නේටෝව ලිබියාව තුල මිලිටරිමය සිරවීමකට මුහුනපා සිටියි

NATO facing military stalemate in Libya

By Peter Symonds, 4 August 2011

පසුගිය සතියේ අප‍්‍රකාශිත හේතු මත ලිබියානු කැරලි හමුදාවේ ආඥාපති ජෙනරාල් අබ්දෙල් ෆාටා යූනිස් ඝාතනය කිරීම නේටෝවේ පිටුබලය ලබන සංක‍්‍රමනීය ජාතික කවුන්සිලයේ (ටීඑන්සී) බෙදුනු හා අස්ථාවර ස්වභාවය හා මුවම්මර් ගඩාෆි බලයෙන් පහකිරීමේ උත්සාහයේදී එහි මිලිටරිමය සිරවීම ඉස් මතු කොට පෙන්වයි. ඝාතනය බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ මාලාවකට තුඩුදුන් අතර එය ගඩාෆි නොවැලැක්විය හැකි ලෙසම බලයෙන් පහවන බවට නේටෝව හා එක්සත් ජනපදය අනාවැකි පලකරමින් මාස ගනනක් ගෙනගිය ප‍්‍රචාරය ද ඉක්මනින්ම ආපසු හැරවීය.

01දා කල කතාවක දී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් හේග් පැවසුවේ මෙසේය: "එයට කොපමන කාලයක් ගතවන්නේ දැයි අපි නොදන්නෙමු. කර්නල් ගඩාෆි තමන් යා යුතු බව තේරුම් ගන්නේ කවදාදැයි ද අපි නොදන්නෙමු. එසේම ඔහුගේ තන්ත‍්‍රයෙහි සාමාජිකයින් ඒ නිගමනයට එලඹෙනු ඇත්තේ කවදා දැයි ද අපි නොදනිමු. යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමෙහි ලා බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ අදිටන ප‍්‍රකාශ කරමින් ඔහු මෙසේ අනතුරු ඇඟවීය. "ගැටුමක දී සිදුවීම් සරල ආකාරයට ගලා යන්නේ නැත.”

හෙලිදරව්කාරී ප‍්‍රකාශයක් තුල හේග් නේටෝ යුද මෙහෙයුම ආරක්ෂා කලේය. එය "දහස් ගනනකගේ ජීවිත ආරක්ෂා කල අතර ඊජිප්තුව හා ටියුනීසියාව අස්ථාවර වීමෙන් වලක්වා ගත්තේය.” කෙසේ වෙතත් ඊජිප්තුව හා ටියුනීසියාව ගැන කල සඳහනෙන් සනාථ කෙරෙන්නේ ලිබියාවේ තෙල් සම්පත රැකගැනීමත් සමග එක්සත් ජනපදය හා නේටෝව අදහස් කරන්නේ මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ විප්ලවවාදී නැගිටීම් වලට එරෙහිව වෙරල තීරයක් පිහිටුවා ගැනීම තම අරමුන බවයි.

හේග්ගේ ප‍්‍රකාශ නිකුත් වූයේ ලිබියානු කැරලිකරුවන් ගඩාෆි පෙරලා දැමීම අඩමාන බව ප‍්‍රකාශ කල බි‍්‍රතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් ඊට පෙර දින කල ප‍්‍රකාශයන්ගෙන් අනතුරුවය. ෆොක්ස් මෙසේ ද පැවසීය: "ලිබියානු විප්ලවයේ තීරනාත්මක සාධකය වනු ඇත්තේ කර්නල් ගඩාෆිගේ සමීපතමයන්ට තවදුරටත් ඔහු සමඟ ගැලතී සිටීමෙන් පලක් නැතැයි අවබෝධවීම හෝ නොවීම ද ඔහු පරල වූවෙකි ඔහු ඉක්මනින් හෝ පසුව බලයෙන් ඉවත්විය යුතුය” යන්න බවය.

එදින ම ප‍්‍රන්ස ආරක්ෂක ඇමති ජෙරාඩ් ලොන්ග්වෙට් ද ඒ හා සමාන ප‍්‍රකාශයක් නිකුත් කලේය. ඊනියා "කැරලිකාර” හමුදාවන් තමන්ගේම සටනකින් ලිබියානු අගනුවර අල්ලා ගැනීමට සමත් වන්නේ නැති බව ද "ටි‍්‍රපොලිහි තත්වය වෙනස් විය යුතුය. වඩා පැහැදිලිව කිවහොත් ජනතාව නැඟී සිටිය යුතුය. ඉදිරියේ ඇති මාස ස්වභාවිකව ම ආතති සහගත වනු ඇත. මම හිතන්නේ රාමසාන් මාසයේවත් ඉස්පාසුවක් නොතිබෙනු ඇති බවයි ඔහු පැවසීය.

මෙම ප‍්‍රකාශ තමන්ගේ රාජ්‍යතාන්ත‍්‍රික පිලිගැනීමට ලක්ව තිබෙන අන්තර්කාලීන ජාතික කවුන්සිලයේ ස්ථාවරත්වය පිලිබඳව වොෂින්ටනයේ හා යුරෝපීය අගනුවරවල පැතිර ඇති උත්සුකයන් පිලිබිඹු කරයි. ජෙනරාල් යූනිස් ඝාතනයෙන් සතියකට පසුව පවා සිදුවූයේ කුමක් ද හා මන් ද යන්න පිලිබඳ පැහැදිලි කමක් ඇත්තේ නැත. පෙනෙන්නට තිබෙන්නේ බෙන්ගාසි පාලනය මතුකල හෙලි නොකරන ලද චෝදනාවන් පිලිබඳව ප‍්‍රශ්න කිරීමට යූනිස් සටන් බිමේ සිට පසුගිය 28දා රැගෙනවිත් ඇති අතර එහිදී ඔහු තවත් නිලධාරීන් දෙදෙනෙකු ද සමග මරාදමන ලද බවයි.

යූනිස්ගේ ආධාරකරුවන් ඇඟිල්ල දිගු කරන්නේ ප‍්‍රකට ඉස්ලාම්වාදීන් ද ඇතුලත් දේශීය ඉමාම් කෙනෙක් විසින් මෙහෙයවන පෙබරවාරි 17 වීර සේනාංකය යන මිලිෂියා හමුදාව වෙතය. "කැරලි” තන්ත‍්‍රය අභ්‍යන්තරයේ කන්ඩායමික යුද්ධයක් වලක්වා ගැනීමේ අභිලාශයෙන් පාලනයේ කථිකයෝ බෙන්ගාසිහි රහසිගතව ක‍්‍රියාත්මක වන ගඩාෆි හිතවාදීන් වෙත චෝදනා එල්ල කරති.

පැහැදිලි නොකල දෙවන සිද්ධියේදී පාලනයේ හමුදාවෝ 31දා පාන්දර ගඩාෆි පාක්ෂික ආධාරකරුවන්ගේ "සතුරු සේනාංකය” ලෙස නම්කර ඇති මිලිෂියා කන්ඩායමක් සමග දරුනු ගැටුමක නිරත වූහ පැය අටකටත් වැඩි කාලයක් පැවති ගැටුමේදී පාලනයේ හමුදා භටයින් තිදෙනෙක් හා මිලිෂියාවේ භටයින් සිව් දෙනෙක් මරුමුවට පත්විය. අන්තර්කාලීන පාලනයේ අභ්‍යන්තර ඇමති මුස්ටෆා අල් සගිස්ලි කියා සිටියේ මිලිෂියාව අල්ලාගෙන සිටි කම්හලක තිබී යූනිස්ගේ නම ද ඇතුලු ඝාතනය කල යුතු අයගේ ලැයිස්තුවක් සමග ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයාගත් බවය.

බෙංගාසි මත සිය ග‍්‍රහනය තදකර ගැනීමේ අටියෙන් අන්තර් කාලීන පාලනය නගරය තුල ක‍්‍රියාත්මක වන අර්ධ ස්වාධීන මිලිෂියාවන් මැඬපැවැත්වීමේ උත්සාහයක නිරත වෙයි ඉන් පෙර දින ගැටුමට යාන්තම් පැය කිහිපයකට පෙර අන්තර් කාලීන පාලනයේ ප‍්‍රධානී මුස්ටෆා අබ්දෙල් ජලීල් විවිධ සන්නද්ධ කන්ඩායම් වලට අනතුරු අඟවමින් කියා සිටියේ, එක්කෝ අන්තර් කාලීන පාලනයට එකතුවන ලෙස හෝ "තලා දැමීමේ” අනතුරට මුහුන දෙන ලෙසයි.

අන්තර් කාලීන පාලනයේ නායකයින් තමන්ට සහාය දක්වන විශාලම කන්ඩායම වන යූනිස්ගේ ගෝත‍්‍රයෙහි සාමාජිකයින් අතර කෝපය සමහන් කිරීම පිනිස "සතුරු සේනාංකය” පිලිබඳ කතාව මතුකර ගැනීමේදී ඉහතකී සටන අල්ලා ගැනීමට හොඳටම ඉඩ තිබේ. යූනිස්ගේ නෑදෑයින් ජෙනරාල්ගේ ඝාතකයින් වහාම අධිකරනය හමුවට පැමිනවිය යුතු යයි අනතුරු ඇඟවූ බව නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. ඔහුගේ එක් පුතෙක් පුවත්පතට මෙසේ පැවසීය: "කිසිදු ආරංචියක් නැතිව සතියක්ම ඉකුත්වී තිබේ. අපට නීතියෙන් ලබාගත නොහැකි දේ ආයුධ වලින් ලබාගත හැක.”

අභ්‍යන්තර කන්ඩායමික ගැටුම් පිලිබඳව පැහැදිලි උත්සුකයක් සහිත වොෂින්ටනය වහාම මැදිහත්වී පාලනය එකමුතු ආකාරයකින් කටයුතු කලයුතු බව පවසා ඇත. 01දා ධවල මන්දිරයේ නියෝජ්‍ය ප‍්‍රකාශක මාර්ක් ටෝනර් ජෙනරාල් යුනිස්ගේ මරනය පිලිබඳව විශ්වාසනීය හා පූර්න පරීක්ෂනයක් පැවැත්වීමේදී අන්තර් කාලීන පාලනය "ජීවිතයත් මරනයත් අතර අවස්ථාවකට” මුහුනපා ඇතැයි පැවසීය. "බිම් මට්ටමේ පවතින තත්වයෙහි දියාරු ස්වභාවය සැලකිල්ලට ගන්නා කල එම පාලනය තමන් පෙනී සිටින්නේ ලිබියානු විපක්ෂය හා ලිබියානු ජනතාව වෙනුවෙන් බවට පැහැදිලි හා විනිවිද පෙනෙන පනිවිඩයක් යැවිය යුතුයයි” ඔහු පැවසීය.

ගඩාෆිගේ හිටපු නිලධාරීන්ගෙන් ද ඉස්ලාම්වාදීන්ගෙන් හා සීඅයිඒ ඒජන්තයින්ගෙන් සැදුම් ලත් දියාරු සන්ධානයක් වන අන්තර් කාලීන කවුන්සිලයේ කන්ඩායම්ගත ඉරිතැලීම් ස්වභාවය සැබවින්ම මෙම ඝාතනයෙන් එලිපිටට පැමිනියේය. සාමාන්‍ය ලිබියානුවන්ගේ අවශ්‍යතා නියෝජනය කිරීම කෙසේ වෙතත් පාලනය නේටෝවේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කුලීකාර සංවිධානයක් වන අතර ඔවුන්ගේ බලාපොරොත්තුව ගඩාෆි පෙරලා දමා සිය හාම්පුතුන්ගේ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා ඉටුකල හැකි කීකරු රූකඩ පාලන තන්ත‍්‍රයක් ඇටවීමයි.

නේටෝ ප‍්‍රහාර ආරම්භ වී සිව් මසකටත් වැඩි කාලයක ඇවෑමෙන් ගඩාෆි තන්ත‍්‍රය බිඳී විසිරෙන බවට හෝ මිලිටරිමය වශයෙන් පරාජය වන බවට කිසිදු සලකුනක් ඇත්තේ නැත. බෙන්ගාසිහි අභ්‍යන්තර කාකොටාගැනීම් වලින් දිරිමත්ව සිටින කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් 01දා ලිබියානු රූපවාහිනියට පැවසුවේ: "අප කර තිබෙන කැපකිරීම් හා අපගේ පුතුන් සහෝදරයින් හා මිතුරන්ගේ සියලු වීරත්වය හමුවේ අප සටන් නතර කිරීමට යන්නේ යයි කිසිවෙකුත් නොසිතිය යුතුය. එය අමතක කරන්න නේටෝව ඉවත් වුනත් නැතත් සමස්ත ලිබියාවම විමුක්ත කර ගන්නා තෙක් සටන දිගටම සිදුවනු ඇත” යනුවෙනි.

03දා ලිබියානු මිලිටරිය විසින් නේටෝවේ ලිබියානු වැටලීම බලගන්වන බර්සග්ලියරි නම් ඉතාලි යුද නැවට මිසයිලයක් විදිනු ලැබීය. මිසයිලය ඉලක්කය වෙත ලඟාවූයේ නැති නමුත් එම උත්සාහය පෙන්නුම් කරන්නේ ගඩාෆිට පක්ෂපාතී කොටස සතුව තවමත් ඇති මිලිටරි ශක්තියයි.

රාමසාන් කාලය තුල පවා සිය සාපරාධී බෝම්බ ප‍්‍රහාර නොනවතිනු ඇති බව නේටෝව දැනටමත් නිවේදනය කර තිබේ. 30දා නේටෝ ප‍්‍රහාරක ගුවන් යානා පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් තවත් 12කට තුවාල සිදුකරමින් ලිබියානු රූපවාහිනී විකාශනාගාරයකට ප‍්‍රහාර එල්ල කිරීම මගින් පෙන්නුම් කලේ එය දිගටම සිවිල් ජනතාව හා මිලිටරි නොවන මධ්‍යස්ථාන ඉලක්ක කරන බවය. එදින ම නිකුත්කල ප‍්‍රකාශයක් තුල මාධ්‍යකරුවන්ගේ ජාත්‍යන්තර සංගමයේ ප‍්‍රධාන ලේකම්, බෙත් කොස්ටා කියා සිටියේ "ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් මාධ්‍යවේදීන් ඉලක්ක කරන ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය කරන මෙම ක‍්‍රියාව අපි තරයේ හෙලා දකිමු” යනුවෙනි.

ටි‍්‍රපොලි අගනුවරින් දකුනේ හා ගිනිකොනදිග කඳුකරයන්හි හා බටහිර වෙරලබඩ ඩස්ලිටාන් නගරය වටා දිගටම සටන් ඇවිලෙමින් තිබේ. පාලනයේ හමුදාවන්හි යුදවාදී "කැරලිකාර” නගරය ලෙස හඳුන්වන මිස්රාටාහි ප‍්‍රකාශකයින් සඳහන් කරන්නේ ඩස්ලිටාන් අත්පත් කරගෙන ගඩාෆි පාක්ෂික හමුදාවන්ගේ ප‍්‍රති ප‍්‍රහාර පරාජය කර ඇති බවයි කියනු ලබන මිලිටරි ජයග‍්‍රහනවල ඉතා සීමිත ස්වභාවය පෙන්නුම් කරන්නේ අන්තර් කාලීන පාලනය මාස ගනනකට පෙර සිටියාට වඩා ගඩාෆි පෙරලා දැමීමට දැන් සමීපව සිටින බවක් නම් නොවේ.