සසප-සසජාශි ශී‍්‍ර ලංකාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඉල්ලා සිටීමේ රැස්වීමක් පවත්වයි

SEP-ISSE meeting to demand release of Sri Lankan political prisoners

2 December 2011

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩුව විසින් සිර ගත කර සිටින සියලුම දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම සඳහා දියත් කර ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ දෙසැම්බර් 8 වෙනිදා කොලඹදී රැස්වීමක් පවත් වනු ඇත. උද්ඝෝෂනය ආන්ඩුවේ ප‍්‍රහාරවලින් කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා වූ පුලුල් අරගලයේ ආබද්ධ කොටසකි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය 2009 මැයි මාසයේ අවසන් වීමෙන් පසුව "ත‍්‍රස්තවාදී සැකකරුවන්" ලෙස සලකා 11,000 දෙමල ජනයා සිර ගත කරනු ලැබී ය. මේ වසර මුලදී රටේ හදිසි අවස්ථා තත්වය අහෝසි කල නමුත් චෝදනා ඉදිරිපත් කිරීම හෝ නඩු විමසීමකින් තොර ව 6,000 වැඩි දෙනෙකු තවමත් රඳවා ගෙන සිටිති.

මෙම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මුලුමනින් ම උල්ලංඝනය කිරීමේ දී කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතය ඊට සම්බන්ධිත ය. විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුන ආන්ඩුවේ යුද්ධයට සහ දෙමල ජනයා සිරගත කිරීමට මුලුමනින් ම සහය දුන්නේ ය. එමෙන්ම, දෙමල ජාතික සන්ධානය බඳු දෙමල ධනපති පක්ෂ "ඔවුන්ට චෝදනා ඉදිරිපත් කරනු නැති නම් නිදහස් කරනු” යනුවෙන් පමනක් ආන්ඩුවට ආයාචනා කරමින් දෙමල ජනයා සිර ගත කර තැබීමේ නෛතිකත්වය පිලිගෙන ඇත.

ආරම්භයේ සිටම දිගටම යුද්ධයට විරුද්ධ වූ සසප දෙමල මහ ජනතාව ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් වෙහෙස නොතකා ආරක්ෂා කලේ ය. සිර ගත කිරීමට විරුද්ධ වූ හා වහාම සහ කොන්දේසි විරහිතව සියලු දේශපාලන සිර කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි එකම පක්ෂය එය පමනි. මුලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලයට හා සමාජවාදී ප‍්‍රතිපත්තිවලට කැප වූ කම්කරු ගොවි ආන්ඩුවක් තහවුරු කිරීම සඳහා කම්කරු පන්තිය හා ඒ පිටුපසින් ගම්බද ගොවි ජනතාව ස්වාධීනව බලමුලු ගැන්වීම සමග නොවෙන්කල හැකි ලෙස බැඳී ඇත.

අපගේ රැස්වීමට පැමිනෙන ලෙස හා කි‍්‍රයාශීලීව මෙම උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස සසප හා සසජාශි කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන් ගෙන් ඉල්ලා සිටී.

ප‍්‍රධාන කතිකයා: සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

ස්ථානය: මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරය, කොලඹ.

දිනය: දෙසැම්බර් 8 වන බ‍්‍රහස්පතින්දා

වේලාව: සවස 4.00