කොරියානු රැකියාවලට පොරකෑම ශී‍්‍ර ලංකාවේ ඉහවහා ගිය තරුන විරැකියාව සහ දරිද්‍රතාව පෙන්නුම් කරයි

Suranga Siriwardhana, 20 August 2011

අගෝස්තු 08 වන දා කොලඹ පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන ක‍්‍රීඩංගනයේ දී කොරියානු රැකියා සඳහා භාෂා පරීක්ෂන අයදුම්පත් ලබා ගැනීමේ අරමුනින් දසදහසකට අධික තරුන පිරිසක් රොක් වූහ. පොලිස් කි‍්‍රඩාංගනයේ වැට කඩුලු පෙරලා දමමින් කිලෝමීටරයකට ආසන්න ප‍්‍රමානයක දුරක් පෝලිමක පොරකමින් සිය රැකියා අපේක්ෂාව සැබෑ කර ගැනීමට මෙපමන විශාල පිරිසක් කොලඹට රැස් වීම ශී‍්‍ර ලංකාවේ නිල විරැකියාව සීඝ‍්‍රයෙන් පහල ගොස් ඇතැයි ආන්ඩුව විසින් ගසන පම්පෝරිය අහස උසට පුපුරුවා හැරි අවස්ථාවක් විය.

දිවයිනේ ඈත ප‍්‍රදේශවල පටන් තරුන පිරිස් අදාල අයදුම්පත් ලබා ගැනීම සඳහා කොලඹට රොක් වූයේ දකුනු කොරියානු ආන්ඩුව සමග ඇතිකරගෙන තිබෙන සංක‍්‍රමනික කම්කරුවන් පිලිබඳ ද්වී පාර්ශ්වීය එකඟතාව අනුව 9,300කට පමන කොරියානු රැකියා ලබා දෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදන කිරීම නිසයි.

අයදුම්පත් ලබා ගැනීම පිනිස දිවයින පුරා මධ්‍යස්ථාන 29ක් නම් කර තිබුනත් ප‍්‍රථමයෙන් ඒවා නිකුත් කිරීමට නියමිතව තිබුනේ කොලඹ දී ය. සිය අවස්ථා අහිමි කර ගැනීමට අකමැති වූ තරුනයින් දුර බැහැර සිට පැමින පෙර දා සිටම පොලිස් ක‍්‍රීඩාංගනය අසල දුෂ්කරතා මැද කඳවුරු බැඳගෙන සිටියහ. කොලඹට නියමිතව තිබූ අයදුම් කරුවන් 3,500ක ප‍්‍රමානය ලියාපදිංචි කිරීම සඳුදා දහවල් වීමටත් පෙර අවසන් විය.

මධ්‍යස්ථානය වසා දමමින් බලධාරීන් පොලිස් සහය ඇතුව ඒ බැව් නිවේදනය කල විට තවමත් පෝලිමේ රැස්කමින් සිටි තරුනයින් තුල ඇති වූ දැඩි නොසන්සුන්තාව මැඩීමට පොලීසිය මැදිහත් කෙරුනි. කෙසේ වෙතත් තත්ත්වය දරුනු අතට හැරෙනු ඇතැයි බිය වූ ආන්ඩුව ඇති වීමට ගිය තත්වය සමහන් කර ගත්තේ තවත් අයදුම්පත් 15,000ක් මුද්‍රනය කොට ඉතිරිව සිටි තරුනයින් ද ලියාපදිංචි කිරීම මගිනි.

රජයට සම්බන්ධිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (අයිපීඑස්) මෙහි රැස් වූ තරුනයින් අතර සිදු කල සමීක්ෂනයකින් පවතින තරුන විරැකියාව සහ ආන්ඩුවේ පටි තද කිරීමේ පිලිවෙත් මගින් ඇති කොට තිබෙන ගැඹුරු වන තරුන අසහනය හා දරිද්‍රතාව කෙබඳු ද යන්න පිලිබඳ සීමිත නමුත් වැදගත් කරුනු රැසක් එලිමහනට ගෙන එයි.

සමීක්ෂනයෙන් පෙන්වා දෙන්නේ මෙම රැකියා සොයන්නන් අතරින් සියයට 70.7ක් පමන වයස අවුරුදු 20-30 අතර වන බවත් ඒ අතරින් සියයට 39ක් පමන වයස අවුරුදු 25-30 අතර අය වන බවයි. සමස්ත ප‍්‍රමානයෙන් බහුතරය එනම් සියයට 28.8 කොලඹ දිස්ත‍්‍රික්කයෙන් සහ සියයට 22 මාතර දිස්ත‍්‍රික්කයෙන් ද වශයෙන් බොහෝ තරුන පිරිස් බටහිර හා දකුනු ප‍්‍රදේශවල තරුනයින් බව සමීක්ෂනය මගින් පෙන්වා දෙයි.

මෙම තරුනයින් අතරින් බහුතරය උසස් පෙල අධ්‍යාපනයේ සිට ඉහල මට්ටම් දක්වා උගත් තරුන ස්ථරයක් වෙති. සමස්ථ ප‍්‍රමානයෙන් සියයට 65.9ක් පමන උසස් පෙල සමතුන් වන අතර සියයට 4.9ක් වන උපාධිධාරීන් ද සැලකීමේ දී සියයට 70.8ක් උගත් තරුනයන් වීම, ඔවුන් අතර උග‍්‍ර වෙමින් පවතින විරැකියාව පිලිබිඹු කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් හම්බන්තොට වීරකැටිය ප‍්‍රදේශයෙන් පැමිනි හේමන්ත නමැති 29 හැවිරිදි උපාධිධාරී තරුනයා මෙසේ ප‍්‍රකාශ කලේ, "මම උපාධිය අවසන් කලේ 2009දී. තවම රැකියාවක් නෑ. අම්මයි තාත්තයි දැන් වයසයි. පවුලෙම බර දැන් මම කරට ගන්න ඕන කාලේ. ඒත් විකල්පයක් නෑ. කොලඹට ඇවිත් පොඩි ජොබ් එකක් හොයාගන්න පුලුවන්. ඒකත් හරිම අමාරු වැඩක්. අනෙත් අතට කොලඹ ඉඳලා රු.20,000ක් ලැබුනත් මදි. මම කොරියන් රැකියාවකට යන්න හැදුවේ ඒ නිසයි. අපේ ගෙවල් දොරවල් පරනයි. ලංකාවේ ඉඳලා නම් කවදාවත් ඒවා හදාගන්න වෙන්නෑ. "ආන්ඩුව ගෙනයන වැඩලිපිවෙල ගැන ඔහු සිය අතෘප්තිය ද තදින්ම පල කරමිනි.

අයිපීඑස් සමීක්ෂනය පෙන්වා දී ඇති අයුරින් කොරියානු රැකියා සොයන්නන් අතරින් සියයට 63.4ක් පමන දැනටමත් රැකියාවල නිරතවන්නන් ය. විශේෂයෙන් ම අඩු වැටුප්, පැය 8කට අධික දෛනික සේවය ඇතුලු සිය රැකියා කොන්දේසි පිලිබඳ අතෘප්තිමත්භාවයට පත්වූවන් බහුතරයක් ද මේ අතර සිටිති. අඩු වැටුප් සහ අඩු ආදායම් විදේශ රැකියා සෙවීම කෙරෙහි තමන් යොමු කොට ඇති බව ඔවුන්ගෙන් සියයට 38ක පමන පිරිසක් ප‍්‍රකාශ කර තිබේ. සියයට 36ක් පමන වූ රැකියා විරහිතයින් අඩුම ගනනේ වසර දෙකක පමන කාලයක සිට රැකියා නො මැතිව සිට ඇත.

2008 ඇරඹි ගෝලීය මූල්‍ය බිඳවැටීමෙන් උග‍්‍ර වූ ආර්ථික අර්බූදය කම්කරු පන්තිය මත පැටවීම සඳහා රැකියා හා වැටුප් කප්පාදුවත් වැඩ කාලය දීර්ඝ කිරීමත් ඒ සමග ම බදු මුදල් ඉහල දමා ජීවන කොන්දේසි කපා හෙලීමත් ලෝකය පුරාම පාලක පන්තීන් විසින් ක‍්‍රියාවට නැගුනි. මේ අර්බුදය ලංකාවට ද බලපා ඇත.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ බරින් ලංකාව තුල අර්බුදය වඩාත් ගැඹුරු විය. එය ක‍්‍රියාත්මක වූයේ බොහෝ කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීම සහ ජීවන වියදම ඉහල දැමීම ලෙස ය. කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2008 අගෝස්තු මාසයේ සිට 2009 අපේ‍්‍රල් මාසය දක්වා ලංකාවේ 70,000කට අධික පිරිසකට රැකියා අහිමි වී ඇත. දැනටමත් රැකියාවල නියුතු වන්නන්ද විදේශ රැකියා සොයනුයේ මේ අර්බුදයේ බර දරා ගත නො හැකි පසුබිම තුල ය.

2009 දී සියයට 5.8ක්ව තිබූ ලංකාවේ සමස්ථ විරැකියාව 2010 දී සියයට 4.9ක් දක්වා පහල වැටුන බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි. එහෙත් තරුන විරැකියාව, අවුරුදු 15 සිට 19 දක්වා වයස් කාන්ඩයේ විරැකියාව සියයට 20.9 සිට 2010 දී සියයට 21.1 දක්වා නැග ඇත. 20 -29 අතර වයස් කාන්ඩයේ විරැකියාව 2009 දී සියයට 15.4ක් ද 2010 දී සියයට 13.7ක් ද විය. මේ තතු තුල විදේශ රැකියා සොයන්නන්ගෙන් සියයට 59ක් ම අයිපීඑස් සමීක්ෂනයට පැවසුයේ කොරියාව තුල ඕනෑම රැකියාවක් කිරීමට තමන් සූදානම් බවයි.

ලංකාවේ පමනක් නොව ලෝකයේ සෑම රටකම තරුන විරුකියාව කැකෑරෙන ප‍්‍රශ්නයක් ලෙස ගැඹුරු වෙමින් පවතී. 2008න් ඇරඹි මූල්‍ය අර්බුදයේ ආරම්භක සමයේ යුරෝපයේ තරුන විරැකියාව සියයට 15ක් පමන වූ අතර මේ වන විට එය සියයට 20කටත් වඩා ඉහලට නැග ඇත. යුරෝපා සංගමය තුලමත් රටවල් 27ක අවුරුදු 15-24ත් අතර තරුන පිරිසෙන් සියයට 20.5ක ප‍්‍රමානයක් රැකියා සොයමින් සිටී.

රාජ්‍ය නය අර්බුදය දරුනු ලෙස බලපා ඇති රටවල් අතර වන ස්පාඤ්ඤයේ තරුන විරැකියාව මේ වන විට 2008 වසරේ මෙන් දෙගුනයකට ආසන්න අගයක් එනම් සියයට 46ක් වන අතර ගී‍්‍රසියේ මෙය සියයට 40ක් වේ. අනුක‍්‍රමිකව ඉතාලියේ සියයට 28ක් ද අයර්ලන්තයේ සියයට 27ක් ද ප‍්‍රන්සයේ සියයට 23ක් ද වශයෙන් සමස්ත යුරෝපා රටවල් තුලමත් තරුන විරැකියාව ඉහල ගොස් ඇත. මෑතක දී බි‍්‍රතාන්‍යයේ පොලිස් වෙඩි පහරක් මගින් 29 වියැති කරුනයෙකු ඝාතනය වීමත් සමග පැන නැගුනු කැරලිකාරී තත්ත්වය රැකියා විරහිත තරුනයන්ගේ නොසන්සුන්තාව පුපුරා ඒමකි. එරට අවුරුදු 16-24 අතර තරුන විරැකියාව සියයට 20 දක්වා ඉහල ගොස් තිබේ.

සිය කයිවාරු කෙසේ වෙතත් පාලක පන්තියේ දැනුවත් කොටස් තරුන විරැකියාව සම්බන්ධයෙන් භීතියට පත්ව සිටිති. රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන ඩිව් ගුනසේකර පසුගිය ජූලි මස 08 වන දින මානව සම්පත් ප‍්‍රතිපත්ති සකස් කිරීමේ ජාතික මෙහෙයුම් කමිටුව අමතමින් "ශී‍්‍ර ලංකාව අරාබි රටවල්වලට සමාන ආකාරයේ පිපිරුම් සහගත තත්වයකට මුහුන පෑ හැක... එසේ වීමට ඉඩ දිය යුතු නැත” යනුවෙන් ප‍්‍රකාශ කලේය. ඔහු මෙසේ සඳහන් කලේ තරුන විරැකියාව පෙන්වා දෙමිනි: "මෙය සැබෑ ප‍්‍රශ්නයක්. උගත් තරුනයන් අතර විරැකියාව සියයට 15- 20 තරම් ඉහල මට්ටමක පවතී”.

දකුනු කොරියානු රැකියා සම්බන්ධයෙන් තරුනයන් මුහුන දුන් ප‍්‍රශ්න ගැන සඳහන් කරමින් අගෝස්තු 11 දා ඩේලි මිරර් පත‍්‍රය ලියු කතුවැකියේ මෙසේ සඳහන් විය. "බොහෝ දෙනා ඈත පිටිසර ගම්වලින් කොලඹට රොක් වීමේ දසුන, තරුන විරැකියාව සම්බන්ධයෙන් පවතින සෑබෑ යථාර්ථයට අපේ දේශපාලඥයන් අවදි කරන්නක් විය යුතු ය. විශාල පොරොන්දු හඬ ගෑම හෝ ක්ෂනික සංතුෂ්ටිය සඳහා මන්ත‍්‍රයක් ලෙස මහින්ද චින්තනය ජප කිරීම වෙනුවට මන්ත‍්‍රීවරුන් සහ පලාත් පාලන නියෝජිතයන් තම ඡන්ද කොට්ටාසවලට වී පවතින යථාර්ථයන් ගැන සැලකිලිමත් විය යුතු ය.”

තරුන විරැකියාව සම්බන්ධයෙන් දේශපාලඥයන්ගේ සහ ජන මාධ්‍යවල භීතිය මෙසේ පෙන්නුම් කෙරුනත් ධනේශ්වර ක‍්‍රමයට ඊට විසඳුම් නැත. විරක්ෂාභාවය ද වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසිවලට අතොරක් නැතුව පහරදීම ද වඩවඩාත් උග‍්‍රවීමට නියමිත ය. අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර ක‍්‍රමය තුල තරුනයන්ට අනාගතයක් නැත. ඔවුන්ට තම අනාගතය දැකිය හැක්කේ සමාජවාදී සමාජ ක‍්‍රමයක් තුල පමනි.