‍එක්සත් ජනපදය සෝමාලියාව ආක‍්‍රමනය කිරීමට සූදානම් වෙයි

US prepares for military intervention in Somalia

6 August 2011

නියඟය නිසා සාගතයකට මුහුනපා සිටින මිනිසුන් පිලිබඳ අනුකම්පාවේ ව්‍යාජයෙන් ඔබාමා පාලන තන්ත‍්‍රය සෝමාලියාවේ නව මිලිටරි මැදිහත්වීමකට සූදානම් වෙමින් සිටී. උග‍්‍රවන අර්බුදය පිලිබඳව චෝදනා එල්ල වී ඇති ඉස්ලාමීය අල් සහාබ් ව්‍යාපාරය හෙලා දකිමින් අත් ඇඹරීමේ හා කිඹුල් කඳුලු හෙලීමේ ව්‍යාපාරය සමග මාධ්‍යය ද අත්වැල් බැඳගෙන ඇත.

කුරිරු ඝාතනවලින් බෙන්ගාසි සිවිල් ජනයා බේරාගැනීමේ මුවාවෙන් දියත් කල ලිබියාවට බෝම්බ දැමීමේ මෙහෙයුමට සමානව, සෝමාලියාවේ නිරාහාරව මියැදෙන දරුවන් බේරා ගැනීම යන කඩතුරාව යටතේ දැන් අප‍්‍රිකාව තුල නව මිලිටරි මැදිහත් වීමක් සූදානම් කරමින් තිබේ. මෙය මහජනයා මුලා කිරීමේ නරුම ව්‍යායාමයකි.

එක්සත් ජනපද විදෙස් සබඳතා පිලිබඳ කවුන්සිලය නිකුත් කල වාර්තාවකට අනුව අල්-ෂබාබ් ව්‍යාපාරයේ පිරිස් බලය වැඩිම වුවොත් පුද්ගලයින් 10,000කි. එහි වඩාත් පක්ෂපාති භටයන් ප‍්‍රමානය යන්තම් කීප සියයක් විය හැක. ජාතික ත‍්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයට අනුව එයට අල් කයිඩා සමග සංවිධානාත්මක සබඳතා ඇත්තේ නැත.

තතු මෙසේ වුවත් එක්සත් ජනපද නිලධාරීන් වත්මන් දුර්භික්ෂය සඳහා චෝදනා එල්ල කරන්නේ මෙම සංවිධානය වෙතය. "සෝමාලියානු ජනයාට විරුද්ධව අල්-ෂබාබ් විසින් දියත් කර ඇති නිර්දය ත‍්‍රස්තවාදය දැනටමත් දරුනු තත්වය වඩා බිහිසුනු තැනකට පත්කර ඇති අතර එය තවත් නරක අතට හැරෙනු ඇතැයි” එකසත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පසුගිය සතියේදී සඳහන් කලාය.

ඇත්ත තත්වය නම්, එක්සත් ජනපදයේ පිටුබලය ලබන සංක‍්‍රමනීය ෆෙඩරල් ආන්ඩුවේ (ටීඑෆ්ජී) පාලනයට යටත් වර්ග සැතපුම් කිහිපයක ප‍්‍රදේශයට පමනක් ආධාර සීමා කෙරෙන හා අවශේෂ ප‍්‍රදේශ ආධාර කිසිවක් නොලබන තත්වය නිර්මානය කලේ වොෂින්ටනය විසින්ම වීමයි. "සෝමාලියාවේ ජීවිත බේරාගැනීමට අපි කැපවී සිටින අතර අල්-ෂබාබ් විසින් පාලනය නොකරන සෑම පලාතකම දැනටමත් වැඩ කරමින් සිටින්නෙමු”යි යූඑස් ඒඩ් සංවිධානයේ නියෝජ්‍ය පරිපාලක ඩොනල්ඩ් ස්ටෙයින්බර්ග් ලන්ඩනයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කීවේය. "අවාසනාවන්ත තත්වය වන්නේ පීඩාවට පත් ජනයාගෙන් සියයට හැටක් පමන ජීවත් වන්නේ අල්- ෂබාබ් යටතේ පවතින ප‍්‍රදේශය තුල වීමයි.”

සිවිල් ජනතාවකට එරෙහිව යුද්ධයේ අවි වසයෙන් ආහාර හා සාගතය යොදාගැනීමට ඇති වොෂිංටනයේ නැඹුරුව පිලිබඳව මීටත් වඩා පැහැදිලි ප‍්‍රකාශයක් කෙනෙකුට සොයා ගැනීමට නොහැකි විය හැකිය. සෝමාලියාවේ සාගතයෙන් මිලියන 3.7ක මිනිසුන් ප‍්‍රමානයක් තර්ජනයට ලක්ව ඇති අතර ඔවුන්ගෙන් මිලියන 2.8ක් ජීවත් වන්නේ ටීඑෆ්ජීයට බලයක් නොමැති දක්ෂින කලාපයේ ය. සෝමාලියාවේ විශාල කොටසකට ආහාර සම්පාදනය කිරීමට උත්සහා දරන ඕනෑම ආයතනයක් ත‍්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය වසයෙන් ආධාර කිරීමේ හේතුව උඩ චෝදනාවට ලක් වීමේ තර්ජනය පවතී.

2009 වසරේදී එක්සත් ජනපදය, ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවේ මව්වරුන් හා මන්ද පෝෂනයෙන් පෙලෙන දරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය සුපෝෂන වැඩසටහන නතර කිරීමට බලකලේ එය ත‍්‍රස්තවාදී සංවිධානයකට ආධාර දෙමින් සිටීය යන පදනම මතය. එයින් පසුව එක්සත් ජාතීන් සාගතයක් පවත්නේ යයි නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කල ප‍්‍රදේශ වලට පසුගිය දෙවසරක කාලය තුල ආහාර ආධාර නොලැබී ගියේය.

එක්සත් ජනපදයේ මිතුරෙක් වන අසල්වැසි උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවේනි දකුනු සෝමාලියාවට ඉහල අහසේ පියාසර මුක්ත කලාපයක් සඳහා යෝජනාවක් ගෙනාවේය. එහි අරමුන අල්-ෂබාබ් හමුදාව මුලිනුපුටා දැමීම යයි ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, අල්-ෂබාබ්ට ගුවන් බලය තබා ගොඩබිම සිට ගුවනට විදින මිසයිල පද්ධතියක්වත් නැත. බොහෝ දෙනෙක් ලාබාල තරුනයින් වන එහි සටන්කරුවෝ බඩු අදින ට‍්‍රක් රථනම් ධාවනය කරති.

පියාසර මුක්ත කලපයක් යෝජනා කිරීමේ අරමුන ආක‍්‍රමනයක් සඳහා මාවතක් සකසා ගැනීම මිස අනෙකක් නොවේ. අප‍්‍රිකාවේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සංවිධානය වන ඇපි‍්‍රකෝම් ප‍්‍රධානී ජෙනරාල් කාටර් එෆ්. හැම් සඳහන් කලේ පියාසර මුක්ත කලාපයක් පෙන්ටගනය සාදරයෙන් අනුමත කරනු ඇති බවයි. මේ අනුව මෙම ඉල්ලීම වොෂිංටනයට වඩා කලාපයේම බලවතුන්ගෙන් පැමිනි ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කල හැකිය. ලිබියාවේ පියාසර තහනම් කලාපයක් ඇති කිරීමේ ඉල්ලීම අරාබි ලීගයෙන් පැමිනි ආකරයෙන්ම සෝමාලියාව සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් අප‍්‍රිකානු සංගමයෙන් එනවා දකින්නට ඔවුනට අවශ්‍යය ය. එය ව්‍යාජ ධජයක් යටතේ කෙරෙන එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමක් වනු ඇත.

අමිසොම් වසයෙන් හඳුන්වන එක්සත් ජනපදයේ පිටුබලය ලබන අපි‍්‍රකානු සංගමයේ මිලිටරි භට කන්ඩායම් අල්-ෂබාබ් භටයින්ට එරෙහිව ප‍්‍රධාන ගොඩබිම් මෙහෙයුමක් දැන් ආරම්භ කර තිබේ. දකුනු සෝමාලියාවේ ගෙඩෝ කලාපයේ පිහිටි එල්වැක් නගරය අසල හා මොගඩිෂුවල දරුනු සටන් වාර්තා වෙයි.

සෝමාලියාව අභ්‍යන්තරයේ දුර බැහැර ප‍්‍රදේශවලට පහර දීමේ ශක්‍යතාව එක්සත් ජනපදයට දැනටමත් පවතී. මෙම වසරේ ජූනි මාසයේදී එය මිනිසුන් රහිත ඩ්‍රෝන් ගුවන්ගත ඝාතන ප‍්‍රහාරයක් දියත් කලේය. මෙයට පෙරාතුව එය ඝාතනය කිරීමේ හෝ සැකකරුවන් අල්ලා ගැනීමේ අරමුනින් විශේෂ කාර්ය බලකායන් හෙලිකොප්ටර්වලින් ගොඩ බස්වනු ලැබිනි. සෝමාලි මුහුදෙන් එපිට මුර සංචාරයේ යෙදෙන නාවික බෝට්ටුවලින් හෝ ජිබුටිවලට යාබදව එය විසින් පවත්වා ගෙන යන මිලිටරි මධ්‍යස්ථානයේ සිට හෝ මොගඩිෂුවල නව සීඅයිඒ කලාපයේ සිට හෝ ප‍්‍රහාර එල්ල කිරීමට එයට හැකිය.

අල් කයිඩාවට සම්බන්ධකම් ඇතැයි එක්සත් ජනපදය කියා සිටින අතර අල්-ෂබාබ් තම රටට ප‍්‍රමුඛ මිලිටරි තර්ජනයකැයි හුවා දක්වා තිබේ. මෙම සංවිධානය "අපගේ රාජ්‍ය ආරක්ෂාවට වැඩෙන තර්ජනයක්” යැයි ධවල මන්දිර අභ්‍යන්තර ආරක්ෂක කමිටුවේ සභාපති පීටර් කිං කියාසිටි අතර එය සෝමාලි-ඇමෙරිකානුවන් ත‍්‍රස්තවාදය සඳහා බඳවා ගනිමින් සිටින බවක් ද කියා සිටියේය.

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයීය නීති පීඨයේ නීතිය හා ආරක්ෂාව පිලිබඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කාරෙන් ග‍්‍රීන්බර්ග් ගාඩියන් පුවත්පතෙහි ලියමින් කිංගේ ප‍්‍රකාශ අභියෝගයට ලක් කලාය. ත‍්‍රස්තවාදයට සම්බන්ධ දාමරිකකම් නිසාවෙන් වරදට ලක්ව ඇත්තේ එකම එක සෝමාලි-ඇමෙරිකානුවෙකු පමනක් බවත් ඔහුටද අල්-ෂබාබ් සමග කිසිදු සබඳකමක් නොපැවති බවත් ඇය පෙන්වා දුන්නාය.

වත්මන් සාගතයට වොෂිංටනයේ ප‍්‍රතිචාරය ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ඔපරේෂන් රෙස්ටෝ හෝප් (ප‍්‍රර්ථනා යලිත් එලිදැක්වීමේ) මෙහෙයුම සිහි කැඳවයි. ජනාධිපති බුෂ් ඔහුගේ ධුරයේ අවසන් දිනවලදී ක‍්‍රියාත්මක කල එමගින් සාගතයෙන් පෙලෙන දරුවන්ට ආහාර ආධාර බෙදාහැරීමටය යන ව්‍යාජය යටතේ 1992 දෙසැම්බර් 5 වෙනි දින එක්සත් ජනපද භටයින් 30,000ක් සෝමාලියාවට ගොඩ බැස්සුවේය.

එකල අල්-ෂබාබ් කෙනෙක් සිටියේ නැත. මවාපෑ තර්ජනය වූයේ සෙයිඩ් බාරේ පාලනාධිකාරය ඇද වැටීමෙන් අනතුරුව බිහිවූ "යුද දෙටුවන්ගෙන්” ආහාර ආධාර සැපයුම් වලට තර්ජන එල්ල වේය යන්නයි. එක්සත් ජනපදය 1977 සිට සෝවියට් පිටුබලය ලැබූ ඉතියෝපියානු පාලන තන්ත‍්‍රයට එරෙහිව මිලිටරි ආඥාදායක බාරේට සහය දී තිබින. 1991දී එක්සත් ජනපදය බාරේ අත්හැර දැමූ අතර එය ඔහුගේ පාලනයේ අවසානය විය. එතැන් පටන් ස්ථාවර එකදු ආන්ඩුවක් වත් සෝමාලියාවේ පැවතුනේ නැත.

ජනාධිපති බිල් ක්ලින්ටන් වඩාත් විවෘත ආක‍්‍රමනයක් ගෙන ගියේය. ඇමෙරිකානු බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් මොගඩිෂුවලදී වෙඩි තබා බිම හෙලීමෙන් පසුව මියගිය සොල්දාදුවන්ගේ මලසිරුරු රූපවාහිනී කැමරා ඉදිරියේ ප‍්‍රදර්ශනය කරනු ලැබීමෙන් අනතුරුව 1994 දී එක්සත් ජනපද භටකන්ඩායම් සෝමාලියාවෙන් ඉවත් කර ගැනීමට ඔහුට බල කෙරුනි.

විජිත ආක‍්‍රමනයේ නව අවධියක් ඔපරේෂන් රෙස්ටෝ හෝප් මගින් නියෝජනය කෙරුනි. "මානුෂීය මැදිහත්වීමක්” යැයි කියනු ලැබූ මෙහෙයුම සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වප‍්‍රාප්තිකයා වූ එකල එක්සත් ජනපද වර්කස් ලීගය හෙලාදුටුවේය. එය මෙසේ ලීවේය. "යුද නැව්, ප‍්‍රහාරක ජෙට් යානා හා ප‍්‍රහාරක හෙලිකොප්ටර් මගින් පිටුබලය ලද දස දහස් ගනනක් සොල්දාදුවන් මෙහෙයවීම සෝමාලියානු ජනතාවගේ ස්වාධිපත්‍ය ම්ලේච්ඡ අයුරින් උල්ලංඝනය කිරීමකි. එය අප‍්‍රිකාවේ පමනක් නොව සමස්ත ලෝකය පුරාම පීඩිත ජාතීන් විජිතකරනයේ නග්න වහල්භාවය කරා යලි ඇදගෙන යාමක් සනිටුහන් කරයි.”

එතැන් පටන් මේ දක්වා වොෂිංටනය තම පරාජයන් ආපසු හැරවීමටත් තෙල් හා අනෙකුත් දුර්ලභ අමුද්‍රව්‍යවලින් පොහොසත් මහද්වීපයක් වන අප‍්‍රිකාව සඳහා නව මාවතක හදවතේ පිහිටා ඇති රටක පාලන බලය යලි අත්කර ගැනීමටත් අදිටන් කොට ගෙන සිටියි. මුහුදු හා ගුවන් පිහිටීම් යන දෙකෙන්ම ලෝක වෙලඳාමේ සන්ධිස්ථානයක සෝමාලියාව පිහිටා තිබේ. වානිජ ගුවන් යානාවලින් සියයට අනූවක් පමන එරට ගුවන් පථය හරහා දිනකට ගමන් කරයි. ගල්ෆ් හා උතුරු අප‍්‍රිකාවේ සිට තෙල් ගෙනයන මුහුදු නල මාර්ග එහි වෙරලෙන් ඈත පිහිටා තිබේ. චීනය වැනි සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව ගෝලීය අධිකාරිය පවත්වා ගැනීම සඳහා සෝමාලියාවේ පාලනය සිය වාසියට හරවා ගැනීම එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ ඉලක්කයකි.

1994 දී අත් වූ පරාජයේ පටන් වොෂිංටනය විවිධාකාර උපාමාරු යෙදීම අත්හදා බලා තිබේ. එය වැඩෙන පරිමානයකින් අප‍්‍රිකාව තුල කුලී හමුදා යොදාගනියි. 2006 දෙසැම්බරයේදී එක්සත් ජනපදය ඉතියෝපියාවේ සෝමාලියානු ආක‍්‍රමනයට පිටුබලය දුන්නේය. රූකඩ පාලනයක් වසයෙන් ටීඑෆ්ජී ස්ථාපිත කලේ එම ආක‍්‍රමනයේ ප‍්‍රතිපලයක් ලෙසය. ඉතියෝපියානු භටකන්ඩායම් ඉවත් වූ විට අමිසෝන් එතැනට පත් කෙරින. ඇමිසෝන්හි අධිකාරය දරන උගන්ඩා හා බුරුන්ඩි හමුදා ඛන්ඩ එක්සත් ජනපද මිලිටරිය විසින් පුහුනු කර තිබෙන අතර නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ කර තිබේ.

කෙසේවෙතත්, මෙකී සියලු අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රන තුලින් නැවත නැවතත් 1992-1994 සෝමාලියානු ආක‍්‍රමනය පිලිබඳව වර්කස් ලීගය විසින් කරන ලද ගුනාංගීකරනය සනාථ කර තිබේ. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රන, ආක‍්‍රමන හා යුද්ධ මාලාවක්- බෝල්කන් ප‍්‍රදේශ, මධ්‍යම ආසියාව, පර්සියානු ගල්ෆ් හා අපි‍්‍රකාව- අනුක‍්‍රමයෙන් පැමිනුනේ බොහෝවිට මානුෂීය මෙහෙයුම්වල වේශයෙන් නොවේ. තවත් ම්ලේච්ඡ ආක‍්‍රමනයක් සඳහා පදනම දැමීමට සෝමාලියාවේ ඛේදජනක සාගතය පිලිබඳ මහජන හැඟීම ගසාකෑමට දරන සියලු උත්සාහයන් කම්කරුවන් හා තරුන ජනයා විසින් ප‍්‍රතික්ෂේප කල යුතුය.

සුසාන් ගාත්