අප දැක ගත් පරිදි, අපි අපගෙන්ම අසා ගැනීමට ඇති එක් ප‍්‍රශ්නයක් වන්නේ මෙයයි: එය ඇමෙරිකාවට එන්නේ කවදාද?’’

විස්කොන්සින්හි මෑත සිදුවීම්, එක්සත් ජනපදයේ යෝධ කම්කරු පන්තික අරගල පිලිබඳ නව කාල පරිච්ඡේදයක් ඇඟවුම් කරයි. එහෙත්, වෘත්තීය සමිති හා ඔවුන්ගේ ‘‘වාම’’සගයන් විසින් විස්කොන්සින් ව්‍යාපාරය අවහිර කිරීම එලෙසම තියුනු ලෙස පෙන්නුම් කරන්නේ, ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් කැඩී ගැනීමට ඇති අවශ්‍යතාව සහ ධනවාදී පද්ධතියේ අසමර්ථතාව සඳහා කම්කරු පන්තිය වන්දි ගෙවිය යුතුයැයි ඉල්ලන පාලක පන්තියේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන පමනක් නොව කම්කරුවන්ගේ-- මනා ගෙවීම් සහිත රැකියා, සුව සේවා, අධ්‍යාපනය හා නිවාස වැනි-- සමාජ අවශ්‍යතා සුරක්ෂිත කර දීම පදනම් කරගත් විප්ලවවාදී ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමේත් එම අයිතීන් සුරක්ෂිත කරගැනීමට කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයකත් අවශ්‍යතාවයයි.

මෙම සති අන්තයේදී ඈන් ආබර්හිදී සමාරම්භව, ‘‘අද දිනයේ සමාජවාදය සඳහා සටන’’ යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය මෙම මාසයේ පවත්වන සම්මේලන මාලාවේ අරමුන එවැනි ඉදිරි දර්ශනයක් සාකච්ඡා කිරීම ය. අපගේ පාඨකයන්ටත් පාලක පන්තියට එරෙහිව පෙරලා සටන් කිරීම සඳහා මාවත් සොයමින් සිටිනා සියලු දෙනාටත් එම රැස්වීම්වලට සහාභාගි වීමට සැලසුම් කරන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය දිරිගන්වයි.

ටොම් එලී