ඊජිප්තු විප්ලවය මිලිටරියට එ‍රෙහිව නැඟී සිටියි

The Egyptian revolution turns against the military

28 November 2011

එක්සත් ජනපදයේ පිටුබලය සහිතව දීර්ග කාලයක් වැජඹුන ඒකාධිපතියන්ට එරෙහිව උතුරු අප්‍රිකානු කම්කරුවන්ගේ හා තරුනයන්ගේ බලගතු අරගල සමග ඇරඹුනු 2011 වර්ෂය, පෙබරිවාරි 11වැනිදා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට ඉල්ලා අස්වීමට බල‍කරමින් එහි උච්චස්ථානයට ලඟාවිය. වසර අවසන්වෙද්දී‚ ඔහු වෙනුවට ආදේශ වූ මිලිටරි ආන්ඩුවට එ‍රෙහි නව විරෝධතා රැල්ලක් ඊජිප්තුව සසල කරමින් තිබේ.

“ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක්” කරා ගමන් ගන්නේය යන මිලිටරි ජුන්ටාවේ ප්‍රකාශ පිලිබඳ කම්කරු පන්ති‍යේ තීන්දුව, යලි ප්‍රානවත් වූ විප්ලවවාදී රැල්ලයි. ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ බිලියන ගනන් ඩොලර්වලින් තවමත් පිටුබලය ලබන මිලිටරි ජුන්ටාවට එරෙහි රටපුරා ‍පැවැත්වෙන පෙලපාලි, මේ වනවිටත් දුසිම් ගනනක් මරා තවත් දහස් ගනනකට තුවාල සිදු කර ඇති මෘග රාජ්‍ය මර්දනයකට මුහුන දී ඇත.

ජුන්ටාවේ අත යට පැවත්වීමට නියමිත මැතිවරනය ප්‍රවර්ධනය කිරී‍මේ උත්සාහයන් අද දින, “මිලිටරි පාලනය එපා, එය බිඳ ‍හෙලනු” යන සටන් පාඨයන්ට මුහුන දෙයි. මිලිටරි ජුන්ටාව විසින් 1996 සිට 1999 දක්වා මුබාරක් යට‍තේ අගමැති වශ‍යෙන් ‍‍සේවය කල කමල් එල් - ගාන්ෂෝරි, පිහිටුවන නව ආන්ඩුවේ අගමැති වශ‍යෙන් ‍තෝරා ගනු ලැබීමත් සමග වි‍‍‍රෝධතා කරු‍වෝ වහාම එයට එ‍රෙහි වූහ.

මෙම ජනතා අරගල මගින් කම්කරුවන් හා තරුනයන්, තමන් ජුන්ටාවේ “ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමනය” රැවටිල්ලක් ලෙස ප්‍රතික්ෂේප කරන බව පැහදිලි කර ඇත. හදිසි නීති තත්වය යටතේ මිලිටරිය විසින් පවත් වන මැතිවරනයට, ප්‍රජාතන්ත්‍රවාදය සමග මෙලොව සම්බන්ධයක් නොමති බව ඔවුහු තේරුම් ගනිති. මුබාරක්ගේ පැරනි හෙන්චයියන්ගේ තවත් මර්දනයන්ට හා දක්ෂිනාංශික ප්‍රත්පත්තිවලට ව්‍යාජ පාර්ලිමේන්තු නීත්‍යානුකූලතාවක් සැපයීමට උත්සාහ දරනු ලැබේ. එවැනි මැතිවරනයකින් සැප‍ෙයනවා ඇත්තේ, ජුන්ටාව හා එහි අධිරාජ්‍යවාදී සහකරුවන් විසින් පාලනය කෙරෙන ව්‍යවස්ථාදායකයක් පමනි.

හමුදාව මහජන වි‍රෝධයට මුහුන ‍දෙනවාත් සමග ම, ‍නො‍යෙකුත් ‍දේශපාලන බල‍වේග පවතින තත්වය රැකීම සඳහා තම සේවය පුදකිරීමට උත්සාහ දරමින් සිටී. සමහර තරුන කන්ඩායම් හා තමන් ම විප්ලවවාදීන් යැයි කියා ගන්නා ව්‍යාපාර, ලිබරල් දේශපාලනඥ එල්බරාඩේ යට‍තේ වන “ජාතික ගලවා ගැනී‍මේ” ආන්ඩුවක් ‍මීට වෙනස් විය හැකි යයි ප්‍රකාශ කරති. මෙය ‍බොරුවකි. ජුන්ටාව විසින් පිහිටුවන එල්බර‍ාඩේ‍ගේ ආන්ඩුවක්, ඊජිප්තු පාලක පන්ති‍යේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඕනෑ එපාකම් ආරක්ෂා කරන හුදු ‍තවත් රූකඩයක් පමනක් වනු ඇත.

එල්බර‍ාඩේ හා හිටපු අරාබි ලීග‍යේ නායක අමර් මූසා, 27දා ජුන්ටා නායක ෆීල්ඩ් මාර්ෂල් ‍මොහමඩ් හු‍සේන් ටන්ටාවි මුනගැසුනහ. ටන්ටාවි ඔවුන්ට පවසා ඇත්තේ, නව ව්‍යවස්ථාව යට‍තේ හමුදාව ආන්ඩුවට පීඩනය යෙදීමට ‍හෝ එහි බලය පැහැර ගැනීමට ඉදිරිපත් නො‍වන බවත්, එබැවින් අගමැති ගාන්ෂෝරිට සහාය දක්වන ‍ලෙස ය.

යලි ප්‍රානවත් වූ මහජන වි‍රෝධය, ජුන්ටා‍වේ අපේක්ෂිත ප්‍රතිසංස්කරන පිලිබඳ මිත්‍යාවන් වැපිරීමට උත්සාහ දරා ඇති දේශපාලන සංස්ථාපිතය හා කම්කරු පන්තිය අතර ඇති විශාල හිදැස පැහැදිලිව පෙන්නුම් කර ඇත. විරෝධතා කරුවෝ, ජුන්ටාවේ උපකරන ‍ලෙස පැහැදිලිව පෙනුනු කිසිදු ‍දේශපාලන පක්ෂයකට 26 දිනයෙහි තහ්රීර චතුරස්‍රයේ වේදිකා පිහිටුවවීමට ඉඩ නොදුන්හ.

ජුන්ටාවට සහාය දක්වන “වාම” පක්ෂ කෙරෙහි පවත්නා මහජන අප්‍රසාද‍ය ගසාකෑමට බලාපොරොත්තු වන ඉස්ලාමීය මුස්ලිම් ස‍හෝදරත්වයට (මුස) වි‍රෝධතා බරපතල පහරක් විය මුස්ලිම් සහෝදරත්වය, ජුන්ටාවට එරෙහි විරෝධතාවන් ප්‍රසිද්ධියේ විවේචනයට පවා ලක් ක‍ලේ ය. දැන් එය එක්සත් ජනපදයට ගැටගැසුනු ප්‍රතිවිප්ලවවාදී බලයක් ‍ලෙස හෙලිදරව් ‍වී ඇත. මුස්ලිම් සහෝදරත්ව නායක මොහමඩ් එල් බෙල්ටාගි විරෝධතා කරුවන් විසින් තහ්රීර් චතුරශයෙන් එලවා දැමී ය.

ජුන්ටාව පිම්බීමේ කේන්ද්‍රීය කාර්යභාරය ඉටු කලේ විප්ලවවාදී සමාජවාදීන්(විස)‚ සමාජවාදී මහජන සන්ධාන පක්ෂය(සමසප) හා ඊජිප්තු සමාජවාදී පක්ෂය (ඊසප) යන විවිධාකාර සුලු-ධ‍නේශ්වර ව්‍යාජ වාම කන්ඩායම් විසිනි. “ස්වාධීන” වෘත්තිය සමිති ගොඩනැගීමෙන් හා ඉස්ලාම්වාදීන්‚ එල්බරා‍ඩේ වැනි ධනේශ්වර බලවේග මෙන්ම ජුන්ටාව සමග පවා වැඩ කරමින්, මුබාරක්ගේ ‍ජෙනරාල්වරුන්ට පීඩනය ‍යෙදිය හැකි බවත්, ඊජිප්තු විප්ලවයේ ඉල්ලීම් දිනාගත හැකි බවත් ඔවුහු පැවසූහ.

විප්ලවවාදී සමාජවාදී සාමාජික මුස්තාෆා ඔමාර් විසින් මැයි 31වැනිදා ලිපියක, ඔවුන්ගේ ඉදිරිදර්ශනය සාරාංශ ගත ‍කලේය. එහි ‍මෙ‍සේ සඳහන් විය. “එහි මර්දනකාරී පියවරයන් ‍නොතකා උත්තරීතර සභාව, (සන්නද්ධ හමුදාවන්ගේ ජුන්ටාව) ජනවාරි 25වැනිදා නැගිටීම සමහර නියත ආකාරයන්ගෙන් ඊජිප්තුව නිට්ටාවට ම ‍වෙනස් කර ඇති බව ‍තේරුම් ගෙන තිබේ. එම සභාව, වඩා ප්‍රජාතන්ත්‍රවාදීව හා අඩු‍ මර්දනයක් යෙදීම තුලින් දේශපාලන හා ආර්ථික පද්ධතිය ප්‍රතිසංස්කරන කිරීමට අරමුනු කර යි”.

මිලිටරි ඒකාධිපතිත්ව‍යේ‚ රුදුරු මර්දන‍යේ හා කම්කරුවන් හා තරුනයන් 12,000කට වඩා හිරගත කිරී‍මේ මාස දහයකට පසු‚ ඊජිප්තු‍වේ පන්ති අරගලය විසින් ‍මෙම ඉදිරිදර්ශන‍යේ බං‍කො‍ලොත් බව ‍හෙලිදරව් කර තිබේ. විස‚ සමසප හා ඊසප වැනි කන්ඩායම් කම්කරුවන් නි‍යෝජනය ‍නොකරන අතර ධ‍නේශ්වර පාලනයට‚ හමුදා‍වට හා එහි අධිරාජ්‍යවාදී හවුල් කරුවන්‍ට ගැට ගැසුනු ඉසුරුමත් මධ්‍යම පන්ති‍යේ සුලු ‍‍කොටසක් නි‍යෝජනය කර යි.

සමසප‚ ඊසප සහ ලිබරල් හා ඉස්ලාමීය කන්ඩායම් ඇතුලත් ඊනියා අවිච්ඡින්න විප්ලවයේ මැතිවරන සන්ධානය 27දා ප්‍රකාශනයක‚ ඒවා ප්‍රජාතන්ත්‍රවාදය ‍දෙසට වන වැදගත් පියවරක් යැයි ප්‍රශංසා කරමින් මැතිවරනයට ඔවුන්‍සහභාගි වන බව ප්‍රකාශ ක‍ලේ ය. ඔවුහු ඊජිප්තු කන්ඬායම නම් මැතිවරන සන්ධානය සමග එක්ව, “ජාතික ගලවාගැනී‍මේ” ආන්ඩුවකට සහාය දක්වමින් ප්‍රකාශනයක් නිකුත් කලහ.

එවැනි “ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමනයකට” එ‍රෙහි සෘජු අරගලයක් තුල කම්කරු පංති‍යේ මතුවීමට අති විශාල ‍දේශපාලන වැදගත්කමක් ඇත. මෙම අරගලයන්ගේ තර්කනය එල්ල වී ඇත්තේ, මිලිටරි ආන්ඩුව ප්‍රතිසංවිධානය කිරීම වෙත නොව, එය පෙරලා දැමීම වෙත ය. කෙසේ වෙතත්, දේශපාලන ක්‍රියාමාර්ගය හා නායකත්වය පිලිබඳ මූලික ප්‍රශ්න නොවිසඳී පවතියි.

ඊජිප්තුව තුල නව මහජන ‍පෙලපාලි පිපිරී යන්නේ, ගැඹුරු වන්නාවු ධ‍නේශ්වර අර්බුද‍යේ හා ජාත්‍යන්තරව වැ‍ඩෙන්නාවු කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අරගලයන්‍හි පසුබිමක ය. ලෝක ආර්ථිකය නව හා වඩාත් විනාශකාරී පරිහානියක අද්දරකට පිවිස ඇති අතර එහි බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා වන අධිෂ්ඨාන‍ය තුල පාලක පන්තිය එකමුතු වෙයි.

ඊජිප්තුවේ වැනි සිදුවීම් පැහදිලි කරන්නේ, දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ඉදිරියේ ඇති එකම මග සමාජවාදී විප්ලවය යන්න ය. මුබාරක්ගේ ඇදවැටීම දැවන්ත ‍වෛෂයික වැගදගත්කමක් දරන සිදුවීමක් වන අතර එය, මහජනයා මුහුන‍ දෙන ‍දේශපාලන හා සමාජ ප්‍රශ්න කිසිවක් විසඳා ‍නොමැත.

එක්සත් ජනපද පිටුබලය ලත් ජුන්ටාවට එ‍රෙහිව කම්කරු පන්ති‍යේ අරගල නැවත මතුවීම, හතරවැනි ජාත්‍යන්තර‍යේ ජාත්‍යන්තර කමිටු‍වේ (හජාජාක) ඉදිරිදර්ශනය බලගතු ‍ලෙස සනාථ කිරී‍මකි. ‍ෙපබරවාරී 14දා ‍ලෝක සමාජවාදී ‍වෙබ් අඩවිය පැහදිලි කල පරිදි “ විප්ලව‍යේ අඛන්ඩත්වය හා එහි අවශ්‍යතාවන්ට සටන් කිරීමේදී කම්කරු පන්තිය හා පීඩිත මහජනතාව, හමුදාව ද නිල විපක්ෂය ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ද සමග, වඩාත් සෘජු ගැටුමකට ‍ගෙන එමින් පවතී.”

ඊජිප්තුව වැනි පීඩිත රටක ධනේශ්වරයට, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ද අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට ද එ‍රෙහි සටනට නායකත්වය දිය ‍නොහැකි ය යන්න පිලිගන්නා ලි‍යොන් ‍ට්‍රොට්ස්කි‍ගේ නොනවතින විප්ලව න්‍යාය විසින් ‍මෙහෙයවෙන ලෝස‍වෙඅ‚ විප්ලවයේ අරමුනු දිනාගත ගත හැක්කේ, තමන්ගේ ජාත්‍යන්තර පන්ති සොහොයුරන් හා ‍සොහොයුරියන් සමග සන්ධානයක් තුල කම්කරු පන්තිය කරනු ලබන ස්වාධීන සමාජවාදී අරගලයකින් පමනක් බව ප්‍රකාශ ක‍ලේ ය.

සමාජවාදය සඳහා වන එවැනි ජාත්‍යන්තර අරගලයක් සඳහා කොන්දේසි වඩ වඩාත් හිතකර වෙමින් පවතී. ඊජිප්තු කම්කරු‍‍වන් හා තරුන‍යන් ‍ මේ වන විටත් ජාත්‍යන්තර කම්කරු පන්තියට, අධිෂ්ඨාන සහගත අරගලයක මිල කල නොහැකි නිදසුනක් සපයා ඇත. ඔවුන්ගේ විප්ලවය පෙරට ගෙනයාමේදී තීරනාත්මක කර්තව්‍යය වන්නේ, ජුන්ටාව පලවා හැරීමේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඊජිප්තුව තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩ නැඟීම යි.

ජොආන්ස් ස්ටර්න්

Share this article: