ටෙලිකොම්, විදුලිය හා විශ්ව විද්‍යාල සේවකයන්ගේ අරගලයට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක්

By Socialist Equality Party, 3 August 2011

පිරිහෙන ජීවන හා සේවා කොන්දේසිවලට එරහිව ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමන්ඩලය ඇතුලු වැඩපලවල් ගනනාවක දහස් ගනනක් කම්කරුවන් සම්බන්ධ කරගත් අරගල පැනනගිමින් තිබේ. මෙම අරගල සිය කොන්දේසි ආරක්ෂා කරගැනීම සඳහා සියලු කම්කරුවන් අතර ගැඹුරුවන උවමනාවේ ප්‍රකාහනයකි. වෘත්තීය සමිති පසුගිය වසර කිහිපය තුල මෙම අරගල සිරකරගෙන සිටියහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගේ මෙම අරගලවලට සහයෝගය දෙයි. සසප ඒ සමග ම අවධාරනය කරන්නේ සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ඉදිරිදර්ශනයක් මත ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් වර්ධනය කිරීම ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා පවතින එකම ඉදිරි මාවත බවයි.

* පාලනාධිකාරය සමග සම්මුතියකට වෘත්තීය සමිති දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුව ශ‍්‍රී ලංකා ටෙලිකොම් කම්කරුවෝ වැටුප් හා සේවා ප‍්‍රතිලාභ සම්බන්ධ ඔවුන්ගේ අරගලය බ‍්‍රහස්පතින්දා යලි ආරම්භ කලහ. කම්කරුවන් අඟහරුවාදා සිට දින දෙකක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටි අතර බ‍්‍රහස්පතින්දා කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කර ඇත.

මාසික ප‍්‍රවාහන හා ආහාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩිකිරීම, විධායක ශ්‍රේනිවල රහස්‍ය වැටුප් ක‍්‍රමය එලිදරවු කිරීම, ටෙලිකොම් අනුබද්ධ ආයතනයක් වන මෑන් පවර් සොලූෂන් ආයතනය හරහා කෙරෙන බඳවා ගැනීම් නතරකර එම සේවකයන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග‍්‍රහනය කිරීම, අනාගත පුරප්පාඩු පිරවීමේ දී සියයට පනහක් සේවක දරුවන්ගෙන් බඳවා ගැනීම සහ සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුලත්ය.

විදුලි සංදේශ ඇමති රන්ජිත් සියඹලාපිටිය ප‍්‍රශ්න විසඳීමට පොරොන්දු වූ බව කියමින් ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානයේ නිලධරය සති දෙකකට ඉහත දී විරෝධතා උද්ඝෝෂනය නතර කලහ. පාලනාධිකාරය ඔවුන්ගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කල අතර පුද්ගලික පාලනාධිකාරය යටතේ පවතින ටෙලිකොම් ආයතනයට මැදිහත්වීමට ඇමතිට බලයක් නැති බව අවධාරනය කලේය. ආන්ඩුව එහි කොටස්වලින් අඩක් සිය සන්තකයේ තබාගෙන බොහෝකලකට පෙර ටෙලිකොම් පුද්ගලීකරනය කලේය.

පාලනාධිකාරය එකඟවී ඇත්තේ ප‍්‍රවාහන හා ආහාර දීමනාව 11,250 දක්වා වැඩිකිරීමට සහ අනාගත පුරප්පාඩු වලදී සියයට පනහක් සේවක දරුවන්ගෙන් බඳවා ගැනීමට පමනි. ටෙලිකොම් බලධාරීන් දැනටමත් සේවකයන්ට විරුද්ධව දඬුවම් පියවර ක‍්‍රියාවට දමා ඇත.

* මාස දහයක හිඟ වැටුප් ඉල්ලා ලංවිම සේවකයෝ දියත් කර ඇති විරෝධතා මාලාවක කොටසක් ලෙස, උතුරු-නැගෙනහිර දෙමල කතාකරන කම්කරුවන් ද ඇතුලුව 1,500 පමන දෙනා සිකුරාදා (29) කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. වෘත්තීය සමිතිවල සීමිත කැඳවුමකට අනුව, බදාදා දහස් ගනනක් ලංවිම සේවකයෝ අසනීප නිවාඩු දමා වැඩටයාමෙන් වැලකී සිටියහ.

මාස ගනනක උද්ඝෝෂනයකින් පසුව 2009 නොවැම්බර් මාසයේ ලංවිම කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලැබුන නමුත් යුද්ධයෙන් විනාශ වූ රට සඳහා කැපකරන ලෙස කියමින් ආන්ඩුව මාස දහයක වැටුප බලහත්කාරයෙන් රඳවා ගත්තේය.

ලංවිම සමිති නායකයෝ ඔවුන්ගේ සෙසු පාර්ශවකරුවන් මෙන්ම 2009 පරාජයට පත්කරනු ලැබූ බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයට සහයෝගය දුන්හ. කම්කරුවන් මත යුද්ධයේ බර පැටවීම සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කරමින් යුද්ධය සඳහා "පරිත්‍යාග” කරන ලෙස වර්තමාන විරෝධතා ව්‍යාපාරයේ මුදුනත සිටින ජනතා විමික්ති පෙරමුනට සම්බන්ධ විදුලි සේවක සංගමය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

* විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අතර අතෘප්තිය වර්ධනය වන තතු තුල බ‍්‍රහස්පතින්දා කොලඹ දී පිකට් උද්ඝෝෂනයක් පැවැත්වීමට වෘත්තීය සමිති තීන්දු කර තිබේ. වැටුප් වැඩිකිරීම, වැටුප් විෂමතා ඉවත්කිරීම හා නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරනය නතර කිරීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුලත්ය.

මෙම ඉල්ලීම් මතම 2007 අපේ‍්‍රල් මාසයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන සේවකයෝ දහස් ගනනක් අඛන්ඩ වැඩවර්ජනයක් දියත් කලහ. ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවූ අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කිසිදු ඉල්ලීමක් ජයග‍්‍රහනය කිරීමෙන් තොරව හා විශ්වවිද්‍යාල බලධාරීන්ට දුසිම් ගනනක් සේවකයන්ට දඬුවම් පැමිනවීමට මග පාදමින් වර්ජනය අත්හිටුවූ හ.

පසුගිය තෙමසේ පෙන්නුම් කෙරුනේජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන අනවරත ප්‍රහාරයන්ට එරෙහිව වැඩි වැටුප් ඉල්ලමින් ද නිදහස් අධ්‍යාපනය සහ අනෙකුත් අයිතීන් ආරක්ෂා කර ගැනීමට ද කම්කරුවන්ගේ හා වෘත්තිකයන්ගේ අරගල පැන නැගීමයි.

මැයි මාසයේදී 40,000 ට වැඩි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ, ඔවුන්ගේ වැටුප් තව දුරටත් කප්පාදු කිරීම සඳහා ආන්ඩුව ගෙන ඒමට උත්සාහ කල විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව වෘත්තීය සමිතිවලට පිටින් අරගලයකට එලඹුනහ. එක් කම්කරුවෙකු ඝාතනය කරමින් හා තවත් සිය ගනනකට තුවාල කරමින් පොලීසිය කම්කරුවන්ට මුර්ග ප‍්‍රහාරයක් එල්ල කලේය. නිදහස් වෙලඳ කලාප හා පොදුසේවා කම්කරු සමිතිය ඇතුලූ කිසිදු සමිතියක් කම්කරුවන් සංවිධානය කිරීමට හෝ ආරක්ෂා කිරීමට කිසිවක් ම නොකලේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු සියයට දෙසීයක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් මාස තුනකට ආසන්න කාලයක් උද්ඝෝෂනයක නිරත ව සිටියහ. කෙසේ නමුත්, දීමනාවල පමනක් සිදු කල සීමිත වැඩිකිරීම් පිලිගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනය ජුලි 22 අරගලය පාවාදුන්නේය.

වැටුප් වැඩිවීමක් ලබා ගැනීම සඳහා වතු කම්කරුවන් අරගලයට ඒම වලක්වමින් ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුලු වෘත්තීය සමිති, වතු කොම්පැනි ද ආන්ඩුව ද විසින් නියම කෙරුනු සොච්චම් වැටුප් දීමනා ගිවිසුමක් පැටවූහ.

දැන් අරගලයට එලඹෙමින් සිටින කම්කරුවන් තීරනාත්මක වර්ධනයන් දෙකක් අවබෝධ කර ගත යුතු ය.

පලමුවැන්න, අරගලයේදී ඔවුන් මුහුන දෙන වෛෂයික කොන්දේසීන් ය. ශ‍්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය යටතේ ඔවුන්ගේ අතීත ජයග‍්‍රහනවලට එරෙහිව එල්ල කෙරෙන ප‍්‍රහාරවලට මුහුන දී සිටී. ලෝක ධනවාදය 1930 ගනන් වලින් පසුව මෙතෙක් මුහුන දුන් දැවැන්තම අර්බුදයකට 2008 සිට ඇදවැටී තිබේ. ජාත්‍යන්තර බැංකු කරුවෝ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඔවුන්ගේ ඒජන්සි කප්පාදු වැඩපිලිවෙලවල් හරහා අර්බුදයේ මුලූ බර කම්කරු පන්තිය මත පටවමින් සිටිති.

ඇමරිකාවේ හා යුරෝපයේ කම්කරුවෝ වැටුප්, විශ‍්‍රාම වැටුප්, රැුකියා හා සමාජ සුබසාධන කප්පාදුකරමින් ගෙන යන සමාජ ප‍්‍රතිවිප්ලවයකට මුහුන දී සිටිති. රාජපක්ෂ ආන්ඩුව යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නියෝග කර ඇති අයවැය පරතරය තියුනු ලෙස අඩු කිරීම හා පුද්ගලීකරනය ඇතුලූ ආර්ථික ප‍්‍රතිසංස්කරන සහිත එම ප‍්‍රහාරවලටම ශ‍්‍රී ලංකාවේ කම්කරුවන් මුහුන දෙයි.

එහි වෙලඳපොල ගැති ප‍්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන්ගේ මොනම විරුද්ධත්වයක්වත් නොඉසවන බව නිවෙක කම්කරුවන්ට එල්ල කල මුර්ග ප‍්‍රහාරයෙන් ආන්ඩුව පෙන්නුම්කර ඇත.

දෙවැන්න, වෘත්තීය සමිති හා ඒවායේ නිලධරය කම්කරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් කි‍්‍රයා නො කරති; ඔව්හු සීමිත විරෝධතා කැඳවුම් කරන්නේ නම් ඒ කම්කරුවන් තුල වැඩෙන අතෘප්තිය වාෂ්පකර දැමීමට හා ඔවුන්ගේ අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් ඇතිවීම වැලැක්වීමට ය.

පසුගිය වසර කිහිපය තුල සිදු වූ අරගලවලින් වුව ද කම්කරුවන්ට මුනගස්වා ඇති ප‍්‍රධාන පාඩම වන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව වැටුප් වැඩිකර ගැනීම, සෙසු ප‍්‍රතිලාභ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා ඔවුන්ට සටන් කල නොහැකි බවය. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ හා මහා ව්‍යාපාරිකයේ උවමනාවන් දැඩිව ආරක්ෂා කරයි.

ආන්ඩුව හා මූල්‍ය ප‍්‍රාග්ධනය මත නිෂ්ඵල පීඩනය යෙදීමෙන් කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් රැකගත හැකියැයි එවන් අරගලයකට එරෙහිව සමිති නායකයෝ මිථ්‍යාවන් වපුරති. එමෙන්ම කම්කරුවන්ගේ අරගලය සීමා කිරීම සඳහා සමිති නායකයෝ කළු ඇඳුම් ඇඳීම, කළුපටි බැඳීම සහ අසනීප නිවාඩු දැමීම වැනි සාමවාදී ක‍්‍රියාවන් සංවිධානය කරති.

අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයේදී කම්කරුවන් මුහුනදෙන ප‍්‍රධාන බාධකය වෘත්තීය සමිති ය. ඔවුහූ වෘත්තීය සමිතිවලින් ද ධනපති පක්ෂ සහ ඊනියා වමේ පක්ෂවලින් ද බිඳී වෙන්විය යුතුය. අරගලය ගෙනයාම සඳහා කම්කරුවන් නව සංවිධාන ක‍්‍රම වර්ධනය කලයුතුය. කම්කරුවන් සෑම වැඩපලකම තම සාමාජිකයන්ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනගමින් එම කමිටු හරහා පොදු කාර්මික ක‍්‍රියාවන් සඳහා කම්කරු පන්තියේ සෑම කොටසක්ම ඒකාබද්ධ කලයුතුයැයි සසප යෝජනා කරයි.

වේදනා සහගත ලෙස දැනටමත් සනාත වී ඇති ආකාරයට අරගලයේ ඉතාමත් ම වැදගත් අංශය වන්නේ ඉදිරිදර්ශනයයි. කම්කරුවන්ට ප‍්‍රතිසංස්කරනවාදී සහ ජාතිකවාදී ඉදිරිදර්ශනයකින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට නො පුලූවන. කම්කරුවන්ට ඔවුන්ගේ ජීවන හා සමාජ කොන්දේසි වැඩි දියුනු කරගැනීම හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ වර්තමාන ලාබ පද්ධතිය විස්ථාපනය කර සමාජයේ බහුතරයකගේ ප‍්‍රතිලාබය සඳහා ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම මගින් පමනි. බැංකු සහ මහ සමාගම් කම්කරු පාලනයේ ජනසතු කල යුතු ය. මෙම පියවරයන් ක්‍රියාත්මක කල හැකි වන්නේ ගොවීන්ගේ හා අවශේෂ පීඩිතයන්ගේ නායකත්වය ගනිමින් කම්කරු පන්තිය අතට බලය ගැනීමෙනි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

මෙම ඉදිරිදර්ශනය අධ්‍යයනය කරමින් එම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට ඒකාබද්ධ වන ලෙස සසප කම්කරුවන් ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියි.