අධිරාජ්‍යවාදය සහ ඛමර් රූජ් නඩු විභාග

Imperialism and the Khmer Rouge trials

17 December 2011

ඛමර් රූජ් තන්ත‍්‍රයේ හිටපු නායකයන් පිලිබඳ නඩු විභාගවල පදනමෙහි පවත්නා ඓතිහාසික වසං කිරීම, කාම්බෝජ අගනුවර වන නොම් පෙන්හි දැන් සිදු වෙමින් පවතියි.

1975 සිට 1979 දක්වා ගෙවුනු ඛමර් රූජ් භීම සමයෙන් සහ මහා ජන ඝාතනයෙන් තෙදශකයකට පසුව එක්සත් ජාතීන්ගේ මෙහෙයවීමෙන් මෙම නඩු විභාග සැලසුම් කෙරෙන්නේ, අන් සියල්ලන්ට මත් වඩා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට කාම්බෝජ ව්‍යසනය සම්බන්ධයෙන් තිබෙන මූලික වගකීම යට ගසනු පිනිස ය. වියට්නාමිකයන් තුන් මිලියනයක් ඝාතනයට ලක් වුනු වියට්නාම් යුද්ධය අතරතුර දී, වොෂින්ටනය කාම්බෝජය සුනු විසුනු කර දැමුවේ ය.

කාම්බෝජ අධිකරනයෙහි විශේෂ මන්ඩලය (ඊසීසීසී) ඉදිරියේ නඩු විභාගයට පෙනී සිටින්නේ ජන සංහාරය, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඛමර් රූජ් නායකයන් සිව් දෙනෙකි. ප‍්‍රධාන ඛමර් රූජ් නායක පොල් පොට් 1998 දී මිය ගිය තතු යටතේ, නඩු විභාගය පැවැත්වෙන්නේ විසි වන සියවසේ භයංකර ම කාල පරිච්ඡේදයක් උදෙසා ඔවුන් පමනක් දෝෂාරෝපිතයන් බවට පත් කිරීමට ය.

නඩු විභාගයේ පලමු අදියරේ දී ඔවුන්ට චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ, නාගරික ප‍්‍රදේශවලින් ගම්බදට මහජනයා බලාත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙනි. ගනන් බලා ඇති පරිදි, ඒ අතරතුර දී කාම්බෝජානුවන් මිලියනයකට මරන දඬුවම පැමිනවුනු අතර, ඒ සමාන ම සංඛ්‍යාවක් හාමතින්, ලෙඩරෝගවලින් සහ අධික ලෙස වැඩ කිරීමෙන් මරු වැලඳ ගත්තේය.

පුරුද්දක් වශයෙන් මාධ්‍යය මේ දක්වා පොල් පොට් තන්ත‍්‍රය හැඳින්වූයේ "කොමියුනිස්ට්” තන්ත‍්‍රයක් ලෙසිනි. කවර හෝ හාස්‍යජනක විකෘතකරනයකට තව දුරටත් ඉඩක් තිබිය නොහැකි ය. ඛමර් රූජ් තන්ත‍්‍රය වනාහි, 1920 ගනන්වල අග භාගයේ දී ලියොන් ට්‍රොට්ස්කිගේ වාම විරුද්ධ පාර්ශ්වය මර්දනය කිරීමේ ද සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියේ ද නිෂ්පාදිතයකි. පොල් පොට් සහ ඔහුගේ අනුගාමිකයන් මතු වී ආවේ, ස්ටැලින්වාදයේ "තනි රටේ සමාජවාදයේ” ප‍්‍රතිගාමී ජාතිකවාදී ක‍්‍රියා මාර්ගය අනුගිය ඛමර් මහජන විප්ලවවාදී පක්ෂයෙනි.

නරොදම් සිහනුක් කුමරුගේ පශ්චාත්-විජිත ආන්ඩුව යටතේ දියත් කෙරුනු පොලිස් මර්දනයට මුහුන පෑ පක්ෂ නායකයෝ, 1963 දී ගම්බදට පලා ගොස්, ගොවි ජනතාවගේ පසුගාමී ස්තර වෙත හැරී ගත්හ; මුදල්, සංස්කෘතිය සහ නාගරික ජීවිතයේ අනෙක් අංග මුලිනුපුටා දැමෙන, ගොවි ජනයා පදනම් කර ගත් ප‍්‍රාථමික සමාජයක් නිර්මානය කිරීමේ ඉදිරි දර්ශනයක් කර පින්නා ගත්හ.

එවන් ව්‍යාපාරයකට 1975 දී බලය අල්ලා ගත හැකි වූයේ, වියට්නාම් යුද්ධයේ කොටසක් ලෙස, 1960 ගනන්වල අග භාගයේ සිට එක්සත් ජනපදය කාම්බෝජයේ මහජනයා මත මුදා හල ම්ලේච්ඡත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස පමනකි. 1969 සහ 1973 අතර සමයේ දී, එක්සත් ජනපද හමුදාවෝ කාම්බෝජය මත බෝම්බ ටොන් 532,000ක් පමන හෙලූහ. මෙය, දෙවන ලෝක යුද්ධය පුරා ජපානය මත හෙලූ ටොන් ප‍්‍රමානය මෙන් තුන් ගුනයකටත් වැඩි සංඛ්‍යාවකි.

එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සහ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසිංගර් කොන්ග‍්‍රසයේ අනුමැතියෙන් තොරව රහසේ දියත් කල මෙම බෝම්බ ප‍්‍රහාරය, ලෝක ඉතිහාසයෙහි සිදු වුනු දරුනුකම අතින් තීව‍්‍රතම බෝම්බ ප‍්‍රහාරය යි. මිය ගිය සංඛ්‍යාව 600,000ක් තරම් ඉහල යැයි තක්සේරු කරනු ලැබේ.

වොෂින්ටනය සහ හැනෝයි පාලනය අතර තුලනය වීමට සහ උපාමාරු දැමීමට උත්සාහ කල සහ ජනරාල් ලොන් නොල් ප‍්‍රධානත්වය දැරූ මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපනය කල සිහනුක් කුමරු, 1970 දී ධවල මන්දිරය සහ සීඅයිඒය කල කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහ කෙරින. එක්සත් ජනපද සහ වියට්නාම් භටයන් 20,000ක් යොදා ගෙන කාම්බෝජය ආක‍්‍රමනය කරන බව නික්සන් නිවේදනය කලේ ඉන් මසකට පසුව ය.

ලොන් නොල්ගේ ජුන්ටාව කර ගෙන ගිය කුරිරු සිවිල් යුද්ධය සමග එක පෙලට සිදු වුනු එක්සත් ජනපද බෝම්බ හෙලීම්වල බලපෑම යටතේ කාම්බෝජානු සමාජය සීසීකඩව ගියේ ය. රටේ මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස අහිමි විය, සහල් නිෂ්පාදනය සියයට 80කටත් වැඩියෙන් පහල වැටින, ආර්ථික ජීවිතය සුනු විසුනු විය.

1970 දී 5,000කට අඩු මිනිසුන් සංඛ්‍යාවකගෙන් සමන්විතව තිබූ පොල් පොට්ගේ බලකාය 70,000ක හමුදාවක් බවට වර්ධනය කලේ මෙම කොන්දේසි ය. දකුනු වියට්නාමයෙහි එක්සත් ජනපද සහාය ලද ආඥාදායකත්වය අවසන් පරාජය ලබන්නට ඔන්න මෙන්න කියා තිබිය දී අන්තිමේ දී ලොන් නොල්ගේ එක්සත් ජනපද රූකඩ තන්ත‍්‍රය බිඳී විසිරී ගිය 1975 අපේ‍්‍රල් මාසයෙහි, ඔවුහු නොම් පෙන් අල්ලා ගත්හ.

නටබුන් රටකට මුහුන පා සහ නගරවලට පෝෂනය කිරීමට අදහසක් නැතිව සිටි ඛමර් රූජ් තන්ත‍්‍රය, ගම්බද ප‍්‍රදේශවල වහල් ශ‍්‍රමයට කර ගැසීම සඳහා මුලු මහත් නාගරික ජනගහනය ම ඉවත්ව යා යුතු යැයි අන කලේ ය. මෙය වනාහි මුලුමනින් ම කම්කරු පන්ති විරෝධී තන්ත‍්‍රයක් විය.

"ඝාතන බිම්” භීෂනය දිග හැරෙන විට, වියට්නාම් ආනුභාවයට එරෙහිව සටන් කිරීමේ උපක‍්‍රමයක් ලෙස, වොෂින්ටනය ඛමර් රූජ් තන්ත‍්‍රයට සහාය දෙන්නට විය. කාම්බෝජයෙහි සිටි වියට්නාම් ජනවාර්ගිකයන්ට එල්ල කල ප‍්‍රහාර නිසා 1978 දෙසැම්බරයේ දී වියට්නාම් ආක‍්‍රමනයකට මුල පිරී, කාම්බෝජයේ අගමැතිව සිටින හුන් සෙන් යටතේ ඛමර් රූජ් තන්ත‍්‍රයෙන් කැඩී ගිය කන්ඩායමක් ස්ථාපනය විය.

වියට්නාමයට එරෙහි දැවැන්ත චීන මිලිටරි ප‍්‍රහාරයකට නිහඬව සහාය දෙමින් ප‍්‍රතිචාර දැක්වූ එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර්ගේ පාලනාධිකාරය, පොල් පොට්ගේ කැරලිකරුවන්ට ආයුධ සපයනු පිනිස චීනය සමග එක්ව කටයුතු කලේ ය. වොෂින්ටනය පොල් පොට් සැලකුවේ වියට්නාමයට එරෙහි අගනා සීතල යුද්ධ සගයෙකු ලෙසිනි. කාටර්ගේ ජාතික ආරක්ෂ උපදේශකවරයාව සිටි සිබිග්නිව් බ්‍රෙෂෙන්ස්කි පසුව පිලිගත්තේ ය: "පොල් පොට්හට සහාය දීමට මා චීනුන් දිරිමත් කලා... පොල් පොට් පිලිකුලට ලක්ව සිටි අයෙක්. අපට කිසි දා ඔහුට සහාය දෙන්න පුලුවන්කමක් තිබුනේ නැති වුනත්, චීනයට පුලුවන්කම තිබුනා.”

එක්සත් ජනපදය, යුරෝපා බලවත්තු සහ චීනය, 1980 ගනන් පුරා එක දිගට ම, ඛමර් රූජ් තන්ත‍්‍රය කාම්බෝජයේ නීත්‍යනුකූල ආන්ඩුව ලෙස පිලිගත්හ. අනුපිලිවෙලින් බලයට පත් එක්සත් ජනපද ආන්ඩු, 1997 වසර දක්වා ම, පොල්පොට් සහ ඔහුගේ සගයන් නඩු විභාගවලට යටත් කිරීමට ගත් පියවරයන් අවහිර කලේ ය.

වොෂින්ටනය මෙන් ම බීජිං සහ හුන් සෙන් තන්ත‍්‍ර ද සිත යොමු කලේ, කාම්බෝජානු ඛේදවාචකයේ දී තම තමන් ඉටු කල කාර්ය භාරය කිසිදු නඩු විභාගයකින් විභාග වීම වැලැක්වීම කෙරෙහි ය. 2006 දී ඊසීසීසීය ස්ථාපනය කෙරෙන්නට කලින් වසර ගනනාවක් තිස්සේ, ජීවතුන් අතර සිටින ඛමර් රූජ් නායකයන් කෙරෙහි පමනක් අවධානය යොමු කිරීමට දුන් දැඩි උපදෙස් සහිතව සාකච්ඡා සිදු වී ගෙන ගියේ ය.

කිසිංගර්, කාටර් සහ බ්‍රෙෂෙන්ස්කි ඇතුලු 1970 ගනන්වල සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුතු සියල්ලන් ම, නොම් පෙන්හි විත්ති කූඩුවෙහි සිටින්නන් අතරට ඇතුලත් කල යුතු ය. තම මූලෝපායාත්මක සහ වානිජ අවශ්‍යතාවන් හඹා යාමේ දී, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ සටන් පාඨ නරුම ලෙස යොදා ගනිමින්, මිලියන සංඛ්‍යාත ජනයා ලේ වැකි යුද්ධවලට සහ ම්ලේච්ඡත්වයට යටත් කිරීමට ප‍්‍රධාන බලවතුන් පාන සූදානම තුල පවතින අන්තරාය පෙන්නුම් කරන්නක් ලෙස අන් සියල්ලට මත් වඩා නැගී සිටිය යුත්තේ, කාම්බෝජයේ මහජනතාවට සිදු වුනු දෙය යි.

උග‍්‍ර වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය ද චීනයට මුහුන දීමට සහ ආසියා-ශාන්තිකර කලාපයෙහි ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට ඔබාමා පාලනාධිකාරය දරන ආක‍්‍රමනකාරී පරිශ‍්‍රමය ද මධ්‍යයේ, අද දින මෙම අන්තරායන් පෙර කිසි කලෙකටත් වඩා දැවැන්ත ය. බෝම්බ හෙලා ඉරාක සමාජය වනසා දැමීම, දැන් සිදු වන ලේ වැකි ඇෆ්ඝනිස්ථාන වාඩි ලා ගැනීම, එම යුද්ධය පකිස්ථානය දක්වා පුලුල් කිරීම සහ තෙල් සපිරි ලිබියාවෙහි රූකඩ තන්ත‍්‍රයක් ඇටවීම තුල දී, එක්සත් ජනපදය කාම්බෝජයෙහි සහ වියට්නාමයෙහි කල යුද අපරාධ, විසිඑක් වන සියවස මුල දී දැනට මත් යලි සිදු වී ඇත.

ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ සාපරාධී ස්වභාවය වඩා පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන තිබෙන බැවින්, වතාවක් වියට්නාම් යුද්ධයට සහ එය කාම්බෝජය දක්වා පුලුල් කිරීමට එරෙහිව විරෝධතාවල යෙදුනු මධ්‍යම පන්තික හිටපු වම්මු, ඔබාමා පාලනාධිකාරය වැලඳ ගෙන, ලිබියාවෙහි සහ ඇෆ්ඝනිස්ථානයෙහි යුද්ධවලට සහාය දෙමින් සහ එක්සත් ජනපදය අඛන්ඩව ඉරාකයෙහි රැඳී සිටීම පිලිබඳව නිහඬව සිටිමින් අධිරාජ්‍යවාදය සමග සමාදාන වී ඇත. මෙම ස්ථරයන් ඛමර් රූජ් නඩු විභාගවල හාස්‍යජනකත්වය පිලිබඳව නිහඬව සිටීම, සැලකිය යුතු කරුනකි.

කාම්බෝජානු ඛේදවාචකයෙන් මතු වන මකා ලිය නොහෙන පාඩම නම්, යුද්ධය සහ ධනවාදී සූරා කෑම අවසන් කල හැකි එක ම බලවේගය වන ඉන්දුචීන, ආසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය ය යන්න යි. ඒ සඳහා, අධිරාජ්‍යවාදයේ සහ ස්ටැලින්වාදයේ අතිමහත් අපරාධ හෙලිදරව් කිරීමට සහ පැහැදිලි කිරීමට උත්සාහ දරන එක ම ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩ නැගිය යුතු ය.

මයික් හෙඩ්

Share this article: