‍එක්සත් ජනපද ජනාධිපතිවරන ව්‍යාපාරයේ අයථාර්ථය

The unreality of the US presidential campaign

12 December 2011

එක්සත් ජනපද ජනාධිපතිවරන ව්‍යාපාරය තවත් සති තුනක දී එනම් ජනවාරි 3දා තම පලමු නිල තරගයට මුහුන දෙයි. අයෝවා ප්‍රාන්තයේ පැවැත්වෙන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ සමුලුවෙන් සතියකට පසුව නිව්හැම්ෂයර්හි දී පලමු ප්‍රාථමික මැතිවරනය පැවත් වේ.

මේ දක්වා පැවැත්වෙන රිපබ්ලිකානු අපේක්ෂකයින්ගේ විවාද‚ ඔබාමාගේ ධවල මන්දිරයේ ප්‍රතිචාර හා උනුසුම් මාධ්‍ය ආවරනය සහිත ව්‍යාපාරයේ ප්‍රධාන ලක්ෂන සාක්ෂි දරන්නේ, අති මහත් බහුතරයක් ඇමරිකානුවන්ගේ අවශ්‍යතාවන්ගෙන්, එක්සත් ජනපද දේශපාලන පද්ධතිය කෙතරම් නම් වෙන්වී ඇත්තේ ද යන්නයි.

මහා ව්‍යාපාරික ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ, එනම්, ඩිමොක්‍රටිකයින් තරමට ම රිපබ්ලිකානුවන් ද, වෝල් වීදියට ඇපදීමෙන් හා 2008 මූල්‍ය කඩාවැටීමෙන් නිර්මානය වූ ආර්ථික අවපාතය මගින් ඇති කෙරුනු හිඟය පියවීමට සමාජ සේවාවන් නිර්දය ලෙස කප්පාදු කරන ලෙසට බල කරමින් තව තවත් දකුනට ගමන් කරයි.

එහෙත් වැඩකරන ජනතාව අතර දේශපාලන වර්ධනයේ ගමන් මග වමට ය‚ වෝල් වීදියට එරෙහි විරෝධතා හා කම්හල් හා කාර්යාල සහ විරැකියා පෝලිමේ කම්කරුවන් අතර වැඩෙන කෝපය තුල මෙය කලල රූපාකාරයෙන් ප්‍රකාශයට පත් වෙයි. සෞඛ්‍ය ආරක්ෂනය‚ ‍සමාජ ආරක්ෂනය කප්පාදු කිරීමට මෙන් ම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ අනෙකුත් සමාජ වැඩසටහන් කප්පාදුවට එරෙහි දැවන්ත මහජන විරෝධය කෙබඳු දැයි මත විමසුම් මගින් පෙන්නුම් කෙරේ.

2012 මැතිවරන ව්‍යාපාරය තුල ඉහවහා යන අයථාර්ථවත් භාවයක් පවතියි. පසුගිය 07දා කැන්සාස්වල පැවති ඔබාමාගේ මැතිවරන ව්‍යාපාරයට ගැලපෙන වේදිකාවේදී හෝ 10දා අයෝවාහි රිපබ්ලිකානු විවාදයට කන් දෙන කිසිවෙකු හෝ ‚ එක්සත් ජනපදයේ දශලක්ෂ ගනනාවක් වැඩකරන ජනතාව දුගී භාවයේ ගිලී සිටින බව හා ආර්ථික අනාරක්ෂිත භාවය දෛනික ජීවිතය අරක්ගෙන සිටින බව‚ ඇමරිකානු සමාජය සාගින්නේ‚ විරැකියාවේ හා අත්පත්කර ගැනීමේ (ඉඩම්‚ නිවාස වැනි දේපල) රැල්ලකට සහ අධ්‍යාපනය‚ සෞඛ්‍යය‚ සනීපාරක්ෂාව හා අනෙකුත් සමාජ සේවා බිඳවැටීමකට මුහුන දී සිටින බව දැන නොගන්නවා ඇත.

රිපබ්ලිකානු පක්ෂයේ සියලු අපේක්ෂකයෝ ජනගහනයේ ඉතා ප්‍රතිගාමී කොටසේ එනම්‚ මූල්‍ය ප්‍රභූ කොටස්වල අගතීන්ට හා ආත්මාර්ථකාමී මූල්‍ය අවශ්‍යතාවන්ට සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හා අන්ත දක්ෂිනාංශික ටී පාටි ව්‍යාපාරය අතර රිපබ්ලිකානු පක්ෂයේ “පදනමට” ආයාචනය කරමින් සිටිති.

රිපබ්ලිකානු පක්ෂය කොතරම් දකුනට ගොස් ඇද්දැ යි කිවහොත් එහි පෙරමුනු තරගකරුවා වන හිටපු කොන්ග්‍රස් කතානායක නිව්ට් ගින්ග්‍රිච් ගේ දශක තුනකට අධික දේශපාලන ප්‍රතිගාමිත්වය නෙසලකා ම, ඔහු ප්‍රමානවත් තරම් ප්‍රතිගාමී නොවීම සම්බන්ධයෙන් ප්‍රහාරයකට ලක් වුනි. එක් ප්‍රතිචාරයක් අතරතුර දී ගින්ග්‍රිච්, ලමා ශ්‍රමයට එරෙහි නීති අවලංගු කිරීමට තමා දක්වන සහාය යලි යලිත් ප්‍රකාශ කලේ ය. අපේක්ෂකයෝ සියලු ම දෙනා පොහොසතුන් හා සංගත පැනවෙන ‍ බදු තවදුරටත් අඩු කිරීමට ප්‍රතිඥා දෙති.

විවාදයෙන් පසු පලවූ මාධ්‍ය ප්‍රකාශ, ඔහුගේ එක් විරුද්ධවාදියෙකු වන ටෙක්සාස් ආන්ඩුකාර රික් පෙරීට ඩොලර් 10‚000ක ඔට්ටුවකට අභියෝග කල හිටපු මැසචුසෙස්ට් ආන්ඩුකාර මිට් රොම්නේ විසින් කල උපකල්පිත ප්‍රමාද දෝෂය හුවා දැක්වීය. සාමාන්‍ය අයෝවා කම්කරුවෙකුගේ මාස තුනක වැටුපට සමාන එතරම් ලොකු මුදලක් ඔට්ටු තැබීමෙන් දශ ලක්ෂපති ආයෝජන බැංකු කරු අසංවේදී බව ප්‍රදර්ශනය කරමින් ඡන්දදායකයන් හා ඔහු අතර දුරස්ත භාවය හෙලිදරව් කරමින් සිටි බව විචාරකයන් පැවසීය.

ලොකු ම බැංකු ගිනුම සහිත අපේක්ෂකයා වශයෙන් රොම්නේ ඉතාමත් දිදුලන උදාහරනය විය හැක‚ එහෙත් ඔහු සමුච්චිත ධනය ඇමරිකානු දේශපාලනය තුල ඉටු කරන කාර්යභාරය පුද්ගලාරෝපනය කරනවා පමනි. සමස්ත නිල දේශපාලන පද්ධතිය‚ ඩිමොක්‍රටික් පක්ෂය තරම්ම රිපබ්ලිකානුවෝ ද‚ සුපිරි පොහොසතුන්ගේ සාක්කු තුලට වැටී සිටින අතර යා කල නොහැකි සමාජ පරතරයකින් කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ගෙන් හා උත්සුකයන්ගෙන් වෙන් කරනු ලබයි.

රිපබ්ලිකානුවන් පොහොසතුන්ගේ විවෘත හා නිර්ලජ්ජීත ආරක්ෂකයන් ලෙස ක්‍රියාකරන අතර‚ ඩිමොක්‍රටිකයෝ “මධ්‍යම පන්තියේ” හා සමහර විට “කම්කරු පන්තියේ” පවා මිතුරන් හා උපදේශකයන් ලෙස පෙනී සිටිමින්, මූල්‍ය ප්‍රභූව ආරක්ෂා කිරීම පිනිස වඩාත් සංකීර්න ක්‍රියාකලාපයක් ඉටු කරති.

විශාල ධනපතියන්ගේ විරුද්ධවාදියෙකු ලෙස, තියඩෝර් රූස්වෙල්ට්ගේ අඩිපාරේ ගමන් කරන බවට සහ මූල්‍ය අර්බුදයට ගොදුරු වූවන්‚ එනම් රැකියා‚ ජීවනෝපායන් හා නිවාස අහිමි කර ගෙන ඇති අය කෙරෙහි අනුකම්පාව දක්වමින් මවාපෑම් කල කැන්සාස්වල ඔසවටොමිහි ඔබාමාගේ කතාවේ හරය මෙය විය. ඔවුන්, “තමන්ගේ වගකීම ඉටු කල නමුත් තවමත් මල්ල අල්ලා ගෙන සිටින අහිංසක‚ මහන්සි වී වැඩකරන ඇමරිකානුවන්” යයි ඔබාමා කීවේ ය.

එවැනි වාචාල කථා ඇමරිකානු ජනතාවගේ බුද්ධියට කරන නිගාවකි. ඔබාමා‚ බුෂ් යටතේ ඇරඹුනු වෝල් විදිය ගලවා ගැනීම ඉදිරියට ගෙන ගිය අතර එය පලල් කලේ ය‚ මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් කපමින් කර්මාන්තයේ හාම්පුතුන් ගලවා ගත්තේ ය‚ රෝගීවූවන් සඳහා වන සේවාවන් කැපීම හා ඇමරිකානු සමාගම් සඳහා පිරිවැය ප්‍රතිලාභ ලබාදීම වෙතට යොමු වූ සෞඛ්‍ය ආරක්ෂන වැඩ සටහනක් පැනවූයේ ය‚ මහජන අධ්‍යාපනය හා පාසල් සේවකයින් මත පෙරමුනු ප්‍රහාරයේ නායකත්වය ගත්තේ ය.

ජනතාවාදී මවාපෑම තුනී සලුවක් වන අතර ඇමරිකානු මහජනතාව වැඩි වැඩියෙන් එය විනිවිද දකිති. “විනාඩි 60” සීබීඑස් වැඩ සටහනෙන් ඉරිදා රාත්‍රියේ දී විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවක දී වාර්තාකාර ස්ටීව් ක්රොෆ්ට් ‚ ඔහුගේ ආන්ඩුව පොහොසතුන් ආරක්ෂා කරමින් සිටින බවට වැඩෙන හැඟීම ගැන ඔබාමාගෙන් ඇසුවේ ය. ඔහු ඔබාමාගේ පරිපාලනයේ ප්‍රතිපත්තිවලින් වැඩියෙන් ම උපයා ගෙන ඇත්තේ කවු ද යි ඇසූ මෑත මත විමසුමක් ඉදිරිපත් කලේ ය. ඉන් වැඩිම කොටස, එනම් මත විමසුමෙන් සියයට 42ක්, වෝල් වීදිය ඔබාමා පරිපාලනයේ අංක එකේ ප්‍රතිලාභියා බව පැවසූහ.

ඇමරිකානු ජනතාවට බෙහෙවින්ම ආගන්තුක ‚ දුසිම් භාගයක් වන දේශපාලන ප්‍රතිගාමීන්ගෙන් ඔබාමාට මුහුන දිමට රිපබ්ලිකානු නාම යෝජනා දිනන්නේ කවුරු ද යන්න හා මහා මැතිවරනයේ ප්‍රතිඵලය වනවා ඇත්තේ කුමක් ද යනාදිය ගැන සමපේක්ෂන ඇමරිකානු මාධ්‍ය වසා ගනිමින් ත‍ිබේ. එහෙත් 2012 නොවැම්බර් 6දාට බොහෝ දුරක් ඇති අතර කරුනු කාරනා මාධ්‍ය ප්‍රක්ෂේපනය කරනවාට වඩා වෙනස් ලෙස දිග හැරෙනු ඇත.

ධනේශ්වර මැතිවරන ව්‍යාපාරයේ අයථාර්ථයට වෛෂයික මූලයක් ඇත: මැතිවරනය යටපත් කරගෙන නැ‍ඟෙන ඇමරිකානු හා ලෝක ධනවාදයේ තීව්‍ර අර්බුදය ‚ එනම් ආර්ථික‚ දේශපාලන‚ හා යුදමය පවා වන අර්බුද‚ නව කම්පනයන් මාලාවක ගතික බලවේගය වන අතර මෙම කම්පනයන් ඩිමොක්‍රටිකයන්ගේ හා රිපබ්ලිකානුවන්ගේ දේශපාලන ගනන් බැලීම් ක්ෂනිකව යටපත් කරනු ඇත.

2011 වර්ෂය, මැද පෙරදිග ද ඉතාම මෑත දී රුසියාව ද ඇතුලු යුරෝපයේ වැඩි කොටසක දේශපාලන නැගිටීම් අත් දුටුවේ ය. තව ද එය‚ විස්කොන්සින් හා අනෙකුත් ප්‍රාන්තවල රාජ්‍ය සේවකයන්ගේ විරෝධතා තුල‚ වෝල් වීදිය වාඩිලාගනු විරෝධතාවන් තුල, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු ද්විපාක්ෂික දක්ෂිනාංශික ප්‍රතිපත්ති කෙරෙහි පවතින මහජන විරෝධයේ පලමු කැලඹීම් දැක ගත්තේ ය.

2012 සඳහා වඩාත් දැවැන්ත සිදුවිම් ඉතිරිවී තිබේ. එනම් මූල්‍ය අර්බුදයේ නව පිපිරීම්‚ නව යුද්ධ‚ මහජන විරෝධයේ නව පුපරා හැලීම්ය. මෙම සිදුවීම් එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වය බිඳ දමනු ඇත. නැත්නම් ඒවායේ නියම නමින් කිවහොත් ඇමරිකානු මූල්‍ය ප්‍රභූවේ දීර්ගකාලීන ග්‍රහනය හා කම්කරු පන්තික ජනතාව දේශපාලන ජීවිතයෙන් හුදෙකලා කොට තැබීම අවසාන කරනු ඇත.

1960 ගනන්වල ‚ ඇමරිකාවේ අවසාන මහා සමාජ හා දේශපාලන අර්බුදය අතරතුර දී‚ ප්‍රජා අයිතීන් හා වියට්නාම් යුද්ධයට එරෙහි මහජන නැගිටීම්, ධනේශ්වර පක්ෂ තුල ‚ විශේෂයෙන් ම ඩිමොක්‍රටික් පක්ෂය තුල අභ්‍යන්තර අරගල ලෙස ප්‍රකාශනය අත්කර ගත්තේ ය.

එවැනි වර්ධනයක් අද ඇත්තේ නැත. වෘත්තිය සමිතිවල හා “වාම” ලිබරල් ක්ෂේත්‍රයේ සහාය ඇතිව ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔබාමාගේ නාම යෝජනාවට එරෙහි ඕනෑම අභියෝගයක් වැලක්වීමට පරිපාලනය අනලස්ව වැඩ කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ හා ලිබියාවේ යුද්ධවලට‚ ආන්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස වධහිංසාවන්ට ලක් කිරීමට හා ඝාතනයට‚ වෝල් වීදියට ඇප දී බේරා ගැනීමට‚ සමාජ වැඩසටහන් විනාශ කිරීමට, එරෙහි විරෝධය, පවතින දේශපාලන පද්ධතිය තුල මොන ම ප්‍රකාශනයක්වත් අත්කර ගෙන නැත.

නිල දේශපාලනයෙන් මෙම කාරනා ඉවත් කිරීම ම, ද්විපක්ෂ ක්‍රමයේ බංකොලොත් හා ප්‍රතිගාමී ස්වභාවය ‍පෙන්නුම් කර යි. ඇමරිකානු මූල්‍ය ප්‍රභූවේ ප්‍රතිපත්ති කෙරෙහි පවතින මහජන විරෝධය, එක්සත් ජනපද මැතිවරන හා නිල පක්ෂ දෙකේ රාමුවට පිටින් ඉස්මතු වන බව එමගින් පෙන්නුම් කරයි.

ඇමරිකානු කම්කරු පන්තිය මහජන අරගලවලට අවතීර්න වීම දේශපාලන පැහදිලිකම සඳහා වන සටන සමග අතිනත ගෙන ගමන් කරයි. දශලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාව, ඔබාමා හා ඩිමොක්‍රටික් පක්ෂය ගැන වූ මිත්‍යාවන්ගෙන් මිදෙමින් සිටිති . ඔවුන් වඩ වඩාත් සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක අවශ්‍යතාවය දකින්නේ ය.

‍සමාජවාදී සමානතා පක්ෂය ධනේශ්වර අර්බුදයට විසඳුමක් ලෙස ‚ විප්ලවවාදී සමාජවාදී වැඩ පිලිවෙලක් මත පාදකව‚ කම්කරු පන්තියේ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට එල‍ෙඹන 2012 වසරේ අරගලයන් තුල මැදිහත් වනු ඇත.

‍පැට්‍රික් මාටින්.

Share this article: