එක්සත් ජනපද තැපැල් සේවයේ තටු සිඳීම

The gutting of the US Postal Service

7 December 2011

දෙසැම්බර් 05 වෙනි දින එක්සත් ජනපදයේ තැපැල් සේවය (යූඑස්පීඑස්) නිවේදනය කලේ, රැකියා 28,000ක් අහිමි කරමින් හා පලමු ශ්‍රේනියේ තැපැල් එක් දිනකින් බෙදා හැරීම නතර කරමින් එහි තැපැල් පත් එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් හරි අඩකට වඩා වසා දමන බව යි. දැවැන්ත ලෙස වියදම් කප්පාදු කිරීමේ හා රැකියා අතු ගා දැමීමේ වැඩ පිලිවෙලක කොටසක් වන සැලැස්ම එලඹෙන වසරේ මාර්තු මස මුල දී ක‍්‍රියාවට දැමීමට නියමිත අතර වසර 40ක් තිස්සේ ක‍්‍රියාත්මක වෙමින් පවත්නා කලට වේලාවට තැපැල් භාන්ඩ බෙදා හැරීමේ සම්මතයන් අහෝසි කෙරෙනු ඇත.

තැපැල් භාන්ඩ ක‍්‍රමායනය කිරීමේ සේවා මධ්‍යස්ථාන 461න් 252ක් වසා දමනු ඇත. මෙහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ, අද දිනයේ දී තැපැල් භාන්ඩවලින් බහුතරයක් කඩිනමින් බෙදා හරින එක් දිනක සිට දෙදිනක් දක්වා වන කාල පරාසය වෙනුවට පලමු ශ්‍රේනියේ තැපැල් භාන්ඩ බෙදා හැරීමේ කාල පරාසය දෙදිනක සිට දින තුනක් දක්වා දික් ගැස්සීම යි. වාරික සඟරා සඳහා දින නවයක් ගත වනු ඇත.

වෝල්-මාර්ට් වෙලඳ සමාගම ලඟට එක්සත් ජනපදයේ දෙවන විශාලතම සේවා යෝජකයා වන යූඑස්පීඑස් වනාහි මධ්‍යම ආන්ඩුවේ ස්වාධීන ආයතනයකි. ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාත්මක වන එය බදුවලින් නිදහස් ඩොලර් අය කරයි. එක්සත් ජනපද ආන්ඩුවේ කැබිනට් මට්ටමේ දෙපාර්තමේන්තුවක් වූ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවේ අනුප‍්‍රාප්තිකයා වසයෙන් 1971 දී ස්ථාපිත කල එයට කොන්ග‍්‍රසය විසින් අරමුදල් යෙදෙවෙයි.

තැපැල් දෙපාර්තමේන්තුව යූඑස්පීඑස් බවට පරිවර්තනය කිරීම 1971 මාර්තු මස ක්ෂනික තැපැල් කම්කරු වැඩ වර්ජනයකින් ආරම්භව ජාතික පරිමානයේ හිටිවන වැඩ වර්ජනයකට මං පෑදුවේ ය. මෙම වැඩ වර්ජනය නිමාවට පත් වූයේ, නිව් යෝක් නාගරික තැපැල් සේවයේ වැඩෙහි යෙදවීමට එවක ජනාධිපති නික්සන් විසින් එක්සත් ජනපද මිලිටරි භටයින් දහස් ගනනක් යෙදවීමෙන් අනතුරුව පමනි. මුල් අවධියේ දී තැපැල් කම්කරුවන්ට එරෙහිව මෙහෙයවුනු මෙම පරිවර්තනය, තැපැල් සේවය පෞද්ගලීකරනය කිරීමේ දිශාවට තැබූ ප‍්‍රධාන පියවරක් විය. දෙසැම්බර් 05 වෙනි දින සිදු කෙරුනු තැපැල් බෙදා හැරීම පරිහානියට පත් කිරීම රාජ්‍ය ආයතනය බිඳ විසිරවීමේ හා පිරිහෙලීමේ සන්තතිය වේගවත් කිරීමක් සලකුනු කරයි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සංගත අවශ්‍යතා විසින් දැක ගනු ලැබුවේ වෙලඳ පොල කෙරෙහි වන තම පාලනය මත දැරිය නොහැකි කඩා වැදීමක් වසයෙන් සහ තමන්ගේ ලාභ වේගවත් කිරීමට පවත්නා අවහිරයක් වසයෙනි.

තැපැල් නිලධාරීන්ට අනුව තැපැල් බෙදා හැරීම පිරිහෙලීමෙන් ආයතනයට වසරකට ඩොලර් බිලියන 2.1ක් ඉතිරි කර ගත හැකි වනු ඇත. එය, තැපැල් සේවයේ රැකියා 220,000ක් කපා දැමීම, ප‍්‍රාදේශීය තැපැල් මධ්‍යස්ථාන 3,700ක් වසා දැමීම හා සෙනසුරාදා දින තැපැල් බෙදා හැරීම අත්හිටුවන පලල් වැඩ පිලිවෙලක කොටසක් පමනි. මෙකී පියවරයන් මගින් 2015 වසරේ සිට ආයතනයේ වාර්ෂික වියදම්වලින් ඩොලර් බිලියන 20ක් කපා දමනු ඇතයි තැපැල් නිලධාරීහු පවසති.

එමෙන් ම යූඑස්පීඑස් ආයතනය කොන්ග‍්‍රසයෙන් ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිති ගිවිසුම්වලින් ස්ථිර සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවා තිබෙන වගන්ති අහෝසි කිරීමට එයට බලය පවරන ලෙස යි. එලෙස අහෝසි කිරීමට ඉල්ලා සිටින වගන්ති වන්නේ, රැකියාවෙන් දොට්ට දැමීමට නොහැකි ලෙස පනවා තිබෙන, රාජ්‍ය සුව සේවා හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවලින් ඉවත් කිරීමට නොහැකි ලෙස පනවා තිබෙන, විශ‍්‍රාමික සුව ආරක්ෂනය හා විශ‍්‍රාමික අරමුදල්වලට කරන ගෙවීම් අත්හිටුවීමට සහ එහි ශ‍්‍රම බලකායේ අනෙකුත් සහනාධාරවලට බලපෑම් කිරීමට බාධක ලෙස පවතින වගන්ති ය.

එක් දින ප‍්‍රථම ශ්‍රේනියේ තැපැල් බෙදා හැරීම අහෝසි කිරීම, තමන්ගේ බිල්පත් ගෙවීමට හා සමාජ ආරක්ෂන හා අනෙකුක් සහනාධාර ලබා ගැනීමට, එමෙන් ම බෙහෙත් වට්ටෝරු, පුවත්පත් හා වාරික සඟරා ලබා ගැනීමට තැපැල් සේවය යොදා ගන්නා මිලියන ගනනක් වන ඇමරිකානුවන් මත ව්‍යසනකාරී බලපෑමක් එල්ල කරනු ඇත. වයස්ගත පුද්ගලයන් හා ග‍්‍රාමීය නිවැසියන් කෙරෙහි එය විශේෂයෙන් ම බලපානු ඇත.

තව ද එය, ඉන්වොයිස් යැවීමට හා චෙක්පත් ගෙන්වා ගැනීමට තැපැල් සේවය යොදා ගන්නා මිලියන ගනනක් වන සුලූ පරිමාන සමාගම් ඇතුලූ ව්‍යාපාරික මෙහෙයුම්වලට බලපානු ඇත්තේ ඒවායේ මුදල් ගලා යාමට බාධා පමුනුවමිනි. එමෙන් ම සිය ව්‍යාපාරික කටයුතුවල දී රට පුරා භාන්ඩ බෙදා හැරීමට ශීඝ‍්‍ර තැපැල් සේවය යොදා ගන්නා ඩීවීඩී බදුකරු නෙට්ෆ්ලික්ස් වැනි විශාල පරිමානයේ සමාගම් ද ඒ අතර වේ.

තැපැල් වෘත්තීය සමිති යූඑස්පීඑස්හි ප‍්‍රහාරවලට කිසිදු බරපතල විරුද්ධත්වයක් දක්වන්නේ නැත. ඔවුන් එකකට පසු එකක් ලෙස සහන ගිවිසුම්වලට අත්සන් කර තිබේ. එකී ගිවිසුම්වලට අනුව එහි ශ‍්‍රම බලකාය 1991 වසරේ 909,000 සිට අද වන විට 612,400 දක්වා, එනම් සියයට 29කින් අඩු කර තිබේ. මෙය ඔබාමා යටතේ ද අඛන්ඩව සිදුව තිබේ. ඔහුගේ තෙවසරක නිල කාලයේ දී යූඑස්පීඑස් ආයතනය ඩොලර් බිලියන 12කින් විදයම් කප්පාදු කර තිබෙන බව ද ස්ථිර ශ‍්‍රම බලකාය 110,000කින් අඩු කර ඇති බව ද දැක ගත හැකි ය.

ඔබාමා පාලානාධිකාරය හා ඩිමොක‍්‍රැටිකයන්ගෙන් බහුතරය එමෙන් ම රිපබ්ලිකානු කොන්ග‍්‍රස් සභිකයන්ගෙන් පිටුබලය ලබන තැපැල් කලමනාකරනය කියා පාන්නේ එහි සේවා කප්පාදු හා කම්කරුවන් මත පහර එල්ල කිරීම්, ආර්ථික අවශ්‍යතාව මගින් බල කෙරුනු ඒවා බව යි. අන්තර්ජාලය හා විද්‍යුත් සන්නිවේදනයන්ගේ වැඩීම හේතුවෙන් තැපැල් භාන්ඩ ප‍්‍රමානයේ තියුනු කඩා වැටීමක් සිදුව ඇති බවත් එහි ප‍්‍රතිඵලය ලෙස 2011 මුල්‍ය වර්ෂයේදී ඩොලර් බිලයන 5.1ක අලාභයක් සිදු වූ බව හා එලඹෙන වසරේ දී ඩොලර් බිලියන 14ක අලාභයක් අපේක්ෂා කර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මෙය තැපැල් සේවය පිරිහෙලීම මගින් පැන නැගී ඇති තථ්‍ය ගැටලු පිලිබඳ නරුම වහං කිරීමකි. ෆෝබ්ස් සඟරාවට අනුව එක්සත් ජනපදයේ ධනවත් ම පුද්ගලයින් 400 දෙනාගේ මෙම වසරේ ඒකාබද්ධ ශුද්ධ වත්කම්වල වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 1.53ක් එනම් පෙර වසරට වඩා සියයට 12ක වැඩි වීමක් වාර්තා කරන රටක තැපැල් සේවය පවත්වා ගැනීමට හා ව්‍යාප්ත කිරීමට සහ එහි ශ‍්‍රම බලකායේ කොන්දේසීන් අභිවර්ධනය කිරීමට "මුදල් නැත”යි යන කියා පෑමට කිසිදු වලංගුතාවක් ඇත්තේ නැත.

තැපැල් සේවය විසින් කපා දැමීමට සැලසුම් කර ඇති සමස්ත වියදම් ප‍්‍රමානය මෙන් තුන් ගුනයකට ආසන්න පුද්ගලික ධන සම්පත්තියකට හිමිකම් කියන ඇමරිකාවේ ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්ස්ගේ තත්වයේ දී ඇමරිකානු ධනවාදයේ සමාජ ප‍්‍රමුඛතාවන් යහමින් දැක ගත හැකි ය. අලාභ රැකවරන අරමුදල් කලමනාකරුවෙකු වන, ධනවතුන්ගේ ලැයිස්තුවේ 17 වන තැන වැජඹෙන ජෝන් පෝල්සන් පසු ගිය වසරේ දී ඩොලර් බිලයන 4.9ක පුද්ගලික ආදායමක් ලැබුවේ ය යන කාරනයෙන් අවධාරනය කෙරෙන්නේ ආර්ථික පද්ධතියේ අත්‍යන්ත පරපෝෂිත ස්වාභාවය යි.

ඇමරිකානු ජනතාවට වෝල් වීදියට ඇප බැඳීම අමතකව ගොස් තිබේ යැයි බලවතුන් සත්‍ය වසයෙන් ම කල්පනා කරන්නේ ද? 2008-09 වසරවල නය අර්බුදය සමයේ දී ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් බැංකු වෙත බෙදා දෙන ලද මුදල් පිලිබඳව තමන් කල විමර්ශනයක ප‍්‍රතිඵල බ්ලූම්බර්ග් නිව්ස් පසු ගිය සතියේ දී එලි දැක්වූවේ ය. අදාල ලියවිලි ෆෙඩරල් බැංකුවෙන් ලබා ගැනීමට එයට පලල් පරිමානයේ නෛතික අරගලයක් කිරීමට සිදු විය.

තමන්ගේ ම තකතිරු මුදල් පරිහරන හා සාපරාධී මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූ මූල්‍ය ඝට්ටනයෙන් අනතුරුව ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය ගලවා ගැනීමට 2009 මාර්තුවලින් මෙපිට ඩොලර් ටි‍්‍රලියන 7.7ක අරමුදල් ෆෙඩරල් බැංකුව විසින් යොදවා ඇති බව බ්ලූම්බර්ග් සොයා ගත්තේ ය.

පසු ගිය ශතවර්ෂයේ දී ව්‍යාප්තව පැවති තැපැල් බෙදා හැරීමේ මූලික තත්වය පවත්වා ගැනීමට 21 වන ශතවර්ෂයේ දෙවන දශකයේ දී එක්සත් ජනපදයට නොහැකි ය යන කාරනය ඇමරිකානු ධනවාදයේ පිලිනු වීම පිලිබඳ සිත් කා වදින ප‍්‍රකාශනයකි. තැපැල් සේවය කීතු කිරීමේ දී ඇමරිකානු පාලක පන්තිය විසින් පට්ටා ගසනු ලබමින් තිබෙන්නේ බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ගේ නායකත්වය යටතේ 1775 වසරේ දෙවන මහාද්වීපීය කොන්ග‍්‍රසයේ දී ස්ථාපිත කරන ලද හා එක්සත් ජනපද ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද ආයතනයකි.

තැපැල් සේවය අවක‍්‍රමනය කිරීම මූලික සමාජ යටිතල ව්‍යුහය අත්‍යසාමාන්‍ය ලෙස ජරපත් වීමක අනිවාර්ය ප‍්‍රතිඵලය යි. ලෝකයේ ධනවත් ම රට දිනපතා පාලම් කඩා වැටෙන, වේලි බිඳී යන, කුනාටු හෝ චන්ඩ මාරුත විසින් දහස් ගනන් නොඑසේ නම් මිලියන ගනන් අඳුරේ ගිල්ලවනු ලබන රටක්ව තිබේ. තව ද එක්සත් ජනපදය ලෝකයේ වැඩි ම අසමානතාවෙන් යුත් රට වීම අහම්බයක් නො වේ.

අතිමහත් ධන සම්භාරයක් සිය ගිජු පරිශීලනයට යොදා ගැනීමට සියලු ම අවශ්‍යතාවන් යටපත් කරන අසික්කිත ධනවත් කතිපයාධිකාරියක් ආධිපත්‍යය දරන සමාජය නූතන, ජන සමාජයේ වඩා මූලික අවශ්‍යතාවන් සමග සුපැහැදිලිව ම නො පෑහේ. එකී ආධිපත්‍යය හා ජන සමාජයේ දුඃඛිත බව පසෙකින් පෙර නූවූ විරූ අයුරින් දැවැන්ත ලෙස ධනය සංකේන්ද්‍රනය වීම පෙන්නුම් කරන්නේ සමාජ අවශ්‍යතාවන් ද නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික අයිතිය හා ලාභ නියාමය මත පවත්නා පද්ධතිය ද අතර පවතින අශමනීය විරුද්ධත්වය යි.

බැරී ගේ‍්‍ර

Share this article: