‍ඔබාමා හා කොන්ග්‍රසය, පොලිස් රාජ්‍යයක් නීතිගත කිරීමට පිටුබලය දෙයි

Obama, Congress back legalization of a police state

16 December 2011

එක්සත් ජනපද පුරවැසියන් චෝදනා ගොනු නොකර හෝ නඩු විමසීමකින් තොරව අනියමිත කාලයකට රඳවා තැබීම පිනිස සෙනේට් සභාව 15දා අනුමත කල නීතිය පෙන්නුම් කරන්නේ. දශකයක කාලයක් තිස්සේ මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල අනවරත ප්‍රහාරයේ නව අදියරකි.

14දා නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව සෙනේට් සභාවේදී එය 86-13 ක ඡන්දයෙන් සම්මත විය. වොෂින්ටනයේ යුද යාන්ත්‍රනයට වෙන්කර ඇති ඩොලර් බිලියන 662ක ජාතික ආරක්ෂක බලතල පැවරීමේ පනත ද (ජාආබපැ) ඇතුලත් මෙම පියවරට ජනාධිපති බරක් ඔබාමා සිය නිෂේධ බලය නොයොදවන බවට ධවල මන්දිරයෙන් නිකුත්වූ නිවේදනයෙන් ද පසුව මෙය සිදු විය.

පනත අනුව ත්‍රස්තවාදියෙකු බවට සැකයට පාත්‍රවූ ඕනෑම අයෙක් මිලිටරි බන්ධනාගාරයක් තුල “සතුරුකම් අවසාන වන තෙක් නඩු විමසීමකින් තොරව රඳවා තැබිය හැකිය” පුරවැසියෙක් නොවන්නෙකු එවන් සැලකීමක් ලැබිමට සුදුසු වන අතර, එක්සත් ජනපද භූමිය තුලදී අත්අඩංගුවට ගන්නා පුරවැසියෙකුට ද ජනාධිපති තීරනය කරන්නේ නම්, මෙම ව්‍යවස්ථාව අභිබවන දඬුවම් අදාල කර ගැනීමට පනතෙන් ඉඩ සැලසේ.

මෙම නීති ඛන්ඩය, බුෂ් පාලනය යටතේ සිදුකරන ලද තුච්ඡ අපරාධ නිදන්ගත කොට ඇමරිකානු මිලිටරි පොලිස් රාජ්‍යයක් සඳහා නීතිමය වාතාවරනය සකස් කෙරේ. මේ සඳහා කොන්ග්‍රසයේ මන්ත්‍රී සභා දෙකෙන්ම ලැබුනු පෘතුල ද්විපාර්ශවික සහයෝගය, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය හා එහි විශාල ව්‍යාපාරික පක්ෂ දෙක තුලම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු අවකාශයක් ඉතිරිව නැත යන්න පිලිබඳව නිශ්චිත සාක්ෂි ගෙනහැර දක්වයි.

ඇමරිකානු සමුහාන්ඩුවේ සමාරම්භක මූලධර්ම ඉරා දමන නීති ඛන්ඩය පිලිබඳ මෙම කාරනයේදී, ව්‍යාපාරික පාලනයට නතුව තිබෙන ජනසංනිවේදන වෙතින් කසුකුසුවක හඬක් හෝ නැඟී නැත. මෙය පොදු විවාදයකට බඳුන් කිරීමේ කිසිදු අදහසක් ඒවාට නැත. එහෙත් මිලියන ගනන් ඇමරිකානු වැඩකරන ජනතාවට මෙම ක්‍රියාව ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයකි.

1791 දෙසැම්බර් 15දා එක්සත් ජනපද ව්‍යවස්ථාවට, අයිතීන් පිලිබඳ ප්‍රඥප්තියේ පලමු සංශෝධන දහය ඇතුලත් කල දින සිට හරියටම 220 වසරක ඇවෑමෙන් සෙනේට් සභාවේ ඡන්දය ප්‍රකාශ කෙ‍රිනි.

කථා කිරීමේ හා අදහස් පලකිරීමේ නිදහස, අසාධාරන සෝදිසි කිරීම් හා අත්පත්කර ගැනීමෙන් නිදහස, ක්‍රියා කිරීමේ නිදහස හා අපරාධයක් පිලිබඳව චෝදනා ලත් ඕනෑම අයෙකුට අපක්ෂපාතී ජූරි සභාවක් මගින් සිදුකරනු ලබන ඉක්මන් හා ප්‍රසිද්ධ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍ර නිදහස මෙම සංශෝධන මගින් ප්‍රකාශයට පත් කරන ලදී. ඇමරිකානු විප්ලවයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍ර ජයග්‍රහන සංගෘහිත කිරී‍ෙම් ද බ්‍රිතාන්‍ය රාජාන්ඩුවේ පාලනය යටතේ ජනතාවට එරෙහිව සිදුකරන ලද නොපනත්කම් නව සමූහාන්ඩුව තුල ද යලි සිදුකිරීම වැලැක්වීමේ ද අරමුනෙන් ඒවා සම්මත කරන ලදී. “ජීවිතය, නිදහස හා සතුට සොයා යාම” වෙනුවෙන් නිදහසේ ප්‍රකාශනය මගින් ප්‍රකාශයට පත්කල “ආවේනික හා අන්සතුකල නොහෙන” අයිතීන්හි සංක්ෂිප්තයක් ඉන් නියෝජනය කෙරෙයි.

කිසිදු විවාදයකින් තොරව ම පාහේ හා අවසානයක් නැති “ත්‍රස්තයට එරෙහි ගෝලීය යුද්ධයේ” නාමයෙන් සෙනේට් සභාව හා නියෝජිත මන්ත්‍රී මන්ඬලය සම්මත කල නීතිය, පුරාන ජෝර්ජ් රජු පවා මවිතයට පත් කරන ආකාරයේ පොලිස් රාජ්‍ය බලතල ජනාධිපතිවරයෙකුට පවරා දීම මගින් මෙම අයිතීන් සියල්ල අහෝසි කිරීමට ඉඩ සලසයි.

සත්තකින්ම, ලිබරල් හා ව්‍යාජ වාම කන්ඬායම්, මෙම නීතියේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ උත්සුකය නිසා ඔබාමා නිෂේධ බලය යොදා එය පරාජය කරනු ඇති බවට පැතිරවීමට උත්සාහ කල මිත්‍යාව නොතකා ඩිමොක්‍රටික ජනාධිපතිගේ එකම කනස්සල්ල වූයේ, ඔහු හා ඔහුගේ පූර්ව ප්‍රාප්තිකයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් දැනටමත් අත්පත්කරගෙන තිබෙන පුලුල් බලතල ප්‍රශ්නයට බඳුන් වේය යන්නයි. එබැවින් ධවල මන්දිරය, එක්සත් ජනපද භූමිය තුල අත්අඩංඟුවට ගන්නා ඇමරිකානු පුරවැසියන් අනියත කාලයක මිලිටරි රැඳවුමකට යටත් නොකරන බව විශේෂිතව සඳහන්ව තිබූ මුල් නීති කෙටුම්පත ද ඇතුලුව එහි භාෂාව ඉවත් කරන බවට සහතික කිරීම පිනිස සෘජුවම විවාදයට මැදිහත් විය.

චෝදනා හෝ නඩු විභාගයක් නොමැතිව තමන්ට අභිමත ඕනෑම අයෙක් මිලිටරි බන්ධනාගාර ගත කිරීමට ජනාධිපතිට ඇති බලතල තමා සතුකරගන්නා බව ඔබාමා දැනටමත් පැහැදිලි කර ඇත. ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන ඇමරිකානු පුරවැසියන් රාජ්‍ය ඝාතනයට ලක් කිරීමේ දී විනිශ්චයකරු ලෙස ද ජූරි සභාව ලෙස ද අලුගෝසුවා ලෙස ද කටයුතු කිරීමට තමන්ට ඇති අයිතිය අවධාරනය කරමින් ධවල මන්දිරයේ සිය පුර්වගාමියාට ද වඩා ඔහු සැලකිය යුතු පියවර ගනනක් ඉදිරියට ගමන්කර ඇත. අන්වර් අල් අව්ලාකි හා තවත් අය අධිකරනය අභිබවමින් ඝාතනය කිරීමට කියන ලද එම අයිතිය ඔහු විසින් ක්‍රියාවට නඟා ඇත. නීතිය සම්මත කිරීමට ඡන්දය දුන් බොහෝ ඩිමොක්‍රටිකයින් මිලිටරි රැඳවුම් පිලිබඳ විධිවිධාන ගැන කෙඳිරිලි හඬින් මතභේද පල කලහ. සෙනේට් බහුතරයේ නායක හැරී රීඩ් මහඟු උදාහරනය විය. පනත “පරිපූර්න නැති” නමුත් "අපගේ හමුදාවන්ට සහාය දැක්වීමේදී එය ප්‍රධාන ජයග්‍රහනයක්” බව කියා සිටිමින් එයට පක්ෂව ඡන්දය දුන්නේය. එවන් තර්කයකට නිශ්චිත තර්කනයක් ඇත. එනම් විදේශයන්හි නිමක් නැති ආක්‍රමනකාරී යුද්ධ රට තුල පුජාතන්ත්‍ර අයිතීන්ට හා සමාජ තත්වයන්ට එරෙහි ප්‍රහාරයන්ගෙන් වෙන්කල නොහැකි වීමයි.

දෙකම පැන නඟින්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික අර්බුදයෙනි. මෙම අර්බුදය එහි තියුනුම ප්‍රකාශනය අත්කර ගන්නේ, ඇමරිකානු සමාජයෙහි අර්ථාන්විත අංඟයක් බවට පත්ව තිබෙන, ඓතිහාසිකව පෙර නොවූ විරූ සමාජ ධ්‍රැවාන්තගතවීම තුලය. ධන‍ෙය් මෙන්ම ආර්ථික හා දේශපාලන බල‍ෙය් ද ඒකාධිකාරය දරන මූල්‍ය කතිපයාධිකාරය හා පිරිහෙන ජීවන තත්වයන් ද මහා විරැකියාව හා එක දිගට දියවී යන සමාජ කොන්දේසි ද සමග පොර බදන ජනගහනයෙන් බහුතරයක් වන වැඩකරන ජනතාව ද අතර දැවැන්ත විභේදය අද තරම් වෙන කවර කලෙකවත් මෙතරම් නග්නව නොපැවතුනි.

මෙම විසකුරු සමාජ පදනම මත ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා පාලනයේ ප්‍රජාතන්ත්‍ර රූපාකාරයන් එන්ට එන්ටම ගිලිහෙමින් තිබේ. එක්සත් ජනපද ව්‍යවස්ථාව හා අයිතීන් පිලිබඳ ප්‍රඥප්තිය තුල තහවුරු කර තිබෙන මූලධර්ම සමඟ තිරසාර ලෙසම විසංවාදී වන, තම ධනය හා බලය ආරක්ෂාකර ගැනීමේ නව අකෘතියක් සොයා බැලීමට පාලක පන්තියට බලකෙරී තිබේ.

මෙම නව අකෘතිය නිර්මානය කිරීමේ කටයුතු දශකයක් තිස්සේම කෙරීගෙන ගියේ ය. මහජන ඡන්දය ලබාගත නොහැකිවූ ජනාධිපතිවරයෙක් පත්කිරීමට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය තුල දක්ෂිනාංශිකයින් බහුතරයකගේ අනුමැතිය පලවීමෙන් පසුව වසර 2000 සොරාගත් මැතිවරනයත් සමග ඇමරිකානු ප්‍රජාතන්ත්‍රයේ දිරාපත් වීම හා සමාජ අසමානත්වයේ වර්ධනයෙන් සංලක්ෂිත අවධියක් ආරම්භ විය.

ඇමරිකානු ආන්ඩුව විසින් තවමත් බැරෑරුම් ලෙස පරීක්ෂාවට භාජනය කර හෝ පැහැදිලි කර නොමැති 2001 සැප්තැම්බර් සිදුවීම්, ආක්‍රමනයේ යුද්ධ දෙකක් දියත් කිරීමට නිමිත්ත සම්පාදනය කලේය. එමෙන්ම දෙපක්ෂයේම සහයෝගයෙන්, වධ දීම්, ඉලක්ක කල ඝාතන, අසාමාන්‍ය අනුවර්තනය කිරීම්, රට තුල ඔත්තු බැලීම් හා නීති විරෝධී රඳවා තැබීම් සමග දේශප්‍රේමී පනත හා හෝම්ලන්ඩ් සිකියුරිටි පනත වැනි හිංසනකාරී අන පනත් රාශියක් සම්මත කරගෙන නිල රාජ්‍ය පිලිවෙත බවට පත්කරගෙන තිබේ.

මෙම ක්‍රමෝපායන් ඔබාමා විසින් පවත්වාගෙන යමින් වැඩි දියුනු කර ඇත. ඔහු 2008 මැතිවරනය දිනීමේ දී, ඔහුගේ පූර්වගාමියාගේ කටයුතු පිලිබඳව පැවති මහජන පිලිකුල ඉටුකලේ සුලුපටු කොටසක් නො වේ. ඒ දේවල්ම දැන් ඩිමොක්‍රටිකයින් විසින් අධික‍ාරය දරන සෙනේට් සභාවෙන් විවෘතව ම නිදන්ගත කර තිබීම පෙන්නුම් කරන්නේ, ඒවා හුදෙක් තනි ජනාධිපතිවරයෙකුගේ හෝ සුවිශේෂී දක්ෂිනාංශික දෘෂ්ටිවාදයක නිර්මාන නොවන බවයි.

ඒවා වනාහි ඇමරිකානු සමාජයේ පන්ති ප්‍රති විරෝධයන්ගේ හා එක්සත් ජනපද ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ ප්‍රතිපල යි. 1930 ගනන්වල මහා ආර්ථික අර්බුදයට පසුව උදාවූ 2008 මූල්‍ය අර්බුදය එන්ට එන්ටම ගැඹුරු වීමත් සමඟ පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයේ ක්‍රමෝපායන් වෙත නැඹුරුව වේගවත්වී ඇතුවා පමනි.

සාර්වත්‍රික යයි සලකන ත්‍රස්තවාදයේ තර්ජනය හුවා දක්වන, 15දා සෙනේට් සභාවෙන් සම්මතවූ පියවරයන්ට සහයෝගය දුන් අය, එක්සත් ජනපදයමත් “යුද පිටියක්” බවට පත්ව ඇති බවට කරන තම අවධාරන‍ෙය් යොමුව, දුරදිග යන වැදගත් කමක් දරයි.

වෝල් වීදිය අත්පත්කරගනු යන විරෝධතාවන්හි පුපුරන සුලු වර්ධනය හා ඔවුන් විසුරුවා හැරීම පිනිස ජාතික පරිමානයෙන් සංවිධානය කර තිබෙන ව්‍යාපාරය, ඊටත් වඩා පුලුල් සමාජ අරගලයන්හි සම්ප්‍රාප්තිය ඇඟවුම් කරයි. වැඩකරන ජන සමූහයන් ජීවිතයේ නො ඉවසිය හැකි කොන්දේසි මගින් පන්ති අරගලය කරා තල්ලු කරනු ලබයි.

ලාභ පද්ධතියේ අර්බුද‍යෙහි බර කම්කරු පන්තිය මත පටවන කතිපයාධිකාරී පාලක පැලැන්තියේ ප්‍රතිපත්ති, විප්ලවකාරී සමාජ විරෝධයක නැඟීමට මඟ හෙලි කරන බව දන්නා ඔවුහු ඒ සඳහා සූදානම් වෙති. කම්කරු පන්තිය ද ඒ ආකාරයට ම සූදානම් විය යුතුය. නැඟී එන පොලිස් රාජ්‍ය ආඥාදායකත්ව‍ෙය් හා ධනේශ්වර ලාභ පද්ධති‍ෙය් තර්ජනයන්ට එරෙහි අරගලය තුල කම්කරු පන්තිය සිය ස්වාධීන දේශපාලන බලය මෙහෙයවිය යුතුය.

බිල් වෑන් ඕකන්

Share this article: