චීන ආර්ථික අස්ථාවරත්වය ගැන මූල්‍ය වෙලඳපොල බිය පලකරයි

Financial markets fear Chinese economic instability

By John Chan, 22 July 2011

දෙවන කාර්තුවේ වාර්ෂිකගත ආර්ථික වර්ධන වේගය සියයට 9.5 ක් ව ඇති අතර එය පලමු කාර්තුවේ සියයට 9.7 ට වඩා යන්තමින් පහලට වැටී ඇති බවට චීනයේ සංඛ්‍යාලේඛන ජාතික බියුරෝව ගිය සතියේ ප‍්‍රකාශ කලේය. කෙසේවුවද, චීනයේ ප‍්‍රත්‍යස්ථභාවය ගැන සාක්ෂි සපයන ආරංචියෙන් ඔල්වරසන් දීම වෙනුවට, බලාපොරොත්තු වූ අගයට වඩා ඉහල අගයක් ගැනීම භයානක ආර්ථික අස්ථාවරත්වයක ලක්ෂනයක් බවට මූල්‍ය කටයුතු සම්බන්ධ මුද්‍රිත මාධ්‍ය අනතුරු ඇඟවීය.

පාලනයකින් තොරවූ නිවාස හා කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් බුබුල ගැන දත්ත මගින් තව දුරටත් සාක්ෂි සැපයෙන බවට ෆයිනෑන්ෂල් ටයිම්ස් අනතුරු ඇඟවීය. එය තවදුරටත් මෙසේ ලීවේය. "ආර්ථිකය පාලනය කිරීමට චීන බලධාරීන්ට ඇති හැකියාව ගැන නොසෙල්වෙන විශ්වාසයකින් කොටස් කරුවන් පසුවන බව පෙනේ. මෙය මායාවක් පමනක් බවට වන භයානකත්වයක් වැඩෙමින් පවතී.”

ඉකොනොමිස්ට් සඟරාව ද සමාන ප‍්‍රශ්න ඉදිරිපත් කලේය. "චීන ආර්ථිකය ඉක්මන් ගොඩබෑමකට යාමක් ගැන සැක සංකා අස්වසාලන්නට ඉලක්කම් උදව් විය. නමුත් ආර්ථිකය ඇත්තටම ගොඩබාවිදැයි යම් සැක සංකා එමගින් ඉස්මතු වී තිබේ.... ආර්ථිකයේ වේගය ක‍්‍රමානුකූල විය හැක. නමුත් එය නඩත්තු කල නොහැකි තරම් ප‍්‍රවේගකාරීය.”

සංඛ්‍යාලේඛන ජාතික බියුරෝවට අනුව මැයි වලදී පැවති සියයට 13.3 ට සාපේක්ෂව වසරකට පෙර පැවති තත්වයන් හා සැලකීමේදී සියයට 15.1 ක වර්ධනයක් අත්කරගත් කාර්මික නිෂ්පාදන ක්ෂේත‍්‍රය වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වුනි. නමුත්, 2010 වසරේ සමාන කාලසීමාව හා සැසඳීමේදී සියයට 32.9 කින් ඉහලයමින් වසරේ පලමු අර්ධයේදී යුවාන් ටි‍්‍රලියන 2.625 (ඇ. ඩො. බිලියන 405) ක් වූ ඉඩම් හා දේපල වෙලඳාම් ආයෝජනයෙහි ප‍්‍රතිපලය මෙහිදී ප‍්‍රධාන කරුනක් විය.

පසුගිය ඔක්තෝබරයේ සිට පොලී අනුපාත පස් වතාවක් ඉහල දැම්ම ද සහ නිවාස හිමිකම් පාලනයට පරිපාලන වැඩපිලිවෙලවල් ගනනාවක් පැවතියේ වුවද, ඉඩම් වෙලඳාම් වෙලඳපොලෙහි මෙම ව්‍යාකූල සහගත ක‍්‍රියාපිලිවෙල අඩුවක් නොමැතිව කරගෙන ගියේය. වසරේ මුල් භාගයේදී වෙලඳ සහ නිවාස දේපල අලෙවිය සියයට 24.1 කට ඉහල ගියේය.

වියරු සහගත සමපේක්ෂන සමග ගැලතී පැහැදිලි භයානකත්වය පැවතියේ වුවත්, දැන් ප‍්‍රධාන ආර්ථික ගාමක බලවේගය බවට එය පත්ව ඇති හෙයින් දේපල වෙලඳාම් ඉතා ක්ෂනිකව මැඩ පැවැත්වීමට බීජිං හට දරා ගත නොහැක. ප‍්‍රතිපලයක් හැටියට, නව බැංකු නයදීම් අඩුවෙමින් පවතිද්දීත්, පසුගිය වසර දෙක පුරා ඩොලර් ටි‍්‍ර‍්‍රලියන 2.7 ක් ආර්ථිකයට පොම්ප කිරීමෙන් පසු මේ වසරේදී එය යුවාන් ටි‍්‍රලියන 7.5 ක් හෝ ඇ.ඩො. ටි‍්‍රලියන 1.15 ක් බවට තක්සේරු කර තිබේ.

කැපිටල් ඉකොනොමික්ස් හි මාක් විලියම්ස් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත මෙසේ විස්තර කලේය. "දැනටමත් සුවිශේෂීව අඩු වියදම් මට්ටමක ඇති බවට ගනන් බලා ඇති පරිභෝජනය, දදේනි යේ කොටසක් ලෙසට දිගින් දිගටම කඩා වැටෙමින් තිබේ. රජය පිලිගෙන ඇති ලෙසට, මෙම වර්ධන රටාව තිරසාර නොවේ. ආයෝජන-ප‍්‍රමුඛ වර්ධනය දිගටම කෙරීගෙන ගියහොත්, බැංකු ක්ෂේත‍්‍රය දුර්වල කරමින් ප‍්‍රාග්ධනය වැරදි අතට යොමු වීමේ දැවැන්ත අවදානමක් ඇතිවිය හැකි අතර එම අධිධාරිතාව බරපතල කරනාවක් වනු ඇත.”

වෙනත් වචනවලින් පැවසුවහොත්, නව නිවාස දේපලවල ව්‍යාකූල සහගත ඉදිකිරීම් සහ මිලදී ගන්නට හෝ කුලියට ගන්නට වැඩකරන ජනතාවට ඇති හැකියාව අතර සමානතාවයක් නැත. අඩු ආදායම් පවුල් සඳහා සහනාධාර නිවාස මිලියන 10 ක් ඉඳිකරන්නට බීජිං පොරොන්දුවීම නිවාස මිල දරාගැනීමේ හැකියාව ඉතා අඩු බවට සාක්ෂියකි. කෙසේවුවද. අරමුදල් හිඟකම හේතුවෙන් මිලියන 4 ක් පමනක් මේ වසරේදී නිමවේයැයි බලාපොරොත්තු වේ.

මෙම දේපල සමපේක්ෂන, 2008 දී පැනනැගුනු ගෝලීය ආර්ථික අර්බුදයට චීන ආන්ඩුවේ ප‍්‍රතිචාරයේ ප‍්‍රතිපලයකි. රාජ්‍ය බැංකු වෙතින් අඩු පොලී නය ප‍්‍රවාහයක් මුදාහැරීම ඇතුලත්ව දැවැන්ත උත්තේජන සමූහයක් බීජිං ප‍්‍රකාශයට පත් කලේය. ඉහල මූල්‍ය ප‍්‍රතිලාභ ලැබුනු දේපල වෙලඳපොල වෙතට මෙම මුදල් බොහොමයක් යෙදවුන අතර එමගින් වානේ සහ සිමෙන්ති වැනි ඒ හා බැඳුනු කර්මාන්තවල නැගීමට ද ආධාර විය.

යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනයට සහ දේපල බුබුල මත ආයෝජනය කිරීමට, ප‍්‍රාදේශීය ආන්ඩු බහුලව නය ලබා ගත්තේය. ගිය වසර අවසානයේදී ප‍්‍රාදේශීය ආන්ඩුවල නය අවම වශයෙන් ඩොලර් ටි‍්‍රලියන 2.2 ක් හෝ දදේනියෙන් සියයට 40 පමන බවට තක්සේරු කරන ලදී. දුර්වලව සැලසුම් කල යටිතල පහසුකම් හා අනෙකුත් දේපල ව්‍යාපෘති නිසා, ප‍්‍රාදේශීය ආන්ඩුවල නොගෙවිය හැකි නය විභවය ඩොලර් බිලියන 460 පමනට විශාල විය හැකිය.

චීනය දැන් සෑම දින 6කට වරක්ම අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරයි. 2016 වන විට මුලු අගය, එක්සත් ජනපදයේ පවතින සංඛ්‍යාවට වඩා හතර ගුනයක් වන, 800 දක්වා යනු ඇතැයි ගනනය කර ඇත. එක් උදාහරනයක් ලෙසට, දැනට ලෝකයේ ඇති උසම ගොඩනැගිලි අතර තෙවැනි තැනෙහි පසුවන ෂැංහයි ලෝක මූල්‍ය මධ්‍යස්ථානයට වඩා උසැති මීටර් 528 උස අහස සූරන ගොඩනැගිල්ලක් තනන්නට ජනප‍්‍රියත්වයෙන් අඩු නගරයක් වන ෆන්චෙන්ගන් සැලසුම් කරමින් සිටී. මෙම "ප‍්‍රතිරූප ව්‍යාපෘති” බොහොමයක් අලෙවිකිරීමට හෝ කුලියට දීමට ඇති හැකියාව අඩු බැවින් නොගෙවිය හැකි නයවල මූලාශ‍්‍ර වනු ඇත.

දේපල වෙලඳපොලෙහි කිසියම් වූ පසුබෑමක් හෝ කඩාවැටීමක් චීනයේ ආර්ථික සහ මූල්‍ය ක‍්‍රමය මත බරපතල බලපෑමක් ඇති කරනු ඇත. උත්පේ‍්‍රරක වැඩපිලිවෙලෙහි අවසානය ලෙසට මෙන්ම, එජය, යුරෝපය සහ ජපානය වැනි චීනයේ ප‍්‍රධාන වෙලඳපොලෙහි අඩු වර්ධනය හේතුවෙන් ආර්ථික වර්ධනයේ පෙර මූලික ගාමක බලවේගය වූ අපනයන අංශයට පහර වැදුනේය. ජූනි මාසයේදී චීන අපනයන වාර්තාගත ඩොලර් බිලියන 16 කට ලඟාවෙන අතරේදී වසරකට පෙර සියයට 17.9 ක් වූ වර්ධන වේගය මැයි මාසයේදී සියයට 19.4 කින් පහල ගියේය.

කමියුනිකේෂන් බැංකුවේ ආර්ථික විශේෂඥ ටෑන් ජියන්වෙයි රොයිටර් වෙත මෙසේ පැවසුවේය. "වසරේ දෙවන භාගයේදී, යුරෝපයේ නය අර්බුදය, ජපානයේ භූමිකම්පාව සහ අනෙකුත් කාරනාවල බලපෑම හේතුවෙන් අපනයනයන් දිගටම කඩාවැටේවියැයි අපි බලාපොරොත්තු වෙමු.”

තවදුරටත්, ආන්ඩුව නය නිකුත් කිරීම තද පාලනයකට යටත් කලත් දේපල වෙලඳපොල මන්දගාමී නොවන අතරේදී කම්කරු බලකායෙන් සියයට 80 ක් රැකියා කරන කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්තවලට (එස්එම්ඊ) එයින් පහර වැදී ඇත. රාජ්‍ය බැංකු මෙම කුඩා ව්‍යාපාරවලට නය නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ඒවා සියයට 60 ක වාර්ෂික පොලියට නය දෙන පුද්ගලික හෝ කලුකඩ වෙත හැරීමට මෙම ආයතනවලට බල කෙරී ඇත.

නැගෙනහිර වෙරලබඩ පලාතක් වන ජේජියැන්හි වෙන්ජෝ එස්එම්ඊ සම්මේලනයේ අධ්‍යක්ෂ ජෝ ඩෙවෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත, නගරයේ 360,000 ක් වන කුඩා සහ මධ්‍යම සමාගම්වලින් අවම වශයෙන් සියයට 20 ක් දැනටමත් සිය මෙහෙයුම් අඩුකර හෝ නවතා දමා ඇති බව ගිය සතියේ ප‍්‍රකාශ කලේය.

දේපල සමපේක්ෂන උද්ධමනයට ද හේතු පාදක වී තිබේ. පාරිභෝගික මිල දර්ශකය ජූනිවලදී සියයට 6.4කින් ඉහල නැගුනි. එය 2009 න් මෙපිට වාර්තාවූ ඉහලම ප‍්‍රතිශතයයි. ආහාර මිල ගනන් සියයට 14.1 කින් ඉහල ගොස් තිබේ. ඉහල යන ආහාර මිල ගනන්, තම සොච්චම් ආදායමෙන් වැඩිකොටසක් ආහාර වෙනුවෙන් වියදම් කරන කම්කරුවන් හා ග‍්‍රාමීය දුගීන් අතර සමාජ අසහනය ඇති කිරීමට බලපා තිබේ.

1989 දී තියනන්මන් චතුරස‍්‍රයේ විරෝධතාවයන්ට එකතුවන්නට කම්කරුවන් තල්ලුකලාවූත් තම පාලනය දුර්වල කරන්නට තර්ජනයක්වූත් එක් සාධකයක් වූයේ අධික උද්ධමනය බවට හොඳින් දන්නා කොමියුනිස්ට් පක්ෂය ඉහල යන භාන්ඩ මිල දෙස කැලඹිලි සහගතව බලා සිටී. චීන කොමියුනිස්ට් පක්ෂය එම විරෝධතා අමානුෂිකව මර්දනය කල අතරේදී, පසුගිය දශක දෙක තුල කම්කරු පන්තිය දැවැන්තව වර්ධනය වී තිබේ. කෙසේවුවද, නය නිකුත්කිරීම දැඩිව සීමා කරමින් උද්ධමනය සීමා කිරීමට ගන්නා කිසියම් වූ උත්සාහයක්, ආර්ථිකය දරුනු ලෙස මන්දගාමී වන තර්ජනයකි.

අස්ථාවර චීන ආර්ථිකය ගැන අන්තර්ජාතික මූල්‍ය කවයන් තුල ඇති සැලකිල්ල සඳහා වන හේතු පැහැදිලිය. ගෝලීය ආර්ථිකය පෙර නොවූ විරූ දුරකට චීනය මත රැඳේ. චීනයේ කිසියම් වූ මන්දගාමිත්වයක් ලෝකය පුරා ප‍්‍රතිවර්තනය වනු ඇත. "(විය හැකි) චීන කඩාවැටීමකට සූදානම්වීම” මැයෙන් බ්ලූම්බර්ග් ප‍්‍රකාශයක මෙසේ අනතුරු අඟවයි. "විශාල මන්දගාමිත්වයක් චීනයට දැඩිව බලපාද්දී, අපේක්ෂා කල තරමට වඩා අධික හානිය අති දැවැන්ත වනු ඇත.”