එක්සත් ජනපදය පොරොන්දු බිඳදැමූ කල: බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය බිඳ දැමීමේ තැන් පටන් වසර 40ක් ගතවීම

When the US defaulted: 40 years since the collapse of the Bretton Woods Agreement

15 August 2011

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස්ඇන්ඩ්පී) විසින් එක්සත් ජනපදයේ නය වර්ගීකරනය පහත හෙලීමෙහි වැදගත්කම ගැන කෙරෙන බොහෝ ප‍්‍රකාශ තුලින් එක්සත් ජනපදය කිසි කලෙකත් සිය නය පැහැර නොහරිනු ඇතැයි යන පදනම මත මෙම සිද්ධියේ තීරනාත්මක භාවය ඉවත දමා ඇත. එහෙත් හතලිස් වසරකට පෙර අද වැනි දිනෙක එක්සත් ජනපදය පොරොන්දුව කඩකලේය. ඒ ඇමරිකාව තවදුරටත් රත්රන් සඳහා ඩොලර් සැපයීමේ පොරොන්දුවට ගරු නොකරන බව ලෝකයට දැනුම් දීම පිනිස ජනාධිපති නික්සන් ඉරිදා රාති‍්‍රයේ රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටීමත් සමග ය.

පශ්චාත් යුද්ධ ධනේශ්වර උත්පාතයට මූලික පදනම සම්පාදනය කරමින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර වෙලඳාම හා ආයෝජන පුනස්ථාපනය කිරීමේ පදනම දමන ලද බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය මෙම ඒක පාර්ශවික තීරනයෙන් සුන්වී ගියේය.

එක්සත් ජනපදයේ ද බි‍්‍රතාන්‍යයේ ද ප‍්‍රමුඛ ආර්ථික හා මූල්‍ය චරිත අතර වසර ගනනාවක් තිස්සේ පැවතීගෙන ගිය සාකච්ඡා හා සම්බන්ධතාවන්ගේ ප‍්‍රතිපලය වූයේ බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතියයි. නව මූල්‍ය පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා පදනමක් දමනු නොලැබුවහොත් සමාජවාදී විප්ලවයේ තර්ජනය මතුකරමින් පශ්චාත් යුද්ධ ආර්ථිකය යලි වතාවක් වේගයෙන් 1930 ගනන්වල තත්වය කරා සේන්දු වනු ඇතැයි යන පුලුල් අවබෝධය දෙපාර්ශවය ම අතර පැවතුනි.

එහෙත් දෙපාර්ශවය අතර තියුනු මතභේද ද පැවතියේය. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සාකච්ඡාකරු ලෙස කටයුතු කල ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය අවසානයකට ගෙන ආ වර්සායි ගිවිසුම පිලිබඳව දැවෙන විවේචන හේතුකොටගෙන නමක් දිනා සිටි ජෝර්ජ් මේනාඩ් කේන්ස් හට බි‍්‍රතාන්‍යයේ ආර්ථික පදනම පවත්වාගැනීම කෙරෙහි උත්සුක වන අතර ම එක්සත් ජනපදයේ ඉහවහා ගිය ආර්ථික අධිකාරය පිලිගැනීමට ද බල කෙරුනි. වෙලඳාම නියාමනය කරන ජාත්‍යන්තර නිෂ්කාසන සංගමයක් මගින් පරිපාලනය කෙරෙන ජාත්‍යන්තර මුදලක් එනම්, නැංගුරමක් පිහිටුවීමට කේන්ස් යෝජනා කලේය.

මෙය එක්සත් ජනපද පාලනය හා එහි ප‍්‍රධාන සාකච්ඡාකරුවු හැරී ඩෙක්ස්ටර් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිනි. තම ධනේශ්වර එදිරිවාදීන් මත අධිකාරය පිහිටුවාගෙන තිබූ එක්සත් ජනපදය කේන්ස්ගේ සැලැස්මෙන් ඉදිරිපත්කල ජාත්‍යන්තර නියාමනයකට යටත්වීමට සූදානම් නොවීය. කෙසේ වුවත් එක්සත් ජනපදය ප‍්‍රමුඛ ගෝලීය මුදල බවට ඩොලරය ස්ථාපිත කර ගත්තේවී නමුත් එක්සත් ජනපදයෙන් පිටත සංසරනය වන ඩොලර් සියල්ල රත්රන් අවුන්සයක් ඩොලර් 35 යන අනුපාතයට අනුව හුවමාරු කරන බව සහතික කිරීම මගින් සහනයක් සැලසීමට එරටට බල කෙරුනි රන්-ඩොලර් සම්බන්ධතාවයේ පදනම මත ප‍්‍රධාන ජාත්‍යන්තර මුදල් සියල්ල ඩොලරයට ගැටගසන ලද අතර එමගින් ඒවා අතර ස්ථාවර අනුපාතයක් නියම කෙරුනි. නිදහස් වෙලඳාම පිහිටුවීම කරා වූ තල්ලුව ද සමග ස්ථාවර මූල්‍ය සම්බන්ධතාවලින් අරමුනු කරන ලද්දේ 1930 ගනන්වල පැනනැගි ආකාරයේ තරගකාරී මෙන්ම විනාශකාරී ද වූ මූල්‍ය අවප‍්‍රමානයන් වලක්වා ගැනීමය.

ලෝක ධනේශ්වර ආර්ථිකය යලි පනගැන්වීමේදී බ්‍රෙට්න්වුඩ්ස් සම්මුතිය මුඛ්‍ය කි‍්‍රයාකලාපයක් ඉටුකලේය. එහෙත් එහි සාර්ථකත්වය ම නව ප‍්‍රතිවිරෝධයන් ඉස්මතු වීමට දොර විවර කලේය.

ජාත්‍යන්තර වෙලඳාම හා විදේශ ආයෝජන වලින් වාසි ලැබූ ප‍්‍රධාන රට එක්සත් ජනපදය වූ අතර එහි අර්ථය වූයේ වර්ධනය වන ජාත්‍යන්තර ද්‍රවශීලතා අවශ්‍යතාවන් සඳහා මුදල් සැපයීමට අඛන්ඩව ඩොලර් පිටතට ගලා යායුතුව තිබුන බවයි. එහෙත් මෙම ක‍්‍රියාවලිය ඩොලරය හා රත්රන් අතර සම්බන්ධතාවයට ද වල කැපීය. ලෝක ආර්ථිකය තුල සංසරනය වෙමින් පැවති ඩොලර් ප‍්‍රමානය එයට පිටුබලය දෙනු ඇතැයි සලකන ලද එක්සත් ජනපදය සතු රන් සංචිතයේ වර්ධන අනුපාතයට බෙහෙවින් වැඩි වේගයකින් වැඩී ගියේය. ඩොලර් රන් සම්බන්ධතාවයට වඩා වෙන කිසිවක් පිලිබඳව තමා කනස්සල්ලට පත්වනු නැතැයි ජනාධිපති කෙනඩි ප‍්‍රකාශ කල, 1960 ගනන් මුල ගැටලුව හිස එසවීමට පටන් ගත් අතර, දශකය පුරාම එය වඩ වඩාත් නරක අතට හැරුනි. එක්සත් ජනපදය සතුව පැවති රන් සංචිත වලට වඩා ඩොලර් බිලියන 23ක් තරම් ඉහල අගයක් සටහන් කරමින් 1951 දී බිලියන 5ක් වූ රටින් පිටත සංසරනයවූ ඩොලර් ප‍්‍රමානය 1968දී බිලියන 38.5 දක්වා වැඩි විය.

රටට පිටතින් ගලා එන හා රටින් පිටතට ගලා යන මුලු මුදල් ප‍්‍රමානය මනිනු ලබන එක්සත් ජනපද ගෙවුම්ශේෂයේ හිඟයක් වාර්තා වූයේ එක්සත් ජනපද විදේශ ආයෝජන හා විශේෂයෙන්ම කොරියානු හා වියට්නාම් යුද්ධ මුල්කොටගත් විදේශ ගත ආන්ඩුවේ වියදම් කරනකොට ගෙනය. එහෙත් එක්සත් ජනපද ආනයනයන්ට වැඩි අපනයන වෙලඳ අතිරික්තය මගින් හිඟය තවමත් යම් දුරකට පියවාගත හැකිවිය. කෙසේ වෙතත් 1970 ගනන්වල දී ලෝක වෙලඳපොලේ එක්සත් ජනපදයෙහි තරගකාරී තත්වයේ පිරිහීම පිලිබිඹු කරමින් වෙලඳ අතිරික්තය ශුන්‍ය වූ අතර නික්සන් ඊට මැදිහත් විය.

බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතියේ අවසානය එක්සත් ජනපදයේ සාපේක්ෂ පරිහානියෙහි නිමැවුමක් පමනක් නොවීය. එය වනාහි වඩ වඩාත් ඒකාග‍්‍රිතවූ ලෝක ආර්ථිකයේ වර්ධනයත් ලෝකය ප‍්‍රතිමල්ලව ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීමත් අතර ප‍්‍රකාශිතවූ ධනේශ්වර පද්ධතියේ නොවිසඳියහැකි ප‍්‍රතිඝතිතාවයේ ප‍්‍රකාශනය ද විය.

1960 ගනන් පුරා බලයට පත් ඇමරිකානු ආන්ඩු ඩොලර් පිටතට ගැලීම සීමාකරන නීති පැනවීම තුලින් බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතිය පවත්වාගෙන යාමට උත්සාහ දරා තිබේ. එහෙත් කිසිදු ජාතික ආන්ඩුවක පාලනයට හසු නොවී යුරෝපීය මූල්‍ය ක‍්‍රමයට පරිබාහිරව සංසරනය වූ ඩොලර් වලින් සැදුම්ලත් යුරෝ ඩොලර් වෙලඳපොල ලෙස ප‍්‍රකටව තිබූ හුවමාරුවේ වර්ධනය මඟින් ඒවා නොකඩවා ව්‍යර්ත කෙරිනි. ඉතා බලගතු ජාතික ආන්ඩුවලට පවා මෙම වෙලඳපොල පාලනයකට යටත් කරගත නොහැකිවීමෙන් හටගත් අපේක්ෂා භංගය ප‍්‍රකාශිත කරමින් බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්ෂ අගමැති හැරල්ඩ් විල්සන් මෙම ක‍්‍රියාවලියේ හදවතෙහි ම සිටි බැව් සැලකුනු ස්විට්සර්ලන්ත බැංකු කරුවන් "සූරිච් බහිරවයන්” ලෙස නිතරම හෙලා දුටුවේය.

1971න් පසුවත් ඩොලරය ගෝලීය සංචිත මුදල ලෙස පැවතිය ද නව පාවෙන විනිමය අනුපාතික ක‍්‍රමය ගෝලීය මූල්‍ය පද්ධතිය එන්ට එන්ටම අස්ථාවරත්වයට පත් කලේය. අද දවසේ ගැඹුරුවන ආර්ථික හා මූල්‍ය අර්බුදය තුල එවන් තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කරන මූල්‍ය ව්‍යුත්පන්නයන් නැගගෙන නැගගෙන ආවේ එම අවධියේ පටන් ය.

අනාගත ගිවිසුම් හා කොන්ත‍්‍රාත් වැනි ව්‍යුත්පන්නයන් දිගු කාලයක් පුරා පැවතී තිබේ. එහෙත් බ්‍රෙට්න්වුඞ්ස් ක‍්‍රමය බිඳවැටීමෙන් පසුව මුදල් හා අනෙකුත් මූල්‍ය වෙලඳපොලවල අස්ථාවරත්වයත් සමඟ බැඳුනු ලෝක ආර්ථිකයේ එන්ට එන්ටම සමීප ඒකාග‍්‍රකරනය අවදානමට එරෙහිව ආරක්ෂාව සැලසිය හැකි නව මූල්‍ය මෙවලම් වර්ධනය කිරීම අවශ්‍යතාවක් බවට පත් කලේය. එම අවශ්‍යතාවය ඉටුකිරීම පිනිස ව්‍යුත්පන්නයෝ පෙරමුනට පැමිනි නමුත් ඉක්මනින්ම ඒවායේ මූලාරම්භයට වඩා බොහෝ දුරට පුපුරන සුලූ ආකාරයකින් පැතිරී වර්ධනයවීමට පටන් ගත්තේය.

බ්‍රෙට්න්වුඩ්ස්හි අභාවයෙන් වසරක් ගතවෙද්දී එනම් 1972දී අනාගත මූල්‍ය වෙලඳපොලක් චිකාගෝහි දියත් කරන ලදී. ඊලඟ වසරේදී මූල්‍ය විකල්පයන් මිල කිරීම හා හුවමාරු විකල්පයන් සඳහා සූත‍්‍රයක් වර්ධනය කර ස්ථාපිත කෙරිනි. 1975දී චිකගෝ වෙලඳ මන්ඬලය පලමු අනාගත පොලී අනුපාත කොන්ත‍්‍රාත්තුවක් හඳුන්වාදෙන ලදී. ජාත්‍යන්තර සමථ බැංකුවට අනුව 1973දී මූල්‍ය ව්‍යුත්පන්නයන් නොපැවති තරම්ය. 2008 ජූනි මාසයේ ලේමන් බැංකුව කඩාවැටීම ආසන්නයේ ඊනියා එසැනින් කෙරෙන ගිවිසුම් වල නාමික අගය ඩොලර් ටි‍්‍රලියන 683.7ක් හෝ ලෝක නිමැවුමෙන් දහගුනයකටත් වැඩි වටිනාකමක් දක්වා නැඟුනි.

පසුගිය දශක හතර පුරා ව්‍යුත්පන්නයන්ගේ සුවිශේෂිත වර්ධනය, නයට සම්බන්ධිතව මාක්ස් විසින් විශ්ලේෂනය කල ක‍්‍රියාවලියක් සලකුනු කරයි. ඔහු සඳහන් කල පරිදි පලමු අදියරේදී නය "හොර රහසේ රිංගා එන්නේ සමුච්ඡයකරනයේ නිහතමානී සහායකයෙකු ලෙසය”. එහෙත් අවසන් වන්නේ යෝධ සමාජ හා මූල්‍ය යාන්ත‍්‍රනයක් ලෙසය. එසේම ව්‍යුත්පන්නයන් ද පලමුව කරලියට පැමිනියේ අවදානමට එරෙහිව ප‍්‍රාග්ධනය ආරක්ෂා කරන සේවකයෙකු ලෙසය. එහෙත් අවසන් වුනේ ඉතිහාසයේ බරපතලම මූල්‍ය ව්‍යසනය නිර්මානය කිරීමට දායක වෙමිනි.

බ්‍රෙට්න්වුඩ්ස් ක‍්‍රමයේ බිඳවැටීම හා එය නිර්මානය කල ආකූලතාවය 1970 ගනන්වල පුපුරන සුලු සමාජ හා පන්ති අරගලයන්ට තෙල් වැක්කිරීමේ වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටුකරනු ලැබිනි. කෙසේ වෙතත් කම්කරු පන්තිය එහිම නායකත්වයේ පාවාදීම් මඟින් අවහිර කරන ලදී.

එහෙත් බ්‍රෙට්න්වුඩ්ස් ක‍්‍රමය කෑලිකර දැමූ ගෝලීය ධනවාදී ආර්ථිකයේ පරස්පර විරෝධයන් කිසිවක් එම පාවාදීම් මගින් නිරාකරනය කලේ නැත. සැබවින්ම සිදුවූයේ ඒවා තවත් උත්සන්න වීමය. එක්සත් ජනපදයේ ඓතිහාසික පරිහානිය අඛන්ඩව ඉදිරියට යමින් ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ අතිශයින්ම අස්ථාවරකාරී සාධකය බවට දැන් පත්ව තිබෙන අතර ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප‍්‍රතිවිරෝධයෝ ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමයේ බිඳවැටීමේ රූපයෙන් නැඟී ආවේය.

මෙහි අර්ථය දශක හතරකට පෙරාතුව හටගත් විප්ලවවාදී අරගලයන්හි පරිමාව හා අවකාශය බෙහෙවින් පරයා යන අරගල පැනනැගෙනු ඇති බවයි. පසුගිය පරාජයන්හි පාඩම් උකහාගෙන කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳාලිය යුතුය. සියල්ලටත් වඩා මෙහි අර්ථය වනු ඇත්තේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීමයි.

නික් බීම්ස්