ශ්‍රී ලංකාවේ දෙමල දේශපාලන සිරකරුවන්ට එරෙහි සාපරාධී ප්‍රහාරය

By Subash Somachandran, 5 December 2011

අනුරාධපුර බන්ධනාගාරය තුල දී දෙමල දේශපාලන සිරකරුවන් 65 ට පමණ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් විසින් නොවැම්බර් 27 වෙනිදා මෘග ප්‍රහාරයක් එල්ල කළේය. දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය දියත් කර ඇති උද්ගොෂණයට සහයෝගය දීමේ හදිසි වැදගත්කම, මෙම වාර්ගික ප්‍රහාරය මගින් යලි වතාවක් පෙන්නුම් කරයි.

මාධ්‍යවලට ලැබී ඇති සීමිත ප්‍රවෘත්තිවලට අනුව සිරකරුවන්ගේ ඇදුම් බලහත්කාරයෙන් ඉවත් කරවා බන්ධනාගාර නිලධාරින් 25ක් පමණ ඔවුන්ට පහර දී තිබේ. යුද්ධයේදී අත් පා අහිමි වූ ආබාධිත සිරකරුවෙකු ද ඇතුළු 24 දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබූ හ. ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලද යාපනයේ හරිහරන් හා දයා, වව්නියාවේ සචී හා ත්‍රිකුණාමලේ නික්ෂන් අනුරාධපුර රෝහලට ඇතුලත් කරන ලදි.

ප්‍රහාරය සිදු වුයේ යුද්ධයේ දී මිය ගිය සිය සටන්කරුවන් සැමරීම සඳහා බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයේ (එල්ටිටි ) හිටපු නායක වී. ප්‍රභාකරන් විසින් සෑම අවුරුද්දකම "මහා වීර්" දිනය ලෙස යොදා ගත් නොවැම්බර් 27 වෙනි දා ය. හමුදාව අතින් 2009 මැයි 18 දා සෙසු නායකයන් සමග ඔහුගේ මරණය සිදුවන තුරු ප්‍රභාකරන් විසින් මෙම දිනය සමරන ලදී. මෙදින අනුරාධපුර බන්ධනාගාරයේ මෙම අප්‍රකුපිත ප්‍රහාරය සිදු කලේ දෙමල ජනයාට එරෙහි සිංහල වාර්ගික හිංසනයේ සලකුණක් වශයෙනි.

දෙමල හා සෙසු ජනයා අතර ප්‍රහාරයට එරෙහි ව කෝපය ඉස්මතු වීම ගැන බියෙන් ආණ්ඩුව මේ රුදුරු මර්දනය වසන් කිරීමේ කතා ගනාවක් ගෙතුවේය. "බන්ධනාගාර නිලධාරින් 'මහා වීර්' දින සැමරීමේ සිරකරුවන්ගේ උත්සාහය ව්‍යවර්ථ කිරීමට අසමත් වුයේ නම් 'කළු ජුලිය' වැනි සිද්ධියක් ඇති වීමට ඉඩ තිබුනා" යයි බන්ධනාගාර පුනරුත්ථාපන ඇමති චන්ද්‍රසේන ගජධීර ප්‍රකාශ කලේ ය. විස්තාරනය කිරීමකින් තොරව "වෙනත් කතාවක්" පැතිර වීම ගැන ඔහු මාධ්‍යවලට චෝදනා කලේ ය. සිංහල සිරකරුවන් දෙමල සිරකරුවන්ට පහර දීමට සුදානමින් සිටි බව ඔහු ඇගවුම් කලේ ය.

ඔහු සඳහන් කල කළු ජුලිය වුයේ 1983 ජුලි මාසයේ දී කොළඹ බන්ධගාරය තුල දී මැරයන් විසින් දෙමල රැඳවියන් 59 දෙනෙකු ඝාතනය කිරීම ය. එම ප්‍රහාරය සිදු වුයේ සිංහල ස්වෝත්තමවාදී මැර කල්ලි විසින් රට පුරාම හා විශේෂයෙන් ම කොළඹ දී දෙමල ජනයාට පහර දී දහස් ගණනක් සමුල ඝාතනය කල සන්දර්භය තුල ය. එය එල්ටීටීඊය විසින් යාපනයේ දී සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට පලි ගැනීමක් ලෙස පින්තාරු කල නමුත් දෙමල ජනයාට එරෙහි ප්‍රහාරය කලින් ම මැනවින් සංවිධානය කල එකකි. මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ආරම්භය සලකුණු කලේ ය.

කෙසේ නමුත් සිකුරා දා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සිද්ධිය ගැන පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් උසාවියකින් නියෝගයක් ලබා ගත්තේය. එල්ටිටි සැකකරුවන් "ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙළසීම අරමුණු කර ගෙන තමන් ම තුවාල කරගනිමින් ජාත්‍යන්තර ප්‍රජාවට යැවීම සඳහා එම තුවාල ඡායාරුප ගත කල බව" ඔව්හු (ත්‍රස්ත විමර්සන නිලධාරින් ) ප්‍රකාශ කල බව ඩේලි මිරර් පත්‍රය වාර්තා කලේ ය. බන්ධනාගාර නිලධාරින් කල පරික්ෂාවේ දී ජංගම දුරකථන 19 ක්, දුරකථන චාජර්, යකඩ පොලු සහ මුවහත් කල සින්ක් තහඩු බන්ධනාගාරය තුල තිබී සොයාගෙන ඇති බව මෙම රහස් පොලිස් පරීක්ෂකවරු කී හ.

පොලිස් ප්‍රකාශවලට අනුව සිරකරුවන් විසින් ම තුවාල කර ගත්තා මිස, බන්ධනාගාර නිලධාරින් විසින් ප්‍රහාරය සිදු කළා නො වේ; මෙම නරුම කතාව පෙළ ගැසෙන්නේ එය විවේචනය කරන සියලු දෙනාම ද්‍රොහී ලෙස "ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙලසන" බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය සමග ය.

තමන්ට ආරක්ෂාව සපයන ලෙස ද වව්නියාවේ බන්ධනාගාරයට මාරු කරන ලෙස ද ඉල්ලමින් මෙම දෙමල සිරකරුවෝ උපවාසයක නිරත වු හ. එහෙත්, තමන් ආණ්ඩුව සමග සම්මුතියක් සඳහා යෙදී ගෙන සිටින සාකච්ඡාවලට එය බලපානු ඇතැයි කල්පනා කොට ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය එම විරෝධතාව නතර කිරීමට මැදිහත් විය.

මෙම සිරකරුවෝ එල්ටීටීඊ "සැකකරුවන්" ලෙස සලකා දුෂ්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පිටිඒ ) යටතේ වසර කීපයකට පෙර අත්අඩංගුවට ගත් තැනැත්තෝය. ඉන් සමහරු වසර දහයකටත් පෙර එසේ අත්අඩංගුවට ගත්තවුන් ය. විවිධ බන්ධනාගාරවල එවැනි සිරකරුවෝ 800 ක් රඳවා සිටිති. බෙදුම්වාදී එල්ටීටීඊය පරාජයට පත් කරමින් යුද්ධය අවසන් වුවත් චෝදනා ගොනු කිරීමකින් හෝ තොරව අපිරිසිදු සිරගෙවල් වල මොව්හු රඳවා සිටිති. චෝදනා ඉදිරිපත් කිරීමට අසමත් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ට විරුද්ධව විස්වාසනීය සාක්ෂි පොලීසියට නැති බව ය.

මෙම සිරකරුවන්ට අමතරව, යුද්ධය අවසන් වීමත් සමග අත්අඩංගුවට ගත් දහස් ගණනක් දෙමල තරුණයන් ආණ්ඩුව විසින් එළිදරව් නොකළ තැන්වල රඳවනු ලැබ සිටි. ආණ්ඩුව විසින් පාලිත ප්‍රදේශවලට පලාගිය 300,000 සිවිල් ජනයා අතරින් අල්ලා ගත් 11,000 ක් පමණ වන මෙම සිරකරුවෝ හමුදාව විසින් පාලනය කරනු ලබන කඳවුරු තුල කොටුකර සිටිති.

මේ දක්වා ඔවුන්ගෙන් 5,000 ක් පමණ නිදහස් කල බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් මාස 18 ට පසුවත් කිසිවෙකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් නොකලේ ය. මෙසේ නිදහස් කල අයගේ නිදහසට බාධා කරමින් ඔවුන් නිරන්තර පොලිස් හා හමුදා සුපරික්ෂාව යටතේ තබා සිටි.

බන්ධනාගාර ගත කල සිරකරුවෝ අනුරාධපුර, කොළඹ, නුවර, බදුල්ල හා වව්නියාව වැනි විවිධ බන්ධනාගාරවල රඳවා සිටිති. චෝදනා ඉදිරිපත් කරන ලෙස හෝ නිදහහස් කරන ලෙස හා අපිරිසුදු කොන්දේසිවලින් මුදවන ලෙස ඉල්ලා අතීතයේ දී ඔව්හු නිරන්තර විරෝධතාවල නිරත වූ හ. මෘග ප්‍රහාර හෝ බොරු පොරොන්දු මගින් ආණ්ඩුව විසින් මෙම විරෝධතා මඩලනු ලැබී ය.

නිදහස හා සහන අපේක්ෂා කරමින් සිය ගණනක් දෙමල සිරකරුවෝ 2010 ජනවාරි මාසය මුල දී දින අටක උපවාසයක් කල හ. මාස දෙකකින් ඔවුන්ගේ ඉල්ලීම් ගැන සොයා බලන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වීමෙන් පසු ඔවුහු විරෝධතාවය අත් හල හ. එහෙත්, සුපුරුදු පරිදි එය බොරු පොරොන්දුවකි.

අසතුටුදායක කොන්දෙශිවලට විරෝධය පාමින්, මෙම අවුරුද්දේ ජනවාරි මාසයේ දී අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෝ 20 දෙනෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහල මත නැගී උපවාසයක් ආරම්භ කල හ. විරෝධතාවය වැලක් වීමට උත්සාහ කිරීමී දී ඇති වූ ගැටුම් වල දී බන්ධනාගාර නිලධාරින් විසින් කල වෙඩි තැබීම් නිසා සිරකරුවන් දෙදෙනෙක් මරණයට පත් වූ හ. ඉන් එක් අයෙක් එතැන්හිදීම හා තවත් අයෙකු පසුව මිය ගියේ ය. තවත් සිරකරුවෝ ගණනාවක් හා බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙකු ද තුවාල ලද හ.

පසුගිය සතියේ පහර දීම සිදු වුයේ රටේ ස්වාධිපත්‍යයට වල කැපීම සඳහා එල්ටීටීඊ ඩයස්පෝරාව ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කිරීම ගැන ආණ්ඩුවේ ප්‍රචාරය තීව්‍ර කෙරුන තතු තුල ය. පිට රටවල සිටින එල්ටීටීඊයේ ඉතුරු පහදු කොටස්වල උද්ඝෝෂණය අලුත් දෙයක් නො වේ.

නමුත් "ත්‍රස්තවාදී තර්ජනය" පිලිබඳ ප්‍රචාරය උතුරු-නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම තීව්‍ර කිරීම පමණක් අරමුණු කර ගත්තක් නො වේ. ඔවුන්ගේ ජීවන කොන්දේසිවලට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට කම්කරු පන්තිය සහ දුගීන් අතර වැඩෙන අතෘප්තිය අපසරණය කිරීමටත් යටපත් කිරීමටත් හා මිලිටරීකරණය ශක්තිමත් කිරීමට ආණ්ඩුව මෙම ප්‍රචාරය යොදා ගනියි.

අනුරාධපුර ප්‍රහාරය යලි වතාවක් පෙන්නුම් කරන්නේ, සසප අවධාරණය කල පරිදි, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂණය, කම්කරු පන්තියේ හා දුගී ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමත් සමග අවියෝජනීය ලෙස බැඳී පවතින බව ය.

උපවාසය නතර කිරීම සඳහා සිරකරුවන් පෙළඹ වීමට පි. අරියනෙන්දිරන් ඇතුළු ටිඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙක් බන්ධනාගාරයට ගිය හ. "අපිට ඔවුන්ගේ ජීවිත විනාශ වීම අවශ්‍ය නැත. ඔවුන් මේකට ඇහුම්කන් දීල උපවාසය නතර කලා" යි කිඹුල් කඳුළු හෙලමින් අරියනේන්දිරන් කයිවාරු ගැසී ය. ටිඑන්ඒ "ආණ්ඩුව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡා කරමින් සිටින" බව ඔහු තව දුරටත් පැවසී ය.

ආණ්ඩුව සහ ජාත්‍යන්තර බලයන් සමග සාකච්ඡා කිරීම නිෂ්ඵල බව ටිඑන්ඒ දනී. සිය හමුදා ක්‍රියාන්විතයන් හිදී යුද අපරාධ කරන අතර එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන බලයන් කුහක ලෙස මානව හිමිකම් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මුලෝපායික අවශ්‍යතාවයන් පෙරට ගැනීම සඳහා පමණි. දෙමල ධනේශ්වරය සඳහා වරප්‍රසාද අපේක්ෂා කරමින් ආණ්ඩුව හා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර බලයන් සමග කෙරෙන ඔවුන්ගේ කැත කුට දේශපාලන ගනුදෙනු සඳහා දේශපාලන සිරකරුවන් මුහුණ දී සිටින තත්වය උපයෝගී කර ගැනීම ටිඑන්ඒ ට අවශ්‍ය ය.

ටිඑන්ඒ මෙන්ම ප්‍රජාතත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ද (සිකරුවන්ට එරෙහි ප්‍රහාරයෙන්) ඔහුගේ අත් සෝදා ගත් අතර සිරකරුවන්ගේ ගැටළු ගැන රාජපක්ෂ හා "ජාත්‍යන්තර ප්‍රජාව" සමග කතා කරන ලෙස ඩග්ලස් දේවානන්ද හා ආරුමුගන් තොන්ඩමන් කැබිනට් අමතිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය.

දේවානන්ද සහ තොන්ඩමන් යන දෙදෙනාම යුද්ධයට සහයෝගය දුන් හ. ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක, දේවානන්ද සිරකරුවන් රඳවා තබා ගැනීමට සහයෝගය දුන් අතර ඔහුගේ පැරා-මිලිටරි කණ්ඩායම් සමග මිලිටරි වාඩිලා ගැනීමට පිටුබලය දුන්නේ ය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක තොන්ඩමන්, වතුකරය තුල ඔහුගේ පාවාදීම් වලට විරුද්ධ වූ තරුණයන් සහ කම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසියට ලැයිස්තු සැපයීම සබන්ධයෙන් කුප්‍රකට ය.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගැනීමේ කෙටි මාවතක් නැත. ධනපති පක්ෂ හා ප්‍රධාන බලයන් පිටුපස යාම උගුලකි. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීමේ දී රාජපක්ෂ ආණ්ඩුව කිසි අනක් ගුණක් නැත. ආණ්ඩුව එක් අවස්ථාවක රාජපක්ෂ ගේ සහකරුවෙකු වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම මගින් මෙය පෙන්නුම් කර තිබේ. පාලක ප්‍රභුවේ කොටසක් වෙනුවෙන් තමන්ගේම න්‍යාය පත්‍රයක් සහිතව ඔහු රාජපක්ෂට අභියෝග කිරීම නිසා ය ෆොන්සේකා බොරු චෝදනා මත සිර ගත කරනු ලැබ සිටින්නේ.

ලෝක අර්බුදයේ කොටසක් ලෙස ධනපති අර්බුදයේ බර පැට වීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට වඩ වඩා පහර දෙයි. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීම හා දිනා ගැනීම කල හැක්කේ ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් පිහිටු වීමට සමාජවාදී විප්ලවය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස පමණි. සසප විසින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාමාර්ගය මෙයයි.

දේශපාලන සිර කරුවන් නිදහස් කර ගැනීමේ එහි උද්ඝෝෂනයේ කොටසක් ලෙස සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ විසින් දෙසැම්බර් 8 වෙනි බ්‍රහස්පතින් දා සවස 4 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වීමට සංවිධානය කර තිබෙන රැස්වීමට පැමිණෙන ලෙස කම්කරුවන්, තරුණයන් හා බුද්ධිමතුන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: