යුරෝපීය කම්කරුවෝ කප්පාදුවලට හා ආඥාදායකත්වයට මුහුන දෙති

European workers face austerity and Dictatorship

13 December 2011

පසුගිය සතියේ පැවති යුරෝපා සංගම් (ඊයූ) සමුලුවේ දී එකඟ වූ පියවරයන්ගේ කම්කරු පන්තිය සඳහා වන ගම්‍යයන් පිලිබඳව කියා ඇත්තේ මඳ වශයෙනි. මාධ්‍ය ආවරනය මුලුමනින් ම පාහේ නාභිගත වූයේ අගමැති ඩ්විඩ් කැමරන්ට බි‍්‍රතාන්‍ය නිෂේධ බලය පිලිබඳව ඇති බලධාරීත්වය කෙරෙහි ය.

දැන් සකසනු ලබන අන්තර්-ආන්ඩු ගිවිසුම්වල ගම්‍යයන් පිලිබඳ තථ්‍ය නිශ්ශබ්දතාව කම්කරු පන්තිය කෙරෙහි යුරෝපීය මාධ්‍ය හා පාලක ප‍්‍රභූන්ගේ අවඥාව පෙන්නුම් කරයි. සමස්ත යුරෝපය ම එක් යෝධ කප්පාදු කලාපයක් බවට පරිවර්තනය කරනු ලබන තතු යටතේ ගිවිසුම් පියවර රැකියා, ජීවන තත්වයන් හා මිලියන ගනන් දෙනා රැඳී සිටින සමාජ සේවාවන් මහා පරිමානයෙන් විනාශ කිරීම පිලිබඳව අනාවැකි පලකරයි.

කප්පාදු පියවර විස්තර කරනු ලැබ ඇත්තේ යුරෝ කලාපය තුල "වහල් රාජ්‍යයන්” සඳහා වන සැලැස්මක් ලෙස ය. වඩාත් නිවැරදිව කියතොත් එය වනාහි යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝජනය කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය කතිපයාධිකාරය සඳහා ගිවිසුම්ගත ශ‍්‍රමිකයෙකුට යන්තම් වැඩි දෙයක් බවට සිඳවෙනු ඇත්තා වූ යුරෝපීය කම්කරුවන් වහල් භාවයට පත්කිරීමේ සැලසුම යි.

ජාතික අයවැය පාලනය කිරීමට යුරෝපා කොමිසම හා යුරෝපීය අධිකරනය බලවත් කිරීම සමගින් සෑම රටක ම "මූල්‍ය විනය” බලාත්මක කිරීම සඳහා නෛතික රාමුව නිර්මානය කරනු ලැබීමට නියමිත ය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආපසු හැරවීමට, වැඩ පැය ගනන් දීර්ඝ කිරීමට ද වැටුප්, විශ‍්‍රාම වැටුප් හා අනෙකකුත් සහනාධාර කැපීමට ද "ශ‍්‍රම වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” ව්‍යවස්ථානුකූලව නිදන්ගත කරනු ලබනු ඇත. යුරෝපා සංගම් ඡන්ද අයිතිවාසිකම් සමග එකඟ නො වන රාජ්‍යයන්ගේ ධනය අහිමි කිරීම හා යුරෝ කලාපයෙන් නෙරපීම පවා ඇතුලත්ව ස්වයංකී‍්‍රය සම්බාධක පැනවීම් මගින් මෙයට පිටුබලය දීමට නියමිත ය.

එක පිට එක කප්පාදු අයවැය දස දහස් ගනන් දෙනා රැකියාවලින් නෙරපා විරැකියාව සියයට 20 මට්ටමට ම පාහේ නංවා තරුන විරැකියාව ඊටත් ඉහලට තල්ලු කොට ඇති ග‍්‍රීසිය සැලකිල්ලට ගැනීමෙන් සිදුවන්නේ කුමක්දැ’යි යන්න පිලිබඳ ඇඟවුමක් දැකගනු ලැබිය හැකි ය. ජනවාරියේ දී විශ‍්‍රාම වැටුප් වැඩිදුර සියයට 15කින් කැපීමට නියමිත අතර 40,000කට වැඩි රාජ්‍ය අංශ කම්කරුවන්ව සියයට 40ක් දක්වා වන වැටුප් කැපීමකට භාජනය කරනු ලැබේ.

එවැනි පියවර ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයාවට දැමිය නො හැකි බව පාලක ප‍්‍රභූහු දනිති. දැනටමත් ඔවුහු බැංකුකරුවන් විසින් නායකත්වය දෙනු ලබන "තාක්ෂනික විශේෂඥ” පරිපාලනයන් පිහිටුවීම මගින් ගී‍්‍රසියේ හා ඉතාලියේ දේශපාලන කුමන්ත‍්‍රන හසුරුවා ඇත. සියලු ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ මගින් පිටුබලය දෙන මෙම ආන්ඩු ගී‍්‍රසිය තුල නව-ෆැසිස්ට්වාදී ලා ඕස් පක්ෂය ඇතුලුව වඩාත් ප‍්‍රතිගාමී බලවේගයන් අන්තර්ගත කරගනී. යුරෝපා සංගම් සමුලුවේ මූලික වසයෙන් බලපැවැත්වූ එක් දෙයක් වූයේ සමහර රටවල ව්‍යවස්ථාවෙන් අවශ්‍ය කෙරෙන ජනමත විචාරන දියත් නො කර යුරෝපා සංගම් මූල්‍ය පියවරයන් පැටවීමට අර්ධ-නෛතික යාන්ත‍්‍රනයන් සොයාගැනීම යි.

කම්කරුවන්ට එරෙහිව සැකසෙමින් පවතින පිලිවෙත් පිලිබඳව ඔවුන්ට කිසිවක් තීන්දු කිරීමට ඉඩ නො දීමේ දී බි‍්‍රතාන්‍යය අනෙකුත් සාමාජික රාජ්‍ය 26ට වඩා අඩුවෙන් අනම්‍ය වූවා නො වේ. යුරෝපීය ප‍්‍රාග්ධනය එහි ආසියානු හා ඇමරිකානු ප‍්‍රතිමල්ලවයන් සමග වඩා තරගකාරී කිරීම සඳහා අසීරුවෙන් දිනාගත් සමාජීය හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් විනාශ කිරීමට අවස්ථාවක් ලෙස ආර්ථික අර්බුදය ඩැහැගැනීමට යුරෝපීය පාලක පන්තිය ඒකාබද්ධව සිටියි.

සමාජ කප්පාදු පැටවීමට යුරෝපීය බලයන් ශක්තිමත් කිරීමේ ඉදිරි දැක්ම සමග කැමරන් මුලුමනින් එකඟ වන අතර එසේ කරන්නේ ලන්ඩන් නගරයේ මූල්‍ය කතිපයාධිකාරය ආරක්ෂා කරනු ලබන තාක් දුරට ය.

සමුලුව ඉදිරියේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති නිකොලස් සර්කෝසි විසින් නිරාවරනය කරන ලද යුරෝපා සංගම් ප‍්‍රතිසංස්කරන සැලැස්ම යුරෝව ආධිපත්‍යය දරන මූල්‍ය ගනුදෙනු යුරෝ කලාපයට පමනක් සීමා කිරීම අඩංගු කරගනී. වර්තමානයේ යුරෝ ව්‍යුත්පන්න වෙලඳාම්වලින් සියයට 70කටත් වැඩියෙන් ලන්ඩනයේ සිදුවන තතු තුල එක්සත් රාජධානියේ චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් සැලැස්ම හෙලා දැක්කේ එය නගරයේ හදවත ඉලක්ක කර ගත් "උන්ඩයක්” ලෙස විස්තර කරමිනි. අවසානයේ කැමරන් හා බි‍්‍රතාන්‍ය ධනේශ්වරය ආරක්ෂා කරන "ස්වාධිපත්‍යය” වනාහි ලන්ඩනයේ වර්ග සැතපුමේ ස්වාධිපත්‍යය යි.

බි‍්‍රතාන්‍යය ඉවත්ව යාමකට දෙන සහතික වීමකට හිලවු ලෙස ගිවිසුම් වෙනස් කිරීම්වලට තමන් එකඟ වන්නා වූ ගනුදෙනුවක් සඳහා කැමරන් අපේක්ෂා සහගත විය. නගරයේ ඉල්ලීම් ඉටුකිරීම, කැමරන්ගේ සභාග ආන්ඩුවේ යුරෝපා සංගම් හිතවාදී ලිබරල් ඩිමොක‍්‍රටිකයන් තෘප්තිමත් කිරීම හා ඔහුගේ ම ටෝරි පක්ෂයේ යුරෝ-සංශයවාදීන් සමහන් කිරීම එමගින් ඉටුකෙරෙනු ඇත. ඉවත්ව යාමේ සහතිකයන් සභාගය දෙදරවා කැමරන් ආන්ඩුව හෙලනු ඇත්තා වූ ජනමත විචාරනයක් වලක්වමින් ගිවිසුම් වෙනස්කිරීම් තුල බලය මාරු කිරීමක් අන්තර්ගත නො වන බව තහවුරු කිරීම සඳහා භාවිතා කිරීමට නියමිත විය.

එහෙත් මර්කෙල් හා සර්කෝසි, බි‍්‍රතාන්‍යයට කිසිදු සුවිශේෂී ව්‍යතිරේකයක් නො ලැබිය යුතු යයි අවධාරනය කලේ ඒවා යුරෝපය පුරා "අපාලිත ගැටලු” මතු කලහැකි බැවිනි. අවසානයේ කැමරන්ගේ ඉවත්ව යාමේ ඉල්ලීම් මුලුමනින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිනි.

ලේබර් නායක එඩ් මිලිබෑන්ඩ් හා ලිබරල් ඩිමොක‍්‍රටික් නායක නික් ක්ලෙග් සමුලුවේ ප‍්‍රතිඵලය කෙරෙහි වැලපුනත් යුරෝපීය කම්කරුවන් මත පැනවීමට නියමිත දන්ඩනීය කප්පාදු කෙරෙහි නො තකන සුලු වූහ. ඔවුන්ගේ එකම විවේචනය වූයේ මෙම න්‍යාය පත‍්‍රය තල්ලු කරගැනීමට උපකාරී වීමේ දී බි‍්‍රතාන්‍යයට ද අසුනක් හිමිවිය යුතු බව යි.

මෑත සමුලුව යුරෝපා සංගමය වනාහි ප‍්‍රතිගාමී කැමරන් ආන්ඩුවේ කැමැත්ත ඇතිව හෝ නැතිව යුරෝපීය කම්කරු පන්තිය මත යුරෝපීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ පෙර නුවූ විරූ ප‍්‍රහාර ඒකාබද්ධව පටවන උපකරනයක් බව හෙලිදරවු කොට තිබේ.

මෙයට කම්කරු පන්තියේ ප‍්‍රතිචාරය විය යුත්තේ යුරෝපා සංගමය බිඳ දමා බැංකු හෙලා කප්පාදුවලට හා ආඥාදායකත්වයට එරෙහිව සමස්ත යුරෝපීය කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරක් ය!

විවිධ ජාතික වෘත්තීය සමිති නිලධරයන් හා ඔවුන්ගේ සුලු ධනේශ්වර "වාම” සහචරයන් විසින් ඉදිරියට දමනු ලබන තනි ජාතික ආන්ඩු මත පීඩනය යෙදීම සඳහා ලුහුඬු ජාතික විරෝධතා වැඩවර්ජන පිලිබඳව කම්කරුවන්ට කිසිදු විශ්වාසයක් තැබිය නො හැක. යුරෝපය පුරා කම්කරුවෝ පුපුරන සුලු පන්ති අරගල හා තම බලය රැකගැනීමට සියලු මංමුලා සහගත පියවරයන් ගනු ඇති ධනේශ්වරය සමග විප්ලවීය මුනගැටුමක් අද්දර සිටිති.

වොෂින්ටනයේ පැවති අත්ලාන්තික සංගම් (ඇට්ලන්ටික් කවුන්සිල්) විශේෂඥ මන්ඩල රැස්වීමක දී එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන්ගේ සභාපති මාටින් ඩෙම්ප්සි පලකල අදහස්වල අර්ථභාරය වන්නේ මෙය යි. "සිවිල් කැලඹිල්ල සඳහා පවතින විභවය” නිසා එක්සත් ජනපද මිලිටරිය එහි බිඳවැටීමට නිරාවරනය වනු ඇතැයි අනතුරු හඟවමින් "යුරෝ කලාපය දැවැන්ත අන්තරායක පවතී” යයි ඔහු කීවේ ය. එක්සත් ජනපදය යුරෝපය තුල 80,000කට අධික භටයන් රඳවා සිටින තතු තුල මෙම අදහස් සංවේදී ය. යුරෝපය පුරා අගනගරවල ඒ හා සමාන සාකච්ඡා සිදු වෙමින් ඇතැයි යන්න නිශ්චිත ය. සමස්ත මහාද්වීපය හරහා කි‍්‍රයාවට දමනු ලැබෙමින් තිබෙන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර ධනේශ්වරය කෲරතර බලය මගින් සමාජ ප‍්‍රතිවිප්ලවයක් හරහා ඉදිරියට යාමට අධිෂ්ටානවත්ව සිටින බව පෙන්නුම් කරයි.

යුරෝපීය වැඩකරන ජනතාව ද එවැනි ම අධිෂ්ටානයකින් යුතුව තමන්ගේ ම පන්ති පිලිවෙත නීර්නය කර ගත යුතු ය. යුරෝපා සංගමයට හා මහා ව්‍යාපාරිකයන්ගේ ආන්ඩුවලට එරෙහිව ඔවන් ධනවාදය බලයෙන් පහකොට එක්සත් යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ලෙස සංවිධිත කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට මහා සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් කරා පෙරට යා යුතු ය.

ජුලී හයිලන්ඩ්

Share this article: