ලිබියාවේ නේටෝ රූකඩ තන්ත‍්‍රය බිඳ වැටෙයි

NATO’s puppet regime in Libya falls apart

13 August 2011

බෙන්ගාසිය මූලස්ථානය කර ගත් සමස්ත ලිබියානු විරුද්ධ පාර්ශ්වීය කැබිනට්ටුව ම මේ සතිය තුල දී නෙරපා හරිනු ලැබීමෙන්, එක්සත් ජනපදය සහ එහි යුරෝපා මිත‍්‍ර පාක්ෂිකයන් ලිබියාව මත පැටවීමට උත්සාහ දරමින් සිටින තන්ත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, පිල් බෙදුනු ස්වභාවය හෙලිදරව් වී ඇත. ලිබියානු නායක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමට දරන පරිශ‍්‍රමයන්හි දී ජනතා සහාය නොමැතිකම නිසා මිලිටරිමය ඇන හිටීමකට මුහුන පාමින් සිටින ස්වයං-ප‍්‍රකාශිත සංක‍්‍රමනික ජාතික කවුන්සිලය (ටීඑන්සී), ප‍්‍රචන්ඩ අභ්‍යන්තර ගැටුම්වලින් ඇලලී යමින් පවතී.

ජුලි 28 දා සංවිධානයේ මිලිටරි ප ‍්‍රධානියා වන ජනරාල් අබ්දෙල් ෆටා යුනිස් පැහැදිලි නොකල හේතු මත ඝාතනයට ලක් වීමෙන් පසුව, ටීඑන්සී සභාපති අබ්දුල් මුස්තාෆා ජලීල්, සඳුදා ටීඑන්සී විධායක කමිටුව නෙරපීමට අන කලේ ය. ඊලඟ කැබිනට්ටුව ගොඩ නැගීම සඳහා තබා ගත්තේ ටීඑන්සීයේ ඊනියා අගමැති මහමුද් ජිබ්රිල් පමනකි. අවුල් සහගත භාවයේ තවත් ලකුනක් වූයේ, පුලුල් ලෙස ටීඑන්සී ධජය යටතේ ක‍්‍රියාත්මක විවිධ ස්වාධීන භටකායන්හි සාමාජිකයන් ඒකක වශයෙන් නො ව තනි තනි පුද්ගලයන් ලෙස තම සන්නද්ධ හමුදාවලට එක් විය යුතු බවට ජලීල් කල අවධාරනය යි.

ජලීල් ක‍්‍රියා කලේ, යුනිස්ගේ පවුලේ සාමාජිකයන් සහ බලසම්පන්න ඔබෙයිඩි ගෝත‍්‍රය යුක්තිය ඉල්ලමින් ඉදිරිපත් කල ඉල්ලීම් හා ටීඑන්සීය තුල ඉස්ලාම්වාදීන්ගේ ආනුභාවය වර්ධනය වීම සම්බන්ධයෙන් විවේචනාත්මක වූ ලිබියානු විනිශ්චයකාරවරුන් සහ නීතිඥයන් එක්ව ගොඩ නගා ගත් අනාගමික කන්ඩායමක් වන, "පෙබරවාරි 17 දා සන්ධානය” එල්ල කල පීඩනය යටතේ ය. නෙරපා හැරීම් නිවේදනය කල අවස්ථාවෙහි ටීඑන්සී ප‍්‍රකාශකයෙකු කියා සිටියේ, යුනිස් ඝාතනයට ලක් වීමට තුඩු දුන් "අවිධිමත් පරිපාලන ක‍්‍රියා පටිපාටි” සම්බන්ධයෙන් වගකිව යුත්තේ කැබිනට්ටුව බව යි.

යුනිස් අත් අඩංගුවට ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු නිල පැහැදිලි කිරීමක් කර නොමැති අතර, මෙම තත්ත්වය කටුක දෝෂාරෝපනයන්ට ලක්ව ඇත. බෙන්ගාසි විරුද්ධ පාර්ශ්වයට එක් වන්නට පෙර ඔහු ගඩාෆිගේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා වූ අතර, විශේෂ බලකායන්ට අයත් භට කන්ඩායම් සිටියේ ඔහුගේ ආඥාව යටතේ ය.

යුනිස්ගේ සමීපතමයන් ඔහු ඝාතනය කිරීම පිලිබඳව චෝදනා කර ඇත්තේ ඉස්ලාම්වාදී භටකායකට යි. ඔවුන් පවසන පරිදි භටකාය මෙම ඝාතනය සිදු කලේ, 1990 ගනන්වල හට ගත් ඉස්ලාම්වාදී නැගිටීමක් මැඩ පැවැත්වීමට ජනරාල්වරයා ම්ලේච්ඡ අයුරින් ක‍්‍රියා කිරීමට පලි ගැනීමක් වශයෙන් සහ ටීඑන්සී මිලිටරි ඒකක සිය තනි ආඥාව යටතට ගැනීමට ජනරාල්වරයා දැරූ පරිශ‍්‍රමයන් වැලැක්වීමට ය. කන්ඩායම් ගනනාවක් එක්ව සැදුනු, ලිහිල්ව සංවිධානය වුනු, ඒකාබද්ධ විප්ලවවාදී හමුදාව නමින් ප‍්‍රකට ටීඑන්සී මිලිටරිය තුල-මුස්ලිම් සහෝදරත්වය සහ අල් කයිඩාව සමග පෙල ගැසී ගත් ලිබියානු ඉස්ලාමීය සටන්කාමී කන්ඩායම (එල්අයිඑෆ්ජී) ඇතුලු-විවිධ ඉස්ලාම්වාදී සංවිධාන කැපී පෙනෙයි.

කැනඩාවේ ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පතෙහි පසු ගිය සතියේ පල වුනු ලිපියක්, "මධ්‍යස්ථ මතධාරියෙකැ”යි කියා ගන්නා මුහම්මද් බසිඩ්රා නායකත්වය දෙන ඉස්ලාම්වාදී හමුදාවල බලය වඩවඩා තහවුරු වීම හුවා දැක්වී ය. ඔහුගේ ජාලයට ඇතුලත් වන්නේ, මුස්ලිම් සහෝදරත්වය, ඉස්මයිල් අල්-සලාබි නම් පූජකවරයා නායකත්වය දෙන "පෙබරවාරි 17 දා විරුවන්ගේ සේනාංකය” සහ වෙනත් ඉස්ලාම්වාදී නායකයන් ගනනාවකි. තමන් ගඩාෆිගෙන් පසු ලිබියාව සඳහා ඉස්ලාම්වාදී ව්‍යවස්ථාවක් සැලසුම් කර ඇති බවත්, තමන්ට වුවමනා කරන්නේ ඉස්මයිල්ගේ සොහොයුරා වන දැනට දෝහාහි පදිංචිව සිටින ෂික් අල්-සලාබි එහි සභාපතිත්වය භාර ගැනීම බවත්, ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී බසිඩ්රා පැහැදිලි කලේ ය.

යුනිස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉස්මයිල් අල්-සලාබි චෝදනා කරන්නේ ඉස්ලාම්වාදී භටකායට නොව රහසින් ඒ තුලට රිංගා සිටින ගඩාෆිගේ ආධාරකරුවන්ට ය. ටීඑන්සීය තුල කන්ඩායම්වාදී ආතතීන් තියුනු වී ඇති තතු තුල, "ගඩාෆි පාක්ෂිකයන්” රැසක් ඔහුගේ ඒකක වට ලමින් සිටින අතර, ඔවුන් අතරෙහි දේශපාලන විරුද්ධවාදීන් සිටිනවා නිසැක ය. ඒකාබද්ධ මිලිටරි බලකායට එක් වන ලෙසට ටීඑන්සීය කල නියෝගයට, මේ වන තෙක් එක ද භටකායක් වත් කීකරු වී නැත.

යුනිස් ඝාතනයෙහි ගැබ් වන තුන් වන සාධකය වනුයේ ඛලිෆා හිෆ්ටර් නම් මිලිටරි පුද්ගලයා යි. ඔහු දිගු කලක් තිස්සේ සීඅයිඒ සංවිධානය සමග සම්බන්ධකම් පවත්වා ඇති, හිටපු ලිබියානු හමුදා අන දෙන නිලධාරියෙකි. ටීඑන්සී මිලිටරි අංශයේ පාලනය සම්බන්ධයෙන් ඔහු යුනිස් සමග ගැටුම් ඇති කර ගත් බව ප‍්‍රකට කරුනකි. හිෆ්ටර් ඍජුව සම්බන්ධ වූවත් නොවූවත්, ඔහු සිටීමෙන් තහවුරු වන්නේ, බෙන්ගාසියෙහි සැලසුම් කෙරෙන අධම කූට ප‍්‍රයෝගයන් තුල විවිධාකාර බටහිර රහස් ඔත්තු ඒජන්සි ද නියැලී සිටින බව යි.

යුනිස් ඝාතනයෙන් දෙසතියක් ගත වීත් ටීඑන්සි සභාපති ජලීල් සිදු වූ දේ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැත. ඔහු කලින් ගඩාෆිගේ අධිකරන ඇමතිවරයාව සිටියෙකි. තම මුලු "කැබිනට්ටුව” ම ඉවත් කිරීමට ඔහුට බල කෙරී ඇත්තේ, ඉස්ලාම්වාදීන්ගෙන්, ගඩාෆිගේ හිටපු නිලධාරීන්ගෙන්, සීඅයිඒ ඒජන්තයන්ගෙන් සහ විවිධ වර්ගවල කෛරාටිකයන්ගෙන් සහ දුෂ්ප‍්‍රතිපත්තිකයන්ගෙන් සමන්විත සිය කලහකාරී සන්ධානය පාලනය කර ගැනීම උදෙසා ය.

මතුව එමින් පවත්නා දෙය වූකලි, ඔබාමා පාලනාධිකාරය සහ එහි යුරෝපා මිත‍්‍ර පාක්ෂිකයන් ද, ඒ සමග ඊනියා වාම සංවිධාන සහ-ලිබියාව තුල නේටෝව කර ගෙන යන බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට හුරේ දමන්නන්ගේ නායකයා ලෙස ක‍්‍රියා කර තිබෙන-ඇමරිකානු මහාචාර්ය ජුවාන් කෝල් බඳු ඊනියා ලිබරල්වාදීන් ද පිලිබඳ විනාශකාරී දෝෂාරෝපනයකි. නේටෝවෙන් ලිබියාව මත පැටවෙන්නට යන ටීඑන්සී තන්ත‍්‍රය, අඩු ගනනේ ගඩාෆි නායකත්වය දුන් තන්ත‍්‍රය තරමට ම වත් දූෂිත සහ මර්දනකාරී වනු ඇත.

කෙසේ වෙතත්, ටීඑන්සීයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ කුලී හේවාමය ස්වභාවය වඩ වඩා පැහැදිලිව පෙනෙන්නට තිබෙන තතු තුල පවා, එක්සත් ජනපද සහ යුරෝපා බලවතුන් එය රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් පිලිගෙන ඇත. යුනිස් ඝාතනයෙන් පසුව පැන නැගි අභ්‍යන්තර කන්ඩායම්වාදී ගැටුම් මධ්‍යයේ, එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය සහ අනෙක් රටවල්, ලිබියානු තානාපති කාර්යාල ගඩාෆිගේ විරුද්ධවාදීන්ට භාර දී ඇත. එහෙත් ඒ අතර එම බලවත්තු ම, බෙන්ගාසියෙහි සිටින තම කන්ඩායම්වාදී රූකඩයන්ට අරමුදල් සැපයීමට සහ තමන්ට රිසි පරිදි ඔවුන් පාලනය කිරීම සඳහා, විදේශයන්හි තිබෙන ලිබියානු මූල්‍ය වත්කම් මත දැඩි ග‍්‍රහනයක් පවත්වා ගෙන යති.

ටීඑන්සීය වැනි කන්ඩායමකට සහාය දීම සඳහා නේටෝ බලවතුන් ගත් තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන්නේ, ලිබියාවෙහි ඔවුන් කරන මැදිහත් වීමෙහි අරමුන වූයේ, තම මූලෝපායාත්මක සහ ආර්ථික අභිලාෂයන් පෙරට ගෙන යාම මිස සිවිල් වැසියන් ආරක්ෂා කිරීම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරීම නම් නොවන බව යි. එනම්, ලිබියාවෙහි පවතින අනල්ප තෙල් සංචිත මත ආධිපත්‍යය පතුරවා ගැනීම සහ කලාපය තුල-අන් සියල්ලට මත් වඩා අසල්වැසි ඊජිප්තුව තුල-පැන නැගෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයන් පාලනය කල හැකි සහ මර්දනය කල හැකි වෙරලබඩ ආරක්ෂක පෙරමුනක් උතුරු අප‍්‍රිකාවෙහි පිහිටුවා ගැනීම මෙම අරමුනුවලට අන්තර්ගතය.

ගඩාෆි ඇද වැටීමට ආසන්න යැයි නේටෝ ඇමතිවරු මාස ගනනාවක් තිස්සේ නිවේදනය කරමින් සිටිති. ටීඑන්සීයේ මිලිටරි පරිශ‍්‍රමයන් ඇන හිටි පසුව, ටි‍්‍රපොලිහි හට ගන්නා නැගිටීමක් නොහොත් ගඩාෆිගේ තන්ත‍්‍රයේ ම කොටස්වලින් ඔහුට එරෙහිව සිදු වන කුමන්ත‍්‍රනයක් පිලිබඳව සමපේක්ෂනය කිරීම කරා අවධානය මාරු වී ඇත. ගඩාෆි සිය බල ග‍්‍රහනය ගිලිහී යා නො දී පවත්වා ගෙන ඇති අතරතුර, බෙන්ගාසියෙහි පැලපදියම්ව සිටින ටීඑන්සීය දැන් කෑලිවලට කැඩී යමින් පවතී. එමෙන් ම, යුනිස් ඝාතනය, ටීඑන්සීයට එක් වීමෙහි ලා අනෙක් ගඩාෆි පාක්ෂිකයන් අතර තදින් විශ්වාසය දල්වනු ඇත.

ටීඑන්සී විධායක කමිටුව නෙරපා හැරීමට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශයක් නිකුත් කල එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එම ක‍්‍රියාව නිසා "කල්පනා කිරීමට” සහ "උද්‍යෝගය යලි දල්වා ගැනීමට” අවස්ථාවක් සැපයුනු බව ප‍්‍රකාශ කලේ ය. මෙම මෘදු සැඳහුම්වලින් පිලිබිඹු වන්නේ, ටීඑන්සී සභාපති ජිබ්රිල්ට ද ඔහුගේ කල්ලියට ද වොෂින්ටනය අඛන්ඩව සහාය දෙන බව යි. එමෙන් ම, එක්සත් ජනපදය සහ යුරෝපානුවන්-ග්ලෝබ් ඇන් මේල් පුවත්පත පෙන්වා දුන් පරිදි-බසිඩ්රා කේන්ද්‍ර කර ගත් ඉස්ලාම්වාදී කන්ඩායම තුල තිබෙන විකල්පයන් ද ඇතුලුව තමන්ට තිබෙන සියලු විකල්පයන් ගසා කනු ඇත.

බෙන්ගාසියෙහි කුමන්ත‍්‍රනවලින් සහ අභ්‍යන්තර ගැටුම්වලින් සිදු වන්නේ, නේටෝව ලිබියාවෙහි කර ගෙන යන මැදිහත් වීමේ නව විජිතවාදී ස්වභාවය අවධාරනය වීම යි. වත්මන් දේශපාලන අවුල් ජාලයෙන් ගොඩ ඒම සඳහා ප‍්‍රගතිශීලී මාවතක් සම්පාදනය කල හැක්කේ, ලිබියාවෙහි සහ කලාපයෙහි කම්කරු පන්තිය පදනම් කර ගත් සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් පමනකි.

පීටර් සිමන්ඩ්ස්