ශී‍්‍ර ලංකාවේ කොමිෂම යුද අපරාධවලට සුදු හුනු ගායි

Sri Lankan commission whitewashes war crimes

By Wije Dias, 29 December 2011

ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 මැයි මස පත් කරන ලද උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂම (එල්එල්ආර්සී) අවසානයේ දෙසැම්බර් 16 දා සිය වාර්තාව නිකුත් කලේ ය. ප‍්‍රතිඵලය වනාහි 2009 මැයි මස අවසන් වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය තුල දී මිලිටරිය විසින් කරන ලද යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් අරබයා නැගෙන ජාත්‍යන්තර පීඩනය අපසරනය කරනු පිනිස සැලසුම් කෙරුනු ප්‍රෝඩාවකි.

කොමිෂම මොනම අර්ථයකින් වත් කිසිසේත්ම ස්වාධීන වූයේ නැත. එහි නායකත්වය දැරුවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ආන්ඩුව ආරක්ෂා කිරීමේ වාර්තාවක් සහිත හිටපු නීතිපතිවරයකු වූ සී.ආර්. ද සිල්වා ය. කොමිෂමේ සෙසු සාමාජිකයන් අතර හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක්, ඉහල පෙලේ රාජ්‍ය නිලධාරින්, හිටපු විනිසුරුවරයෙක් සහ ශාස්ත‍්‍රඥයෙක් විය. ඔවුන්ගෙන් එක් අයෙකුටවත් මානව හිමිකම් ආරක්ෂා කිරීම පිලිබඳ වාර්තාවක් නො වී ය. මාස හයකින් වාර්තාව නිම කිරීමට නියම කෙරී තිබුනත්, කොමිෂම සිය කි‍්‍රයාදාමය තවත් වසරකින් දීර්ඝ කලේය.

කොමිෂමේ සැලකිල්ලට භාජනය වූ කාල රාමුව, 2002 පෙබරවාරි 21 දා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමේ සිට 2009 මැයි 19 දා යුද්ධය අවසන් වීම දක්වා හත් වසරක කාලයට හිතාමතාම සීමා කෙරුනි. සටන් විරාමය උල්ලංඝනය කල බවට එල්ටීටීඊයට බැන වැදීම සහ 2006 ජුලි මස දිවයින යලි යුද්ධයට ඇද දැමූ රාජපක්ෂ ආන්ඩුවේ විවෘත ආක‍්‍රමනික කි‍්‍රයාවන් නොතකා හැරීම මගින් කොමිෂමේ වාර්තාව රාජපක්ෂගේ අරමුනුවලට සේවය කරයි.

කාල රාමුව සීමා කිරීම මගින්, කොමිෂම දිග්ගැසුනු සිවිල් යුද්ධය සඳහා හේතු වූ කරුනු පිලිබඳ මොන යම් හෝ පරීක්ෂාවක් නොකරන බව ආන්ඩුව සහතික කර ගත්තේය. එම හේතු පවතින්නේ, 1948 නිදහසේ පටන් මේ දක්වා සිය පාලනයට මුක්කුවක් ලෙස අනුප‍්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් යොදා ගන්නා ලද භේදකාරී සිංහල වර්ගවාදී දේශපාලනය තුලය. වාර්තාව, 1983 යුද්ධය පැන නැගීමට තුඩු දුන් ක‍්‍රමානුකූල දෙමල විරෝධී වෙනස්කම් කිරීමේ පිලිවෙතට අවධානය යොමු කිරීමේ කිසිදු ප‍්‍රයත්නයක නොයෙදෙයි.

එයට ලැබුනු නිර්දේශ සහ එහි පුද්ගලික සංයුතිය අනුව ගත් කල, කොමිෂම කොහෙත්ම සුදු හුනු ගෑමකට එහා නොගියේ ය. එහි නිරීක්ෂන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිරීක්ෂනයන්ට පැහැදිලි ලෙස ම ප‍්‍රතිකූල විය. ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව "පුලුල් පරාසයක” ජාත්‍යන්තර නීතිය "බරපතල ලෙස උල්ලංඝනය” කර ඇති බවටත් එම උල්ලංඝනයන්ගෙන් සමහරක් "යුද අපරාධවලට හා මානව වර්ගයාට එරෙහි අපරාධවලට සම වන” බවටත් "විශ්වාසනීය සාක්ෂ්‍ය” තමන්ට ලැබුනු බව විද්වත් කමිටුව සඳහන් කලේය. "2009 ජනවාරි සිට මැයි දක්වා (සිවිල් වැසියන්) දස දහස් ගනනකට සිය ජීවිත අහිමි වූ” බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිගමනය කලේය.

සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීමක් සිදු වූ බව එල්එල්ආර්සී වාර්තාව ප‍්‍රතික්ෂේප කරයි. "වෙඩි හුවමාරුවල දී සාමාන්‍ය ජීවිතවලට හානි වූ බව සත්‍යයක් වුව ද ඉදිරිපත් වූ කරුනු හා සිද්ධීන් සලකා බැලීමේ දී ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි.” සිය පාලනය යටතේ පැවති ප‍්‍රදේශවලින් සිවිල් වැසියන් පලායාම වැලැක්වූ බැවින් එම මරන සම්බන්ධයෙන් එල්ටීටීඊයට දෝෂාරෝපනය කිරීමට කොමිෂමේ වාර්තාව උත්සාහ කරයි.

සන්නද්ධ හමුදා විසින් සිදු කරන ලද වඩාත්ම පැහැදිලි අපරාධවලින් එකක් නම් බොහෝ සිවිල් වැසියන් ප‍්‍රතිකාර පතා නැවතී සිටි රෝහල්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම යි. මිලිටරියේ ඉහල නායකත්වයේ තීන්දුවකින් තොරව ෂෙල් ප‍්‍රහාර සිදු විය නොහැකි ය. "දේපල හානි සිදු කරමින් හා තුවාල සිදු කරමින් රෝහල්වලට ෂෙල් ප‍්‍රහාර පතිත වූ” බව එල්එල්ආර්සී වාර්තාව පිලිගන්නා නමුත්, ඒ සම්බන්ධයෙන් මිලිටරිය වගකීමෙන් නිදහස් කර හරින්නේ, "මෙම සිද්ධීන්ගේ කාලය, නිශ්චිත ප‍්‍රදේශ හා ප‍්‍රහාර එල්ල වූ දිශාව සලකා බැලීමේ දී සිද්ධීන්ගේ නිශ්චිත ස්වභාවය පිලිබඳව තරමක ව්‍යාකුල චිත‍්‍රයක් මැවේ” යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.

එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශය හා හමුදා ප‍්‍රකාශක නිකුත් කල නිවේදන ද ඇතුලු විවිධාකාර මූලාශ‍්‍රවලින් ලද සාක්ෂ්‍ය මෙම නිගමනය විසින් නිකම්ම නොතකා හරිනු ලැබේ. එක්කෝ එල්ටීටීඊ කාලතුවක්කු ඒ අසල ස්ථානගත කර තිබුනි නැතහොත් රෝහල් "ත‍්‍රස්තවාදී කඳවුරු” බවට පත්ව තිබුනි යනුවෙන් ප‍්‍රකාශ කරමින් ඔවුහු පැහැදිලිව සලකුනු කර තිබූ රෝහල් ඉලක්ක කරගැනීම යුක්තියුක්ත කලේ ය. මොන කඩතුරාවක් යටතේ වුවත්, රෝහල්වලට හිතාමතා ප‍්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයකි.

යුද්ධයේ බලපෑමට ලක් වූ පුද්ගලයන්ට වන්දි මුදල් සහ "අනාගත උල්ලංඝනයන් වැලැක්වීම පිනිස” "ආයතනික, පරිපාලනමය හා ව්‍යවස්ථාවමය පියවර” නිර්දේශ කිරීමේ බලය පමනක් දරමින්, මෙම කොමිෂම ආරම්භයේ පටන් ම බල රහිත එකක් විය. යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සැක කෙරෙන ඕනෑම අයෙකු නඩු විභාගයට ලක් කිරීමේ, වරදකරු කිරීමේ හෝ දඬුවම් කිරීමේ කිසිදු බලයක් එයට නැත.

වාර්තාවේ නිර්දේශ පැහැදිලිව ම කිසිදු වැදගම්මකට නැති දේවල්ය. එය "සැකයේ, භීතියේ, අවිශ්වාසයේ හා ප‍්‍රචන්ඩත්වයේ සංස්කෘතිය” අහෝසි කිරීමක් ඉල්ලා සිටියේ ය. එය මෙසේ ප‍්‍රකාශ කලේ ය: "ප‍්‍රතිසන්ධානය හා ජාතිය ගොඩනැගීම සඳහා කල යුතු දෙය නම්, රාජ්‍යය සුලුතරයන් දෙසට හැරිය යුතු බව ද සුලුතරයන් එයට හිලව් වසයෙන්, රාජ්‍යය හා රට සම්බන්ධයෙන් සිය කි‍්‍රයාකලාපය ප‍්‍රතිස්ථානගත කල යුතු බවයි.”

වාර්ගික ආතතීන් සමනය කරනු වස් මොන යම් හෝ සහනයක් දීමේ කිසිදු අභිප‍්‍රායක් තමන්ට නැති බව රාජපක්ෂ ආන්ඩුව දැනටමත් පැහැදිලි කර තිබේ. එල්එල්ආර්සී වාර්තාවට පිලිගැනීමට බල කෙරී ඇති අයුරු, "සිය අන්තර් වාර්තාවේ නිර්දේශවලට තවමත් පූර්න අවධානය දී නැත”. එය මෙසේ අනතුරු අඟවයි: "සඵල නිවැරදිකරන කි‍්‍රයාමාර්ග ගැනීමට පමා වීම තුඩු දෙනු ඇත්තේ නීතිය හා සාමය බිඳවැටීමට යි, එහි ප‍්‍රතිවිපාක ලෙස නීතියේ පාලනය ද ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාදාමය පිලිබඳ ජනතාවගේ විශ්වාසය ද ඛාදනය වීමයි.”

එල්එල්ආර්සී වාර්තාවේ අරමුන කොහෙත්ම ආන්ඩුවේ හා මිලිටරියේ යුද අපරාධ විමර්ශනය කිරීම නොවේ, ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා කෙරෙන ඉල්ලීම් වලකා ගැනීමයි. එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපීය බලවත්තු, චීනයෙන් දුරස්ථ වන ලෙස රාජපක්ෂ ආන්ඩුව මත පීඩනය යොදනු පිනිස යුද අපරාධ ගැන විමර්ශනය කිරීමක් පිලිබඳ හැකියාව නරුම ලෙස ගසා කා තිබේ.

"බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්” පිලිබඳ සියලු චෝදනාවන්ට මුලුමනින්ම අවධානය යොමු කිරීමට වාර්තාව අපොහොසත් වීම ගැන සිය "කනස්සල්ල” ප‍්‍රකාශ කරමින් එක්සත් ජනපදය ඇල් මැරුනු ප‍්‍රතිචාරයක් දක්වා ඇත. වර්තාව ගැන පූර්න අධ්‍යයනයක් කරනු පිනිස තමන්ට තව කාලය අවශ්‍ය බව යුරෝපා සංගමය පවසා තිබේ. ඉන්දියාව වාර්තාව සාදරයෙන් පිලිගෙන එහි නිර්දේශ කි‍්‍රයාවට දමන ලෙස ඉල්ලා තිබේ. සිදු කරන ලද අපරාධ ගැන හෝ ශී‍්‍ර ලංකා ආන්ඩුව දැන් සිදු කරන ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනයන් ගැන හෝ අංශු මාත‍්‍රයක හෝ උත්සුකතාවක් මෙම කිසිදු බලවතෙකුට නැත.

වසර 60කට වැඩි කාලයක් තිස්සේ, ශී‍්‍ර ලංකාවේ ජාතික ධනේශ්වරය, දිවයිනේ දෙමල ජනයාගේ හා සෙසු සුලුතරයන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා දමා තිබේ. අනුප‍්‍රාප්තික කොලඹ ආන්ඩු, කම්කරු පන්තිය භේද කිරීම හා ධනේශ්වර පාලනය පවත්වාගෙන යාම පිනිස දෙමල ජනයාට එරෙහිව සිංහල ස්වෝත්තමවාදය ඇවිලවීම මගින්, බෙදා පාලනය කිරීමේ පිලිවෙත මත වාරු වී ඇත.

යුද්ධය පැන නැගීමට තුඩු දුන් කාරනාවලට අවධානය යොමු කරන "දේශපාලන විසඳුමක්” ඇති කර ගැනීම "අත්‍යවශ්‍ය” බවට එල්එල්ආර්සී ප‍්‍රකාශ කලේය. එහෙත් දශක ගනනාවක වෙනස්කම් කිරීම සහ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම අවසන් කරනු ඇති එකම දේශපාලන විසඳුම නම්, ඒවාට යටින් පවතින හේතුව වන ධනපති ක‍්‍රමය අහෝසි කිරීම යි. එම අරමුන සාක්ෂාත් කරගනු වස්, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ වී පීඩිත මහජනතාව රැලි කරගෙන, ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙලට කැප වූ කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනගාගත යුතු ය.

Share this article: