ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු එක්සත් ජනපද ආක්‍රමනකාරිත්වය අඩු නොවේ

No letup in US aggression following military withdrawal from Iraq

5 December 2011

ඉරාකයේ එක්සත් ජනපද වාඩිලාගැනීමේ නිල අවසානය සලකුනු කිරීමට 01දා පැවති උත්සව හා දිනකට පසු ඉරාකයේ එක්සත් ජනපද මූලස්ථානය වන වික්ටරි කඳවුර නිල වශයෙන් භාරදීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මැද පෙරදිග මිලිටරි ආක්‍රමනයේ අවසානය නියෝජනය නොකර යි. රූපාකාරය වෙනස්වෙමින් පවතී‚ නමුත් අන්තර්ගතය එසේ ම ය.

වොෂින්ටනය ව්‍යාජ කඩතුරාවන් දෙකක් යොදා ගනිමින් 2003 මාර්තු 20දා ඉරාකයට එරෙහි තම ආක්‍රමනකාරී යුද්ධය දියත් කලේ ය. එකී ව්‍යාජයන් නම්: එක්සත් ජනපදය තුල මිනිසුන් 3,000ක් ඝාතනය කෙරුන 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය දියත් කල අල් කයිඩා ත්‍රස්තවාදීන් සමග සදාම් හුසේන්ට සම්බන්ධකම් තිබුනේය යන්න හා වැඩිදුර ප්‍රහාරයන් සඳහා අල් කයිඩාවට සැපයීමට ඉඩ තිබුන “ජන ඝාතක අවි” විශාල තොගයක් ඉරාකය සතුවිය යන්න ය.

මෙම ප්‍රකාශ‚ ග්‍රහලෝකයට ලැබී තිබෙන විශාල මූලෝපායාත්මක ත්‍යාගයන්ගෙන් එකක්, එනම්, ලෝකයේ තුන්වැනි විශාලත ම තෙල් සංචිතය සහිත‚ පර්සියානු බොක්ක පටන් ගන්නා තැන පිහිටි හා කලාපය පුරා අනාගත එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම සඳහා එම රට, ප්‍රහාරක විහිදුම් මධ්‍යස්ථානයක් කර ගැනීමටත් එය මිලිටරි වශයෙන් යටත් කිරීම හා එහි රැඳී සිටීම යුක්ති සහගත කිරීමටත් කොංග්‍රස් ඩිමොක්‍රටිකයින්ගේ තෘප්තිමත් භාවය ලැබ ගත් බුෂ් පරිපාලනය, හිතාමතා නිපද වූ බොරු ය.

අවරුදු අටකටත් වැඩි කාලයක් ඇවෑමෙන්‚ එක්සත් ජනපද සොල්දාදුවන් 4,483කගේ ජීවිත විනාශයෙන් ද ඇස්තමේන්තු ගත දශ ලක්ෂයක් ඉරාක වැසියන් ඝාතනයෙන් ද පසුව, එක්සත් ජනපද යුද සැලැසුම් කරුවන්ගේ හා විදේශ ප්‍රතිපත්ති මූලෝපායඥයන්ගේ දැඩි උන්නතිකාමී අභිලාෂය සාක්ෂාත් කෙරී නැත. එක්සත් ජනපද වාඩිලා ගැනීම කෙරෙහි ඉරාක ජනතාවගේ වෛරය, රටේ අතිවිශාල තෙල් සංචිතය සූරාකෑමේ උත්සාහයට අවහිර කල අතර අන්තිමේ දී යටත් විජිත ආකාරයේ රූකඩ පාලනයක් පවත්වා ගැනීම අසීරු කලේ ය.

එක්සත් ජනපද ආක්‍රමනයෙන් බලයට ගෙන ආ ෂියයිට් හා සුන්නි යන දෙපාර්ශ්වයේ ම ධනේශ්වර දේශපාලඥයින්ගේ සහයෝගය නොමැතිව ඔබාමා පරිපාලනයට‚ 2008 දී බුෂ් පරිපාලනය විසින් ගිවිස ගැනුනු හමුදාවන්ගේ කාර්ය තත්ව ගිවිසුම සංශෝධනය කිරීමට නොහැකිව ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලය මුර කරන නාමික නාවික සේනාංකයට පිටස්තරව සිටින අවසාන එක්සත් ජනපද භටයා ද නත්තලට පෙර ඉරාකයෙන් පිටවන අතර සියලුම එක්සත් ජනපද හමුදා කඳවුරු අතහැර දමනු ලැබේ.

එක්සත් ජනපදය නියෝජනය කරමින් උත්සවයන්හි පෙනී සිටියේ උප ජනාධිපති ජෝශප් බිඩෙන්ය. වික්ටරි කඳවුරේ දී එක්සත් ජනපද සොල්දාදුවන් හා මිලිටරි කොන්ත්‍රාත්කරුවන් අමතා ඔහු කල කතාවේ දී ඔවුන්ගේ කැපවීම් නිසා එක්සත් ජනපදයට “යුද්ධය දිනීමට” හැකි විය යන ප්‍රකාශය නොතකා එය ජයග්‍රාහී සැමරීකට වඩා අඩු දෙයක් විය.

බිඩෙන් හා ඉරාක නිලධාරීන් අතර පැවතුන සාකච්ඡා‚ ඉරාක හමුදා “පුහුනු කිරීම”යන වහන්තරාව යටතේ ඉරාකය තුල එක්සත් ජනපද හමුදාවට ප්‍රමුඛ කාර්යභාරයක් පවරා ගැනීමේ මාර්ග හා උපක්‍රම පිලිබඳ කාරනා වෙත යොමුව තිබුනි. එක්සත් ජනපද “පුහුනුකරුවන්” රට තුල හා ඉන් පිටත එහාට මෙහාට මාරුවෙනවා ද නැති නම්, ඇමරිකානු හමුදා යෙදවුම් වැඩි කිරීමට නියමිත අසල්වැසි රටවල ලැගුම් ගෙන සිටින එක්සත් ජනපද හමුදා වෙතින් ඉරාක සොල්දාදුවන් පුහුනුව ලබනවා ද යන්න විසඳී නොමැති බව පෙනේ.

බිඩෙන් මූර්තිමත් කරන්නේ, කොංග්‍රස් ඩිමොක්‍රටිකයින් වැලඳගෙන සිටින යුදවාදී දක්ෂිනාංශික ආස්ථානය යි. ඔහු 2002 දී යුද්ධයට පක්ෂව ඡන්දය දෙමින්, සෙනෙට් විදේශ සම්බන්ධතා කමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් නි‍යෝජිතයා හැටියට යුද්ධයට සහාය දැක් වූ අතර ඒ වෙනුවෙන් ඔහුගේ මූලෝපායික උපදෙස් පිරිනැමුවේ ය. මෙකී උපදෙස්වලට‚ සිවිල් යුද්ධය සැලසුම් කිරීමේ දී එක්සත් ජනපද හමුදාව සැබවින් ම යොදා ගත් ප්‍රතිපත්තියේ පෙර ලකුනු පහල කල, ඉරාකය වාර්ගික හා නිකායික සීමා දිගේ පවතින ආකාරයට අනුව ම බෙදීම සඳහා වන කුප්‍රකට යෝජනාව ද ඇතුලත් ය.

කොංග්‍රස් ඩිමොක්‍රටිකයෝ යුද්ධයට එරෙහිව පැවති දැවැන්ත මහජන විරෝධය ගසාකෑමට හා එය නොමග යැවීමට “යුද විරෝධී” යයි කියාගත් ආස්ථානයකට මාරු වූ අතර, මෙය 2006 දී ඔවුන් කොංග්‍රස් සභාවේ බහුතරය බවට ද 2008 ජනාධිපතිවරන ව්‍යාපාරයේ දී ඔබාමාට ජයග්‍රහනය ද ලබා දුන්නේ ය. කෙසේ නමුත්‚ වැඩ බාර ගත් තැන් පටන් ඔබාමා, ඉරාකය තුල බුෂ් ප්‍රතිපත්ති ම ඉදිරියට ගෙන ගිය අතර, බුෂ්ගේ ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් පෙන්ටගනයට ඔසවා තබමින්, ඇෆ්ගනිස්ථානය තුල බුෂ්ගේ අනෙක් යුද්ධය වේගවත් කලේ ය.

වික්ටරි කඳවුරේ තම ප්‍රකාශය තුල බිඩෙන් මෙසේ පැවසී ය. “යුද්ධයේ වඩදිය බැස යමින් පවතී.” මීටත් වඩා සත්‍ය‍ෙයන් ඈත යමක් තිබිය නොහැක. ඇමරිකානු මිලිටරිවාදය ඉරාකයේ දී ලේ වැකි විනාශයක් අත් විඳි අතර ම, ඇෆ්ගනිස්ථානයේ දී හිර වීමකට මුහුන දුන්නේ ය. එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන මූලෝපා‍ෙයහි වෙනසක් සිදු වී නොමැත. එය තම දීර්ඝ කාලීන ආර්ථික බිඳවැටීම මග හරවා ගැනීම පිනිස තම ශේෂ වූ මිලිටරි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට නියමිත ය.

නිල වශයෙන් ඉරාකයෙන් ඉවත් වීම, එක්සත් ජනපද මිලිටරි ශක්තිය පලල් කලාපයක් තුල යලි ස්ථානගත කිරීමේ කොටසකි. එමෙන් ම එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගිනකොන දිග ආසියාවෙන් ඈත පෙරදිගට හා චීනයෙන් නැග එන අභියෝගය දෙසට මාරු කිරීමකි. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද මෙහෙයුම් පාලනය කරන අන දෙන මධ්‍යස්ථානයේ පාලනය යටතේ අද දිනයේ, බුෂ් පරිපාලනය යටතේ ඉරාකයේ දරුනු ම සටන් පැවති කාලයට වඩා හමුදා බලඇනි තිබේ.

මෙයට, බුෂ් යටතේ පැවතියාට වඩා තුන් ගුනයක් වූ ඇෆ්ගනිස්තානයේ 100‚000ක එක්සත් ජනපද හමුදා පමනක් නොව, තුර්කිය‚ කුවේට්‚ කටාර්‚ බහරේන් හා ඕමානයේ මෙන් ම ජිබුටිහි එක්සත් ජනපද කඳවුරුවල ද යේමනයේ සිට රතු මුහුද හරහා පර්සියන් බොක්කේ සේවයේ නියුතු නාවික බලඇනිවල පටන්, අරාබි මුහුදේ හා ඉන්දියන් සාගරයේ දශලක්ෂ ගනන් අතිරේක හමුදා අයත් ය. මෙහෙයුම් ක්ෂේත්‍රයට එක්සත් ජනපද -නැටෝ හමුදා ලිබියානු නායක මුවම්මර් ගඩාෆි බලයෙන් පහකල හා මරාදැමූ උතුරු හා නැගෙනහිර අප්‍රිකාවේ පලල් තීරුව සහ උගන්ඩාවේ හා සෝමාලියාවේ රඳවා ඇති එක්සත් ජනපද විශේෂ බලකායන්ද අයත් ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ වඩාත් ක්ෂනික ඉලක්කය ඉරානය වන අතර, මැද පෙරදිගින් ඇරඹූ සිය දින අටේ සවාරියේ දී බිඩෙන් පැවත් වූ සාකච්ඡා, ඉරානය ආර්ථිකව හා දේශපාලනිකව හුදකලා කිරීමේ එක්සත් ජනපද උත්සාහය තීව්‍ර කිරීම වෙත යොමුව තිබුනි. ඉරාකයෙන් පිටව ගිය බිඩෙන්‚ අසල්වැසි සිරියාවේ අර්බුදය‚ පශ්චාත් වාඩිලෑමේ ඉරාක පොදු ප්‍රතිපත්තිය‚ හා ඉරානයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පිලිබඳව එක්සත් ජනපදය යොදන පීඩනය කෙරෙහි තුර්කිය පාන විරුද්ධත්වය ගැන එරට අගමැති රිසෙප් තයියිප් අර්ඩෝගන් සමග සාකච්ඡා පැවැත්වී ය.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය දක්වන තර්ජනාත්මක ආස්ථානය‚ 04දා ඉරාන ඇෆ්ගනිස්තාන දේශ සීමාව අසල නැගෙනහිර ඉරානයට ඉහල අහසේ දී‚ දුරස්ථ මෙහෙයුම් RQ-170 නමැති මිනිසුන් රහිත එක්සත් ජනපද ඔත්තු ගුවන් යානය වෙඩි තබා බිම දැමීම තුලින් අවධාරනය කෙරුනි. ගුප්ත තාක්ෂනයෙන් සමන්විත ඔත්තු යානය මිලිටරිය විසින් දැන් පරීක්ෂාවට ලක් කරන බව ඉරාන නිලධාරීහු පැවසූහ. යානය අතුරුදහන් වීම පිලිබඳව තහවුරු ක‍ල නමුත් එක්සත් ජනපද නිලධාරීහු, යානය කඩා වැටුනේ වෙඩි තැබීමකට වඩා කාර්මික දෝෂයක් නිසා යයි ද ප්‍රකාශ කලහ.

එක්සත් ජනපද ‍සෙ‍නේට් සභාව වොෂින්ටන‍යේ දී‚ ඉරාන‍යේ මහ බැංකුව සමග ගන‍දෙනු කරන බැවින් චීන‍යේ‚ රුසියා‍වේ හා ‍‍බොහෝ යු‍රෝපීය රටවල මහ බැංකුවලට එක්සත් ජනපදය සමග ගන‍දෙනු කිරීම මත විභව සීමා පනවමින්, ඉරානයට එ‍රෙහි මූල්‍ය තහංචි තවත් තීව්‍ර කරන ආරක්ෂක බලය දී‍මේ පන‍තේ සං‍ශෝධනයක් 100-0 වශයෙන් වූ ඡන්දයකින් සම්මත ක‍ලේ ය.

ඒකමතික තීරනය පැමිනි‍යේ‚ එවැනි පියවරක් ඉරානයට එ‍රෙහිව ආර්ථික සම්බාධක තද කිරී‍මේ එහි උත්සාහය කඩාකප්පල් කිරීමට හා යු‍රෝප‍යේ මූල්‍ය අර්බුදය උත්සන්න කිරීමට ඉඩ ඇති බවට ඔබාමා පාලන‍ය කල කරුනු දැක්වීම් ද ‍නොතකා ය.

සෙනේට් සභා‍වේ ද්විපාක්ෂික එක්සත්කම ඩිමොක්‍රටික් පක්ෂ‍යේ සැබෑ ස්වරූපය ප්‍රදර්ශනය ක‍ලේ ය. රිපබ්ලිකානුවන් ‍මෙන් ම ඩිමොක්‍රටික් පක්ෂය ද ඇමරිකානු මූල්‍ය ප්‍රභූ‍ව ආරක්ෂා කිරීමට ‍නොසැලී කැප‍ව සිටියි. එහි “වාම” පාර්ශ්වය හා ‍‍කොංග්‍රස් සභික ‍ඩෙනිස් කුසිනිච් වැනි කපටින් විටින් විට පවත්වන යුද වි‍රෝධී ‍ඝෝෂාවන් ‍නොතකා ඩිමොක්‍රටික් පක්ෂය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පක්ෂ ‍දෙ‍කෙන් එකකි.

යුද්ධයට හා මිලිටරිවාදයට එ‍රෙහි අරගලය සඳහා සියල්ලටත් වඩා, ඩිමොක්‍රටික් පක්ෂ‍යෙන් කැඩී ‍වෙන්වීම හා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පාදකව, ධනේශ්වර පද්ධතියට එ‍රෙහිව ඇමරිකානු කම්කරුවන් හා තරුනයන් ස්වාධීන ‍දේශපාලන ව්‍යාපාරයතුල බලමුලු ගැන්වීම අවශ්‍ය ය.

පැට්‍රික් මාටින්

Share this article: