රිපබ්ලිකන් අයවැය එක්සත් ජනපද කම්කරුවන්ට එරෙහි පුලුල් ප‍්‍රහාරයක් සඳහා වේදිකාව සකසයි

Republican budget sets stage for expanded assault on US workers

7 April 2011

නියෝජිත මන්තී‍්‍ර මන්ඩලයේ අයවැය කමිටුවේ සභාපති විස්කොන්සින් කොංග‍්‍රස් සභික පෝල් රියාන් විසින් අඟහරුවාදා එලිදක්වන ලද රිපබ්ලිකන් අයවැය යෝජනා ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමකට නො අඩු දෙයකි.

එය, පෙබරවාරියේ දී ප‍්‍රකාශයට පත් කරන ලද ජනාධිපති ඔබාමාගේ 2012 මුදල් වර්ෂය සඳහා වූ අයවැය තුල දැනටමත් අඩංගු දරුනු කප්පාදු පිලිවෙත් ඉක්මවා යයි. එම අයවැය, 2010 දී සම්මත වූ, වියදම් කප්පාදු කරන සෞඛ්‍ය සේවා පිලිසකර පනත සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගත් අතර සමාජ සේවා සඳහා කරන අභිමත වියදම් කැටි කිරීමකට ලක් කලේය.

වර්තමානයේ දී මිලියන 47ක ජ්‍යෙෂ්ට පුරවැසියන් හා ආබාධිත ජනයා ආවරනය කරන ෆෙඩරල් සෞඛ්‍ය සේවා වැඩපිලිවෙල වන මෙඩිකෙයා වැඩපිලිවෙල ක‍්‍රමානුකූලව කප්පාදු කිරීම, දුගී ජනයා සඳහා වන ෆෙඩරල්-ප‍්‍රාන්ත සෞඛ්‍ය වැඩපිලිවෙල වන මෙඩිකේඩ් අවසන් කර දැමීම සහ ආහාර මුද්දර, අධ්‍යාපනය, ප‍්‍රවාහනය, පාරිසරික ආරක්ෂනය, ආහාර සුරක්ෂිත භාවය, ගොවි පොල සහනාධාර සහ සෙසු සේවාවන් දරුනු ලෙස කප්පාදු කිරීම මෙන්ම ෆෙඩරල් සේවකයන්ගේ රැකියා හා විශ‍්‍රාම වැටුප් කප්පාදු කිරීම මගින් ඊලඟ වසර 10 තුල ෆෙඩරල් වියදම් ඩොලර් ටි‍්‍රලියන 6කින් කපා දැමීමට රියාන් යෝජනා කරයි.

1957 දී හෝ ඉන් පසුව උපන් සියල්ලන් සඳහා පුද්ගලික රක්ෂන මිලදී ගැනීමේ ෆෙඩරල් වවුචර ක‍්‍රමයකින් මෙඩිකෙයා වැඩපිලිවෙල විස්ථාපනය කිරීමට රියාන් සැලසුම් කරයි. එම වැඩපිලිවෙල මගින් අර්ථදක්වනු ලැබ ඇති හා සහතික කර ඇති ප‍්‍රතිලාභ සමග මෙඩිකෙයා අවසන් කර දැමීම ඒ හැටියට ම ගත් කල, කෝටි සංඛ්‍යාත මහලු ජනයා දරිද්‍රතාවට ඇද දමයි. මෙඩිකෙයා වැඩපිලිවෙල නීතිගත කල 1965 සිට මේ දක්වා, වයස අවුරුදු 65ට වැඩි ඇමරිකානුවන් අතර නිල දරිද්‍රතා අනුපාතය තුනෙක් දෙකකට ආසන්න ප‍්‍රමානයකින් පහත වැටී ඇත.

රියාන්ගේ සැලසුම යටතේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ මුලු සෞඛ්‍ය සේවා වියදම්වලින් දෙගුනයක් තරම් ප‍්‍රමානයක් දැරීමට අවුරුදු 65ට වැඩි අයට සිදු වන ඇතැයි කොංග‍්‍රස් අයවැය කාර්යාලය පැවසීය. පවත්නා පද්ධතිය තුල දිගටම රැදී සිටින අවුරුදු 55ට වැඩි ජනයාට ඔවුන් ඇතුලත් වීමේ වයසට එලඹුනු කල වඩා ඉහල ආරම්භක ගාස්තු හා සම-රක්ෂන වියදම් ගෙවීමට බල කෙරෙනු ඇත. මෙඩිකෙයා වැඩපිලිවෙල සඳහා සුදුසුකම ලබා ගත හැකි වයස 65 සිට 67 දක්වා ඉහල දැමීමට ද රියාන් යෝජනා කරයි.

ප‍්‍රතිලාභ සහ යෝග්‍යතාව පිලිබඳ ෆෙඩරල් නීති අහෝසි කිරීම, ප‍්‍රාන්තවලට පරිපූර්න ස්වතන්ත‍්‍රභාවය ලබාදීම සහ වැඩෙන අවශ්‍යතා සමග ගැලපෙන පරිදි සකස් නොකෙරෙන ෆෙඩරල් කාන්ඩ ප‍්‍රතිපාදන මගින් සිය වැඩපිලිවෙලවල්වලට මුදල් සපයා ගැනීම මගින් මෙඩිකේඩ් වැඩපිලිවෙල තථ්‍ය වසයෙන් බිඳ විසිරුවනු ඇත. මෙඩිකේඩ් සඳහා වන මුලු වියදම වසර දහයක් තුල සියයට 22කින් (ඩොලර් බිලියන 771කින්) කප්පාදු කෙරෙනු ඇත.

මෙම තීරනාත්මක සෞඛ්‍ය රක්ෂන වැඩපිලිවෙලවල් බිඳ විසිරවීමෙහි දැනුවත් එල්ලයක් වන්නේ, වැඩ කරන හා දුගී ජනයාට ශිෂ්ඨ සම්පන්න සෞඛ්‍ය සේවාවන්ට පවතින ප‍්‍රවිෂ්ටය අහිමි කිරීම මගින් ඔවුන්ගේ ජීවිත අපේක්ෂාව අඩු කිරීමයි. පාලක පන්තිය සමන්විත වන බහු මිලියනපතියන් හා බිලියනපතියන්, ලාභ නිෂ්පාදනය කරනු පිනිස සූරාකෑමට ලක් කල නොහැකි ජනයා වෙනුවෙන් වියදම් කිරීම සලකන්නේ සිය පුද්ගලික ධනයෙන් ඉවසිය නොහැකි කප්පාදුවක් ලෙසය.

රිපබිලිකන් සැලසුම යටතේ, එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ෆෙඩරල් වියදම් 1949 සිට මේ දක්වා පැවති පහලම මට්ටම දක්වා කඩා වැටෙනු ඇත. කෙසේවෙතත්, දශකය තුල අයවැය හිඟයේ අඩුවීම අවම වනු ඇත. ඒ මක් නිසාද යත් සැලසුම ඩොලර් ටි‍්‍රලියන 4.2ක වටිනාකමකින් යුක්ත දැවැන්ත බදු කප්පාදුවක් සංගත සහ ධනවතුන් වෙනුවෙන් ප‍්‍රදානය කිරීමක් ඉල්ලා සිටී. බුෂ් යුගයේ දී ධනවතුන් සඳහා ලබා දුන් බදු කප්පාදු මෙන්ම විශාල වතු සඳහා ප‍්‍රදානය කල බදු කප්පාදු ද වසර දෙකකින් දීර්ඝ කිරීමේ ඔබාමාගේ වැඩපිලිවෙල මෙම සැලසුම මගින් නිත්‍ය බවට පත් කෙරෙනු ඇත. ඉහලම ෆෙඩරල් ආදායම් බදු අනුපාතික මෙන්ම සංගත බදු අනුපාතික සියයට 35 සිට සියයට 25 දක්වා කප්පාදු කිරීම මගින් සංගතවලට හා ධනවතුන්ට දැවැන්ත වාසියක් එමගින් ලබා දෙනු ඇත.

අයවැය සැලසුම වනාහි, එක්සත් ජනපදයේ සියවසක සමාජ ප‍්‍රගතිය ආපසු හරවා කම්කරුවන් දරුනු දරිද්‍රතා හා කාලකන්නි කොන්දේසි යටතේ ජීවත් වූ යුගය කරා යලි යාමේ යෝජනාවකි. දක්ෂිනාංශික උම්මත්තකයකුගේ ෆැසිස්ට් ඝෝෂාවක් ලෙස එවන් කතා නොසලකා හැර වැඩි කලක් ගත වී නැත. අද, එහි ඩිමොක‍්‍රැටික් විවේචකයන් මෙන්ම එහි ආධාරකරුවන් ද එය යුක්තියුක්ත සහ අයවැය විවාදයට "බැරෑරුම් ප‍්‍රතිපදානයක් ලෙස පවා පොදුවේ පිලිගැනෙයි.

ඔබාමා රියාන්ගේ යෝජනාව පිලිබඳව කතා කිරීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඩිමොක‍්‍රැටික් පක්ෂයට හේත්තු වී සිටින ආයතන ඇතුලු, මාධ්‍ය, එය පිලිබඳව පොදුවේ කටයුතු කර ඇත්තේ, මිලියන ගනනක් ඇමරිකානුවන් වෙනුවෙන් එය ඇති කරන ව්‍යසනකාරී ඇඟවුම් පැහැදිලි කිරීම ප‍්‍රතික්ෂේප කරමින්, වඩාත්ම වියුක්ත හා නොගැඹුරු ආකාරයකිනි.

නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ තීරුලිපි රචක ඩේවිඩ් බෲක්ස්, අඟහරුවාදා ලිපියක් ලියමින් අයවැය සැලසුම ප‍්‍රශංසාවට ලක් කලේය:

"අද, නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ අයවැය කමිටුවේ රිපබ්ලිකන් සභාපති පෝල් රියාන්, අපගේ ජිවිත කාලයන් තුල අප කිසිවෙක් හෝ දැක නැති වඩාත්ම සංගෘහිත හා වඩාත්ම ධෛර්ය සම්පන්න අයවැය ප‍්‍රතිසංස්කරන යෝජනා එලිදැක්වීමට නියමිතය. රියාන්, ජනාධිපතිගේ අකර්මන්‍යතාව විසින් නිර්මානය කර ඇති රික්තය තුලට පිම්මක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. රියාන්ගේ අයවැය මේ වර්ෂයේ දී නීතිගත කෙරෙනු නැත. එහෙත් එය දේශීය පිලිවෙත් විවාදය ක්ෂනිකව යලි හැඩගස්වනු ඇත.

"රියාන්ගේ අයවැය සියලු අනාගත තර්ක නිසි සන්දර්ය තුල තබනු ඇත: වත්මන් සුබසාධන රාජ්‍යය හුදෙක් පවත්වා ගෙන යා නොහැකි එකක් වන අතර වමේ හෝ දකුනේ සිටින ඕනෑම බැරෑරුම් අයෙකුට සමාජ ගිවිසුම පිලිබඳ නව දැක්මක් ඇති කර ගැනීමට සිදු වේ.”

වොෂිංටන් පෝස්ට් බදාදා කතුවැකියකින් මෙසේ සඳහන් කලේය: "අඟහරුවාදා එලිදක්වන ලද නියෝජිත මන්තී‍්‍ර මන්ඩලයේ අයවැය කමිටුවේ සභාපති පෝල් රියාන්ගේ අයවැය සැලසුම පිලිබඳව ප‍්‍රශංසා කිරීමට ඇති ප‍්‍රථම කාරනාව නම් එය පවතින බවයි. විස්කොන්සින් රිපබ්ලිකන් සභිකයා නය පිලිබඳව කටයුතු කිරීමට සැලසුමක් සකසා ඇත. එය ඔහුගේ ඩිමොක‍්‍රැටික් සගයන්ට හෝ ජනාධිපති ඔබාමාට පැවසිය හැකි දෙයට වඩා වැඩි යමකි. . . .”

වයස්ගත පුද්ගලයන් සඳහා වන සමාජ සංරක්ෂන විශ‍්‍රාම ක‍්‍රමයේ සුවිශේෂ කප්පාදු ඇතුලත් නොවන රියාන්ගේ සැලසුම, එම මුල්ගලක් වන් සමාජ ප‍්‍රතිසංස්කරන පිලිවෙත විනාශ කිරීම සඳහා ද පූර්විකාව බව වෝල් ස්ටී‍්‍රට් ජර්නල් හි බදාදා පල වූ ප‍්‍රධාන කතුවැකිය පැහැදිලි කලේය.

"රියාන් මහතාගේ අයවැය එලිදැක්වීම . . . දේශපාලනය හා පිලිවෙත් සම්බන්ධ වැදගත් මොහොතකි. ඒ මක් නිසාද කියතොත්, එය වනාහි අඩු ගනනේ පරම්පරාවක දී ආන්ඩුව ප‍්‍රතිසංස්කරනය කිරීමට ගත් වඩාත්ම බැරෑරුම් ප‍්‍රයත්නය වන බැවිනි. . . . ඩොලර් ටි‍්‍රලියන 17ක මූල්‍ය සම්පාදනයෙන් තොර බැරකම් සහිතව විශ‍්‍රාම හිමිකම් පවත්වා ගෙන යා නොහැකි දෙයක් බව සෑම අයෙකුම දන්නා නමුත්, රියාන් මහතා සමාජ සංරක්ෂන වැඩපිලිවෙලට සෘජුව ම අත තැබීමේ අවදානම නොදැරීමට තීන්දු කලේය. පිලිවෙත් සම්බන්ධ කාරනාවක් ලෙස ගත් කල, සමාජ සංරක්ෂන වැඩපිලිවෙල විසඳීමට පහසුම ගැටලුව ද වේ -- ප‍්‍රතිලාභ සූත‍්‍රය, එනම්, ප‍්‍රතිලාභ ලැබීමේ සුදුසුකම පරීක්ෂා කිරීමේ ක‍්‍රමය, වෙනස් කිරීම, විශ‍්‍රාම යන වයස ඉහල දැමීම සහ තවත් ක‍්‍රම ඒ සඳහා යොදා ගත හැකිය.

පමන ඉක්මවා දරුනු වූ ද පොහොසතුන් සම්බන්ධයෙන් උවමනාවට වඩා ත්‍යාගශීලී වූ ද වැඩපිලිවෙලක් ලෙස, නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය, සිය කතුවැකි පිටුව තුල, රිපබ්ලිකන් සැලසුම විවේචනය කල නමුත් එම ලිපිය සමාප්ත කොට තිබුනේ කප්පාදු පිලිවෙත්වල අවශ්‍යතාව පිලිබඳව රියාන් සමග පවත්නා සිය පොදු එකඟතාව තහවුරු කරමිනි. "අයවැය හිඟය බැරෑරුම් ගැටලුවක්” වන "නමුත් රියාන්ගේ සැලසුම බැරෑරුම් විසඳුමක් නොවේ.” යයි එය ලිවීය.

රියාන් සහ රිපබ්ලිකන්වරු දන්නා පරිදි, ඩිමොක‍්‍රැටික්වරු ධවල මන්දිරයේ හා සෙනෙට් සභාවේ බලය දරන බැවින්, 2012 මැතිවරනයට පෙරාතුව මෙම සැලසුම කි‍්‍රයාවට දැමීමේ අවස්ථාවක් මුලුමන්ම පාහේ නැති තරම්ය. ඒ කෙසේවෙතත්, එය වැඩ කරන ජනතාවගේ හා තරුනයන්ගේ සමාජ කොන්දේසිවලට හා ජීවන තත්වයන්ට එරෙහි ද්වි-පාක්ෂික ප‍්‍රහාරය තීව‍්‍ර කිරීමෙහි ලා තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටු කරයි.

"මධ්‍යම පන්තියේ” ආරක්ෂකයන් හා රිපබ්ලිකන් දක්ෂිනාංශයට එරෙහිව පවත්නා එකම විකල්පය ලෙස පෙනී සිටින අතරම, මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ සෙසු සමාජ වැඩපිලිවෙලවල් මත එල්ල කරන සිය ප‍්‍රහාර ද සංගත ප‍්‍රභූවට ලබා දෙන සිය බදු සහන ද පිලිබඳ ඉල්ලීම ඉහල දැමීම සඳහා ඔබාමාට සහ ඩිමොක‍්‍රැටික්වරුන්ට අවශ්‍ය දේශපාලන කොන්දේසි රිපබ්ලිකන් සැලසුම මගින් නිර්මානය කෙරෙයි.

නිල දේශපාලන හා මාධ්‍ය ක්ෂේත‍්‍රය පුරා, රියාන්ගේ සැලසුමේ සාරභූත රාමුව -- එනම්, කම්කරු පන්තිය, සිය ජීවන මට්ටම් නිරන්තරයෙන් වේදනාකාරී කප්පාදුවලට ලක් වීම හරහා, බැංකු ඇප දී ගලවාගැනීමේ ප‍්‍රතිඵලයක් වූ දැවැන්ත නය කන්දරාවේ, මූල්‍ය ප‍්‍රභූවට ලබා දුන් බදු සහනවල සහ ඇමරිකානු ධනවාදයේ සමස්ත අර්බුදයේ ම බරට කර ගැසිය යුතු ය යන්න -- පිලිබඳ පිලිගැනීමක් පවතී.

ඩිමොක‍්‍රැටික්වරු, රිපබ්ලිකන්වරුන්ට නො අඩු ලෙස, ඇමරිකානු පාලක පන්තිය නියෝජනය කරන අතර එහි අවශ්‍යතා ආරක්ෂා කරයි. ඔවුහු, නිල විවාදය සහ ආන්ඩුවේ පිලිවෙත තව දුරටත් දකුනට තල්ලු කිරීමේ විධික‍්‍රමයක් ලෙස, සමාජ ප‍්‍රතිවිප්ලවයකට සමාන පිලිවෙතක් සඳහා වූ රිපබ්ලිකන්වරුන්ගේ කැඳවුම සාදරයෙන් පිලිගනියි.

එනයින්, ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජේ කාර්නෙයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, පාලනාධිකාරයේ නිලධාරින් රියාන්ගේ එල්ලයන් සමග එකඟ වන නමුත් ඔහුගේ ප‍්‍රවිෂ්ටය සමග එකඟ නොවන බවයි. සෙනෙට් සභාව තුල, ඩිමොක‍්‍රැටික් අයවැය කමිටු සභාපති කෙන්ට් කොන්රාඩ්, ඉහල බදු, ප‍්‍රධාන වසයෙන් වැඩ කරන ජනතාව මත පනවන බදු, සහ මෙඩිකෙයා හා මෙඩිකේඩ් වැනි හිමිකම් වැඩපිලිවෙලවල් කප්පාදු කිරීම හරහා ජාතික නය අඩු කරන ද්වි-පාක්ෂික මූලෝපායක් සැකසීමේ යෙදී සිටී.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිල අයවැය විවාදයේ සමස්ත රාමුව ම ප‍්‍රතික්ෂේප කරයි. අර්බුද-ග‍්‍රස්ත හා ඓතිහාසිකව බංකොලොත් ධනපති ක‍්‍රමයට මුක්කු ගසනු පිනිස වැඩ කරන ජනතාව කැප කල යුතුය යන ප‍්‍රස්තුතය අපි ප‍්‍රතික්ෂේප කරමු. පාලක පන්තිය හා එහි දේශපාලන දාසයන් වෙතින් ගලා එන මෘග යෝජනා, මෙම ක‍්‍රමය පෙරලා දමා සමාජවාදය මගින් එය විස්ථාපනය කිරීම සඳහා වඩාත්ම ප‍්‍රධාන තර්කය සම්පාදනය කරයි.

එකිනෙකට පරස්වර විරෝධී පිලිවෙත් දෙකක් පවතී: එනම්, පුද්ගලික ධනය හා ලාභ සඳහා මූල්‍ය වංශාධිපතීන්ට පවතින "අයිතිය” පිලිබඳව අවධාරනය කරන පාලක පන්තියේ හා එහි පක්ෂ දෙකේ ම පිලිවෙත සහ කම්කරු පන්තියේ අවශ්‍යතා ප‍්‍රකාශයට පත් කරන විප්ලවවාදී සමාජවාදී පක්ෂයේ පිලිවෙතයි. සුරක්ෂිත හා හොඳ වැටුප් සහිත රැකියා, සෞඛ්‍ය සේවාව, නිවාස, අධ්‍යාපනය, සුවපහසු විශ‍්‍රාම දිවියක්, යුද්ධයෙන් හා මර්දනයෙන් තොර ලෝකයක්, තරුනයන් සඳහා අනාගතයක් සඳහා කම්කරු පන්තියට සමාජ අයිතිවාසිකම් ඇති බවත් පාලක පන්තියේ ධනයට හා වරප‍්‍රසාදයන්ට එරෙහි සෘජු ප‍්‍රහාරයක් මගින් එම අයිතීන් සුරක්ෂිත කරගත යුතු බවත් අපි අවධාරනය කරමු.

පාලක පන්තියේ සියලු දේශපාලන පක්ෂවලින් හා නියෝජිතයන්ගෙන් ස්වාධීන මහජන සමාජවාදී ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම ඒ සඳහා අවශ්‍ය ය. සසප, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙම ව්‍යාපාරය ගොඩනැගීමේ දී පදනම් විය යුතු කි‍්‍රයාමාර්ගය සාකච්ඡා කරනු පිනිස, මෙම සති අන්තයේ මිචිගන් ප‍්‍රාන්තයේ ඈන්ආබර් නගරයෙන් ආරම්භ කරමින්, "අද සමාජවාදය සඳහා සටන” යන මැයෙන්, මෙම මාසය තුල සම්මන්ත‍්‍ර මාලාවක් පවත්වයි.

අපගේ පාඨකයන්ගෙන් ද සමාජ කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ට සහ ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ යුද්ධවලට විරුද්ධව සටන් කිරීමේ මාවතක් සොයමින් සිටින සියල්ලන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ, එම සම්මන්ත‍්‍රනවලට සහභාගි වන ලෙස ය. ඒ සඳහා ලියාපදිංචි වීම හෝ තොරතුරු ලබා ගැනීම පිනිස මෙහි ක්ලික් කරන්න.

බැරී ග්‍රේ