එක්සත් ජනපදයේ නය බාල්දු කිරීම

The US credit downgrade

8 August 2011

එක්සත් ජනපදයේ නය බාල්දු කිරීම වනාහි ඇමරිකානු හා ලෝක ධනවාදී අර්බුදයේ සන්ධිස්ථානයකි.

06දා නිකුත් කල ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස්ඇන්ඩ්පී) නය වර්ගීකරන ආයතනයේ ප‍්‍රකාශය පැහැදිලිව දක්වා ඇත්තේ ඔබාමා පාලනාධිකාරය හා කොන්ග‍්‍රසය එහි අයවැය කප්පාදු ගිවිසුම තුලින් තමන් ද තමන් පෙනී සිටින වෝල් වීදියේ බැංකුවල ද ඉල්ලීම් සපුරාලීමට අසමත්වීම නිසා එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් සඳහා තමන් පවත්වාගෙන ආ ඒඒඒ වර්ගීකරනය ඉරා දමන පෙර නොවූ විරූ පියවරක් ගත් බවයි.

2012 නොවැම්බර් මැතිවරනයට පෙර එක්සත් ජනපද ආන්ඩුව අවම වශයෙන් ඩොලර් ටි‍්‍රලියන හතරක ප‍්‍රමානයකින්වත් හිඟ අවම කිරීමේ පියවර අනුමත කල යුතුය යන පසුගිය අපේ‍්‍රල් මාසයේදී එස්ඇන්ඩ්පී මුල්වරට කර ඇති යෝජනා එය යලි අවධාරනය කලේය. ඊට සෞඛ්‍ය ආරක්ෂනය සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂනය වැනි හිමිකම් සහිත වැඩසටහන් දැවැන්ත ලෙස කපා හැරීම ඇතුලත් විය.

එස්ඇන්ඩ්පී ක‍්‍රියාව පිටුපස ඇති දේශපාලන අරමුනු හා ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් කෙරෙහි එහි ක්ෂනික බලපෑම කුමක් වුවත් නය වර්ගීකරනයේදී එක්සත් ජනපදයට හිමිව තිබුනු ප‍්‍රමුඛස්ථානය අහිමිවීම දැවැන්ත ඓතිහාසික ආර්ථික හා දේශපාලන ඇඟවුම් දරා සිටියි. එමගින් එක්සත් ජනපද ඩොලරය ලෝක හුවමාරු අනුපාතිකය හා සංචිත මුදල ලෙස මෙතුවක් කල් දරා සිටි තැන අහිමිකර ගන්නා අතර ගෝලීය ආර්ථික සබඳතා කඩාකප්පල් කරමින් ජාතික ප‍්‍රතිවිරෝධතා තවත් උග‍්‍ර කරනු ඇත.

එක්සත් ජනපද නය බාල්දු කිරීම ඇමරිකානු ධනවාදයේ ලෝක තත්වයෙහි ඉමහත් පරිහානිය පිලිගැනීමක් ද වෙයි. දෙවන ලෝක සංග‍්‍රාමය අවසනදී පිහිටුවා ගන්නා ලද මූල්‍ය සම්බන්ධතා පිලිබඳ බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතිය බිඳවැටීමේ 40 වන සංවත්සරය එලඹෙන්නේ හරියටම අද සිට සතියක් ඉක්ම යන තැනදී ය. එම මූල්‍ය පර්යාය ලෝක ධනවාදයේ ප‍්‍රසාරනයෙහි මෙන්ම පශ්චාත් යුද්ධ ප‍්‍රතිතුලනයේ ද මුරගල බවට පත්ව තිබුනි.

බ්‍රෙට්න් වුඩ්ස්හි හරි මැද තිබුනේ ලෝක සංචිත හා වෙලඳාමේ මූදල ලෙස එක්සත් ජනපද ඩොලරයට පැවරුනු ක‍්‍රියාකලාපයයි. රත්රන් වලට ඩොලර් 35ක අනුපාතයකින් හුවමාරු කලහැකිවූ ඩොලරය ස්ථාවර මූල්‍ය හුවමාරු අනුපාතිකයන් පිලිබඳ පද්ධතියක නැංඟුරමක් බවට පත් විය.

එක්සත් ජනපද ඩොලරයට හිමිවූ එම වරප‍්‍රසාදිත තත්වය යුද්ධයේ සුන්බුන් තුලින් නැඟී ආ ලෝක ආර්ථික අධිපතියා ලෙස එරට පිලිගැනීමක් ද විය, එරට කර්මාන්ත ලෝක වෙලඳපොලවල් අරක් ගත්තේය. 1950 ලෝක මෝටර් රථ නිෂ්පාදනයේ එක්සත් ජනපද පංඟුව සියයට 79ක් විය. 1955දී ඇමරිකාව ලෝක වානේ නිමැවුමෙන් සියයට 40කට ආසන්න ප‍්‍රමානයකට හිමිකම් කීවේය. ලෝක රන් සැපයුමෙන් විශාල කොටසක් තැන්පත් වුනේ ෆෝර්ට් නොක්ස්හිය.

1960 ගනන් අවසන් වන විට විදේශයන්හි ඒකරාශීව තිබුනු ඩොලර් ප‍්‍රමානය එක්සත් ජනපද රන් සංචිත වලට වඩා බෙහෙවින් වැඩිවුන අතර යලි හිස එසවූ ජර්මනියේ හා ජපානයේ නැගීඑන තරගයට ද එරට මුහුන පෑවේය. ඩොලර් වලට සාපේක්ෂව රන් හිඟයකට මුහුන දුන් එක්සත් ජනපදයේ නික්සන් පරිපාලනය 1971 අගෝස්තු 15දා සිය මුදල රන් වලට සැපයූ පිටුබලය ඉවත් කිරීමත් සමග බ්‍රෙට්න් වුඩ්ස් පද්ධතිය බිඳ වැටුනි.

එක්සත් ජනපද ආර්ථික ආධිපත්‍යයේ ඛාදනයට මෙසේ නිහඬව අනුගතවීම පශ්චාත් යුද්ධ ආර්ථික හා දේශපාලන සම්බන්ධතාවන්හි ප‍්‍රධාන සන්ධිස්ථානයක් සලකුනු කරයි. ඇමරිකානු ධනවාදයේ ශක්තිය පිලිබඳ ජාත්‍යන්තර විශ්වාසය මත වඩාත් බර තබන ලද වැඩපිලිවෙලක් වූ පාවෙන විනිමය අනුපාතික ඩොලරයට ගැටගසන ලද ක‍්‍රමයක් ලෙස බ්‍රෙට්න්වුඩ්ස් 2ට ඉන් මඟ හෙලිකරන ලදී.

එක්සත් ජනපදය ලෝකයේ ප‍්‍රධාන නය දෙන ජාතියේ සිට ලොකුම නයකාර ජාතිය බවට ක‍්‍රමානුකූලව සිදුවූ පරිවර්තනය මඟින් මෙම විශ්වාසය සෝදාපාලුවී ගියේය. එහි කාර්මික පදනම වියැකී ගොස් එරට ආර්ථිකය වඩ වඩාත් මූල්‍ය සමපේක්ෂනය මත රැඳෙන්නට පටන් ගත්තේය.

1971න් මෙපිට අවධිය දැකගත හැකි වූයේ එන්ට එන්ටම බැරෑරුම් වන ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයන් හා පලමුව එක්සත් ජනපදය තුලත් පසුව යුරෝපය හා ජපානය තුලත් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ගේ පිරිහීමක් ලෙසත්ය. මෙම වර්ධනයන් සලකුනු කලේ එන්ට එන්ටම ප‍්‍රත්‍යක්ෂ වෙමින් තිබුනු එක්සත් ජනපදයේ ගෝලීය තත්වයෙහි පරිහානිය හා එහි කාර්මික යටිතලයේ දිරාපත්වීමත් ය.

මෙම ක‍්‍රියාවලියෙහි එක් මිනුමක් වූයේ ඩොලරයේ පසුබෑමයි. නිදසුනක් ලෙස ජපාන යෙන් මුදලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය 1971දී යෙන් 360ක සිට අද 71 තෙක් පසුබැස තිබේ. ඩොලරයේ වටිනාකම සියයට 80න් පමන සෝදාපාලු විය. යමෙක් රත්රන් ප‍්‍රමිතිය වශයෙන් ගත් කල පරිහානිය ඊටත් වඩා පැහැදිලිය. 1971දී රන් අවුන්සයක් ඩොලර් 35ක සිට අද ඩොලර් 1,600 තෙක් වැඩිවී ඩොලරයේ වටිනාකම සියයට 98න් පසුබස්සා තිබේ.

පසුගිය තිස් වසරක කාලය පුරා ඇමරිකානු ධනවාදය පදනම්වී ගත්තේ එකකට පසුව තවෙකක් වශයෙන් මූල්‍ය බුබුලු නිර්මානය කිරීම මතය. මූල්‍ය පරපුටු භාවය එහි උච්ඡස්ථානයට ගෙන ආ 2000 ගනන්වල අවමුඛ උකස්කරයන්හි ඇතිවූ උමතු හා අර්ධ සාපරාධී සමපේක්ෂනයෙහි ප‍්‍රතිපලය ලෙස 1930 ගනන් වලින් මෙපිට ඇතිවූ බරපතලම ලෝක ආර්ථික අර්බුදය මුදාහරිමින් 2008 වෝල් වීදිය බිඳවැටුනි.

වැදගත් අංශවලින් වත්මන් අර්බුදය මහා අවපාතයට ද වඩා ගැඹුරට දිවයයි. එවක දී එක්සත් ජනපදය පැවතියේ තවමත් නැඟී එන ආර්ථික බලයක් හා ආර්ථික ප‍්‍රතිස්ථායිකරනයේ ශක්‍යතාවෙන් හෙබි බලයක් ලෙසය. අද එක්සත් ජනපදය ලෝක ආර්ථික පරිහානියේ මධ්‍යස්ථානය හා අස්ථාවරත්වයේ හා අර්බුදයේ මූලාශ‍්‍රය ද බවට පත්ව තිබේ.

අද ලෝකය කි‍්‍රයාත්මක වන්නේ විභව මූල්‍ය ක‍්‍රමයකින් තොරවය. මෙය ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගැබ්කර ගනියි.

ලොව විශාලතම බැඳුම්කර අරමුදල වන පිම්කෝහි ප‍්‍රධාන විධායක මොහමඩ් එල් ඉරියන් 06දා ෆිනෑන්ෂල් ටයිම්ස් හි මෙසේ ලිවීය: "ඩොලරය ලෝකයේ සංචිත මුදල ලෙස පැවති හා අනෙකුත් රටවල් උපයාගත් අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම සඳහා හොඳම ස්ථානය (එජ) ලෙස පැවති තතු යටතේ 05දා සිදුවූ බාල්දු කිරීම, කාලයාගේ ඇවෑමෙන් එහි මූල්‍ය වෙලඳපොල තුලට ගලා ආ ගෝලීය ප‍්‍රාග්ධන (එජ) සැපයුමේ ක‍්‍රියාවලිය කාදමනු ඇත. මෙම තත්වය ගෝලීය නැංගුරම ලෙස එක්සත් ජනපදයේ බලපෑම හීන කර ආර්ථික වශයෙන් කැබලිතිවී යාමේ අවදානම ඉහල නංවමින් බහු ධ‍්‍රැවීය පද්ධතියක් කරා සිදුවන අඩමාන සංක‍්‍රමනය වේගවත් කරනු ඇත.”

චීනයේ රාජ්‍ය ප‍්‍රවෘත්ති ආයතනය වන ෂින්හුවා එක්සත් ජනපදයේ ”නයට ඇති ඇබ්බැහිකම” මත එරට හෙලා දකිමින් වර්ගීකරනය පහත හෙලීමෙන් පසුව අසාමාන්‍ය ලෙස දැඩි ප‍්‍රකාශයක් නිකුත් කරමින් වොෂින්ටනය සිය ”යෝධ මිලිටරි වියදම් හා ඉදිමුනු ශුභසාධන පිරිවැය” කපා නොහරින්නේ නම් තවත් බාල්දු කිරීමක් නොවැලැක්විය හැකි යයි අනතුරු ඇඟවීය. ප‍්‍රකාශය එක්සත් ජනපදයේ ඩොලර් මුද්‍රනය කිරීම ජාත්‍යන්තරව අධීක්ෂනය කල යුතු බව කියා සිටිමින් එක්සත් ජනපද ඩොලරය අධිකාරය දරන ක‍්‍රමය නව ලෝක මූල්‍ය ක‍්‍රමයකින් විස්ථාපනය කිරීම සඳහා චීනයේ ඉල්ලීම යලි අවධාරනය කලේය.

එහෙත් චීනයේ හා අනෙකුත් රටවල ඉල්ලීම් තිබුනේ වී නමුත් නව ධනේශ්වර ලෝක පර්යායක මුල් ගල ලෙස එක්සත් ජනපදයට අදේශකයක් විය හැකි වෙනත් බැරෑරුම් අපේක්ෂකයෙක් නොමැතිවාක් මෙන්ම ගෝලීය ආර්ථික සම්බන්ධතාවන්ගේ නැංගුරම ලෙස ඩොලරයට ආදේශකයක් ද නැත. පුපුරනසුලූ සමාජ හා දේශපාලන ප‍්‍රතිවිරෝධයන්ගෙන් ඉරිතලා ගිය හා සාපේක්ෂ වශයෙන් තවමත් පසුගාමී රටක් වන චීනයට එම භූමිකාව ඉටුකල නොහැකිය. යුරෝපය පවතින්නේ ද අවුල් වියවුල් වලින් ගහනව හා යුරෝව බිඳී යාමේ අද්දරක ය. ජපානය ආර්ථික පල්වීමේ මඩ ගොහොරුවක ගිලී පවතියි.

ආර්ථික පසුබෑම -මූල්‍ය හා වෙලඳ යුද්ධ හා එක්සත් ජනපද නය බාල්දුව යන සියල්ල ලෝක ධනේශ්වර ක‍්‍රමයේ බැහැර කල නොහැකි ඓතිහාසික අර්බුදයක ප‍්‍රකාශන වන්නේය. ප‍්‍රධාන ධනේශ්වර බලවතුන් අතර ගැඹුරු විභේදන හා එක්සත් ජනපදයේත් අනෙකුත් සෑම අධිරාජ්‍යවාදී රටකමත් පවතින දේශපාලන අර්බුදයන් යටින් දිවෙන්නේ මෙම අර්බුදයයි.

ලෝක පාලක පන්තීන්ට එකඟවිය හැකි එකම දේ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරය පුලුල් කිරීමේ අවශ්‍යතාවයයි. තමන්ගේ ම පද්ධතියේ කඩාවැටීමෙහි ප‍්‍රතිවිපාකයන් වෙතින් බේරී ගැනීමට ඔවුන් උත්සාහ දරන්නේ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට කුරිරු ප‍්‍රහාර එල්ල කරමිනි.

ඒ අතරම ධනේශ්වර බලවතුන් අතර ජාත්‍යන්තර සම්බන්ධීකරනයක් හෝ ස්ථායිකරනයක් සඳහා වන සෑම පදනමක ම බිඳ වැටීම නව ලෝක යුද්ධයක ගිනිමැලයක් වෙත නිර්දය ලෙස තල්ලු කෙරෙන උග‍්‍ර ජාතිකවාදය හා අන්තර් අධිරාජ්‍යවාදී ආර්ථික යුදවාදයේ නව අවධියකට දොර හරියි. 1930 ගනන්වල අත්දකිනු ලැබූ පරිද්දෙන්ම ගෝලීය ආර්ථිකය හා ජාතික රාජ්‍ය අතර මග නොහැරිය හැකි ඝර්ෂනය මානව වර්ගයා යලි වතාවක් ලෝක යුද්ධයේ හා ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ අවතාරයෙහි තර්ජනයට ලක් කරයි.

උපුටාගත යුත්තේ කුමන නිගමන ද? පලමුව 2008 මූල්‍ය බිඳවැටීම ඇමරිකානු හා ලෝක ධනවාදයේ ඓතිහාසික බිඳ වැටීමෙහි හා අසාර්ථකත්වයේ ප‍්‍රකාශනයක් මිස හුදෙක් වාරිකව පැන නැඟුනු අර්බුදයක ප‍්‍රකාශනය නොවන බවය.

දෙවැනුව අර්බුදය- ආරම්භක අදියරයන් දැනටමත් දැකගත හැකිව තිබෙන ටියුනීසියානු හා ඊජිප්තු විප්ලවයන් ද යුරෝපයේ හා එක්සත් ජනපදයේ කම්කරු පන්ති විරෝධතාවන්හි නැගෙන රැල්ල ද සනිටුහන් කරන විප්ලවවාදී නැගිටීම්වල නව විප්ලවවාදී අවධියකට දොර විවර කර තිබීම ය.

කම්කරු පන්තියට සිය මූලික අවශ්‍යතා ධනේශ්වර රාමුව තුල රැකගත නොහැකි බවත් මිනිසාගේ නිෂ්පාදන බලවේගවල තාර්කික- සැලසුම් සහගත- ප‍්‍රගතිශීලී සංවර්ධනයක් හා බෙදාහැරීමක් සඳහා එකම පදනම ඉදිරිපත් කරන්නේ සමාජවාදය පමනක්ය යන ප‍්‍රස්තුතයේ නිරවද්‍ය භාවයත් සනාථ වී තිබේ.

එක්සත් ජනපදයේත් ලෝකය පුරාත් කම්කරු පන්තිය වෘත්තීය සමිති ද ඇතුලු ධනේශ්වරයේ සියලු දේශපාලන නියෝජිතයින්ගෙන් හා ඒජන්සි වලින් බිඳී වෙන්ව ලාභ පද්ධතිය පෙරලා දැමීමටත් කම්කරුවන්ගේ ආන්ඩු පිහිටුවීමටත් ලෝක පරිමානව සමාජවාදය ගොඩනැඟීමටත් දැනුවත් අරගලයකට පිවිසිය යුතුය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේත් ඉදිරිදර්ශනය මෙයයි.

බැරී ගේ‍්‍ර