ශී‍්‍ර ලංකාවේ උතුරු පලාතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු දරුනු ප‍්‍රහාරයකට ලක්වෙයි

Brutal assault on senior journalist in northern Sri Lanka

By S. Ramesh, 5 August 2011

ජුලි 29 දා සවස නන්නාඳුනන මැර කල්ලියක් යාපනයේ පලකෙරෙන උදයන් පුවත්පතෙහි කර්තෘ ඥානසුන්දරම් කුගනාදන් ඝාතනය කිරීමට උත්සාහ දැරීය. හිසට සිදුවූ බරපතල තුවාල වලට යාපනය රෝහලේදී ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුට සිහිය ලැබුනේ දින තුනකට පසුව ය. වසර 22 ක් උදයන් පුවත්පතෙහි සේවය කර ඇති ඔහුගේ වයස අවුරුදු 59 කි.

උතුරේ පලාත් පාලන මැතිවරනය පවත්වා හරියට ම සතියක් ගතවත්ම මෙම ප‍්‍රහාරය එල්ල විය. මැතිවරනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක පක්ෂයට ජය ගත හැකිවූයේ පලාත් පාලන ආයතන 20 න් 3 ක් පමනක් වන අතර 15 ක් ජයගත්තේ විරුද්ධ පක්ෂයට අයත් දෙමල ජාතික සන්ධානයයි (ටීඑන්ඒ). උදයන් පුවත්පත අයත්වූයේ ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙකු වන ඊ. සරවනපාවන්ට ය. ඔහු ටීඑන්ඒයට ක‍්‍රියාකාරීව සහාය දුන් අයෙකි.

ටීඑන්ඒය දෙමල ධනපති පන්තියේ ප‍්‍රධාන පක්ෂයක් වන අතර සමාජවාදී සමානතා පක්ෂය (සසප) දේශපාලන වශයෙන් මොනම සහයෝගයක්වත් ටීඑන්ඒ වෙත නොදැක්වුව ද කුගනාදන් වෙත එල්ල කල මෙම මිනීමරු ප‍්‍රහාරය තරයේ හෙලා දකියි. මෙම ක‍්‍රියාව ආන්ඩුවට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් යටපත් කිරීමේ ප‍්‍රයත්නයක් බව ඉතාමත්ම පැහැදිලිය.

රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍යයන් වෙත එල්ල කල ප‍්‍රහාරයන් මාලාවන්ගේ නවතම ප‍්‍රහාරය වන්නේ කුගනාදන් වෙත එල්ල කල ප‍්‍රහාරයයි. 2009 වසරේ දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය වීමෙන් අනතුරුව යුද්ධයෙන් විනාශ කල උතුරු ප‍්‍රදේශයන්හි සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මානය කර ඇති බවට ආන්ඩුව ගෙන යන ප‍්‍රචාරයන් බොරු මවාපෑම් බව මෙම මිනීමැරුම් ප‍්‍රයත්නයන්ගෙන් මනා ලෙස හෙලිදරව් වන්නේය.

පසු ගිය ජූලි 29දා ප.ව 7.30 ට පමන යාපනය නාවලර් පාරේ පිහිටි තම නිවසට කාර්යාලයේ සිට පයින් ඇවිදගෙන යමින් සිටිය දී නාඳුනන මැරයෝ දෙදෙනෙක් මෝටර් බයිසිකලයකින් පසුපසින් පැමින කුගනාදන්ගේ හිසට සහ ශරීරයට යකඩ පොලුවලින් පහර දී පැන ගියහ. පසුව උදයන් පුවත් පතෙහි තම සගයෝ ඔහුව රෝහල වෙත ඉක්මනින් රැගෙන ගියහ.

මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැත. පොලිසිය සුපුරුදු පරිදි ප‍්‍රකාශ කර ඇත්තේ මෙය නාඳුනන "පුද්ගලයන්ගේ” ප‍්‍රහාරයක් බවය. කෙසේ වෙතත් මීටර් 15 කට ඔබ්බෙන් හමුදා මුරකාවල් මුලු දවස පුරාවට යොදා තිබූ අතර ප‍්‍රහාරකයන්ට කිසිදු අවහිරයක් නොමැතිව පැන යාමට ඉඩ ලැබී ඇත. උතුරේ පැලපදියන් වී ඇති හමුදාවේ යටි කූට්ටු සහයෝගය නොමැතිව මෙවැනි ක‍්‍රියාවන්ට කිසිදු ඉඩක් නොලැබෙන්නේය.

මෙම පහරදීම කර ඇත්තේ මැතිවරන පරාජය ඉවසාගත නොහැකි කන්ඩායමක් බව උදයන් පුවත්පත් ප‍්‍රකාශක සරවනපාවන් ප‍්‍රකාශ කර සිටියේය. මැතිවරන පරාජයෙන් වියරු වැටුනු ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) සම්බන්ධ බව ඔහු කෙලින්ම නම් නොකර ව්‍යංගයෙන් ඇඟවූයේය. ඊපීඩීපීය වත්මන් සභාග ආන්ඩුවේ සහායක පක්ෂයක් වන අතර එහි නායකයා වන ඩග්ලස් දේවානන්ද කැබිනට් ඇමතිවරයෙකි. අර්ධ නිල නොවන භට කන්ඩායම් හමුදාව සමග වැඩ කරති.

සිද්ධියෙන් අනතුරුව රාජපක්ෂ වහාම පරීක්ෂනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සුපුරදු පරිදි උපදෙස් දුන්නේය. දුසිම් ගනන් මාධ්‍යවේදීන් පහර කෑමට ලක්වූ නැතහොත් ඝාතනයට ලක්වූ අවස්ථාවලදී ඒවා ආවරනය කිරීම සඳහා රාජපක්ෂ නිරන්තරව පරීක්ෂන පැවැත්වීමේ මෙවන් නියෝග දුන්නේ ය. මෙම කිසිදු පරීක්ෂනයකින් පොලිසිය කිසිදු තොරතුරක් සොයා ගැනීමට අසමත් වූයේ ය.

මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ආන්ඩුව ආරක්ෂා කරමින් නින්දිත ලෙස මෙසේ ප‍්‍රකාශ කලේය. "කුගනාදන්ට පහර දීම පෙන්වමින් ලංකාව තුල මාධ්‍ය නිදහස නැතැයි අපට ප‍්‍රකාශ කල නොහැක.”

ඇත්ත වශයෙන්ම උදයන් පුවත්පත පමනක් මෙබඳු ප‍්‍රහාරයන්ට කිහිප වතාවක් මුහුන දුන්නේ ය. 2006 වසරේ මැයි මාසයේදී ආයුධ සන්නධ කන්ඩාමක් විසින් පුවත්පත බෙදාහැරීමේ කලමනාකරු ඇතුලු දෙදෙනෙක් ඝාතනය කර කිහිපදෙනෙකුට තුවාල සිදු කලහ. ප‍්‍රහාරකයෝ කුගනාදන් සෙවූ නමුත් බැහැරට නොගොස් කාර්යාලය තුල සැගවී සිට ඔහු තම ජීවිතය ගලවා ගත්තේය.

2006 පටන් මේ දක්වා වාර්තාකරුවන් හතරක් ඇතුලුව උදයන් පුවත් පතෙහි හයදෙනෙක් ඝාතනය කර තිබේ. එක් වාර්තාකරුවකුවූ එස්.කවිදරන් මෙබඳු ම ප‍්‍රහාරයකින් පසුගිය මැයි 28 දින මැර කන්ඩායමක් විසින් ඝාතනය කෙරිනි.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය (ආර්ඩබ්ලිව්බී) පහරදීම හෙලාදකිමින් වහාම පරීක්ෂනයක් ඉල්ලා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප‍්‍රකාශ කලේය. "ප‍්‍රචන්ඩත්වය යොදාගත් ආකාරයෙන් පෙනීයන්නේ ඝාතනය කිරීම සඳහා ම ප‍්‍රහාරය එල්ල කල බව ඉතාමත් පහැදිලි ය. මෙම ප‍්‍රහාරය පසුගිය වර්ෂය තුල යම් තරමක අඩුවීමක් පෙන්නුම් කල මාධ්‍යවේදීන්ට එරෙහි ප‍්‍රචන්ඩ කි‍්‍රයාවල නව රැල්ලක පූර්විකාවක් නොවිය යුතුය. මේ හේතුව නිසාම බොහෝ මාධ්‍යවේදීන් රට හැර පලාගොස් ඇත. දන්ඩ මුක්තිය දිගටම වැරදි කරන්නන් දිරි ගන්වන බව අපි බලධාරීන්ට මතක් කරමු.

නිව් යෝර්ක් නගරයේ පිහිටුවා ඇති මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මැහෝනි මෙසේ ප‍්‍රකාශ කලේය. "ශ‍්‍රී ලංකා බලධාරීන් බෙහෝ කලක පටන් නිශ්චිත එල්ලයක් ඇතිව කරන අතුරුදහන් කිරීම් සහ මිනීමැරීම් පිලිබඳව උදාසීන පිලිවෙතක් අනුගමනය කරයි. මෙය වහාම අවසන් කල යුතුය.”

මාධ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවලට අනුව පසුගිය දසකය තුල මාධ්‍ය සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුලව 17 දෙනෙකු ඝාතනයට ලක්වුන අතර 50 දෙනෙකු පමන ජීවිත බෙරා ගැනීම සඳහා රටෙන් පලාගියහ. ආන්ඩුව සිවිල් යුද්ධය කාලය තුලදී මාධ්‍යන් වෙත මර්දනය තීව්ර කර යුද්ධය අවසන්වීමෙන් පසුව ද එය දිගටම පවත්වා ගෙනයයි. ආන්ඩුවට එරෙහිවන්නන් නිහඬ කිරීම සඳහා පොලිස් රාජ්‍ය මර්දනයේ කොටසක් වශයෙන් දැන් එය ක‍්‍රියාවේ යොදවයි.

මාධ්‍ය මර්දනයන් දෙමල සංවිධාන හා මාධ්‍ය ආයතනවලට පමනක් සීමාවී නොමැත.

2009 ජනවාරි මස 8 වෙනි දින කොලඹ දී මහ දවාලේ සන්ඩේ ලීඩර් කතු වරයාවූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේය. ප‍්‍රහාරකයන්ට මිලිටරි ආරක්ෂක මුර පොලවල් තිබිය දී පහසුවෙන් පැන යාමට ඉඩ ලැබීම නිසා මෙම ඝාතනයට ආන්ඩුවේ සහයෝගය ලැබෙන බව නැවත වතාවක් ප‍්‍රදර්ශනය වීය. ඊට දින දෙකකට පෙර එම්ටීවී මාධ්‍ය ජාලයේ සිරස නාලිකාවට මැර කන්ඩායමක් පහර දුන්හ.

2010 ජනවාරි මාසයේ දී ලංකාඊනිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කලේය. 2011 පෙබරවාරි දී එම කාර්යාලය ගිනි තබා විනාශ කලේය. එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් සුරැකීමේ කාර්යාලයේ ප‍්‍රකාශිකා රවීනා ශාම්දාසනී එක්නැලිගොඩ අතුරුදහන් කොට මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂනයක් ඉල්ලා සිටියාය.

මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වූ මානව හිමිකම් ට‍්‍රස්ට් ෆන්ඩ් නමැති සංවිධානයේ පට්ටනි රසීක්ගේ යයි සැකකරනු ලැබූ දේහය පසුගිය සතියේ වලදමා තිබී පොලීසිය විසින් ගොඩ ගනු ලැබීය.

මෙම කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර නීතිය ඉදිරියේ වරදකරුවන් කරනු තබා පොලීසිය මිනීමරුවන්වත් හඳුනා ගෙනවත් නැත.

කුගනාදන් වෙත එල්ල කල මෙම ප‍්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ආන්ඩුව සුලු හෝ විරුද්ධත්වයක් නොඉවසන බවය. එල්ටීටීඊ පරාජය දක්වාම එහි පාර්ලිමේන්තු හඬ ලෙස ක‍්‍රියා කල ටීඑන්ඒ දේශපාලනයට උදයන් පුවත්පත සහය දුන්නේ ය. දෙමල ප‍්‍රභූව සඳහා බලය බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන් ටීඑන්ඒ දැන් ආන්ඩුව සමග සාකච්ඡාවක යෙදී සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම පරිදි කප්පාදු වැඩ පිලිවෙල ක‍්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දෙයි. කුගනාදන්ට එල්ල කෙරුනු බරපතල ප‍්‍රහාරය කම්කරු පන්තිය සැලකිය යුත්තේ ජීවන තත්වයන් කබාසීනියා කිරීමට එරෙහිව පැතිරෙන අසහනකාරී පෙරලිකාරීත්වයන් තුලදී පොලිස් රාජ්‍ය විධික‍්‍රමයන් යොදා ගැනීමේ තවත් අනතුරු ඇඟවීමක් ලෙස ය.